Vinodhaya Sitham (2021) Tamil by Himashi Indrachapa
Fantasy Drama
ගූගල් පරිශීලක දර්ශකය 98%
IMDB 8.4/10
ඔයාට යන්න වේලාව ඇවිල්ල තියෙන්නේ. එන්න මාත් එක්ක යමු…..
කොහෙද මේ යන්න කතා කරන්නේ ? කවුද මේ කතා කරන්නේ ?
වෙන මොහොකටවත් නෙවෙයි මේ කතා කරන්නේ. මැරෙන්න කතා කරන්නේ.ඒ කියන්නේ ඔයාගේ වේලාව ඉවරයි. ඉතින් ඔයාට සිදධ වෙනවා ඔයාගේ ජීවිතෙන් සමුගන්න.
පරසුරාම් කියන්නේ හොඳ ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙක්. සල්ලිය භාගෙත් යහමින් තියෙනවා මෙයාට. පරසුරාම්ට ඉන්නවා පුතෙකුයි, දූලා දෙන්නෙකුයි. පුතානම් ඉන්නේ ඇමෙරිකාවේ.
මෙයාගෙයි එයාගේ බිරිඳ ඊශ්වරීගෙයි විවාහ සංවත්සරය ජයටම ගන්න මේ පවුලේ උදවිය ලෑස්ති වෙනවා. පරසුරාම් මේ වේලාවේ ව්‍යාපාර ගමනක් යන ගමන් ඉන්නේ. ඉතින් මෙයාගේ බිරිඳයි, පුතයි, දුලා දෙන්නයි හැමෝම වීඩියෝ කෝල් එකකින් විවාහ සංවත්සරය ප්ලෑන් කර කර ඉන්නේ මෙයත් එක්ක ඒ වේලාවෙි. ඒත් අවසානව කියන්නේ මේ හැමෝම බලන් ඉද්දීම පරසුරාම් ආපු කාර් එක අනතුරට පත් වෙනවා. වැඩේ කියන්නේ රියදුරා බේරිලා පරසුරාම් ඒ වේලාවේ මැරෙනවා.
ඊට පස්සේ මොකක් වෙන්න ඇත් ද ?
සමූතිරාකරනිගේ අධ්‍යක්ෂණයෙන් 2021 ඔක්තොම්බර් මස 13 වන දින ZEE5 හරහා බෙදා හරින වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ගෙන දෙන සිනමා සිත්තමක් තමයි “Vinodhaya Sitham ” කියන්නේ. ශ්රීවාත්සන්, විජී හා සමූතිරාකරනිගේ තිර රචනයෙන් හැඩුවුණු මෙහි නිෂ්පාදනය Abirami Media Works වෙනුවෙන් අභිරාමි රාමනාදන් හා නල්ලම්මායි රාමනාදන් විසින් සිදු කරන ලදි.
සමූතිරාකරනි හා තම්බි රාමයියා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ඊට අමතරව ශ්‍රී රන්ජිනි,ජයප්‍රකාශ්,බාලාජි මෝහන් ඇතුළු තවත් නළු නිළියන් රැසක් සෙසු චරිත වෙනුවෙන් රංගනයෙන් දායන වෙයි. සී.සත්‍යාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම චිත්‍රපටයේ විශේෂත්වය නම් එකදු ගීතයක්වත් අඩංගු නොවීමයි.නමුත් සංගීතය තමන්ගේ කාර්යය සාර්ථකව සිදු කර ඇති බවට විවාදයක් නැත.සත්‍යාගේ සංගීත ඛණ්ඩ කතාවේ ගලායෑමට තවත් විචිත්‍රත්වයක් එක් කර ඇත.
කතා සංකල්පය අතින් ද නවමු මුහුණුවරක් ගන්නා මිනිත්තු 99ක් පුරාවට දිවෙන “Vinodhaya Sitham” කිසිදු කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයකි.
මිනිසුන් කෙතරම් අසාවන්, බලාපොරොත්තු පසුපස දුවමින් ධනය,වස්තුව රැස් කළ ද අවසානයේ නික්ම යෑමට සිදුවන්නේ ඒ කිසිවක්වත් රහිතවය. උපදින්නේ හිස් අතින් මැරෙන්නේ ද හිස් අතිනි. බිරිඳ, දූ දරුවන් කවුරු අපට මොනතරම් ආදරය කරත් ඔවුන්ට අප සමඟ මරණයේදි පැමිණීමට නොහැකිය.
අපට අපේ මරණය කෙසේ කවදා සිදුවේවිද දැයි තීරණය කිරීමට ද නොහැක. එය තව වර්ෂයකින් හෝ තව මාස කිහිපයකින් ද සිදුවිය හැකිය. නැතහොත් මේ මොහොතේ දැන් ද සිදුවිය හැක. ජීවිතය එතරම්ම අනිත්‍යය.එවන් තත්වයක දි තරඟකාරි වටපිටාවක් තමන් අවට තමන් විසින්ම මවා ගනිමින් හැල්මේ දුවන සමාජය උපහාසයෙන් යුතුව රඟ දකවමින් එමඟින් ආදර්ශයක් ද ලබාදීමට “Vinodhaya Sitham ” සමත් වී ඇත. එනම් ජීවිතයේ අනිත්යාතවයයි. මිල මුදල්, වස්තුව, ගෞරවය, තරාතිරම යන කිසිවක් මරණය හමුවේ බල නොපාන බවයි. මරණයේදි සෑම පුද්ගලයෙක් ම එක හා සමානය. එමෙන්ම මෙහි අපට අපගේම ජීවිතය පිළිබඳ තීරණය කිරීමට නොහැකිව අප කෙලෙස ද තවත් නෙක්ගේ ජීවිතයක් තීරණය කරන්නේ ද යන්නත් මනාව පෙන්වා දී ඇත.
මෙහිදි කවදත් මෙන් සමූතිරාකරනිගේ රංගනය විශිෂ්ටය. තම්බි රාමායියා ද තමන්ගේ සුපුරුදු කවටයාගේ භූමිකාවෙන් එළියට ඇවිත් නමුත් සුපුරුදු හාස්‍ය රසයෙන්ම ඔහුට නොදෙවෙනි රංගනයක් ඉදරිපත් කරයි.
විචාරක පැසසුම් අතින් ද ඉතා හොඳ මට්ටමක සිටින ” Vinodhaya Sitham ” සැබැවින්ම ඔබත් ඔබට සුපුරුදු රාමුවෙන් පිටතට පැමිණ නැරඹිය යුතුම චිත්‍රපටයකි.බොහෝ විට මෙවැනි චිත්‍රපට ඔබ වුවමනාවෙන්ම මඟහරිනවා විය හැක. නමුත් මෙමඟින් ඔබට අවශ්‍ය රස වින්දනයත් අවසානයේ හොඳ ආදර්ශයකුත් ලබා ගැනීමට හැකි වනු නොඅනුමානයි.
එනම් ආරාධනා කරනවා හැමෝටම සුපුරුදු ආදරණීය රාමුවෙන් මඳකට එළියට ඇවිල්ලා මේ වගේ නවමු අත්දැකීමකුත් විඳින්න එන්න කියලා.
අවසානයේ,
ජීවය නම්,තණ අඟ රැඳි
දිය බිඳුවක්ම ය
කොයි වේලේ නම්
වියැකේ දැයි නොදන්නා…..