Vellam (2019) Malayalam | Sinhala Article

Vellam (2019) Malayalam by Kosala D Maduraweera

Vellam (2019) – බේබද්දෙකුගේ කතාවක්

⭐⭐⭐1/2 – Very Good

Watched May 30, 2021

“#හැමෝම_කියනවා_බොන_එක_නවත්තපං_නවත්තපං_කියලා_ඒත්_කිසි_කෙනෙක්_කියන්නේ_නැහැ_ඒ_කොහොමද_කියලා”

“ඇබැහිවීම්” වල ස්වරූපය කවරාකාරයේ එකක් වුවද “ඇබ්බැහිවීම්” බොහෝමයක් “සෞඛ්‍යයට අහිතකරය”! අහිතකර නොවන ඇබැහිවීම් තිබිය හැකිද? සාපේක්ෂව “ඔව්”! ඒවා මොනවාද? ඒ සඳහා ලබා දීමට පිළිතුරක් මා සතුව නැත. හේතුව යම් සාධනීය දෙයකට කෙනෙකු අසීමිතව ලොල් නම් එය “ඇබ්බැහිවීමක්” ලෙසින් හඳුන්වා දිය හැකි වුවද තවකෙකුට එය එසේ නොවිය හැකි බැවිනි. එබැවින් සාධනීය ඇබ්බැහිවීම් පිළිබඳව වන කතාබහ පසෙක තබා “සිරුරට හානිකර ඇබ්බැහිවීම් පිළිබඳව වන සාකච්ඡාව වෙත හැරෙමු”.

ලාංකේය ජන සමාජය දෙස හැරී බලන විට “ඇබ්බැහිවීම්වල” විවිධාකාර ස්වරූපයන් හඳුනා ගත හැක. ඒවා අතරින් සුලභ එකකි “මතට ලොල් වීම”! ඔය කුඩු ගහන එකට වඩා දරුණු දේවල් තව තියෙනවද කියලා ඇහුවොත් මම නම් කියන්නේ ඔව් කියලයි! හේතුව පෙළක් අය පුරුදු වෙලා තියෙනවා අසීමිතව බොන අයව ඔය ඛාණ්ඩෙට නොදා ඉන්න. මම නම් හිට ගන්නේ එතැන නෙමෙයි. කුඩු වේවා, කසිප්පු වේවා, අරක්කු වේවා, ගංජා වේවා ඔය ඕනෑම වර්ගයක් සීමාවක් නැතිව අසීමිතව (කුඩුවලට මේ සීමිත අසීමිත කතාව අදාළ වන්නේ නැත) පාවිච්චියට ගන්නවා නම්, ඒවා නිසා තමන්ගේ ජීවිතයට වගේම තමන් වටා ඉන්න අයගේ ජීවිතවලටත් හානිකර ලෙස බලපෑම් ඇති කරනවා නම්, ඒ හැම සියල්ල දරුණුය. වහාම ඒවා පිටුදැකිය යුතුයි.

අප අතර ජීවත් වන ඇතැම් අය ඉන්නවා තමන්ගේ මුළු සේසතම විකුණනලා “බොනවා”. බැලින්නම් මේ ගොයියා ළමයි සහ ආදරබර බිරිඳක් ඉන්න කෙනෙක්. ඒ හැමදේටම වඩා ලොකුයි “මතට තියෙන ලොල් බව”. මට පෞද්ගලිකව එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට එහෙම අයගේ ජීවිත කතාවලට හොඳ අවසානයක් හිමිවෙලා නැහැ. ඒ වගේමයි ඒ අයගේ පවුල්වලටත්! ඔයාලටත් එහෙම කතා ඇහිලා ඇති, එහෙම සිදුවීම් දැකලා ඇති, එහෙම පුද්ගලයන්ව පෞද්ගලිකව දන්නවා ඇති. නමුත් කිසියම්ම අවස්ථාවක ඒ මිනිස්සු තමන් ඉන්න වලෙන් ගොඩ එනවා නම් එතැනින් මතුවට ආයෙත් ජීවිතය ගැන බලාපොරොත්තු තියා ගත හැකි වේවි. නමුත් එවැනි අය බොහෝමත්ම අඩු බවයි “තිත්ත ඇත්ත”.

**Spoiler Alert:
මුරලි කියන්නේ හරිම ලස්සන බිරිඳක් ඉන්න, කුඩා දැරිවියක් ඉන්න, ගෙයක් දොරක් තියෙන කෙනෙක්. නමුත් මිනිහා දරුණුවටම බීමත්කමට ලොක් වෙලා, ඇබ්බැහි වෙලා! මේ නිසාම දවසින් දවස මුරලිගේ ජීවිතය අඳුර විසින් අරක්ගන්නවා මිසෙක ආලෝකමත් වීමක් දැක ගත නොහැක. ඥාතීන් අතරේ පවා පිළිකුලට සහ ප්‍රතික්ෂේප වීමට ලක්වන ඔහු අවසානයේදී සිය දැරියගේ තෝඩු දෙක පවා විකුණා බොන්නට තරම් දරුණු තැනකට ඇද වැටේ. පසුව ඔහුගේ බිරිඳ ඔහු හැරයන අතර ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වනු දැකගත හැකිවේ.

නමුත්, දිනක් අහඹු ලෙස ඔහුගේ පැරණි මිතුරෙකු හමුවන අතර, ඔහු මුරලිව බීමත්කමේ ඇබ්බැහියෙන් ගලවා ගැනීමට පළමු පියවර තබයි. ඔහු මුරලිව පුනරුත්තාපන ආයතනයකට රැගෙන ගොස් බාර දේ. එතැන් පටන් මුරලි “වැටෙමින්, නැගිටිමින්, ආයෙත් වැටෙමින්, නමුත් අවසානයේදී නැගිටිමින්” සිය ජීවිතය වෙනස් කර ගනී. ඒ සඳහා ඔහුට ඔහුගේ ප්‍රිය බිරිඳ අප්‍රමාණව උපකාර කරයි.

**Spoiler Free:
අද මුරලි ප්‍රකෝටිපතියෙක්! විශ්වාස කරන්න බැහැ නේද? මේ තියෙන්නේ ඔහුගේ Facebook Page එක: https://www.facebook.com/murali.nambiar.9
ඔව් මේක ඇත්ත කතාවක්.

“වෙනස් වීම” කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට අත්හදා බැලිය හැකි දෙයක්. අවශ්‍ය කරන්නේ ඒ සඳහා උත්සාහ කිරීමයි. අසාර්ථක වෙන්නට පුලුවනි. නමුත් ආයෙ ආයෙත් උත්සාහ කිරීම තුළින් දිනෙක ඔබට වෙනස් වීමට, වඩාත් හොඳ පුද්ගලයෙක් වීමට හැකියාව ලැබෙනු ඇත.

Jasurya වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රශස්ත රංගනයක නියැලෙන අතර මෙම අපූරු මලයාලම් සළරුව අභිප්‍රේරණීය කතා වස්තුවක් රැගත් එකක්. ඒ නිසාම Motivational සිනමාපටවලට ආසක්ත රසිකයන්ට Vellam කියන්නේ අපූරු නිර්මාණයක්. සාර්ථක විදිහට වැඩේ ගොඩ දා ගත්ත Biographical (චරිත කථාමය) නිර්මාණයක් මේක.

ප.ලි: මෙහි එක් තැනෙක අපූරු දෙබසක් ඇහෙනවා. ඒ තමයි මම ඔය සටහන මුල ලියා තිබෙන “හැමෝම කියලනවා බොන එක නතර කරන්න කියලා. ඒත් කවුරුවත් කියන්නේ නැහැ ඒ කොහොමද කියලා.

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *