Tumhari SuluTumhari Sulu (2017) Hindi by Ramitha Vimukthi
4 Years of Tumhari Sulu!
විද්‍යා බාලන් යනු මා බොහෝ සෙයින් ප්‍රිය කරන රංගන ශිල්පිනියක්. ඉන්දියානු සිනමාව තුල, මා වඩාත්ම ප්‍රිය කරන නිළියන් අතරින් අංක එක ඇයයි. මාගේ උපන්දිනය යෙදෙන්නේ අදටයි (නොවැම්බර් 17). ඇගේ සිනමා රසිකයෙකු වශයෙන් ලැබිය හැකි හොඳම උපන්දින ත්‍යාගයක් මට ලැබුනා මීට වසර හතරකට උඩදී. එම ත්‍යාගය වන්නේ විද්‍යා බාලන් රංගනයෙන් දායක වූ Tumhari Sulu චිත්‍රපටය, 2017 නොවෙම්බර් 17 වනදාම තිරගත වීමයි. Tumhari Sulu චිත්‍රපටය විද්‍ය බාලන්ට සුවිශේෂී වීමට හේතු කිහිපයක්ම තිබෙනවා. විද්‍යා විශාල ඇගයීම් රැසක් ලබමින් 2012 දී රංගනයෙන් දායක වුණු කහානි චිත්‍රපටයෙන් අනතුරුව, ඇගේ බහුතරයක් නිර්මාණයන් වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැත. ඔබ විද්‍යා බාලන්ගේ සිනමා දිවිය වෙත අවධානය යොමු කර තිබෙනවා නම්, කාන්තාව පාධක වන සිනමා නිර්මාණයන්ට දායක වීමට ඇය ඉහල රුචිකත්වයක් දක්වනවා. ඒ සමගම එම නිර්මාණයන් වාණිජමය වශයෙන් සාර්ථක කර ගැනීමට, ජනප්‍රිය නළුවෙකු අවශ්‍ය වන්නේ නැත. විද්‍යා බාලන්ට ප්‍රේක්ෂකයින්ව සිනමා ශාලාවල් තුලට ගෙන ආ හැකි ප්‍රභල අනන්‍යතාවයක්, ඇය රංගනයෙන් දායක වන ප්‍රභල චරිත හරහා ගොඩනගා තිබෙනවා. Ishqiya, The Dirty Picture, No One Killed Jessica සහ Kahaani ඊට ප්‍රභාල උදාහරණයන්. Hamari Adhuri Kahani, Kahaani 2: Durga Rani Singh සහ Begum Jaan වැනි නිර්මාණයන් හරහා විචාරක ප්‍රසාදය අඩු වැඩි වශයෙන් ලබා ගැනීමට සමත් වූවත්, එම නිර්මාණයන් ප්‍රේක්ෂකයා අතරට නොයෑමේ රැල්ලක් දක්නට ලැබුනා. මෙලෙස වාණිජමය වශයෙන් අසාර්ථක වූ රැල්ලට වසර පහකට පසුව තිත තැබුවේ Tumhari Sulu චිත්‍රපටයයි. මෙය විචාරක මෙන්ම වාණිජමය වශයෙන් සාර්ථක වූ නිර්මාණයක්. ඒ අනුව වසර හතරකට පෙර ඇගේ රසිකයෙක් මාද මෙහි සාර්ථකත්වය වෙනුවෙන් ඉහලින්ම සතුටු වුනා.
කතාවෙන් බිඳක් :
සුලෝචනා ඩූබී නොහොත් සුලූ යනු මැදි වයසේ සිටින ගෘහණියක්. ඇය ජීවත් වන්නේ ඇගේ සැමියා වන අශෝක් සහ එකම පුත්‍රයා වන ප්‍රානව් සමගයි. මධ්‍යම පාන්තික පවුලක් වන සුලූගේ පවුල, විවිද අභියෝග සහ බාධක මැද සතුටින් ජීවත් වනවා. ආදරණීය සැමියෙක් සහ පුතෙක් සිටියත්, සුලූගේ ජීවිතය තුල එක් හිස් තැනක් තිබෙනවා. එම හිස්තැන ඇය වෘතිමය කාන්තාවක් නොවීමයි. සුලූ බොහෝ කලක පටන් යම් වෘතින් සහ ව්‍යාපාර තුල නිරත වීමට උත්සාහ කර තිබුනත්, එම උත්සාහයන් සියල්ලක්ම අසාර්ථක වී තිබෙනවා. ඇය උසස් අධ්‍යාපනය නිසි ලෙස අවසන් නොකිරීමද මෙහි එක් හේතුවක් ලෙස බලපානවා. ඒ සමගම ඇගේ පියා සහ නිවුන් වැඩිමහල් සහෝදරියන් දෙදෙනාද සුලූගේ අදහස් හෑල්ලුවට ලක් කරනවා. ඒ කෙසේ නමුත් සුලූ තුල ලද දෙයින් සතුටු වීමටත්, හැකි අවස්ථාවන් තුලදී සමාජශීලී වීමටත් ඇය උත්සාහ කරනවා. සුලූ ගෘහණියක් ලෙස තම නිවසේ වැඩකටයුතු සිදු කරද්දී, නිතරම ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දෙනවා. එහි එක් වැඩසටහනක තිබූ තරඟයකින් ඇය ප්‍රෙෂර් කුකක් එකක් ජයග්‍රහණය කරනවා. මෙම ත්‍යාගය ලබා ගැනීමට එම ගුවන් විදුලි වැඩසටහන් කාර්යාලයට යද්දී, සුලූ එහි වැඩසටහන් නිවේදකයන් බඳවා ගැනීමේ දැන්වීමක් දකිනවා. සුලූ මෙය දැක සතුටට පත්වී එම ආයතනයේ ප්‍රධානියා වන මාරියාගෙන් මෙය පිලිබඳ විමසනවා. සුලූ එම තනතුරට අත්දැකීම් නොමැති කාන්තාවක් වූවත්, මාරියා සුලූගේ පෞරුෂය සහ උනන්දුව දැක ඇයට අවස්ථාවක් ලබා දෙනවා. සුලූට නිවේදිකාවක් වශයෙන් ඇරයුම් ලැබෙන්නේ එසේම එසේ වැඩසටහනකටද නොව. ඇයට ඇරයුම් ලැබෙන්නේ සරාගී හඬකින් අසන්නන් ඇමතිය යුතු late night relationship advice වැඩසටහනකටයි. සුලූ මෙයට එකඟ වීමත් සමග එම වැඩසහනට සම්බන්ද වීම ඇගේ ජීවිතයද වෙනස් කරනවා. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.
Tumhari Sulu යනු comedy drama ගණයට අයත් චිත්‍රපටයක්. විද්‍යා බාලන් සහ මානව් කෞල්ගේ විශිෂ්ට රංගනයන් හරහා ඉතාම ඉහල ගණයේ රස වින්දනයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට මෙම චිත්‍රපටය සමත් වුනා. මෙය ගෘහණියක් ගුවන් විදුලි වැඩසටහනක නිවේදිකාවක් වනවාට වඩා ඔබ්බට ගිය සමාජ කථිකාවක් විග්‍රහ කරනවා. ඔබ සුලූ දෙස අවධානය යොමු කලොත් ඇය මතුපිටින් සතුටින් සිටින කාන්තාවක් දෙස දිස් වූවත්, තමා කැමති වෘතියක කටයුතු නොකිරීම සම්බන්දව ඇති හිඩසක් ඇයගේ ජීවිතය තුල තිබෙනවා. එම සෑම ක්‍රියාවක් තුලින්ම සුලූ තමන්ව සොයනවා යන කාරණය පැහැදිලියි. එම හිඩැස මකා ගැනීමට උත්සාහ කරන්නේ විවිද විනෝදාංශයන් තුල නියැලීමෙන්. ඇය පුතෙකුගේ මවක් සහ ආදරණීය සැමියෙකුට හොඳ බිරිඳක් වූවත්, ඇයට කාන්තාවක් වශයෙන් ඉන් ඔබ්බට ගිය අනන්‍යතාවයක් සහ පෞරුෂයක් තිබෙන වග මෙම චිත්‍රපටය පෙන්නුම් කරපු ප්‍රධාන කාරණයක්. මෙය අපගේ ජීවිතයන් තුල සිටින මව්වරුන්, සහෝදරියන් සහ සමස්ත කාන්තාවන් පිලිබඳව වෙනස් ආකාරයට සිතා බැලීමට පොළොඹවන චිත්‍රපටයක්. ඔවුන්ටද ජීවිතය තුල අත්විඳීමට හීන සහ බලාපොරොත්තු තිබෙනවා යන කාරණය කියා දෙන චිත්‍රපටයක්. අප බොහෝ වේලාවට සිතන කාරණයක් මව්වරුන් තම දරුවන් වෙනුවෙන්ඕනෑම දෙයක් කැප කිරීමට සුදානම් පිරිසක් වග. එය සත්‍යක්, නමුත් එම කැප කිරීම් ඔවුන් ලබන එකදු තෘප්තිය සහ සතුට ලෙස රාමුගත කරන්නට එපා. ඊට හේතුව ඔබටත් මටත් ඔවුන් මතුපිටින් නොපෙන්වන හීන සහ බලාපොරොත්තු ඔවුන් සතුව තිබෙන්නට පුළුවන් නිසා.
මෙය අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ Suresh Triveni සහ දෙබස් රචනය කළ Vijay Maurya ,ඉතා අපූරුවට අපේ සමාජයේ තිබෙන මධ්‍යම පාන්තික සමාජ පරිසරය පෙන්නුම් කිරීමට සමත් වනවා සුලූගේ පවුල හරහා. සුලූ ඉතා සියුම් අවස්ථාවන් තුලින් සතුටු වන ආකාරය, තම සැමියා සහ දරුවා සමග ඇති වන සංවාදයන් සහ විවාහක යුවලක් තම අවිවේකි ජීවන රටාවන් හරහා ප්‍රේම කිරීමට වෙර දරන ආකාරයන් බොහොම තාත්වික ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මෙහි තවත් කැපී පෙනන අංගයක් වූයේ, මෙහි හාස්‍ය රසයද ඉතා සමබරව ඉදිරිපත් කිරීමයි. විද්‍ය බාලන් වසර කිහිපයකට පසුව නැවත වතාවක් විචාරක මෙන්ම වාණිජමය වශයෙන්ද ඉහල සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වනවා. විද්‍යා සුලූගේ චරිතය වටා තිබෙන දැඩි අධිෂ්ඨානය මෙන්ම එහි ඇති සංවේදී කෝණයන්ද ඉතා අපූරුවට ඇගේ රංගනය හරහා ඉදිරිපත් කළා. විශේෂයෙන්ම විද්‍යාගේ comic timing ඉතාම විශිෂ්ටයි. ඒ සමගම ඇගේ ආදරණීය සැමියාගේ චරිතය රඟ දැක්වූ මානව් කෞල්ද කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. මෙහි ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් විද්‍යා බාලන් ඇගේ සිව්වන ෆිල්ම්ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානයද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
ඒ අනුව මීට වසර හතරකට උඩදී විද්‍යා බාලන්ගේ රසිකයෙකු වශයෙන් අද වැනි දවසක, මට ලැබුණු හොඳම උපන්දින ත්‍යාගය මෙයයි.