Vagabond (1985) France | Sinhala Article

Vagabond (1985) France Ramitha Vimukthi

(French : Sans Toit Ni Loi)

Vagabond scored 7.7 out of 10 on IMDb.

Vagabond scored 100 percent on Rotten Tomatoes.

Vagabond scored 7.3 out of 10 on FilmAffinity.
82% liked this film Google users

1950-60 කාල සීමාවේ පැවතුනු ප්රංශ නව රැල්ල සිනමාව (French New Wave), ප්රධාන ප්රවර්දනය කිරීමට දායක වුනු සුවිශේෂී අධ්යක්ෂකවරියක් Agnes Varda. ඔබ මෙම අධ්යක්ෂකවරියගේ සිනමා දිවිය දෙස අවධානය යොමු කලොත්, 1985 වර්ෂයේ නිර්මාණය කළ Vagabond චිත්රපටය ඇය කළ නිර්මාණ අතරින් ඉහලින්ම තැබිය හැකි චිත්රපටයක්. මෙය නරඹන අතරවාරයේ Chloe Zhao අධ්යක්ෂණය කළ Nomadland චිත්රපටයද මතකයට පැමිණියා. මෙම චිත්රපට ද්විත්වයම road movies ගණයට අයත් වන අතර, ප්රධාන චරිතය ගොඩ නැගෙන්නේ කාන්තාවක් වටාය. Nomadland චිත්රපටයේ ෆර්න් සහ Vagabond හි අපට මුණගැසෙන මෝනාගේ ඇතැම් චරිත ලක්ෂණයන් අහස පොළොව වූවත්, ඔවුන් දෙපලම සමාන වන අවස්ථාවන්ද එමටය.

Vagabond කෙනෙක් යනු ස්ථිර නිවහනක්, රැකියාවක් සහ අදායම් මාර්ගයක් නොමැති පුද්ගලයෙක්. ඔවුන් ජීවත් වන්නේ සහ ජීවිතය ගැට ගසා ගන්නේ තාවකාලික රැකියාවන් කරමින් නැතිනම් හිඟමනේ යෙදෙමින්. මෙහි ප්රංශ නාමය වන Sans Toit Ni Loi හි අර්ථය වන්නේ ‘නිවහනක් සහ නීතියක් නොමැති’ යනුවෙන්. මෙම කතාවේ අපට මුණගැසෙන Vagabond වන්නේ මෝනා. මෝනා යනු ස්ථිර නිවහනක් හෝ රැකියාවක් නොමැති යුවතියක්. වගකීම් සහ මානුෂීය සම්බන්දතා වලින් නිදහස්ව ඇය විවිද ප්රදේශයන් තුල සැරි සරනවා. ඇයව නෙත ගැටෙන ඕනෑම පුද්ගලයෙකුට පැණ නැගෙන මූලික සිතුවිල්ල වන්නේ, ‘සැබවින්ම ඇය කව්රුන්ද’ යන කාරණයයි. එයට නිසි පිළිතුරක් මෝනා විසින් ලබා නොදුන්නත්, ඇයව සුළු මොහොතකට හෝ ඇසුරු කරපු පුද්ගලයින් එයට යම් ආකාරයක පිළිතුරක් ලබා දෙනවා. ඇය කව්රු වූවත්, තම ජීවිතය පිලිබඳ ස්වාධීන තීරණයක් රැගත් යුවතියක් ලෙස සමස්තයක් වශයෙන් අපට නිගමනය කළ හැක.

Nomadland චිත්රපටයේ ෆර්න් වෑන් රථයක සංචාරක ජීවිතයක් ගත කරන්නේ ඇයගේ තෝරා ගැනීමෙන්. අප බහුතරයක් දෙනා පොදුවේ හඳුන්වන කොන්ක්රීට් නිවහන ඇයට නිවහනක් නොවේ. ඇයට නිවහනක් වන්නේ ඉදිරි කාලය ස්ථිරව ඇයට ලැඟුම් ගත හැකි වෑන් රථයයි. මෝනාද සිදු කරන්නේ මෙවැනි ආකාරයක තෝරා ගැනීමක්. පවුල, ප්රේම සම්බන්දතා සහ ස්ථිර රැකියාවන්ගෙන් මිදී, වගකීම් නොමැති ජීවිතයක් ඇය තෝරා ගන්නවා. ස්ථාවරත්වයක් නොමැති ජීවිතයක් තුල අනපේක්ෂිත බව සහ අනාරක්ෂිත බව නිතරම මුහුණ පෑමට සිද්ද වනවා. නමුත් ඇතැමුන් කිසිදු ස්ථාවර මානුෂීය බැඳීම් සහ වගකීම් නොමැති ජීවිතයට රුචිකත්වයක් දක් වනවා. එම නිසාදෝ මෝනා සහ ෆර්න් වැනි පුද්ගලයින්, තමන්ගේ තනිකඩ ජීවිතය හමුවේ මොනයම් ආකාරයක අනුකම්පාවකටවත් පත් වීමට අකමැතිය. අප මේ ලෝකයට පැමිණෙන්නේ සහ නික්ම යන්නේ තනිවම නම්, ජීවිතය තනිවම ගත කිරීම තුල වරදක් තිබෙනවාද?.

Vagabond චිත්රපටයේ වඩාත් ආකර්ෂණීයම සාධකය වන්නේ, මෙම අධ්යක්ෂකවරිය මෙහි භාවිතා කර තිබෙන සිනමා ශෛලයයි. මෙහි සමස්තයක් වශයෙන් මුල මැද සහ අවසානයක් තිබුනත්, Varda මෙය තුල road movie, mystery සහ අර්ධ වාර්තාමය කතා ශෛලයන් ත්රිත්වයම භාවිතා කර තිබෙනවා. මෙහි අපට මුණගැසෙන මෝනාගේ චරිතය අනපේක්ෂිත සහ යම් ආකාරයක ගුප්ත චරිතයක්. මෝනාගේ චරිත ස්වභාවය සහ ඇගේ කතාව තිරයේ විවර කිරීමට මෙම ශෛලයන් ත්රිත්වයම ඉතා සාර්ථක ලෙස භාවිතා කර තිබෙනවා. මෙහි අනිකුත් සුවිශේෂීම කාරණය වන්නේ කතාවේ අවසානය අපට ආරම්භයේදීම පෙන්නුම් කිරීමයි. මෙලෙස කතාවේ අවසානයේ ආරම්භයේදී පෙන්නුම් කළහොත් එහි කුතුහලය රඳවා ගැනීමට අධ්යක්ෂණය සහ තිර රචනය සමත් විය යුතුය. Varda මෙම සමස්ත කතාව තුල ගැබ්වී ඇති එම කුතුහලය චිත්රපටය පුරාවටම රඳවා ගැනීමට සමත් වුනා.

මෙහි මෝනාගේ චරිතය ඉදිරිපත් කරන Sandrine Bonnaire ඉතා විශිෂ්ට ලෙස එම චරිතයට සාදාරණයක් කිරීමට සමත් වුනා. ඇයගේ රංගනය වෙනුවෙන් Ceaser සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයට පාත්ර වනවා. ඒ සමගම Patrick Blossier ගේ සිනමාකරණය සහ Joanna Bruzdowicz/Fred Chichin ගේ පසුබිම් සංගීත අධ්යක්ෂණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. Agnes Varda ගේ සිනමා දිවියේ ඇය ලබන සුවිශේෂීම ඇගයීමක් හිමි කර ගන්නේ මෙම චිත්රපටය වෙනුවෙන්. ඒ වෙනීස් චිත්රපට උළෙලේ Golden Lion සම්මානයයි. මේ වන විට මෙම සම්මානය ජයග්රහණය කර ඇත්තේ කාන්තාවන් 6 දෙනෙකු පමණයි. Varda මෙම සම්මානය ජයග්රහණය කළ දෙවෙනි කාන්තාවයි.

ඔබ ප්රංශ සිනමාවේ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්‌ ලෙස Vagabond නම් කළ හැකිය.

Release date: December 4, 1985 (France)
Director: Agnès Varda
Music by: Joanna Bruzdowicz; Fred Chichin
Box office: $8.1 million
Language: French
Cinematography: Patrick Blossier

 

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *