Vendhu Thanindhathu Kaadu (2022) Tamil | Sinhala Article

Vendhu Thanindhathu Kaadu (2022) Tamil by Janidu Raajakaruna

Muthuveeran ගේ පිබිදීම – ‘Vendhu Thanindhathu Kaadu’

??? ???

? චිත්‍රපටය ක් බලන්න අපිට හිතෙන්නේ තමන් ආස කරන නළුවෙක්, නිළියක් එහෙමත් නැත්නම් තමන් ආස කරන චිත්‍රපට ශානරයක් හින්දමයි. ඒත් එතනින් එහාට ගිහින් තමන් ආස කරන චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු, සංගීත අධ්‍යක්ෂක වරයෙකු දායක වෙමින් තමන් ආස කරන නළුවෙක් වගේම තමන් කැමැති ම ශානරයත්, මේ කියන සියල්ල ම සමපාත වේ නම් එවැනි චිත්‍රපටය ක් නැරඹීම මඟ හැරීමට තරම් හේතු මට නොමැත.

✅ Simbu-GVM-ARRahman සුසංයෝගයෙන් අප හමුවේ අහිංසක තරුණයෙක් අවසානයේ දී මැරවරයෙකු බවට පත්වීමේ කථා පුවත අප මින් පෙර දැක නොමැති අයුරින් ප්‍රේක්ෂකයා හමුවට ඉදිරිපත් කරයි. ඒ වෙනස් ආකාරය නිසාවෙන් ම ප්‍රේක්ෂකයා චිත්‍රපටය ට ආලය කිරීමට පටන් ගනී.

➡️ චිත්‍රපටයේ ප්‍රධාන අර්ධය තරමක් සෙමින් ගලා යන බවට බොහෝ විචාරකයින් අදහස් පළ කර තිබුණද පළමු අර්ධය පුරාවටම ප්‍රේක්ෂකයා ගේ දෙනෙත් වෙනත් දිශාවකට යොමු නොවේ. චිත්‍රපටය මන්දගාමී නොවෙයි.

නරඹන්නන් ගේ දෙනෙත්, මනස හා එක්තැන් ව Muthuveeran සමඟින් ගමනේ යෙදෙන්නට වන්නේ ඉදිරියේදී කුමක් සිදුවේ දැයි සිතමිනි. නිර්මාණකරුවන් පළමු අර්ධය තුළ සීරුවෙන් සිය තිර පිටපත අප වෙත චිත්‍රණය කරවයි. චිත්‍රපටය පුරාවට ම Simbu සිය චරිතය ට සම වැදී අපද ඔහුගේ රසිකයන් බවට පත් කරගන්න ට සමත් වෙයි. සිය ප්‍රථම දමිළ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන Neeraj Madhav ද සිය චරිතය මනා ලෙස නිරූපණය කරමින් කථාවේ වැදගත් ම තැනක් අත්පත් කරගන්නට සමත් වෙයි. චිත්‍රපටය සඳහා රැප් ගීතයක් රචනා කරමින් සහ එය ගායනා කරමින් ද ඔහු රංගනයට එහා යමින් සිය දායකත්වය ලබා දී ඇත. සිය චිත්‍රපටයේ ආරම්භයේ දී ඇවිළී යන ගින්න පන්නරයක් කරගනිමින් Muthuveeran සිය ජීවිතය තුළ ගිනි පුපුරක සිට මහා ගින්නක් දක්වා වර්ධනය වන අයුරු අප මේ චිත්‍රපටය හරහා අත්දකින්න ට වන්නේ ය.

? මෙහි පසුබිම් සංගීතය මනා ලෙස අපව මෝහනයට පත් කරමින් අපව නැවත නැවතත් කථාව තුළම ජීවත් කරවයි. චිත්‍රපටයේ එන ගීත සෑම එකක් ම දෙසවන් පිනවන මියුරු සංගීතය ක් ම වෙයි. A.R. Rahman ගේ සංගීතය ඔහුගේ ම ස්වරය හා මුසුව ‘Marakkuma Nenjam’ ගීතය අපව අමුතු ආකාරයේ ප්‍රහර්ෂයකට පමුණුවයි. ගීතය එක් වරක් ඇසුණු විට නැවත නැවතත් ඇසීමට සවන් ආශා වන්නේ අපටත් නොදැනීම යි. ‘Marakkuma Nenjam’ ගීතය Muthuveeran ගේ ජීවන චාරිකාව ගඟකට උපමා කර ඇත.

‘කොතනින් ඇරඹේ ද

කොතනින් අවසන් වේද

කොතනින් ඇරඹේ ද

කොතනින් අවසන් වේද

ගංගාවක ගේ ගමන ….”

මොන හැළ හැප්පීම්, බාධක පැමිණියද, Muthuveeran ඉදිරියටම ගමන් කරන්නට වන්නේ ය.

පළමු අර්ධය තුළ අන්තර්ගත වන ‘Mallipoo’ ගීතය චිත්‍රපටයේ කතාව තුළ අන්තර්ගත කර ඇති ස්ථානය ත්, එය ප්‍රේක්ෂකයා හමුවට පමුණුවන ආකාරයත් වෙනස්ම ආකාරයේ අත්දැකීමකි. ‘Unna Nenechadhum’ ගීතයේ ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතුන් දෙදෙනකු ගේ සංවාදයකි. පෙම්වතා එක් ආදර වදනක් තෙපළන විට, ඔහු එය නැවතූ තැනින් පෙම්වතිය සිය ආදර වදන් තෙපළයි, ඇය නවතන තැනින් නැවත පෙම්වතා සිය ආදර වදන් අරඹන්න ට වන්නේ ය. මෙහි පෙම්වතා සහ පෙම්වතිය සිය ආදරණීය සිහින ගීතමය ස්වරයකින් අප වෙත ගෙන එන අයුරු ඉතා රසවත්ය. Shreya Ghosal සිය මධුරම ස්වරයෙන් මෙය ගයන්නේ අපව මන්මත් කරවමිනි.

? පළමු අර්ධය අවසන් වන්නේ ප්‍රේක්ෂකයා ව රසවින්දනයේ ඉහළම තැනක තබමිනි. “ඒ මොකද ඒ වුණේ ? ” යන ප්‍රශ්නය අප මුවින් ඉබේට ම පිටවනු ඇත. දෙවන අර්ධය ප්‍රේක්ෂකයා හමුවට ප්‍රශ්න රැසක් ම ඉදිරිපත් කරමින් දෙවන චිත්‍රපටය ට අවශ්‍ය පිඹුරුපත් සකස් කරයි. දෙවන අර්ධය තුළ කථාව තේරුම් ගැනීමට උත්සාහ කරනවාට දෙවන චිත්‍රපටය එනතුරු ඉවසීමෙන් යුතුව බලා සිටින ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි.

?️Gautham Vasudev Menon නම් අධ්‍යක්ෂකවරයා ගේ චිත්‍රපටය ක් සිනමාශාලා වක් තුළ නැරඹීමට මා හට ලැබුණේ බොහෝ කලකට පසුව යි. 2016 වසරේ තිරගත වූ ‘Achcham Yenbadhu Madamaiyada’ චිත්‍රපටය Concord සිනමාශාලාව තුළ නැරඹීමට හැකි වීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. ඉන් අනතුරුව වසර 6 කට පසු නැවත වරක් Simbu-GVM-ARRahman සුසංයෝගය අප වෙත රසවත් සිනමා අත්දැකීමක් දායාද කර ඇත. ‘Vendhu Thanindhathu Kaadu’ චිත්‍රපටය සිනමාශාලාවක් තුළ ම නැරඹීමට වග බලා ගන්නා ලෙස අවසන් වශයෙන් මම ඉල්ලා සිටිමි.

 

චිත්‍රපටය : Vendhu Thanindhathu Kaadu Part I: The Kindling

අධ්‍යක්ෂණය : Gautham Vasudev Menon

තිර පිටපත : B. Jeyamohan

නිෂ්පාදනය: Ishari K. Ganesh (Vels Film International)

රංගනය : Silambarasan, Siddhi Idnani, Raadhika Sarathkumar, Siddique, Neeraj Madhav සහ Aangelina Abraham

සංගීත අධ්‍යක්ෂණය : A. R. Rahman.

ජනිදු රාජකරුණා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *