Vatsalyam (1993) Malayalam | Sinhala Article

Vatsalyam (1993) Malayalam 

IMDb: 8.4/10

Google Users rating: 96% liked

Drama/World cinema ‧ 2h 35m

පවුල යනු මෙලො⁣ව පවතින කුඩාම සමාජ ඒකකය ලෙස හඳුන්වයි. ප්රධාන වශයෙන්ම මව, පියා සහ දරුවන්ගෙන් සැදුම් ලබන පවුල යනු ආදරය, කරුණාව, අනෝන්යය උපකාරය, පරාර්ථකාමීත්වය ආදී පරම්පරාවෙන් පරම්පරාවට පවරා දෙනු ලබන මානුෂීය ගුණ ධර්මයන් වලට තිඹිරි ගෙය ලෙසද හැඳින්වීමද වරදක් නැතැයි සිතමි.
දකුණු ඉන්දියානු සිනමාව තුළ ‘පවුල’ සහ පවුලක සාමාජිකයින් අතර පවතින බැඳීම තේමාව වශයෙන් ගෙන නිර්මාණය වුනු චිත්රපටි දුර්ලභ නොවේ. අතීතයේ සිටි සිනමාකරුවන් මෙන්ම වර්තමානයේ සිටින තරුණ සිනමාකරුවන් පවා පවුල නමැති තේමාව ප්රතික්ෂේප කර නැති බවට මෑත කාලයේ තිරගත වුනු Namma Veetu Pillai, Kathikudu Singam වැනි ජනප්රිය දමිළ චිත්රපටි උදාහරණ සපයයි.
පියා නොමැති පවුලක වැඩිමල් පුත්රයාට පැවරෙන්නේ සුළුපටු වගකීමක් නොවේ. තමාගේ බාල සහෝදර සහෝරියන්ට ආහාර පාන සපයා දීම, අධ්යාපනය ලබා දීම, ඇඳුම් පැළඳුම් ආදී ඔවුන්ගේ කුදු මහත් අවශ්යතාවන් ඉටු කිරීමද සුදුසු කල පැමිණුන පසුව ආවාහ විවාහ කරදීම ආදී පියෙකු විසින් ඉටු කළ යුතු සියළු යුතුකම් මෙන්ම තම මව රැක බලාගැනීමද අනිකුත් සාමාජීය කටයුතු සඳහා දායකත්වය දැරීමටද පියා නොමැති පවුලක වැඩිමල් පුතුට සිදුවීම අනිවාර්ය කරුණකි.
Valsalyam Movie Poster
අම්බිගා, විජයකුමරන් සහ සුධා කුඩා දරුවන් අවධියෙහි ඔවුන්ගේ පියා මිය යන්නෙ බිරිඳ සහ දරුවන් ණය උගුලකද හිර කර තබමින් ය. ණය අය කරගත නොහැකි වුනු ණය හිමියන් අවසානයේදී උසාවිය දක්වාම යන අතර එහිදී පවුලේ පිහිටට එන්නේ කුන්ජු මාමා නමින් දරුවන් විසින් හඳුන්වන ලබන ඔවුන්ගේ මවගේ ඥාති සහෝදරයෙකි. එතැන් සිට පවුලේ වැඩිමල් පුත්රයා ලෙස පවුලේ බර කරට ගන්නා රාඝවන් කාලයාගේ ඇවෑමෙන් පවුල යම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් වන්නේ තම ස්වෝත්සාහයෙන් වෙහෙස මහන්සිවී ගොවිතැන් කිරීම මගින් ය.
නිසි කලට අම්බිගාගේ විවාහ කටයුතු සිදු කරන ලද අතර ඇය දැන් දෙදරු මවකි. නීති විද්යාලයේ ඉගෙනුම ලබන තම සහෝදරයා වන විජයකුමරන් නීතීඥයකු ලෙස කටයුුතු කරනු දැකීමත්, උපාධිය හදාරන නැගණියගේ විවාහ කටයුතු නිසියාකාරව ඉටු කිරීමත් රාඝවන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. සැබැවින්ම තමන්ගේ දරුවන් දෙදෙනා පිළිබඳව වත් රාඝවන් එතරම් බලාපොරොත්තු තබාගෙන නොමැත.
රාඝවන් ට ඔහුගේ සිතැඟි ඉටු කරගත හැකි වේවි ද?
                                 …………………………………………………………
අධ්යක්ෂණය: කොචින් හනීෆා
පිටපත: A.K. ලෝහිතදාස්
රංගනය:
මම්මුති (රඝුවරන්)
ගීතා (මාලනී; රඝුවරන් ගේ බිරිඳ)
සිද්දික් (විජයකුමරන්)
සුනීතා (සුධා)
රේණුකා (අම්බිගා)
සම්මාන:
මෙහි රංගනය වෙනුවෙන් 1993 කේරළ රාජ්යය සිනමා සම්මාන උළෙලේදී මම්මුති ⁣විසින් හොඳම නළුවා සඳහා වන සම්මානය දිනාගත්තේ ය.
                             ……………………………………………………
සහය නළුවෙක් ලෙස සිනමා ජීවිතය අරඹා පසුව අධ්යක්ෂකවරයෙක් ලෙස අගනා සිනමාපට රැසක් මලයාලම් සිනමාවට දායක කළ ‘කොචින් හනීෆා‘ සහ ඉතා සාමාන්යය සිදුවීමකින් අග්රගණ්ය කතාවක් නිර්මාණය කරමින් මලයාලම් සිනමාව තුළ සිටින විශිෂ්ඨම තිරපිටපත්කරුවෙකු ලෙස අදට ද අවිවාදයෙන් යුතුව පිළිගනු ලබන A.K. ලෝහිතදාස් යන දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවුනු වාසල්යම් අදටත් මලයාලම් සිනමාවේ ශ්රේෂ්ඨ සිනමා නිර්මාණයන් අතර පෙරමුණේ සිටින චිත්රපටිය කි. සිනමා ශාලා තුළ අඛණ්ඩව දින 225 තිරගත වීම ම වාසල්යම් චිත්රපටියට කේරළ ජනතාව ගෙන් ලැබුණු උණුසුම් ප්රතිචාරයට උදාහරණ සපයයි.
අදින් වසර විසි හතකට පෙර එනම් 1993 වසරේ නිර්මාණය වුනු අද පවා කේරළයේ තරුණයින්ට පිරිමි දරුවකු ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් පිළිබඳව පූර්වාදර්ශ සපයන, පවුලක අර්ථය කුමක්දැයි මනාව විදහා පාන අගනා චිත්රපටයකි වාසල්යම්.
Cochin Haneefa

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *