Tissa Abeysekara Sri Lankan Filmmaker | Sinhala Article

Tissa Abeysekara Sri Lankan filmmaker by Rohan Senevirathne 

එදා මෙදා තුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා තිරචනාකරුවාණන් වන අප අතරින් වෙන් වූ ආචාර්ය තිස්ස අබේසේකරයින්ගේ අසූතුන්වන ජන්ම දිනය වෙනුවෙන් එතුමාට මාගේ මෙම සටහන උපහාරයක් වේවා???

මෙරට සිංහල සිනමා කලාව තුල සිනමා තිර කතා රචනයේ විශිෂ්ඨයා ලෙස ආචාර්ය තිස්ස අබේසේකර අවිවාදයෙන් හඳුන්වා දිය හැක. ආචාර්ය තිස්ස අබේසේකර ගතින් අප අතරින් වෙන්වී එකොලොස් වසරක් සපිරෙන මෙවන් වකවානුවක තවමත් ඒ හා සමාන හෝ එතුමාගේ නිර්මාණයන් හා සමීප විය හැකි සිනමා තිර කතා රචකයෙක් මෙරට සිනමාව තුල බිහි වී නොමැති වීම මෙතුමාගේ නාමය සිංහල

සිනමාව තුල සදා අනුස්මරණීය විමට ප්‍රධාන හේතුවකි.

එතුමා සිංහල සිනමාවට පිවිසෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ. ගම්පෙරළිය සිනමා පටයේ අමතර දෙබස් රචකයෙකු වශයෙනි.ආචාර්ය ලෙස්ටර් සමග එදා ඇරඹි එම සිනමා ගමන් මග ආචාර්ය ලෙස්ටර් අවසාන වරට නිර්මාණය කල සිය 20 වන සිනමා නිර්මාණය වන ‘අම්මාවරුණේ’ දක්වා දිව යන්නේය.’අම්මාවරුණේ’ සිනමා පටයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයට ජීවය දෙන්නේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ය

ආචාර්ය ලෙස්ටර් නිර්මාණය කල සතරවන සිනමා සිතුවම වන’දෙලොවක් අතර’ හී ද අමතර දෙබස් රචකයා වනුයේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ය. ලෝක සිනමාව තුල නමක් තැබීමට සමත් වූ ආචාර්ය ලෙස්ටර් පීරිස්ගේ’නිධානය’චිත්‍රපටයෙන් තිරකතා රචකයෙකු,දෙබස් රචකයෙකු ලෙස ආචාර්ය තිස්ස අබේසේකරයන් දායකත්වය සපයන්නේය. මෙරට සිනමාවේ විශිෂ්ඨතම සිනමා පටය ලෙස සම්භාවනාවට පාත්‍ර වන’නිධානය’ චිත්‍රපටයේ මෙම සුවිශාල ජයග්‍රහණයන් අතර ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ දෙබස් සහ තිරරචනය ප්‍රධාන සාධකය වු බව රසික මාගේ පිලිගැනීමයි.

ආචාර්ය ලෙස්ටර්ගේ අදියුරු විශිෂ්ඨත්වයත්,ප්‍රවීන සිනමා නළු නිළි යුවළ වූ ගාමීණී,මාලීනීගේ විශිෂ්ඨ රංගන ප්‍රතිභාවත්,ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ භාව පූර්ණ සංගීතයත්,එම්.එස්.ආනන්දයින්ගේ කැමරාකරණයත්, අතර ආචාර්ය තිස්ස අබේසේකරයින්ගේ තිරරචනය මෙම චිත්‍රපටයට විශිෂ්ඨත්වයක් ගෙනා ප්‍රබලම කරුණ ලෙස මා දකිමි.

දුර්වල තිරනාටකයකින් කුමන දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුට වුවත් සාර්ථක සිනමා නිර්මාණයක් තැනීමට නොහැකි බව ආචාර්ය ලෙස්ටර්ගේ ‘බැද්දේගම’ සිනමා පටය නරඹන විට අපට පෙනෙන්නට තිබෙන කරුනකි. .ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ඨ රංගනය හැර ‘බැද්දේගම’ තුලින් ආචාර්ය ලෙස්ටර්ගේ සිනමා අධ්‍යක්ෂණය විශිෂ්ඨත්වයකට පත් වී නොමැත්තේ එහී ගැබ් වූ තිර රචනාව බව මගේ අදහසයි.

එසේම ආචාර්ය ලෙස්ටර් ශූරීන්ගේ සාර්ථකම චිත්‍රපටයන් වන ‘අක්කර පහ”නිධානය’,’වීර පුරන් අප්පු’ සහ ‘අහසින් පොළොවට’යන සිනමා පට හතරේම දෙබස් තිරරචනය ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ වීම එම සිනමා පටවල තිබූ සුවිශේෂත්වයක් ලෙස මා දකිමි.

මෙම සිනමා පට වලට අමතරව ආචාර්ය තිස්ස අබේසේකරයන්

බඩුත් එක්ක හොරු

බිනරමලී

කෙටි කතාව(short film)

වැලි කතර

විදුරු ගෙවල්

ලෝක හොරු

පොඩි මල්ලි

කරුමක්කාරයෝ

ගඟ අද්දර

මහ ගෙදර

මායා

පර සතුරෝ

අහස් මාළිගා

කුල ගෙය

කවුළුව

විරාගය

ක්ශේම භුමී

ගුරු ගෙදර

ලොකු දුව

සක්මන් මළුව

සෙනසුරු මාරුව

උප්පලවණ්නා

කුස පබා

විජයබා කොල්ලය

වැනි සිනමා පටවල ප්‍රබල තිරනාටකයන් ආචාර්ය තිස්ස අබේසේකරයන් අතින් ලිය වී ඇත.

මෙරට සිනමාවේ තවත් විශිෂ්ඨ මංසලකුණු තැබූ ඩි.බී.නිහාල්සිංහයින්ගේ ‘වැලිකතර’සිනමා පටයේ තිර නාටකයද ආචාර්ය තිස්ස අබේසේකරයින්ගේ වීම සුවිශේෂත්වයකි. ‘නිධානය’සේම ‘වැලිකතර’ද අපේ සිංහල සිනමාව තුල එතෙක් මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණ්යන් දෙකකි.මෙම සිනමා නිර්මාණයන් දෙකටම එතුමාගේ විශිෂ්ඨ දායකත්වය හිමි වී ඇත. තිරකතා රචකයෙකු ලෙස සිනමාව තුල නමක් දිනූ එතුමාණන් හැත්තෑව දශකයේදී ‘ලෝක හොරු’චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙන්නේය.සිනමා නළු ටෝනි රණසිංහ සමගසිනමා නිළි සුවිනීතා ප්‍රධාන චරිත රංගනයෙන් දායක වූ ‘ලෝක හොරු’ චිත්‍රපටයට පසු ‘කරුමක්කාරයෝ, ‘මහගෙදර’ ‘ මං මුලා වැල්’ ‘විරාගය’ වැනි සිනමා නිර්මාණයන් එතුමා අධ්‍යක්ෂණය කලේය.

මේ සිනමා නිර්මාණයන් අතර එතුමාගේවිශිෂ්ඨතම සිනමා අධ්‍යක්ෂණය වනුයේ මාර්ටින් වික්‍රමසිංහයින්ගේ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘විරාගය’ සිනමා පටයයි. මාර්ටින් වික්‍රමසිංහයින්ගේ නව කතාවෙන් පාඨකයා මනසින් මවා ගත් අරවින්ද,සරෝජිනී,බතී වැනි චරිත වලට සිනමාවේ රසික රසිකාවොයන්ගේ සිත් තුලට මෙම චරිත හරහා ජීවය දෙන්නට සිනමා පටය තුලින් ආචාර්ය තිස්ස අබේසේකරයන්ට හැකි වෙන්නේය. 

හවායි,මොස්කව් වැනි අන්තර්ජාතික සිනමා උළෙලවල් ශ්‍රිලංකාව නියෝජනය කරන ‘විරාගයට නිසි ඇගයීමක් එවකට නොලැබෙන්නේ මෙම ච්ත්‍රපටයේ ධාවන කාලය පැය තුනක් පමන වීම නිසාය. එම උළෙලවල සංවිධායකයින් විසින් චිත්‍රපටය පැය දෙකකට කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියත් තිස්ස අබේසේකරයන් එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.චිත්‍රපටය අංග විකල කර ප්‍රදර්ශනය කර ජුරීයන් හී පැසසුමට ලක් වීමට එතුමා කිසි සේත් උත්සාහ දරා නැත.

මෙවන් එඩිතර සිනමා වේදීන් අපේ සිනමාවේ හමුවන්නේ ඉතාම කලාතුරකිනි. සම්මානයකට වඩා තම නිර්මාණයේ ඇති වටිනාම ඉහලින් ගරු කොට තකන්නට මේ එඩිතර සින්මා වේදියාණන්ට හැකි විය.වාර්තා සහ කෙටි චිත්‍රපට කිහිපයක් ද එතුමා අතින් නිර්මාණය වී ඇත. එසේම එතුමා සිනමා රංගන ශිල්පියෙකුද වන්නේය.

එතුමාම තිර රචනය ලියු ආචාර්ය ලෙස්ටර් ශූරීන්ගේ ‘වීර පුරන් අප්පු’හී කුඩා පොල හාමුදුරුවන් ලෙස ඉතා විශිෂ්ඨ රංගනයක් කලේය.එසේම ‘මහගෙදර’ ‘වත්සලා අක්කා” අම්මාවරුණේ’ යන සිනමා පටවල එතුමාගේ රංගන ප්‍රතිභාව කැපී පෙනුනි.

සිනමාවේ මුල්ම සිනමා නිළි රැජිණ රුක්මණී දේවිය මිය යාමෙන් පසු එතුමිය වෙනුවෙන්’රුප චායා’ නමින් වාර්තා චිත්‍රපටයක් තැනූ එකම අධ්‍යක්ෂකවරයා ආචාර්ය තිස්ස අබේසේකරයින්ය. ‘රුප චායා’ වාර්තා චිත්‍රපටය එම නිළිරැජිණට කල මහා උපහාරයක් ලෙස මා දකිමි. අද ද එම චිත්‍රපටය නෙත ගැටෙන විට රුක්මණී දේවිය පිළිබඳව නෙතට කඳුළක් ගෙන එන්නට එම වාර්තා චිත්‍රපටය සමත් වන්නේය 

සිනමාවෙන් ඔබ්බට එතුමා ඉතාම දක්ෂ ලේඛකයෙකු සහ සාහිත්‍යය කලා රචකයෙකි.එම විෂයන් අරභයා සාහිත්‍යය ග්‍රන්ත ද රචනා කොට ඇත. එසේම ‘දොළොස්මහේ ගංගාව ටෙලි නාටකය නිර්මාණය කරමින් ටෙලි නට්‍යය අධ්‍යක්ෂණයට පිවිසි එතුමා අතින් ‘පිටගම්කාරයෝ’ නමින් විශිෂ්ඨ ටෙලි සිතුවමක් නිර්මාණය වීම ද සුවිශේෂත්වයකි. ටෙලි නාට්‍යය කලාව තුල සුපසන් යමක් කිරීමට එතුමාට හැකි විය.

සිනමා ගීත රචකයෙකු ලෙසද සරත් ගුණරත්නයන්ගේ ‘වත්සලා අක්කා’ ච්ත්‍රපටයෙන් දොරට වඩින්නේය. Kaalo Wijesiri සංගීතයට විශාරද මාලනී බුලත්සිංහලයන් ගයන ‘සඳ මෝරා උඩු ගුවනට’ එම විශිෂ්ඨ සිනමා ගීතයයි.

මෙවන් වූ විශේෂ දක්ෂතා රැසකින් සිනමා සහිත්‍යය කලාවට විශාල සේවාවක් ඉටු කල මෙවන් යුග පුරුෂයෙකුගේ සේවය මෙතකැයි කියා. නිමා කල නොහැක. මෙවන් අසහාය දක්ෂතා ඇති මිනිසුන් බිහිවන්නේ ඉතා. කලාතුරකිනි .මෙවන් යුග පුරුෂයෙකු සැබැ කලාව තුල සැබැ කලා රසිකයින්ගේ සිත් තුල ඔවුන්ගේ හදවත් තුල සදා විරාජමානය.

රෝහන් සෙනෙවිරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *