Uyare (2019) Malayalam Article
93% liked this film
Google users
බොහෝ දෙනෙක් මගෙන් අහන ප්රශ්නයකට පිළිතුරක් දෙන්න තමයි අද මේ කතාව ලියන්න හිතුවේ. අපි කවුරුත් අහන ප්රශ්න වලට උත්තර දෙන්න බැඳිලාවත්, අනුන්ට අවශ්ය විදිහට ජීවත් වෙන්නවත් අවශ්ය නෑ. නමුත් මේ ගැටලුවට ලබා දෙන උත්තරය ඇතැම් විට මං වගේම හීන පස්සෙම දුවගෙන යන කෙනෙකුට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මේක ලියන්න හිතුවේ.
බොහෝ අය මගෙන් අහනවා ඇයි ලංකාවේ තිබෙන ජනප්රියම මාධ්ය ආයතනයක ප්රවෘත්ති නිවේදකයෙකු විදිහට වැඩ කරලා ඇයි මේ දැන් චිත්රපටි පස්සෙන් දුවන්නේ කියලා. කෙටිම උත්තරය තමයි මම ඉපදුන දවසේ ඉඳන් මගේ හීනය වුනේ චිත්රපටි අධ්යක්ෂකවරයෙක් වෙන්න. ඒ වෙනුවෙන් මම බොහෝ දේවල් කැපකරලා අව්ව, වැස්ස, දුක, සතුට මේ හැමදේම එක්ක කටයුතු කරමින් ඉන්න කෙනෙක්. එදාටත්, අදටත්, අනාගතයටත් ඒ හීනය සැබෑ වෙනකං මම දුවනවා. මොකද මට ජීවිතය කියලා දුන්නේ චිත්රපටි. ඒක නිසා ඒ සිහිනය යථාර්තයක් කරගෙන මිසක් මම ආපහු හැරෙන්නේ නෑ. ඒක තමයි කෙටිම උත්තරය.
පල්ලවී කියන්නෙත් කුඩා කාලයේ පටන්ම ගුවන් යානා නියමුවරියක් වීමේ සිහිනය පස්සේ දුවපු ලස්සන කෙල්ලෙක්. පල්ලවී හරිම සංවේදී වගේම ආදරණීය චරිතයක්. පල්ලවීගේ පෙම්වතා තමයි ගෝවින්ද්. පල්ලවී, පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනය වුනු ගුවන් නියමුවරියක් වෙන්න ඉගෙන ගන්නවා. නමුත් ගෝවින්ද් ට අවශ්ය පල්ලවීව ඔහුගේ ළඟින්ම තියාගන්න. ගෝවින්ද් ඇත්තටම කිව්වොත් මානසික ලෙඩෙක්. තමන් ආදරය කරන කෙල්ලගේ එකම හීනය සැබෑ කරගන්නවට ගෝවින්ද් කොහොමටවත් කැමති වුනේ නෑ. නමුත් පල්ලවීත් කැමති නෑ තමන් පුංචි කාලේ ඉඳන් දැකපු හීනය අතහරින්න. ඒක නිසාම ඇය ගෝවින්ද්ව අත්හරිනවා. ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ. පල්ලවීගේ අතහැරීම හමුවේ වියරු වැටුනු , මානසික ලෙඩෙක් වෙලා හිටපු ගෝවින්ද්, පල්ලවීට ඇසිඩ් ප්රහාරයක් එල්ල කරනවා. පල්ලවීගේ මුහුණේ එක පැත්තක්ම දැඩි ලෙස පිලිස්සෙන්නවා. පිළිස්සුම් තුවාලය නිසා පල්ලවීගේ එකම හීනය වුනු ගුවන් නියමුවරියක් වීමේ සිහිනය එක තැනකදි කඩාගෙන වැටෙනවා.
ජීවිතේ අපි එකම අරමුණක් වෙනුවෙන් කැපවෙනවා කියලා උඩ ඉන්න දෙවියන්ට පෙනුනොත් එයා අපිට ආයේත් අවස්ථාවක් දෙනවා අපේ හීනය හැබෑ කරගන්න.
පල්ලවීගේ හීනය යථාර්තයක් කරගන්න දෙවියන් විසින් මැව්ව මිතුරා තමයි විශාල්. විශාල් නැවතත් පල්ලවීගේ සිහිනය යථාර්ථයක් කරගැනීමට තමන්ගේ සියලු දේම අත්හැරලා උදව් කරනවා. අවසානයේදී පල්ලවීට අවස්ථාවක් ලැබෙනවා තමන් හීන මවපු ගුවන් නියමුවරියක් වන සිහිනය හැබෑවක් බවට පත් කරගන්න.
Uyare චිත්රපටයේ කතාව කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඔහොමයි. චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ Manu Ashokan කියන අධ්යක්ෂකවරයා විසිනුයි. Bobby –Sanjay අතින් ලියවුනු මේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරන Uyare චිත්රපටයේ ප්රධාන භූමිකාව වුනු පල්ලවී ගේ චරිතයට පණ දෙන්නේ Parvathy Thiruvothu කියන අති දක්ශ මලයාලම් රංගන ශිල්පිනිය විසිනුයි. Asif Ali, Tovino Thomas ඇතුළු චිත්රපටයට දායක වුනු සියලු රංගන ශිල්පීන් තමන්ගේ චරිතයට 1000% සාධාරණයක් ඉශ්ඨ කරලා තියෙනවා.
මම ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි. චිත්රපටයේ කතාව අපේ ජීවිතයත් එක්ක ආරෝපණය කරගෙන බලන්න. මොකද යහපත් හීනයක් වෙනුවෙන් කැපවුනු කිසිම කෙනෙක්ව උඩ ඉඳන් අපි දිහා බලන් ඉන්න කෙනා කවදාවත් අපිව අත්හරින්නේ නෑ. ජීවිතයේ අනිත් හැම දේම අහිමි වුනත් මැරෙන මොහොතෙදි තමන්ගේ හිත සතුටින් තියාගෙන මරණ මංචකයට යන්න එතකොට අපිට පුළුවන්.