The Theory of the Everything by Hansini Kavindi
(Spoiler Alert)
“අභ්‍යවකාශ විද්‍යඥයින් වන්දනා කරන්නෙ මොනවද?
විශ්වය ගැන සියලුම දේවල් කියන සමීකරණයට”
මෑත කාලයේ මෙලොව හැර ගිය ලොව බිහි වූ අති විශිෂ්ට ගණයේ, බුද්ධිමතෙකු, අහ්‍යවකාශ විද්‍යාඥයෙකු සහ භෞතීය විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින් පිළිබඳව නොදන්නා කෙනෙකු වේ යැයි මම නොසිතමි. කළු කුහර සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ න්‍යායන් භෞතික සහ අභ්‍යවකාශ විද්‍යාවන්හි මහත් පෙරළියකට තුඩු දුන්නාක් මෙන්ම එය ලොව තුළ මහත් ප්‍රකට විය. ඔහු ලොව තුළ ඉතාමත් කලාතුරකින් බිහිවන අද්විතීය ගණයේ විශිෂ්ටයෙකි. නමුත් මේ ඔහුගේ භෞතීය විද්‍යාත්මක හෝ අභ්‍යවකාශ විද්‍යාත්මක න්‍යායන් පිළිබඳව කතාන්දරයක් නොවේ. ඔහු පිළිබඳව චරිතාපදානයක් ද නොවේ. මේ ඔහු සිය ජීවිත කතාව තුළින් අනාවරණය කරගත් “සියල්ල පිළිබඳ මූලධර්මය” (The Theory of Everything) පිළිබඳව අපූරු කතාන්දරයයි.
ස්ටීවන් විලියම් හෝකින්ස්
ඔහු සැබැවින්ම අපූරු තරුණයෙකු විය. කලාතුරකින්න් කෙනෙකුට හිමිවන ආශිර්වාද ලත් ජීවිතයක් ඔහුට හිමි වී තිබුණි. ඔහු බුද්ධිමත් විය. දක්ෂ සහ ක්‍රියාශීලී විය. ජීවයෙන් පිරී ගිය තාරුණ්‍යයක් ඔහු සතු විය. නමුත් සෑමවිටම ජීවිතය වරප්‍රසාද ලත් දෙයක් නොවන බව යන යථාර්ථය පසක්කරවමින් ඔහුගේ ජීවිතයට දරුණු කුණාටුවක් හමා ආ අතර එය ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර දැමීමට සමත් විය. ඒ දරුණු ස්නායු රෝගයකි. නමුත් ඔහු රෝගය හමුවේ පරාජිතයෙකු බවට පත් නොවී ය. ඔහු එයට එරෙහිව සටන් කළේ ය. එයට එරෙහිව නැගී සිටියේ ය. ඒ තනිවම නොවේ. ඔහුගේ ආදරය, ආදරණීය කුටුම්භය, මිතුරන්, ගුරුවරුන් සහ කදිම උණුසුම් ආදරණීය සමාගමයක් ඒ සඳහා උදව්වට ඔහු පසෙකින් සිටියේ ය. එනිසා ඔහු සැබැවින්ම වාසනාවන්ත විය. දෛවය සැමවිටම මිනිසාට කුරිරු ලෙස සලකන්නේ නැත. ස්ටීවන්ගේ ජීවිතය ඊට කදිම නිදසුනකි. ඔහුට බොහෝ දේ අහිමි විය. ඒ අහිමිවීම් සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත නොහැකි මට්ටමේ අහිමිවීම් විය. නමුත් ඒවාට ශක්තිමත් ලෙස මුහුණදෙමින් ජීවිතාශාව පිළිබඳව බලාපොරොත්තු දැල්වීමට ඔහු ළඟ රැඳුණු උණුසුම් ආදරණීය සමාගමයකින් දෛවය ඔහුට ආශිර්වාද කර තිබුණි. ඔහු තම භෞතීය විද්‍යා නියමයන් පමණක් නොව ජීවිතය ද හැකි උපරිමයෙන් වින්දනය කළේ ය. එහි මිහිර ආස්වාදනය කළේ ය.
*ඔහු අපූරු මිතුරෙකු විය
*ඔහුට ආදරණීය කුටුම්භයක් හිමිව තිබුණි.
*ඔහු ආදරණීය පෙම්වතෙකු විය.
*ඔහු ආදරණීය පියෙකු විය.
ඒ අසහාය බුද්ධියක් සතු වූ විශිෂ්ට විද්‍යාඥයා තුළ මේ සියල්ලන් ජීවත් විය.
ඔහුට සිය දෑත් හැසිරවීමේ හැකියාව අහිමි විය. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් ඔහුට ඇවිදීම, ප්‍රතිචාර දැක්වීම, සංවේදනාවන් සහ කටහඬ පවා අහිමි විය. එහෙත් ඒ කිසිවකට ඔහුව පරාජිතයෙකු බවට පත්කිරීමට නොහැකි විය. නිරතුරුවම සිනා රැල්ලකින් ඔහුගේ මුව සැරසී තිබුණි.
ජේන්….
ඔහුගේ ජීවිතයට ආලෝකයක් ගෙන ආ ප්‍රේමය ජීවිතයට ඇතුළු වන්නේ ඒ කුණාටු සමයේ ආරම්භයේ දී ම ය. එය එක්තරා අන්දමකින් ඈ සිය ජීවිතය පිළිබඳව ගත් මහත් බැරෑරුම් තීරණයක් මෙන්ම විශාල කැපකිරීමක් ද විය. ඔවුහු සැබැවින්ම එකිනෙකට වෙනස් යුවළක් වූහ.
තාරකා……
ඔවුහු දෙදෙනාම ඒවාට එක ලෙස ප්‍රිය කළහ. නමුත් ඔවුන් දෙදෙනා ඒවා දුටුවේ හාත්පසින්ම එකිනෙකට වෙනස් ආකාර දෙකකිනි. නමුත් ඔවුන්ගේ එක්වීමට එය කිසිසේත්ම බාධාවක් නොවූයේ “ප්‍රේමය” යනු දෙදෙනෙකු තමාගේ එකිනෙකට වෙනස් සිහිනවල එකිනෙකා වෙනුවෙන් ඉඩක් සලසාදීම යන කරුණ මට යළි යළිත් පසක් කරවමිනි. සැබැවින්ම එය ඉතා සුන්දර එක්වීමක් විය. තම තීරණය වෙනුවෙන් සිය ජීවිතය තුළ බොහෝ දුෂ්කර අවස්ථාවන්ට මුහුණදීමට ඇයට සිදුවිය. නමුත් ඒ පිළිබඳව ඇය කනගාටුවට පත්වූයේ වත් එය අත්හැර පළාගියේවත් නැත. ඇය සැබැවින්ම ශක්තිමත් ගැහැනියක් වූවා ය. ආරම්භයේ සිටම ඔහු බ්‍රිතාන්‍ය රැජින වෙතින් නයිට් පදවිය ලබන දිනය දක්වාත් ඔවුන් දෙදෙනා එකට විය. කාලයාගේ ඇවෑමෙන් තම තමන්ට උරුම වූ එකිනෙකට වෙනස් මාර්ගයන්හි ගමන්කිරීමට ඔවුන් තීරණය කළ අවස්ථාවේ දෙදෙනාගේම නෙත්වලින් වැටුණු කඳුළු ඔවුන් දෙදෙනා තුළ වූ සබඳතාවයේ හෘදයාංගම බව පිළිබඳව සාක්ෂි දරයි. වෙන්වෙන් මාර්ගයන්හි වෙන් වෙන්ව ගමන්කිරීමට තීරණය කළ ද ඔවුන්ගේ සිත් තුළ කිසිදු කහටක් නොවීය. එම තීරණය වුව ද ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ යහපත පිළිබඳව සිතමින් ගත් තීරණයක් දෝ යි මට සිතේ. සැබෑ ය. ප්‍රේමය එසේ ය. එය කොන්දේසි විරහිතව එකිනෙකාගේ යහපත ප්‍රාර්ථනා කරන්නකි. සිනමා පටය අවසානයේදී ඔහුගේ අතින් අකුරුවන වදන්
(“Look what we made”)
සහ ඔවුන් දෙදෙනාගේ එකිනෙකා වෙත යොමු වූ බැල්ම සහ එකිනෙක බැඳුණු දෑත් ඒ පිළිබඳව වචනයෙන් නොකී හැඟීම් සහසක් පිළිබඳව කදිම රචනාවකි. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේ සිය ජීවිතය පිළිබඳව තෘප්තිමත් බවක් කැටි වූ සිනා රැල්ලකැයි මට හැඟේ.
2014 වසරේ බ්‍රිතාන්‍යයේ දී ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති The Theory of Everything සිනමාපටය Biographical romantic drama ගණයට අයත් නිර්මාණයකි. එය චරිතාපදානයක දැකිය හැකි වාර්තාමය ස්වභාවයෙන් වියුක්ත වූ එය අතික්‍රමණය කළ හුදු චරිතාපදානයකින් ඔබ්බට ගිය අපූර්ව කලාත්මක සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැකිය. මෙම සිනමාපටය සඳහා ලැබී ඇති IMDb අගය 7.7 කි. මෙහි තිර පිටපත ස්ටීවන් හෝකින්ගේ බිරිඳ වන ජේන් හෝකින්ස් විසින් රචිත Travelling to Infinity: My Life with Stephen නම් කෘතිය පාදක කරගනිමින් නිර්මාණය වී ඇත.
අපූරු වර්ණයන් රැසක් රැගත් වර්ණවත් නිර්මාණයක් වන එය එක්තරා අන්දමකින් ජීවිතයේ විවිධ වර්ණ සිනමාපටයක් තුළට උකහාගැනීමට ගත් සාර්ථක උත්සහයක් ලෙස ද හැඳින්වීමට පුළුවන. තවත් අන්දමකින් කියනවා නම් එය ජීවිතය පිළිබඳව පාඩම් රැසක් කියාදෙන පාඩම් පොතක් වැනිය. රසාත්මක වින්දනයට අමතරව ඉන් ජීවිතයට උකහාගත හැකි දේ බොහෝ ය. “ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය” යන කියමන හුදෙක් සාහිත්‍යයට පමණක් නොව සෑම කලා කෘතියක් සඳහාම අදාළ කරගත හැකි, එසේ කළ යුතු කියමනක් බව මම තරයේ විශ්වාස කරමි. The Theory of Everything සිනමාපටය ද එම අරමුණ ජයගත් ප්‍රේක්ෂකයා එලෙස ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන අපූර්ව නිර්මාණයකි.
චිත්‍රපටයේ මා වඩාත්ම සිත්ගත් රූපරාමුව වන්නේ කළු කෝපි බඳුනක් තුළ සුදු පැහැති කිරි බින්දුවක් කවාකාරයෙන් මුසුවී නොපෙනී යන අන්දම දැක්වෙන කදිම සමීප රූප රාමුවයි. එය අපූරු සංකේතාත්මක රූපරාමුවකි. චිත්‍රපටය තුළ වදනින් නොකිව හැකි බොහෝ දේ එම තනි රූපරාමුව තුළ ගැබ් වී ඇතැයි මට හැඟේ.
අන්ධකාරය සහ ආලෝකය…..
කාලය සහ අවකාශය…..
ස්ටීවන්ගේ භෞතික විද්‍යාත්මක න්‍යාය පිළිබඳව පමණක් නොව ඔහුගේ ජීවිතය පිළිබඳව ද අපූරු ඉඟි රැසක් ඒ තුළින් කදිමට නිරූපණය වී ඇත.
චිත්‍රපටයේ රංගනය පිළිබඳව කතාකිරීමේදී එහි ප්‍රධාන චරිතයන් නිරූපණය කළ එඩී රෙඩ්මේන්ගේ (ස්ටීවන්) සහ ෆෙලිසිටි ජෝන්ස්ගේ (ජේන්) රංගන ප්‍රතිභාව සැබැවින්ම අති විශිෂ්ට වන අතර එය අගය කළ යුතුම ය. එයින් ද වඩාත් විශේෂ වන්නේ එඩී රෙඩ්මේන්ගේ රංගනයයි. ඔහු මහත් කැපවීමකින් ස්ටීවන් හෝකින්ස්ගේ චරිතය මැනවින් හදාරා සියුම් ලෙස, ප්‍රේක්ෂක මනසට කාවදින අයුරින් එයට උපරිම සාධාරණත්වයක් ඉටු කළ අයුරු මුළු චිත්‍රපටය පුරාවටම අපට මැනවින් දැකිය හැකිය. ඒ සඳහා ඔහු 2015 වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය ද, නාට්‍ය අංශයේ හොඳම නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ද දිනාගෙන ඇති අතර තවත් සම්මාන කීපයක් ද හිමිකරගෙන ඇත. එමෙන්ම එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි විචාරක සම්මානය සඳහා ද ඔහු නිර්දේශ වී තිබුණි. ඒ ගැන මම කිසිසේත්ම පුදුමයට පත්නොවෙමි. සැබැවින්ම එය ඔහුට හිමිවිය යුතුම ය. ජේන්ගේ චරිතය නිරූපණය කළ ෆෙලිසිටි ජෝන්ස් ද 2015 වසරේදී ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා නිර්දේශ විය. සැබැවින්ම The Theory of Everything චිත්‍රපටය, චිත්‍රපටයක් සඳහා එයට උචිතම වූ රංගන ශිල්පීන් තෝරාගැනීමේදී සහ හැසිරවීමේදී අධ්‍යක්ෂවරයා ප්‍රකට කළ සියුම් හැකියාවත්, රංගන ශිල්පීන් වෙතින් එයට උපරිම සාධාරණත්වයක් ඉටුවී ඇති අවස්ථාවත් කදිම ලෙස එක්තැන් වූ අපූරු නිර්මාණයක් ලෙස ද හඳුන්වාදීමට මම කැමැත්තෙමි.
ඉතා සියුම් ලෙස වර්ණවත් රූපරාමු හසුරුවමින් එකිනෙක ගළපමින් සොඳුරු කලා කෘතියක රසය සමගින් අපූරු ජීවන යථාර්ථයක් ප්‍රේක්ෂකයා වෙත ළඟාකරවීමට The Theory of Everything චිත්‍රපටය හරහා චිත්‍රපට අධ්‍යක්ෂවරයා මැනවින් සමත් වී තිබේ. සැබැවින්ම මම ස්ටීවන් හෝකින් නම් භෞතීය විද්‍යාඥයා පිළිබඳව අසා තිබුණ ද, ඔහු පිළිබඳව තොරතුරු දැන සිටිය ද ඔහුව නොහැඳින්නෙමි. නමුත් The Theory of Everything හරහා මම ස්ටීවන් හෝකින්ස් නම් අපූරු මිනිසා හඳුනාගත්තෙමි. මම ඔහුට මහත් සේ ප්‍රිය කරමි. එමෙන්ම ආදරය කරමි.
විශිෂ්ට අංග රචනය මෙන්ම රූපරාමුවලට වඩාත් උචිතවන පරිදි යොදාගෙන ඇති සංගීත මුසුව ද චිත්‍රපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. රෝගයට කෙමෙන් ගොදුරුවන ස්ටීවන්ගේ ප්‍රතිරූපය රෝගයේ විවිධ අවධීන් හමුවේ ප්‍රේක්ෂකයාට වඩාත් සමීපවන අයුරින්, ඉතාමත් ස්වාභාවික ලෙස රංගන ශිල්පියා වෙතින් ඉස්මතුකර දැක්වීමේදී අංග රචනා ශිල්පියා ද ප්‍රකට කර ඇති දක්ෂතාව ද පැසසිය යුතුය. ලොව ප්‍රකට සිනමා උළෙලවල් වන ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලවල්හිදී සම්මාන කීපයක්ම හිමිකරගත් සහ සම්මාන කීපයක් සඳහාම නිර්දේශ වූ මෙම චිත්‍රපටය වෙනත් සම්මාන උළෙලවල් රැසක දී ද සම්මානයට පාත්‍ර වී සහ සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
ස්ටීවන් හෝකින්ස්ගේ අද්විතීය භෞතික විද්‍යාත්මක සහ අභ්‍යවකාශය පිළිබඳ න්‍යායන් අවබෝධකරගැනීමට තරම් ගැඹුරු භෞතීය විද්‍යා ඥානයක් මා සතුව නැත. නමුත් ඔහුගේ ජීවිතය තුළින් ඔහු පැවසීමට වෙර දැරූ ජීවිතයේ “සියල්ල පිළිබඳ න්‍යාය” (The Theory of Everything) වටහාගැනීමට තරම් අවබෝධයක් මා සතුව ඇතැයි මම සිතමි. චිත්‍රපටයේ අවසාන භාගයේ ස්ටීවන් හෝකින්ස් මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ ප්‍රකාශ කරන දේ ඔහුගේ ජීවිතයේ “සියල්ල පිළිබඳ න්‍යාය” වඩාත් කුළුගන්වයි.
“It is clear that we are just an advanced breed of primates on a minor planet orbiting around a very average star, in the outer suburb of one among a hundred billion galaxies. BUT, ever since the dawn of civilization people have craved for an understanding of the underlying order of the world. There ought to be something very special about the boundary conditions of the universe. And what can be more special than that there is no boundary? And there should be no boundary to human endeavor. We are all different. However bad life may seem, there is always something you can do, and succeed at. While there is life, there is hope.”
(“දියුණුවක් ලැබූ ප්‍රජාව බෝකරන පිරිසක් සිටින, ළාබාල තරු ගණනාවක් අතර කැරකෙමින් තිබෙන, ළාබාල ග්‍රහලෝකයක, පැහැදිලිවම අපි මන්දාකිණි බිලියන ගාණකින් එකක ඉන්නෙ. නමුත් ශිෂ්ටාචාර ඇතිවීමත් එක්ක මිනිසුන් තේරුම්ගත්තා ලෝකයේ මතුපිටින් දකින්නට නොලැබුණු දේ සොයායන්න. එතැනදී එක දෙයක් විශේෂ වුණා විශ්වයේ සීමා මායිම් ගැන. එහෙත් මෙහි සීමා නැත්නම් කුමක් විශේෂ වේවි ද? මිනිසුන්ගේ උත්සහයන්ට සීමා මායිම් නොතිබිය යුතුයි. අපි හැමෝම වෙනස්. ජීවිතය නරක දෙයක් කියල පෙනෙන්න පුළුවන්. ඒත් ඔබට කරන්න පුළුවන් යමක් තියෙනවා සහ ඒකෙන් සාර්ථක වෙන්න ඔබට පුළුවන්. ජීවිතය ගෙවනවා නම් බලාපොරොත්තුවකුත් තියාගන්න.”)
සැබැවින්ම ස්ටීවන් හෝකින්ස් පවසන මේ ජීවිතයේ “සියල්ල පිළිබඳ න්‍යාය” කුමක් ද? මා සිතනා අන්දමට ඒ අන් කිසිවක් නොව බලාපොරොත්තු සහ ප්‍රේමයයි. එයට මිනිස් ජීවිතය තුළ සිදුකළ නොහැක්කක් නොමැත. එය සැබැවින්ම සියලු න්‍යායන් ඉක්මවා ගිය ජීවිතය පිළිබඳව විස්මිත න්‍යායකි. මේ අසහාය විද්‍යාඥයා භෞතික විද්‍යා න්‍යායන් පමණක් නොව එම න්‍යාය ද සිය ජීවිතය තුළින් මනාව පසක් කරගත්තේ ය. මා ඔහු වාසනාවන්ත මිනිසෙකු ලෙස හඳුන්වාදීමට කැමති වන්නේ ද ඒ නිසා ය. වෛද්‍යවරුන් වසර දෙකකට සීමාවේ යැයි අනාවැකි පැවසූ ඔහුගේ ජීවිතයෙන් තවත් වසර ගණනාවක් ඉදිරියට ලබාදීමට එම න්‍යාය සමත් විය. ප්‍රේමය සහ බලාපොරොත්තුව…….හෝකින්ස්ගේ ජීවිත කතාව තුළින් මා උකහාගත් පරිදි ප්‍රේමය සහ බලාපොරොත්තු ජීවිතයේ සියල්ල පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් අපූර්ව සමීකරණයක් ගොඩනගයි.
ආශාව (බලාපොරොත්තු + ප්‍රේමය) × අරමුණු = ජීවිතය
සිනමාපටය අවසානයේ මගේ නෙතඟ මතු වූ කඳුළු බිඳකට මම ඔහේ කම්මුල් දිගේ ගලා යාමට ඉඩ හළෙමි. එය චිත්‍රපටය පිළිබඳව මා පූර්ණ තෘප්තියකට පැමිණි බව පිළිබඳව සලකුණකි. නමුත් ඒ කඳුළ එක් හැඟීමකින් උපන්නක් නොව, එය දුක, සතුට, අපේක්ෂාව ආදී හැඟීම් රැසක එකතුවකි. නිශ්චිතව මේ යැයි නොකියා ඇදහැලෙන කඳුළුවලට මම කැමැත්තෙමි. මන්ද ඒවා ජීවිතය සොයා යෑමට මා තුළ පෙළඹවීමක් ඇතිකරන බැවිනි. The Theory of Everything සිනමාපටය අවසානයේ මගේ නෙතගට නැගුණේ ද එවැනි කඳුළකි.
“ස්ටීවන් හෝකින්ස්” යන නාමය සවනත වැකෙත්ම ඒ හා බැඳුණු අපූර්ව මතක කීපයක් දැන් මගේ මතක ගබඩාවට ඇතුළත් වී ඇත. ඒ ඔහුගේ භෞතික විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ අද්විතීය න්‍යායන්, The Theory of Everything නම් විශිෂ්ට සිනමාපටය, ජීවිතයේ “සියල්ල පිළිබඳව න්‍යාය” සහ ඒ පිළිබඳව වන අපූරු සමීකරණය යි.
ආශාව (බලාපොරොත්තු + ප්‍රේමය) × අරමුණු = ජීවිතය ❤