When the Camellia Blooms (2019) Korean | Sinhala Article

When the Camellia Blooms (2019) Korean by Luckshman Aranvala

92% liked this TV show Google users

කොරියන් සීරියල් කිලර්ස් ලා එක්ක ඔට්ටු වෙලා හති වැටිලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පොඩි වෙනසක් ඕන කියලා තමයි මේක බලන්න තෝරගත්තේ. පෝස්ටරේ ලස්සනට තිබ්බා. නමත් ලස්සනයි. හොඳ රොමෑන්ස් ගතියක් ඇති කියල හිතාගෙනම සැදී පැහැදී බලන්න ගත්තා. පුදනකොටම කාපි යකා. පටන් ගන්නකොටම මේකෙත් අභිරහස් ඝාතනයක්. ජෝකර් කියලා සීරියල් කිලර් කෙනෙක්. පේන විදිහට නම් විලකින් ගොඩගත්ත මේ කාන්තා මළසිරුර අයිති වෙන්නේ කථාවේ ප්‍රධාන චරිතයට. කඩවසම් පොලිස් නිලධාරියෙක් ඇය වෙනුවෙන් කඳුළු හලනවා. ඉතින් හිතාගන්න පුළුවන් ඔහු ඇගේ කවුද යන වගත්. එතකොට අපිට මේ බලන්න වෙන්නේ ඇයට හිමි අතීත කතාව. එහෙම තමයි මේ කතන්දරය ආරම්භ වෙන්නේ.

ඩොන්බෙක් කියන්නෙ බජාර් එකට බහින අලුත්ම කෑල්ල. කවුද බොලේ ඇලිස් කියන දෙගිඩියාව තමයි හැමෝගෙම ඇස්වල රැඳිල තියෙන්නෙ. “මේ ලපයි සිපයි කෙල්ලෙක්ට පුළුවන්ද අපේ වැයික්කියට ඇවිල්ලා බිස්නස් කරන්න? බලමු කොච්චර කාලයක් අල්ලන් ඉඳියිද කියලා?” එහෙම තමයි වැයික්කියේ වට්ටි අම්මලා ටික හිතුවේ. ඩොන්බෙක් මේ හැමෝටම වඩා පෙනුමයි. වැදගත් පාටයි. ගොඩාක් තරුණයි. තැලිල පොඩිවෙලාම නෑ වගෙයි. ඒත්? මෙන්න පුංචි බබෙක්? එතකොට මෙයා අම්මා කෙනෙක්. කෝ හස්බන්ඩ්? ළමයගෙ තාත්තා? සිංගල් මාම් කෙනෙක්? බාර් එකක් දාන්නයි හදන්නේ? තාත්තෙක් නැති ළමයෙක්වත් හදන ගමන්? යකාගෙ කෙල්ලෙක්නේ? ඩොන්බෙක් මේ පළාතට අඩිය තියපු දා ඉඳන්ම වටේම ගෑනුන්‍ට හරියට ප්‍රශ්න. ඒකෙ අමුත්තකුත් නෑ. ඩොන්බෙක් වගේ කෙනෙක්ට කොහෙත්ම නොගැලපෙන ව්‍යාපාරයක් තමයි එයා මේ පටන් ගන්න යන්නේ. වටේම ගෑනුන්ගෙ ඉරිසියාවටත්, පිළිකුලටත් භාජනය වෙන්නෙම සිංගල් මාම් කෙනෙක් බාර් එකක් ඇරපු කාරනාවටමයි.

ඩොන්බෙක් කියන්නෙ දිරිය කාන්තාවක් විදිහට නෙමේ මේ පළාතේ කොහොමත් ගණන් ගැනෙන්නෙ. අනික පමණට වඩා ආචාරශීලී නිසාමත්, අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බඳු නිසාමත්, තරාතිරමක් නැතුව හැමෝටම ඔළුව පාත් කරන නිසාමත් කොයි මොහොතකවත් ඩොන්බෙක් ව ඇගයීමට ලක්වෙන්නෙ නෑ තව තවත් කොන් වෙනවා මිසක්. මේ බලන්න ලැබෙන්නේ සමාජෙන් බැට කමින් ජීවිතේ දිනන්න වෙර දරන්නියකගෙ කතන්දරයක්ද කියල හිතෙනකොටම ඩොන්බෙක් ට පිස්සු වැටෙන ආදරවන්තයෙක් කඩන් පනිනවා කතාව මැද්දට. ඊට පස්සෙ මේක වෙනම රස සාගරයක්. අර ජෝකර් කියන දාම ඝාතකයාත් කථාවේ අතරින් පතර හොල්මන් කරන නිසා කුතුහලාත්මක ත්‍රිලර් බවකුත් මේ ඇතුළෙ ගොඩනැගෙනවා. ඩොන්බෙක් ගෙ පස්සෙම වැටෙන පිස්සු ආදරවන්තයා සහ ඩොන්බෙක් ට නිරන්තරයෙන්ම කරදරයක් වෙන පාර්ශ්වයන් අතර සිද්ධ වෙන ගැටුම් නිසාම ලොකු වින්දනාත්මක බවකුත් දැනෙනවා.

අනුවේදනීය තැන්, හෘදයාංගම තැන්, ආදරය ඉතිරෙන තැන්, හාස්‍යයෙන් පිනායන තැන්, කුතුහලයෙන් උද්දාමයට පත්වෙන තැන් ආදී වශයෙන් හැම ජාතියකම දේවලින් සපිරුණු මිශ්‍රණයක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම මෙයින් හමුවන චරිත එක්කම තමයි තමයි කතන්දරයේ වින්දනය වඩාත්ම දැනෙන්නේ. ඩොන්බෙක් ගේ බාර් එකේ ගුප්තකාරී සේවිකාව සහ කවදහරි දවසක මමයි මෙහේ ආණ්ඩුකාරයා වෙන්නෙ කියල පාරම් බානා උද්ධච්චයා කියන චරිත දෙක අනපේක්ෂිතව අපේ වැඩි අවධානයක් දිනාගන්න සමත් වෙනවා. වෙලාවකට අපිට ඩොන්බෙක් ගෙ අවුරුදු අටේ පොඩි පුතාව අර විල මැද්දට උස්සල වීසි කරල දාන්න තරම් හිතෙනවා. ඩොන්බෙක් පස්සෙ වැටෙන අර කොල්ලව කොයි වෙලේක හරි දෙකට පැලිල යයිද කියල හිතෙනවා ඒ ආදරේ නිසා. ඒ අස්සෙ අර ජෝකර් කියන සීරියල් කිලර් කියන්නෙ කවුද කියන අභිරහසත් අනාවරණය කරගන්න වෙනවා. අවසානය වෙනකොට නොහිතපු විදිහට වෙනමම චරිතයක් කතාව ඇතුළේ දැවැන්තව ඉස්මතු වෙනවා. මේ කොරියන් කතා ආගමක් කරගත්ත ඈයෝ ගැන තව දුරටත් පුදුම වෙන්න හේතුවක් නැති බව හොඳටම තේරෙනවා.

එකී මෙකී නොකී බොහෝමයක් දේ එක්ක රිලෑක්ස් මයින්ඩ් එකකින් හොඳ වින්දනාත්මක බවක් ලබන්නට හැකි කතා මාලාවක් බවට කිසිම විවාදයක් නෑ. සාමාන්‍යයෙන් කොරියන් කථාවල ආත්මය බවට පත්වෙන සීරියල් කිලර් කොටස නොතිබ්බත් ප්‍රශ්නයක් නෑ. මිණීමරුවව හෙළිදරව් වීම තුළ ලොකු ට්විස්ට් එකකුත් නෑ මේ ඇතුළෙ සිද්ධ වෙන අනිකුත් ඩ්‍රාමා කොටස් වලට සාපේක්ෂවවත්. ඒ නිසාම සම්මාන උළෙලවල් කීපයකදීම 2019 වසරේ හොඳම ටෙලිනාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරරචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම ළමා රංගන ශිල්පියා සහ හොඳම නවක නිළිය ආදී වශයෙන් ලැබෙන්න ඕන හැම සම්මානයක්ම දිනපු නිර්මාණයක් මේක. ඒ නිසා බලන්නම වටිනවා. එපිසෝඩ් 40 ක් කිව්වම බයවෙන්න ඕන නෑ. පැය බාගෙ එපිසෝඩ්ස්. ඒ කියන්නෙ සාමාන්‍ය පරිදි පැයේ එපිසෝඩ්ස් 20 ක්.

*****************************************************

Directed by : Cha Yeong-hoon
Written by : Lim Sang-choon
Produced by : Kim Hie-yeol
Starring
Gong Hyo-jin
Kang Ha-neul
Kim Ji-seok
Son Dam-bi
Kim Kang-hoon
No. of episodes : 40[a] + 4 special episodes

Download

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *