Udaan (2010) Hindi | Sinhala Article

Udaan (2010) Hindi Ramitha Vimukthi

අපේ සමාජයේ එක්තරා මතයක් තියෙනවා, ‘තාත්තලගේ ආදරේ අම්මලාගේ ආදරයේ වගේ එලියට පෙන්නුම් කරන්නේ නැහැ’ යනුවෙන්. මගේ පියා සමග ලැබුණු අත්දැකීම් නිසාදෝ, මා කුඩා කාලයේ පටන්ම දැඩි කැමැත්තක් නොදක්වපු අදහසක් මෙය. ඊට හේතුව ඔහු තුලින් මෙහි මවට ආදේශ කරන ගුණාංගය දුටු නිසා. අපට පොදුවේ එලෙස ආදරය නොපෙන්වන පියවරුන්ට ‘හොඳ නැහැ ‘ යන ලේබලය පොදුවේ ගැසීමට නොහැකි වූවත්, එය ප්‍රවේසමෙන් භාවිතා කළ යුත මතයක් යන කාරණය මා තදින්ම විශ්වාස කරන දෙයක්. ඔය සමාජ අදහස ගැන නැවත වරක් මාගේ මතකයට පැමිණියේ, වික්‍රම් ආදිත්‍යා මෝට්වානේ 2010 අධ්‍යක්ෂණය කළ Udaan චිත්‍රපටය නැරඹීමෙන්. එම චිත්‍රපටයේ පියාගේ චරිතය මුළුමනින්ම ඉහත සඳහන් කළ මතවාදය මුළුමනින්ම කුඩු පට්ටම් කර දමනවා.

රෝහන් යනු අවරුදු 17 ක, නේවාසික පාසැලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. රෝහන් ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනාව පාසලෙන් නෙරපා හරිනවා. ඊට හේතුව වන්නේ ඔවුන් පාසලට සොරෙන් අසභ්‍ය චිත්‍රපටයක් නැරඹීමට යාමයි. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහුට තම පියා සමග ජීවත් වීමට සිදු වනවා. ඔහුගේ පියා වන බයිරව් ඉතා රළු ගති පැවතුම් ඇති අමානුෂික පුද්ගලයෙක්. රෝහන්ගේ මවගේ වියෝවෙන් පසුව ඔහුව පාසැල් නේවාසිකාගාරයට හැරලවීමෙන් පසුව, බයිරව් ඔහුව වසර අටක කාලයකට මුණගැසී නැත. රෝහන් වසර ගණනකට පසුව තමා පියාගේ නිවසට පැමිණෙන විට, ඔහුට වයස අවුරුදු හයක කුඩා සහෝදරයෙක්ද සිටින වග දැන ගන්නවා. එම කුඩා සහෝදරයා අර්ජුන්ය. අර්ජුන් යනු බයිරව් පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්දයක ප්‍රතිපලයක්. රෝහන්ට තම පියාගේ දැඩි නීතීරීතීන් වලට යටත් වීමට සිදු වනවා.

රෝහන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ රචකයෙකු වීමට. බයිරව් දැඩි ලෙස මෙය හෑල්ලුවට සහ විවේචනයට ලක්‌ කරන අතර, රෝහන්ව ඉතා රළු ලෙස තම පාලනයට යටත් කර ගන්නවා. ඔහුට අවශ්‍ය වන්නේ රෝහන්ව ඉංජිනේරු විද්‍යාලයට ඇතුලත් කර තම කර්මාන්තශාලාවේ පුර්ණ කාලීනව රැකියාවට යොමු කිරීමටයි. බයිරව්ගේ දැඩි පාලනය හමුවේ රෝහන් තම පියා අතින් වාචික සහ ශාරීරික හිංසනයට ලක්‌වනවා. රෝහන්ට මොනයම් ආකාරයක හෝ සතුටක් ගෙන දෙන්නේ ඔහුගේ බාප්පා වන ජිමී සහ කුඩා සහෝදරයා වන අර්ජුන්ගෙන්. නමුත් ඔහු හෝ ඇය තමාගේ දෙමාපියන් වූ පමණින්, ඔවුන්ගෙන් එල්ල වන තාඩන පීඩන දරුවන් ඉවසිය යුතුද?. දරුවෙකුට නමට දෙමාපියන් වූ පමණින් ඔවුන් හොඳ දෙමාපියන් වන්නේ නැත. එම නිසා රෝහන්ටද තම පියාගේ ආධිපත්‍ය දරාගැනීමට සීමාවක් ඇත. එම සීමාව ඉක්මවන්නේ තම පියා අතින් සිදුවන තවත් එක් බරපතල හිංසනයකින්. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.

පිතෘත්වය තුල ආදරය, කරුණාව සහ සංවේදීකම ගිලිහෙන තැන ඇති බරපතල ඛේදවාචකයක්, Udaan තුලින් පෙන්නුම් කරනවා. එම නිසා මෙම සටහන ආරම්භයේදී සඳහන් කළ එම සමාජ මතයට මා පෞද්ගලිකව අකමැති වීමට ප්‍රධානම හේතුව එයයි. බයිරව් තුල මොනයම් ආකාරයක ආදරයක් තම දරුවන් වෙනුවෙන් නැත. ඔහු විශ්වාස කරන්නේ තමා තුල තිබෙන දැඩි බව, රෝහන් සහ අර්ජුන්ව විනයානුකූල කර හැකි බවටයි. ඒ සමගම පිරිමිකම සම්බන්දව ඉතාම අවුල්සහගත ආකල්පයන් පෙලක් ඔහු තුල තිබෙනවා. බයිරව් විශ්වාස කරන්නේ ඔහුගේ රළු පාලනයෙන් තම දරුවන් සමාජය ඉදිරියේ සැබෑ පිරිමින් කරන බවට. නමුත් ඔහු තේරුම් නොගත්තේ ඔහු පියෙක් සහ දෙමාපියෙක් වශයෙන් කෙතරම් අසාර්ථකද යන කාරණයයි. බයිරව්ගේ රළු පිය චරිතය මාගේ ලේ කෝප කර අතර, රෝහන් සහ අර්ජුන්ගේ ආදරණීය සහෝදර බැඳීම හමුවේ මා සංවේදී වුනා. විශේෂයෙන්ම අර්ජුන්ව වැඩිමල් සහෝදරයා වශයෙන් රෝහන් ආදරයෙන් සහ කාරණාවෙන් රැක බලා ගන්නා ආකාරය ආදරණීයයි. බයිරව් විසින් කිසිදාක තේරුම් නොගත් සහ ලබා නොදුන් දේ තම කුඩා සහෝදරයාට ලබා දීමට රෝහන් සමත් වනවා.

රොනීත් රෝයි කියන නළුවාව ලාංකියින්ට සමීප වන්නේ Mr. Balaji ලෙස. ඔහුට ඉන්දීය රූපවාහිනියේ ලැබුණු රංගන අවස්ථාවන් සමග සසඳද්දී, Udaan යනු ඔහුගේ රංගන දිවියේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක්. එම කෘර පියාගේ චරිතයට ඉතා විශිෂ්ට ලෙස ඔහු අනුගත වී තිබුනා. ඔහුගේ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන උළෙලවල් රැසක හොඳම සහාය නළුවාට සහ හොඳම ප්‍රතිවීර රංගනය වෙනුවෙන් සම්මාන ලැබුවා. රෝහන්ගේ චරිතය රඟ දැක්වූ Rajat Barmecha ද, එම චරිතය තුල ගැබ්ව තිබෙන සංවේදනාත්මක පැතිකඩ ඉතා අපූරුවට ඉදිරිපත් කළා. ඒ සමගම අර්ජුන්ගේ චරිතය රඟ දැක්වූ Ayan Boradia සහ රෝහන්ගේ බාප්පාගේ චරිතය රඟ දැක්වූ Ram Kapoor ගෙන්ද ප්‍රභල සහායක් ලැබෙනවා.

මෙහි සිනමාකරණය, සංස්කරණය සහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණයද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. 2011 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ : Best Film (Critics), Best Story, Best Screenplay, Best Cinematography සහ Best Background Music යන සම්මානයන්ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තියෙන සමාජ සංස්කෘතියට අනුව චිත්‍රපටයකින් හෝ දෙමාපියන් වැරදියි කීම ලේසි පහසු කාරණයක්. එවැනි වාතාවරණයක්‌ තුල Udaan යනු ඉතාම නිර්භීත ප්‍රකාශයක් සිදු කළ චිත්‍රපටයක්.

Release dateJuly 16, 2010 (India)
Box office₹33.5 million
Production companiesAnurag Kashyap Films; UTV Spotboy
Download
Subtitle Download

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *