Time to Hunt (2020) Korean | Sinhala Article

Time to Hunt (2020) korean by Kosala D Maduraweera

★★★★ – Great

වැඩියේ කතාබහට ලක්නොවුණු (මේ සම්බන්ධයෙන් වන එක පෝස්ට් එකක්වත් දැක්කේ නැහැ) දකුණු කොරියානු (South Korean) මැණිකක්! මම සාමාන්‍යයෙන් “මැණිකක්” කියන වචනය පාවිච්චි කරන්නේ Feel Good ශානරයේ Movies සම්බන්ධයෙන් වන නිසා Time to Hunt (2020) ඒ ශානරයට ඇතුළත් කළ හැකි නිර්මාණයක් නොවේ. මේ තුළ වැඩිමනක්ම තිබුණේ Serial Killer Movie එකක Vibe එකක්.

කතාව ගැන (Sopilor Alert):

      දකුණු කොරියාවේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය ඉතාම දුක්ඛ දායක අවධියක තිබෙන අතර මේ තත්ත්වයට මුහුණ පා සිටින තරුණයන් සිව්දෙනෙක් ඉන් මිදීම සඳහා සූදු පොළක් කොල්ල කෑමට සැළසුම් කර එය සාර්ථක කර ගනී. නමුත් නොසිතූ විලසින් ඔවුන් කවුරුන්දැයි සොයමින්, ඔවුන්ව ඝාතනය කිරීමේ අරමුණෙන් ඝාතකයෙකු ඔවුන් පසුපස හඹා එයි. තරුණයන් සිව්දෙනා ඔහුගෙන් මිදී පළා යයිද? නැත්නම් ඝාතකයා අතට පත්වෙයිද?

(Spoilor Free) මිත්‍රත්වයකට එහා ගිය සහෝදරත්වයේ බැඳීමකින් බැඳුණු තරුණයන් සිව්දෙනෙකු යහපත් ජීවන තත්ත්වයක් උදාකර ගැනීම සඳහා සිදු කරන්නා වූ අරගලයක් තුළ සිය ජීවිත රැක ගැනීම උදෙසා අදිසි හස්තයකට විරුද්ධව සටන් වැදීම Time to Hunt (2020) චිත්‍රපටය තුළින් නිරූපණය වේ.

Thriller ශානරයට අයත් වන නිර්මාණයක් වන බැවින් මුල සිට අග දක්වාම suspense ගතිය හොඳින්ම පවතින අතර මිනිත්තුවෙන් මිනිත්තුව නිර්මාණයේ සංකීර්ණතාව වැඩිවන නිසා නරඹන්නා තුළ නිර්මාණය කෙරෙහි කුහුල මිශ්‍රිත ආකර්ශනයක් ඇති වේ. කොරියානු නිර්මාණවල අප දකින “ඝාතකයා” ඉතාම දරුණු ගණයේ එකෙකු වීමේ ලක්ෂණය මෙහිදීද එලෙසමය. සිය ජීවිත ගලවා ගැනීම උදෙසා අනේක විධ බාධක පරයා සටන් වැදීමේ ගුණය මෙහිද අඩංගු වන නිසා Survival චිත්‍රපටවලට ප්‍රිය කරන ප්‍රේක්ෂකයා හට Time to Hunt (2020) චිත්‍රපටය ඉතාම හොඳින් ගෝචර වනු ඇත.

පවතින සමාජ ක්‍රමය තුළ සිය ජීවිත රැක ගැනීම සඳහා තිබෙන්නා වූ “සපලදායකම මඟ” ඇති තැනෙන් කොල්ල කෑම ‍යයි සිතන තරුණයන් පිරිසක් සහ නීත්‍යානුකූලව දඬුවම් ලබාදීම පසෙක ලා පවතින සමාජ ක්‍රමය නිසාවෙන් හෝ මනෝ ව්‍යාධියක් නිසාවෙන් හෝ නැතිනම් හුදෙක් ම්ලේච්ඡ වින්දනාත්මක රසයක් සංතෘප්ත කර ගැනීමේ අරමුණින් හෝ ඝාතකයෙකු බවට පත්වන පුද්ගලයෙක් අතර ඇතිවන ඝට්ටනය ඉතාම දරුණු ස්වභාවයකින් මෙම නිර්මාණය තුළ දිග හැරේ.

ඒ ඒ චරිත තුළින් නිරූපණය වන මනෝභාවයන් චිත්‍රපටයේ ප්‍රස්තුතයට හොඳින් සම්බන්ධකම් දක්වයි. ඒ නිසාම චිත්‍රපටයේ ගුණාත්මකභාවය උපරිම මට්ටමක පවතින බව දැක ගත හැක. ප්‍රධාන චරිත නිරූපණය සඳහා යොදා ගත් රංගන ශිල්පීන් ඔවුන්ගේ කාර්යය “විශිෂ්ට අයුරින්” සිදුකර තිබුණු ආකාරය පැසැසුම් සහගතය. විශේෂයෙන් තරුණයන්ගේ රැළෙහි නායකයාව කටයුතු කරන Jun-Seok ගේ චරිතය නිරූපණය කරන Lee Je-hoon විශිෂ්ට රංගන ශිල්පියෙකු බැව් මෙම නිර්මාණය හරහා පසක් කොට දී තිබේ. මා මුල් වරට ඔහුගේ රංගන හැකියාව දැකබලා ගන්නේ Time to Hunt (2020) හරහා වන බැවින් මෙය සටහන් තබන මේ මොහොත වන විට මා ඔහුගේ රසිකයෙකු වී හමාරය. රංගනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉස්මතු කළ යුතු අනෙක් චරිතය වන්නේ ඝාතකයාගේ චරිතයයි. එය නිරූපණය කරන්නේ Park Hae-soo විසින් වන අතර ඔහු අනුකම්පා විරහිත ඝාතකයෙකු තුළ තිබෙන බියකරු බව සිය රංගනය හරහා මොනවට විදහා පායි. ඊට අමතරව සෙසු රංගන ශිල්පීන්ද ඔවුන්ගේ රංගන දායකත්වය උපරිමයෙන් ලබා දීමට සමත් වූ බව කිව යුතුමය.

දෙබස් පිළිබඳව විශේෂ යමක් සඳහන් කිරීමට නොමැති අතර චිත්‍රපටය පිළිබඳව මෙතරම් ගුණාත්මක ඇගැයීමක් සිදු කිරීමට තිර පිටපතෙහි විශිෂ්ට බව හේතු වූ බව ඔබට තේරුම් ගත හැක. Time to Hunt (2020) හී තීව්‍රතාවය වැඩි කරන්නට Shots, Camera Angles, ආලෝකකරණය සහ වර්ණ භාවිතය යනාදිය විසින් ලබාදී තිබුණු දායකත්වය අති විශිෂ්ටය. එබැවින් Cinematography යනු මෙම නිර්මාණයේ සාර්ථකත්වය සඳහා බල පෑ තවත් එක් මූලිකාංගයකි. ප්‍රේක්ෂකයා තුළ ත්‍රස්ථ බව උපදවන්නට BGM (පසුබිම් සංගීතය) විශිෂ්ට අයුරින් දායක වන අතර Editing සහ Effects හරහා නිර්මාණයේ ගුණාත්මකභාවය වඩ වඩාත් ඉහළ නැංවී තිබුණු අයුරු ඔබට මෙම නිර්මාණය රස විඳීමේදී අවබෝධ කර ගත හැක.

මේ සියල්ල මනා ලෙස සං‍යෝජනය කර ගනිමින් විශිෂ්ට චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමට සමත්කම් දැක්වූ මෙහි අධ්‍යක්ෂක Yoon Sung-Hyun ඇගැයීම් ලැබිය යුතුමය.

බොහෝ කොරියානු නිර්මාණවල IMDb අගය ඉතාම පහළ මට්ටමක පවතින අතර, එවැනි බොහෝ නිර්මාණ ගුණාත්මකභාවයෙන් ඉහළ නිර්මාණ බැව් ඒවා නැරැඹීමෙන් අනතුරුව පසක් වේ. මෙයද එවැනිම ආකාරයේ නිර්මාණයකි. Give it a try. you will be never disappointed!

Initial releaseFebruary 22, 2020
Box office$6,911
Download
Subtitle Download

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *