The Power of the Dog (2021) English | Sinhala Article

The Power of the Dog (2021) English by Ramitha Vimukthi

Spoiler Alert!

මෙවර ඔස්කාර් සම්මාන උළෙල නොයෝජනය කිරීමට ඉහලම විචාරක ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටයක් මෙය. දැනට පැවති සම්මාන උළෙලවල් කිහිපයක් තුලම හොඳම: චිත්‍රපටය, අධ්‍යක්ෂණය, නළුවා, සහාය නළුවා සහ නිළියට හිමි නිර්දේශ නාමයන් ලබා ගැනීමටත් සහ යම් සම්මාන උළෙලවල් තුල මෙම අංශයන් ජයග්‍රහණයනය කිරීමටත් සමත් වුනා. මෙවර සම්මාන උළෙලවල් තුල ප්‍රධාන අවධානය හමුවූ චිත්‍රපට අතරින්, The Power of the Dog ප්‍රථමයෙන්ම නැරඹීමට හේතු කිහිපයක්ම තිබුනා. මුල්ම හේතුව මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන රංගන ශිල්පීන්. දෙවෙනි කාරණය, මෙහි අධ්‍යක්ෂකවරිය වන Jane Campion ගේ සිනමා ශෛලයට ඇති රුචිකත්වය. තුන්වන කාරණය, ඉහල විචාරක ඇගයීම් ලැබුනත් මෙය ප්‍රේක්ෂකාගාරය දෙකට බෙදූ නිර්මාණයක්‌. ප්‍රේක්ෂක ප්‍රතිචාර තුල ඇගයීම් සේම විවේචනද අඩු වැඩි වශයෙන් දක්නට ලැබුනා. එම මිශ්‍ර ප්‍රතිචාරයන් නිසාම, මෙය නැරඹීමට ඇති උනන්දුව තව තවත් වැඩි වුනා.

කතාවට පාධක වන්නේ 1925 වර්ෂයේ මොන්ටානාවයි. ෆිල් සහ ජෝර්ජ් බර්බෑන්ක් යනු ගොවිපලකට හිමිකම් කියන, ධනවත් සහෝදරයින් දෙපලක්. ඔවුන් දෙදෙනා එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති සහෝදරයින් දෙදෙනෙක්. වැඩිමල් සහෝදරයා වන ජෝර්ජ්, රෝස් නම් අවන්හලක් පවත්වාගෙන යන කාන්තාවකට සමීප වනවා. රෝස් යනු පීටර් නම් තරුණ වියට පා තබන පුතෙකුද සිටින වැන්දඹු මවක්. රෝස් සහ ජෝර්ජ්ගේ හැඳුනුම්කම ප්‍රේම සම්බන්දයකට පරිවර්තනය වීමට ගත වන්නේ කෙටි කාලයක් පමණයි. ඒ සමගම කිසිදු ප්‍රමාද කිරීමකින් තොරව රෝස් සහ ජෝර්ජ් විවාහවී සැමියා බිරිඳ ලෙස එක වහලක් යටතට පැමිණෙනවා. රෝස් ජෝර්ජ්ගේ උපකාරයෙන් තම එකම දරුවාගේ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් සහයෝගයක්‌ ලබා දෙනවා. නමුත් ජෝර්ජ්ගේ නිවස තුල ඇයට සහ පීටර් වෙත එක් අභියෝගයක්‌ තිබෙනවා. එම අභියෝගය වන්නේ තම මස්සිනා වන ෆිල්. ෆිල් රෝස් වෙත එතරම් ප්‍රසාදයක් පෙන්නුම් කරන්නේ නැත. ඔහු සිතන්නේ රෝස් යනු තම වැඩිමල් සහෝදරයාගේ ධනය සූරා කෑමට පැමිණි කාන්තාවක් ලෙසටයි. මෙය හේතු කොට ගෙන ඔහු විවිද අවස්ථාවන් තුල රෝස්ව අපහසුතාවයට පත් කිරීමට පෙළඹෙනවා. ෆිල්ගේ මෙම ගුප්ත හැසිරීම රෝස්ට මානසිකව වදයක් වනවා කාලයත් සමග. රෝස්ගේ පුතු වන පීටර්ද වෙනස් ගති පැවතුම් ඇති පිරිමි ළමයෙක්‌. එම නිසා ෆිල් ඇතුළු එම ගොවිපලේ සිටින අනිකුත් පුරුෂයින්ගේ හෑල්ලුවට ලක්වනවා. රෝස්ව තව තවත් මානසිකව ඇද දැමීමට ෆිල් විවිද උපායන් අත්හදා බලනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහු කලක් සැර පරුෂ ලෙස සැලකූ පීටර් වෙත සමීප වනවා. මෙය රෝස්ව තව තවත් කම්පණයට පත් කරන කාරණාවක්‌. මේ සමගම ෆිල් තුලද සැඟවුණු රහසක් ඇති බව හෙළිදරව් වනවා. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.

The Power of the Dog හි පළමු අඩ හෝරාව ගලා යන්නේ මදක් සෙමින්. එම නිසා කතාවේ නිසි මාර්ගයට අවතීර්ණ වීමට යම් මට්ටමක කාල වේලාවක් ගත වනවා. එම නිසා මෙම පළමු අඩ හෝරාව ඔබේ අවධානය මදක් පරික්ෂා කරන්නට පුළුවන්. ඒ කෙසේ නමුත් ඉතා සෙමින් ගලා යන මෙම කතාවේ හමුවන චරිත තුල, යම් ආකාරයක කුතුහලයක් ආරම්භයේ සිටම ගොඩ නැගීමට මෙහි තිර රචනය සමත්වී තිබෙනවා. එම නිසා චිත්‍රපටයේ ප්‍රධාන හැරවුම් සිදුවන අවස්ථාවන් වලදී,(විශේෂයෙන්ම චිත්‍රපටයේ මැද භාගය තුල) කතාවේ ප්‍රධාන තේමාවන් ඉතා ප්‍රභල ලෙස ඉස්මතු වුනා. මෙය Jane Campion ගේ සිනමා ශෛලයයි. ඔබ Jane Campion ගේ මීට දශක දෙකකට පෙර ඔස්කාර් නිර්දේශ වූ Piano චිත්‍රපටයේ නරඹා තිබෙනවා නම් , ඇගේ මෙම සිනමා ශෛලය ඔබට නුපුරුදු අත්දැකීමක්‌ නොව. මෙය LGBTQ තේමාවකින් සමන්විත චිත්‍රපටයක් ලෙස ලේබල් වැටුනත්, මාගේ මතය අනුව මෙය ඉන් ඔබ්බට ගිය සංකීර්ණ මිනිස් සත්වයාගේ විවිද වූ ඇතුලාන්තයන් අධ්‍යනය කළ චිත්‍රපටයක්. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වය වන ෆිල්, රෝස් සහ පීටර් තුලින් මා දුටුවේ එයයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟ දැක්වූ Benedict Cumberbatch, Kirsten Dunst සහ Kodi Smit-McPhee රංගනයන් ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. Benedict Cumberbatch ගේ මා මේතාක් දුටු සංකීර්ණතම රංගනය මෙය ලෙස හැඳින්වීමට නොහැකි වූවත්, ෆිල්ගේ චරිතය තුල ඇති රළු ගුප්තසහගත බව සහ සැඟවුණු සියුම් පැතිකඩ ඉතා අපූරුවට ඔහුගේ රංගනය තුලින් ඉස්මතු වුනා. නමුත් මාගේ මතය අනුව මෙහි ප්‍රභලම රංගනයන් ඉදිරිපත් වූයේ Kodi Smit-McPhee සහ kirsten Dunst විසින්. තම මස්සිනාගේ ගුප්ත හැසිරීම හමුවේ මානසිකව කඩා වැටෙන ගැහැණියක්‌ සහ තම එකම දරුවාගේ අනාගතය නගා සිටුවීමට වෙර දරණ මවකගේ චරිතය Dunst ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. Kodi Smit -McPhee ද පීටර්ගේ චරිතය තුල මතුපිටින් පෙන්නුම් කරන එම මෘදු බව සහ කතාව ගලා යාමත් සමග ඉස්මතු වන එම සූක්ෂම බව, ඔහුගේ විශිෂ්ට රංගනය තුලින් පෙන්නුම් කිරීමට සමත් වුනා.

The Power of The Dog චිත්‍රපටයේ තවත් ප්‍රධාන වශයෙන් කැපී පෙනුණු සාධකයන් වූයේ Ari Wegner ගේ සිනමාකරණය සහ Jonny Greenwood ගේ සංගීත අධ්‍යක්ෂණයයි. විශේෂයෙන්ම චිත්‍රපටයේ කතා තේමාව තුල මුසුවී තිබෙන ගුප්ත ස්වභාවය සහ කුතුහලය ඉස්මතු කිරීමට මෙම අංශයන් ද්විත්වයම ප්‍රධාන දායකත්වයක්‌ ලබා දුන්නා.

මෙය මාගේ රස වින්දනය අනුව අති විශිෂ්ට නිර්මාණයක්‌ නොවුනත්, මිනිස් සත්වයාගේ එම සංකීර්ණ අතුලාන්තයන් තුලට සංවේදනාත්මකව ගමන් කළ සාර්ථක නිර්මාණයක්‌.

 

Release dateNovember 11, 2021 (Australia)
Budget$30–39 million

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *