Writer (2021) Tamil | Sinhala Article

Writer (2021) Tamil by Luckshman Aranvala

2021 වසරට අදාළව නරඹන්නට ලැබෙන හොඳම දමිළ චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Visaranai (2015) සහ Jai Bhim 2021 හා එක පෙළට තබන්නට හැකි කතන්දරයක්. ඒ කියන්නෙ මෙහි රටාව මොකක්ද කියන එක පැහැදිලියිනේ? ඒ තරමටම වයලන්ස් බව අඩු නමුත් කතාකරන සිදුවීමේ කෲරත්වයේ නම් වෙනසක් නෑ. පොලිස් මැර බලයෙන් බැට කන අහිංසක සිවිල් වැසියා කියන කාරනාවටම එකතු කරපු තවත් අසාධාරණයක් ගැනයි මේ කියන්නේ.

තංගරාජ් නම් ප්‍රධාන කොස්තාපල්වරයෙක්ට දඬුවම් මාරුවක් ලැබෙනවා. මාරුව ඔහුට ලැබෙන්නේ වරදක් කළාට නම් නෙමේ යුක්තිය සාධාරණය වෙනුවෙන් කටයුතු කරන්නට ක්‍රියාත්මක වූ නිසාමයි. අලුත් පොලිස් ස්ථානයට අනුයුක්ත වුණාමත් ඔහුට සිද්ධ වෙන්නේ අමානුෂික පොලිස් මෙහෙයුමකට මැදිහත්කරුවකු වෙන්නයි. හෘද සාක්ෂියට එකඟව වරදකාරී හැඟීමෙන් රාජකාරි කරන්නට අපහසු නිසාම යළිත් වරක් අයුක්තියට එරෙහිව ක්‍රියා කරන්නට ඔහු සූදානම්. නමුත් ඔහුට ඉහළින් බලපවත්නා බලපෑම නම් ඉතාම දැඩියි. ඒ අනුව නිහඬව කෙරෙනා සටනක් අවසානයේදී මහා ජංජාලයක් වන ආකාරයයි නරඹන්නට තිබෙන්නේ.

ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගන ශිල්පී Samuthirakani වඩාත් ගැලපෙනවා. ඔහුගේ බොහෝ චිත්‍රපට වලින් දකින්නට ලැබෙන්නේම ආසාධාරණයට එරෙහි විප්ලවකාරී චරිතමනේ. ඒ වගේම සමාජයට යහපත් ආදර්ශ සපයන්නා විදිහටයි ඔහුව පෙනෙන්නේ. මෙවර චරිත විස්තරය තුළ බලසම්පන්න බව අඩුයි. අහිංසක මිනිස් ජීවිතයක් බේරාගන්නට හැකි පමණින් කුමක් හෝ කළ යුතුයි යන තිර අදිටනින් ක්‍රියා කරනා අයෙක් විදිහටයි ඔහුගේ චරිතය සැදුම් ලබන්නේ. ඔහුගේ වසර ගණනක පොලිස් රාජකාරි අත්දැකීම් එක්ක ඔහුගේ මෙහෙයුම අවදානම්. වැඩේ කොහොම වෙයිද කියන ලොකු කුතුහලයකින් නරඹන්නට හැකියි. මේක කුළුඳුල් අධ්‍යක්ෂණ කටයුත්තක් විදිහට අගයන්නටම ඕන. නිෂ්පාදන කාර්යභාරය වෙනුවෙන් සුවිශේෂී චිත්‍රපට අධ්‍යක්ෂක Pa. Ranjith දායක වී තිබෙනවා. නරඹන්නට වටිනා චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරනවා.

****************************************************

Written & Directed by
Franklin Jacob

Written by
Franklin Jacob

Produced by
Pa. Ranjith
Abhayanand Singh
Piiyush Singh
Aditi Anand

Starring
Samuthirakani
Hari Krishnan

Cinematography
Pratheep Kaliraja

Music by
Govind Vasantha

Country
India

Language
Tamil

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *