Vijay Indian Actor | Sinhala Article

Vijay Indian Actor by Jegan Ganeshan

කෙනෙකුගේ ජයග්‍රහණය පිටුපස කාන්තාවක් හෝ පිරිමියෙකු සිටිනවා කියලා බොහෝ අය කියනවා, නමුත් මාගේ ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ අවමන් හා පරාජයන් පමණයි… මෙය එක්තරා වේදිකාවක දී අපගේ කතානායකයා වන ජෝශෆ් විජෙයි නොහොත් තලපති විජෙයි පැවසුව දෙයක්.

1974 ජූනි 22 වන දින එස්.ඒ චන්ද්‍රසේකරන්ට හා ශෝභාගේ කුළුඳුල් දරුවා ලෙස උපදින ජෝශෆ් විජෙයි ය. විජෙයිගේ පියා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු වන අතර ඔහුගේ මව චිත්‍රපටි නිෂ්පාදිකාවක් හා ගායිකාවක් ලෙස කටයුතු කළෝය. විජෙයිට තවත් සහෝදරියක් විය යම්තම් ඇයට අවුරුදු දෙකක් වුණා පමණයි. විජෙයිගේ පවුලේ අය නොසිතු අයුරින් ඇය මෙලොවින් සමුගත්තා ය. ඉන් පසුව තනි වූ විජෙයි හුදෙකලාව සිටිමට වැඩියෙන් ප්‍රිය කරන්නට විය. එම සිදුවීමෙන් ඔහු අන් අය සමග කතා කිරීම අඩු කළේය. එද තවමත් ඒ අයුරින් පවතියි. වේදිකාවක දී වූවත් කතා කරන්නේ ඉතා අපහසුවෙන් බව අපට නිතරම හැගෙන්නේ එම නිසයි. ශ්‍රී ලංකීක හා බි්‍රතාන්‍ය සම්භව්‍ය ඇති සංගීතා නම් තරුණියක් සමග විවාහ වන විජෙයිට දැන් දෙදරු පියෙකි.

1992 දී කුළුඳුල් සිනමාවට අත්පොත් තබන විජෙයි, පළමු චිත්‍රපටිය ලෙස තෝරාගනු ලැබුවේ නාලෛය තීර්පු චිත්‍රපටියයි. විජෙයි ගැන කතා කරන්නට පෙර අප ඔහුගේ පියා ගැන දැනගත යුතුමයි. එකල හොඳ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔහු ඉන්දිය සිනමාවේ වැජඹුණේය. අද බොහෝ අධ්‍යක්ෂකවරුන් දේශපාලනමය මාතෘකා ගැන කතා කළද මීට වසර 25කට පෙරම ඔහු එම මාතෘකා ගැන කතා කළේය. එවක ඉන්දීයානු තරුණයන් අතර කෙසේ හෝ නළුවෙක් විය යුතු යන්න භීෂණය පැතිර යමින් තිබුණි. ජෝශෆ්ද එයට හසුවිය. මෙයට ප්‍රධානතම හේතුවල ලෙස ඔහු පෙන්වා දෙන්නේ රජිනිගේ රංගනයට වශීවීම බවයි. නමුත් විජයිට කැමරාව ඒ තරම් අලුත් දෙයක් නොවිය. ඔහු මීට පෙර ළමා චරිත කිහිපයක්ම රග දක්වා තිබීමයි. මුල් කාලයේ දී විජයගේ රූපය ගැන දැඩි විමර්ශන එල්ල විය. විජයිව හොඳ නළුවෙක් කළ යුතුයි කියන වගකීම තම කරමතට ගත් ඔහුගේ පියා දිගින් දිගටම විජෙයිගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේය. නමුත් ඒවා නොසිතු අයුරින් අසාර්ථක විය. මුල් කාලීන විජෙයිගේ චිත්‍රපටි යම් ප්‍රමාණයක් ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව වූයේ එහි දෙපිට කැපෙන වදන් හා පොඩි සෙක්සි ගතියක් තිබීමයි. විජෙයි රගපා ඇති චිත්‍රපටි 63 අතුරෙන් 18කම අධ්‍යක්ෂණය කර ඇත්තේ ඔහුගේ පියාය.

1996 යනු විජෙයි සිනමා ගමනේ හැරවුම් ලක්ෂය විය. අධ්‍යක්ෂක වික්‍රමන්ගේ චිත්‍රපටිය වන පූවේ උනකාග චිත්‍රපටිය ඔහුට ලැබෙන්නේ දෙවියන් දුන් තෑග්ගක් ලෙසයි. දින 200ක් පුරාවට තිරගත වූ මෙම චිත්‍රපටියෙන් පසුව ඔහු වටා ෆැමිලි ඕඩියන්ස් එක්රොක් වන්නට විය. ඉන්පසුව වෙනස්ම කතාංග සහිත චිත්‍රපටිවලට ඔහු රංගනයෙන් එක්විය. වසර කිහිපයක් ගත විය. ජයග්‍රහායි චිත්‍රපටියට ඔහු අසල පැමිණෙයේ නැත. නැවතත් ඔහු වෙත ලව් ඩුඬේ හා වන්ස් මෝර් චිත්‍රපටි නැවතත් ඔහු බ්ලොක්බස්ටර් නළුවෙක් කරන්නට සමත් විය. වන්ස් මෝර් චිත්‍රපටියේ සිවාජි ගනේෂන් සමග එක්වීමට මා ලද භාග්‍යයක් යැයි නිතරම විජෙයි ප්‍රකාශ කරනවා. මෙතුවක් කල් ඇක්ෂන් හීරෝ කෙනෙක් හැටියට ක්ෂේත්‍රයේ සිටි විජෙයි රොමැන්ටික් චිත්‍රපටිවලට රංගනයෙන් එක් විය. ඔහුගේ ජනප්‍රියත්ව තවත් ඉහළ යන්නට විය. තරුණියන්ගේ සිත ඔහු විසින් සොරාගන්නා ලදි. තමන් මෙන්ම පියා නිසා චිත්‍රපටි ක්ෂේත්‍රයට පැමිණි සූර්යා චිත්‍රපටි අවස්ථා නොමැතිව සිටිය දී ඔහුට සහය දීමට තමන්ගේ චිත්‍රපටියට සූර්යාව සම්බන්ධ කරගැනීමට තරම් ඔහු නිහතමානී විය. මීට පෙර ද අවස්ථා නොමැතිව සිටි අජිත්ව තම චිත්‍රපටියකට සම්බන්ධ කරගෙන තිබීමත් විශේෂත්වයක්. සිනමා විචාරකයන් බොහෝ දෙනා පවසන්නේ විජයි සමග රගපෑමෙන් නළුවාට හෝ නිළියට වාසනාවක් ගෙන දෙන බවයි. එය සත්‍යය ද අසත්‍යය ද කියා නොදනිමු නමුත් අජිත් හා සූර්යාට විජෙයි සමග රගපෑමෙන් පසුව ඔවුන්ට අවස්ථා එක දිගට ගලා එන්නට විය. සිම්රන් ද ජනප්‍රිය වීමට පටන් ගත්තේ වන්ස්-මෝර් චිත්‍රපටියෙන් පසුව බවයි සියලු දෙනාගේ අදහස.

මෙසේ කාලය ගෙවි යද්දි කාදලුක්කු මරියාදෛ චිත්‍රපටියෙන් නැවතත් තරුණ – තරුණියින්ගේ සිත් වශිකරගැනීමට විජෙයි සමත් විය. ඉන් පසුව ප්‍රියමුඩන් චිත්‍රපටියේ දුෂ්ඨ පෙම්වතෙකුගේ චරිතයක් නිරූපණය කළේය. 1999 දී නැවතත් සාර්ථක චිත්‍රපටියක් ඔහු වෙත පැමිණියා, තුල්ලාද මනමුම් තුල්ලුම් නැවතත් අපට විජෙය හා සිම්රන් එකතු විය. එහි අඩංගු බොහෝ ගීත අදත් මනසේ රැදි ඇති අයුරින් නිර්මාණය වී තිබුණි. විජෙයිගේ සිනමා ගමනේ කොටස් දෙකකි. ඉන් මුල් අදියර සෙල්ලක්කාර තරුණයෙකු ලෙස රංගනයේ යෙදුණ අතර ඉන්පසුව නිහඩ විජෙයි කෙනෙක්ව අපට දැක ගත හැකි වුණා. නමුත් 2000න් පසුව මෙහි සමිශ්‍රණයක් ලෙස විජෙයි නව ගමන් ආරම්භ කරන්නට විය. එහි දී කුෂි, කන්නුකුල් නිලව් වැනි චිත්‍රපටි ඔහුගේ රංගනයෙන් තිරගත විය. දෙවන වතාවටත් සූර්යා සමග ෆ්‍රන්ඞ්ස් චිත්‍රපටියට එක්විය. එහි දී ඒ සමයේ විකට නළුවෙක් ලෙස ඉහළින් සිටි වඩිවේලු සමග එක්විය. එහි තිබු කොමඩි සීන් අදත් ජනතාව අතර කතාබහට ලක් වන්නේය. ඉන්පසුව තවත් බොහෝ චිත්‍රපටි තිරගත විය. ඒවා ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වූවා පමණක් නොව ධනාත්මක විචාරද ගලා එන්නට විය.

මෙපමණක් දවස් ආදරවන්තයෙක් ලෙස සිටි විජෙයි ඇක්ෂන් හීරෝ කෙනෙක් ලෙස ජනතාව අතරට පැමිණියේ තිරුමලෛ චිත්‍රපටිය හරහායි. ඉන්පසුව තිරගත චිත්‍රපටි නැවතත් සුපුරුදු ලෙස අසාර්ථක විය. විජෙයි හා ඒ.ආර් රහුමාන්ගේ සුසංයෝගයෙන් උදයා චිත්‍රපටිය තිරගත විය. මෙය සිම්රන්ගේ හා විජෙයි එකතු වූ අවසන් චිත්‍රපටියද මෙයයි. 2004 දී විජෙයිගේ සිනමා ජීවිතයේ නව පිටුවක් ආරම්භ විය. විජෙයි ත්‍රිෂා සුසංයෝගය ආරම්භ වූයේ ද මෙම චිත්‍රපටිය හරහායි. එය නමින් ගිල්ලි විය. මෙම චිත්‍රපටිය අතිසාර්ථක වන්න හේතුවක් වූයේ විජෙයිගේ සියලු රසිකයන් එකතු කළ චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ඉන්පසුව ඔහුගේ නිර්මාණ දිගටම ඇක්ෂන් සහිත නිර්මාණ විය. 2005 දී තිරගත වූ සචින් චිත්‍රපටිය ජනතා ප්‍රසාදයට ලක් විය. ඊට හේතුව නැවතත් ඔහුගේ පැරණි රසිකයන්ට පුදුරු ප්‍රේමනීය විජෙයි කෙනෙක්ව දැකගත හැකි වීම නිසයි. පුතා වෙනුවෙන් තමන්ගේ තත්ත්වය නැති කරගත්ත පියා වෙනුවෙන් සුක්රන් චිත්‍රපටියට රංගනයෙන් එක්වූවත් චිත්‍රපටිය ඒ තරම් සාර්ථක නොවිය. මේ වනවිට ඒකාකාරී චිත්‍රපටි රැසක් විජෙයිගෙන් ලැබුණ නිසා ඔහුගෙන් බොහෝ රසිකයන් ඈත් වන්නට විය. 2006 දී තිරගත වූ ආදි චිත්‍රපටි දැඩි අසාර්ථක විය. ඉන් පසුව වසරක් යනතුරු ඔහුගේ චිත්‍රපටියක් තිරගත නොවිය. මේ වනවිට ඉන්දියාව තුළ ද විජෙයි විරෝධි රැල්ලක් ඇති වෙමින් තිබුණි.

සාර්ථක චිත්‍රපටියක අවශ්‍යතාවයකින් සිටි විජෙයිට ප්‍රභූදේවාගේ පෝක්කිරි චිත්‍රපටිය ලැබුණි. එය අතිසාර්ථක විය. දකුණු ඉන්දීයාවේ පමණක් නොව කේරළාවල ද එම චිත්‍රපටිය දින 100ක් තිරගත වුණි. ඉන්පසුව වසර පහක් දක්වා තිරගත වූ චිත්‍රපටි සියල්ලම අසාර්ථක විය. රසිකයන්ගේ දැඩි දෝෂාරෝපණවලට ලක් විය. විශේෂයෙන්ම කුරුවි චිත්‍රපටියේ තිබු සටන් ජවනිකා ප්‍රේක්ෂකයන්ව පුදුම කළේය. මීටර 500ක් පමණ පියාඹා යෑම වැනි දසුන් ඊට ඇතුළත් විය. විල්ලු චිත්‍රපටියේ නයන්තාර සමග එකතු වීමේ අවස්ථාව විජෙයිට ලැබුණි. නමුත් චිත්‍රපටිය සාර්ථක නොවිය. විජෙයිගේ 50 වන චිත්‍රපටිය ලෙස තිරගත කළ සූරා සෘණාත්මක විමර්ශනයට ලක් විය. නැවතත් විජෙයිගේ සිනමා ජීවිතය වෙනස් කළ චිත්‍රපටිය කාවලන් චිත්‍රපටියයි. එය අතිසාර්ථක නිර්මාණයක් විය. විජෙයිගෙන් ඈත්ව යන රසිකයන් නැවතත් ඔහු වෙත ගෙන ඒමට ඒ හරහා හැකි විය. 2012 වසර ඔහුගේ සිනමා ගමනේ සාර්ථක වසරක් යැයි කීමට හැක ජනවාරි මාසයේ තිරගත වූ නන්බන් චිත්‍රපටියත් දීපවාලිවලට තිරගත කළ තුප්පාක්කි චිත්‍රපටියත් ජනතා ප්‍රසාදයට හා විචාරකයන්ගේ පැසසුමට භාජනය වුණි. තුප්පාක්කි චිත්‍රපටියෙන් පසුව විජෙයි මනි මේකිං නළුවෙක් ලෙස හඳුන්වා දෙන්න සිනමා විචාරකයන් විසින් සිදුවිය. ඉන්පසුව රංගනයෙන් දායක වූ තලෛවා, ජිල්ලා වැනි චිත්‍රපටිවලට දැඩි විමර්ශන එල්ල වූවත් මුදල් ඉපයීම අතින් සාර්ථක විය. නැවතත් ඒ.ආර් මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයෙන් කත්ති චිත්‍රපටිය රසිකයන්ට හොඳ භෝජනයක් විය. නැවතත් සුපුරුදු පරිදි අසාර්ථක චිත්‍රපටි තිරගත වන්නට විය. ඉන්පසුව තෙරි, මෙර්සල්, සර්කාර් සහ බිගිල් චිත්‍රපටි හේතුවෙන් ජනතාව අතර නැවතත් විජෙයි ගැන කතාබහක් ඇති කරන්න සමත් විය.

විජෙයිගේ නර්තන හැකියාව ගැන බොහෝ දෙන්නා දන්නා කරුණකි. තිරුමලෛ චිත්‍රපටියේ ලෝරන්ස් සමගත් විල්ලු චිත්‍රපටියේ ප්‍රභූදේවා සමගත් ඔහු කළ නර්තනය කාගෙත් කතා බහට ලක් විය. නර්තනය පමණක් නොව ගීත ගායනයටත් ඔහු දස්කම් දක්වයි, මේ දක්වා ගීත 30කට අධික සංඛ්‍යාවක් ඔහු ගායනා කර ඇත.

ජෙගන් ගනේෂන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *