The Painted Veil (2006) English
” අපි අතරේ නැති ගතිගුණ හොයපු එක හොයපු එක අපි දෙන්නගෙම මෝඩකමක් “
මෙම සංවාදය ඇති වන්නේ පළුදු වී ගිය ,ඉරිතලා ගිය විශ්වාසය බිඳී ගිය විවාහයක සුන්බුන් ඉදිරිපිට අළුත විවාහ වු යුවළක් අතරය.මෙම බිරිඳ අබලන් වු විවාහය යළි පිළිසකර කර ගැනීමට උත්සාහ දරන්නියකි. සැමියා බිරිඳ විසින් කඩ කරන ලද විශ්වාසයට සමාව නොදෙන පුද්ගලයෙකි.ඔවුන් දෙදෙනා විවාහයේ එක්තරා සන්ධිස්ථානයකදි එකිනෙකා හමුවේ මේ කරනු ලබන්නේ පාපොච්චාරණයකි.
සමජ සංස්ථා අතර මුලීක සහ ප්‍රබලම සමාජ සංස්ථාව වන්නේ ” පවුල් සංස්ථාව ” ය.අනෙකුත් සැම සමාජ සංස්ථාවක්ම සෘජුව සහ වක්‍රව පවුල සමග බැඳී පවතී.මෙය සැම රටකටම, සංස්කෘතියකම දැකිය හැකි පොදු ලක්ෂණයකි .
විවාහය යනු සරල රේඛාවක් තරම් සරල කාරණයක් නොවේ.රූපය, රැකියාව ,ධනය ,බලය වැනි සාධක සබඳතාවක් ආරම්භ කිරීමට තුඩු දුන්නත් විවාහ ජීවිතය පවත්වා ගෙන යාමට නම් එකී සාධක ප්‍රබල ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ නැත.රූපය, ධනය මත විවාහය පවත්වාගෙන යා හැකි නම් මෙලොව ප්‍රීතිමත්ම විවාහ ගත කරන්නේ ලොව වටා සිටින නළු නිළියන් විය යුතුය.එකිනෙකාට ගරු කිරීම, රුචි අරුචිකම් සහ සිතුම් පැතුම් , හඳුනා ගැනීම ,ඇහුන්කම් දීම වැනි ගුණාංග සාර්ථක විවාහ විවාහ ජීවිතයකට පදනම වැටෙන සලකුණු කිහිපයකි.විවාහය සැලකෙන්නේ මිනිසාගේ දෙවන උපත හැටියට ය. ඒ තුළ විවාහයක ඇති බැරෑරුම් ස්වභාවය මනාව කැටි වී ඇත. විවාහය යනු හොඳින් සිතා බලා ගත යුතු තීරණයකි.දෙවරක් විවාහ වීමට කිසිවෙකුගේ අපේක්ෂාව නොවේ.වෙනස් පවුල් පරිසරයක සමාජ පරිසරයක ,සංස්කෘතියක හැදුණු වැඩුණු දෙදෙනකු එකතු වී අලුත් පවුලක් නිර්මාණය කිරීම කජු කනවා තරම් පහසු නැත.
විවාහ වන වයසේ දියණියක් නිවසේ සිටීම දෙමාපියන්ගේ සිතට මහ මෙරකට වඩා බරකි.එය වේදනාත්ම අත්දැකීමකි.
අද දින මගේ කතා නායිකාව වන කිටී මඩ්යම පාන්තික පවුලක විවාහ වීමට සුදුසු වයසේ සිටින සුන්දර , කෙළිලොල් තරුණියකි.ඇය සමජශීලීය.මිතුරු මිතුරියන් සමග සාද පැවත්වීමට කැමැත්තක් දක්වන ඇය පියානෝ වාදනයට ද ඇලුම් කරන්නියකි.සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් ගෙවී ගිය ඇගේ ජීවිතයට ඇය ආයුබෝවන් කියන්නේ දෙමාපියන් විසින් හදිසියේ හඳුන්වා දුන් තරුණයෙක් නිසාය.ඔහු නමින් වෝල්ටර් ය.රාජ්‍ය සේවකයෙක් වන වෝල්ටර් පොත පතට නැඹුරු වු නිවුණු ගති පැවතුම් වලින් හෙබි එතරම් ආකර්ෂණීය පුද්ගලයෙක් නම් නොවේ.බැලූ බැල්මටම ඔහු තුළින් කිටීගේ සිතුම් පැතුම් වලට සරිලන සැමියෙක් නොවන බව අපිට පෙනේ.
ඉක්මන් කොටයි යනුවෙන් අපේ ජනවහරේ කතාවක් පවතී.එසේම ප්‍රමාදය පසුතැවිල්ලට ද හේතුවක් වේ.ඒ නිසා මෙම අන්ත දෙකටම මැදින් ගමන් කිරීමට අප විසින් පුරුදු ,පුහුණු කළ යුතුය.කිටී ඉතා ඉක්මනින් වෝල්ටර් සමග විවාහ වන්නීය.ඉතා සමාජශීලි යුවතියක වු කිටීට වෝල්ටර්ගේ නිවුණු ,ගති පැවතුම් පෑහුනේම නැත.ගැහැණුන් නිතරම තම සැමියා සම කිචි බිචි ගෑමට රුචියක් දක්වයි.
” මට සමාවෙන්න ,මට කතා කරන්න දෙයක් නැත්නම් මම කතා කරන්නේ නැ “
ඒ වෝල්ටර්
” කවුරුත් කතා කරන්නේ නැත්නම් ,එයාලට කියන්න ගොඩාක් දේවල් තියෙනවා”
කිටී පැසුනු එකියක සේ පැවසුවාය.
ප්‍රීතිමත් විවාහයක් ගත කිරීම සෑම විවාහපත් යුවළකගේම සිහිනයකි.තමා සිතූ පැතූ සියල්ල සැනෙකින් බිඳ වැටෙන විට ඊට මුහුණ දිම ද එතරම් පහසු නැත.ඊට හේතුව විවාහය යනු එලෙස ආපසු හැරිය නොහැකි කඩඉමක් නිසාය.විවාහය පාර්ශ්වයන් දෙකක් අතර ඇති එක්තරා නීතිමය සහ සංස්කෘතිකමය බැඳීමකි.විවාහය ඛේදවාචකයක් බවට හැරෙන්නේ මෙවැනි අවස්ථා වලදිය.
තමන් බලාපොරොත්තු වු ලෝකය සහ තමාට අවසානයේදී හිමි වු ලෝකය අතර ඇති වු හිඩැස පිරවීම එතරම් ලෙහෙසි පහසු නැත.ඇතමෙකු ඊට ඉතා පහසුවෙන් අනුගත වුවත් තවත් අයෙකුට එලෙස අනුගත විය නොහැකිය.එලෙස නව තත්වයන්ට අනුගත වීමට නොහැකි වු ඇතමුන් සීමා ,මායිම් පවුරු බිඳ දැම්මට පසුබට වෙන්නේ ද නැත.එය තීරණය වන්නේ එකිනෙකාගේ ආකල්ප ,පවුල් පරිසරය, සමාජ පරිසරය වැනි සංස්කෘතික කාරණා මතය.
බොහෝ විවාහක එහෙත් තනිකඩ ජීවිත ගත කරන්නන් අනියම් සබඳතා වලට පෙළඹෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.සමාජ ශීලි යුවතියක වු කිටී ඉතා පහසුවෙන් අහම්බයකින් මුන ගැසෙන තම සැමියා ද හොඳින් හඳුනන චාර්ලි සමග ඉතා පහසුවෙන් අනියම් සබඳතාවක් ගොඩ නගා ගන්නීය.විවාහකයෙකු වු ඔහු කඩවසම්ය.කෙළිලොල්ය,ආකර්ෂණීය ගති පැවතුම් වලින් හෙබි අයෙකි.කිටීගේ සිතුම් පැතුම් වලට සරිලන ඔහු සමග සිතින් පමණක් නොව කයින් ද බැඳී ගියේ ඉතා කෙටි කාලයකිනි.තහනම් ගසේ ගෙඩි ප්‍රනීත බව විශේෂයෙන් කිව යුතු නැත.බොහෝ අනියම් සබඳතා ආරම්භ වන්නේ මෙවැනි පසුබිමක් තුළය .තම බිරිඳ හෝ සැමියා තුළ නොමැති ,එහෙත් තමා කැමති ගතිපැවතුම් වලින් හෙබි පුද්ගලයන් සමග ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වෙති.නමුත් ඉතා කලාතුරකින් ප්‍රේමය මුල් කරගත් අනියම් සබඳතා ද නැත්තේ නොවේ.
අනියම් සබඳතාවල ඇලෙන ගැහැණුන් සහ පිරිමින් අතර පොදු හැසිරීම් රටාවක් මම නිරීක්ෂණය කොට ඇත්තෙමි.අනියම් සබඳතා පවත්වන බොහෝ පිරිමින්ගෙන් බහුතරයක් අවසානයේදී තෝරා ගන්නේ තමන්ගේ පවුලය.නමුත් අනියම් සබඳතා පවත්වන බොහෝ කතුන් මුල් තැන දෙන්නේ තමන්ගේ පවුලට නොව ප්රේමවන්තයාටය.මෙම ප්රවනතාවයේ දි කාන්තාව කටයුතු කරන්නේ ඉතා අදූරදර්ශි ආකාරයට බව මම විශ්වාස කරමි.කිටී සහ චාර්ලි අතර ඇති රහස් සබඳතාව නොබෝ දිනකින් වෝල්ටර් දැනගන්නේය.ඔහු පිරිමින්ගේ සමාජ සංස්කෘතික හැසිරීම පිළිබඳව දන්නා තීක්ෂණ නුවණකින් හෙබි අයෙකි.ඔහු එය කිටීට ඇගවීමට සියුම් උගුලක් ඇටවුයේය.
ගැහැණුන් තරම් ඉක්මනින් පිරිමින්
” මං ඔයාට ආදරෙයි කියන්නේ නැති බව වෝල්ටර් දැන සිටියේය .
” ඩොරති (චාර්ලිගෙ බිරිඳ ) ඔයාව දික්කසාද කරන්න කැමති නම් වෝල්ටර් මට දික්කසාදය දෙන්න කැමතියි කිව්වා “
එලෙස චාර්ලි හමුවේ පවසන්නේ කිටීය.නමුත් චාර්ලිගේ තේරිම වුයේ සිය බිරිඳ සහ පවුලය.හදිසියේ මුන ගැසුණ ගැහැනිය ඔහුගේ තේරීම වුයේ නැත.
” මේ ලෝකයේ කිසිම දේකට බැ ඩොරතිව දික්කසාද කරන්න මාව පොළඹවන්න “
ඒ ඔහුගේ අවසාන තීරණය විය.තමා ප්‍රේමනීය උගුලකට හසුවී ඇති බව වැටහෙන විට ඇය ප්‍රමාද වැඩිය.ඇය අවසානයේදී තම සැමියා සමග චීනයේ පිටිසරබද ප්‍රදේශයකට ගියාය.
චාර්ලි අහිමිවීමේ වේදනාවත්, ඔහු විසින් කඩ කරන ලද විශ්වාසයත්, තම සැමියා විසින් කරන ලබන නොසලකා හැරීම හමුවේ ඇය වේදනාවෙන් ඇඹරුනාය.යළි යළිත් වේදනාව තුළ ගිලෙමින් ,මිරිකෙමින් තම හැඟීම් මතම ගැටුණය.කෙසේ හෝ ඇය අළුත් පරිසරයට අනුගත වුවාය.ඇය බුද්ධිමත් සහ නිර්භීත තීරණයක් ගත්තාය.තම කැඩි, බිඳී ගිය විවාහය යළිත් පිළිසකර කරගත යුතු බවට ඇය සිතුවාය.
විවාහ ජීවිතයේ දි සැමියා සහ බිරිඳ විසින් කරනු ලබන වැරදි හමුවේ එකිනෙකාට සමාව දිම සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින්නේ කාන්තාව බව මම විශ්වාස කරන්නෙමි. කාන්තාවක් එලෙස කටයුතු කරන්නේ තම පවුලේ අභිවෘද්ධිය සහ දරුවන් ගැන සිතමින් ය.අනෙක් අතට සමාජයේදී විවාහය යන්න ආරක්ෂාකාරී වළල්ලක් වන නිසාය.එම නිසා වේදනාව යටි හිතේ තැන්පත් කරන කාන්තාවන් සැමියා සමග ජීවත්වීමට උත්සාහ කරන්නීය .
නමුත් බිරිඳක් විසින් අනියම් සබඳතාවක් ගොඩ නගා ගැනිමක් බොහෝ පිරිමින් සලකන්නේ තම පිරිමිකමට එල්ලවු මරු පහරක් ලෙසිනි.ඒ නිසා පිරිමි පාර්ශ්වය සමාව දිමට පසුබටවන ප්රවනතාවක් දැකිය හැකිය .කෙසේ හෝ කිටී තම සැමියා සමග සාකච්ඡා කරන්නට පටන් ගත්තාය.
” ඔයාගේ ඔය ඇහට පේන්නේවත් නැති බැක්ටීරියා වලට වඩා මිනිස්සු හරිම සංකීර්ණයි “.
” මට සමාවෙන්න ඔයාට ඕන කරන විදිහේ බිරිඳක් වෙන්න බැරි උනාට .”
” මම කවදාවත් වෙන කෙනෙක් වගේ වෙන්න උත්සාහ කළේ නැ .මං චිත්‍රපටි බලන්න ,නටන්න වගේම ටෙනිස් ප්ලේ කරන්නත් ආසයි.”
” මට සමාව දෙන්න “
” දෙවියනේ මං ඒ හැදුණු වැඩුණු විදිහ “
ඇය දිගින් දිගටම සිය ආත්මය ඔහු හමුවේ දිග හැරියාය.වෝල්ටර් ඉතා උවමනාවෙන් ඇයට සවන් දුන්නේය.
” මං හිතනවා ඔයා නිවරැදියි කියලා “
” අපි අතරේ නැති ගතිගුණ හොයපු එක අපි දෙන්නගෙම මෝඩකමක්.”
ඒ බොහෝ කලකට පසු වෝල්ටර් තම සිතුවිලි අවදි කළ ආකාරයයි.
අතේ ඇගිලි පහම එක වගේ නැති බව අපි දන්නෙමු.අපි කැමති ගතිගුණ ,සිතුම් පැතුම් සියල්ලෙන්ම පරිපුර්ණ මිනිසුන් මෙලොව නැත.අපි කැමති සියල්ලම එක පුද්ගලයෙක් තුළ දකින්නට නොහැකිය.විවාහය යනු පාරිශුද්ධ වු බැඳීමකි.විවාහයක ඇති වටිනාකම හොඳින්ම දන්නේ අවිවාහකයන් බව මම විශ්වාස කරන්නෙමි.විවාහය ජීවිතයට ආශිර්වාදයකි.ආලෝකයකි.සමාජයේ ඇති මිහිරිතම බැඳීම වන්නේ පවුලය.එසේ නම් ඔබ කැමති ,ඔබ ආදරය කරන ගති ස්වභාවයන් ඔබේ සැමියා තුළ , බිරිඳ තුළ දකින්නට නොමැති නම් ඒවා අන් අය තුළින් සෙවීම කොතරම් සාධාරණ ද ? ඔහු හෝ ඇය තුළ තිබෙන ගති ස්වභාවයන්ට ගරු කරමින් ,ආදරයෙන් කල්ගත කිරිම සාමකාමි සහ ප්‍රීතිමත් විවාහයකට හේතුවක් වනු ඇත.එය ඔබට, ඔබේ පවුලට ,දරුවන්ට සතුට සහ සැනසීම ළගා කර දෙනු ඇත. ඔබ සමාජ ගරුත්වයට පාත්‍ර වීමට හේතුවක් ද වනු ඇත.එසේම ඔබ ආතතියෙන් ද මුදවනු ඇත.
මෙම චිත්‍රපටය විවාහකයන්ට සේම විවාහ අපේක්ෂිත ප්‍රේමවන්තයන්ට අනිවාර්යයෙන් නැරඹීය යුතු බවට මම නිර්දේශ කරමි.චිත්‍රපටයේ අවසානය දැන ගැනීමට නම් ඔබ විසින් එය නැරඹීය යුතුය .
මේ කොවිඩ් සමයේ ඔබට නොනොසිතූවිරු විවේකයක් ලැබී ඇත.මේ ඔබේ ආත්මය තුළට එබී බැලීමට සුදුසුම වේලාවයි.ඔබත් ඔබේ සැමියා තුළ , බිරිඳ තුළ දකින්නට නොහැකි , නොමැති එහෙත් ඔබ ප්‍රියකරන ගතිගුණ අන් අය තුළින් සොයන්නට වෙහෙසෙන සැමියෙක් ද ? බිරිඳ ක් ද ? ඒ පිළිබඳව මැසිවිලි නගමින් එකිනෙකාට චෝදනා කරගනිමින් කාලය ගත කරන්නේ ද ? .ජීවිතය ඉතා කෙටිය.ඒ කෙටි ජීවිත කාලය සතුටින් ගත කිරීම කොතරම් වටින්නේ ද ?
මොහොතකට නතර වන්න.
අදම ඔබේ සැමියා සමග බිරිඳ සමග මොහොතක් කතා කර බලන්න .ආදරය අළුත් කරගන්න.ඔබ ඔබේ සැමියාට ,බිරිඳට කොතරම් ආදරය කරනවා දැයි පවසන්න මේ ඊට හොඳම අවස්ථාවයි.