The Medium (2021) Thai – Korean | Sinhala Article

The Medium (2021) Thai – Korean Luckshman Aranwala

බලපු හොඳම හොරර් චිත්‍රපට මොනවාද? කියල ඇහුවොත් ඒ සඳහා ලිස්ට් එකක් හැදුවොත් තායි-කොරියන් සම නිෂ්පාදනයක් විදිහට නිකුත් කරපු, 94 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ Best International Feature Film කැටගරිය වෙනුවෙන් තායිලන්ත ප්‍රවේශය ලබාගත්තු මේ චිත්‍රපටය ඒ හොරර් ලැයිස්තුවේ උඩින්ම තියන්නට පුළුවන්. මේක අතිශය Creepy, horrifying සහ ඇතැමෙකුට disturbing වෙන්නත් පුළුවන් චිත්‍රපට අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නෑ. ඉදිරිපත් කරන්නේ ඩොකියුමන්ට්‍රියක් විදිහට නිසා මෙහි රියලාස්ටික් බව වඩාත් තදින් දැනෙනවා. එතකොට සාමාන්‍ය හොරර් චිත්‍රපටයකින් අත්දකිනවාට වඩා බිහිසුණු බවක් අඩංගු වෙනවා. ඒ සම්බන්ධයෙන් නම් හොරර් රසිකයෙක් ට උපරිමයෙන්ම තෘප්තිමත් විය හැකි ඇක්ට්ස් බොහෝ ප්‍රමාණයක් මෙහි දකින්නට ලැබෙනවා. ඒ කියන්නෙ එකිනෙකට වෙනස් හොරර් චිත්‍රපට වලින් දකින්නට හැකි සෑම ආකාරයකම සිදුවීම් වල මිශ්‍රණයක් තමයි මෙහි අඩංගු වෙන්නේ. ඕනවටත් වඩා වැඩිද කියල ඕනිනම් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
හොරර් පැතිකඩ පැත්තකින් තිබ්බොත් කතන්දරය ප්‍රවේශය ලබාගන්නේ හරිම ආකර්ෂණීය මාතෘකාවටයි. ලෝකයේ ඕනෑම මහාද්වීපයක දෙවියන් සහ භූතයින් ව අදහන, වන්දනාමාන කරන හෝ ඔවුන්ගෙන් පිහිටාරක්ෂාව යදිනා ජන සමාජයන් දකින්නට ලැබෙනවා. පුරාණ ජන සංස්කෘතීන් හා අනුබද්ධිතව මේ නොපෙනෙන බලවේගයන්වල පිහිට පැතීම අදටත් නොනැසී පවතින සමාජයීය අවශ්‍යතාවයක් බවට පත්වෙලා තියෙනවා. මෙහිදී නොපෙනෙන බලවේගය සහ පිහිට යදින්නා අතරට සම්බන්ධ වෙන්නේ යකැදුරෙක්. Shaman කියල හඳුන්වන මෙයාලා තමයි නොපෙනෙන බලවේගය දරාගෙන ඉන්නා මාධ්‍යය එහෙමත් නැත්නම් Medium එක වෙන්නේ. ඒ කියන්නෙ දේව හෝ යක්ෂ බලවේගයක් විසින් මිනිස් සිරුරක් භාවිතා කරනවා. යකැදුරා ඒ කාර්‍යය ඉටුකරනවා. මේ කාරණය අති දරුණු වාතාවරණයක් බවට පත්වන සිදුවීමක් ඔස්සේ කතන්දරය ගොඩනැගෙනවා.
තායිලන්තයේ ඊසානදිග පෙදෙසක ඉන්නා Shamans ලා ව හොයාගෙන වාර්තා චිත්‍රපට කණ්ඩායමක් පිටත්ව යනවා. Nim නම් shaman කාන්තාව තමන්ගෙ වාර්තා වැඩසටහන වෙනුවෙන් තෝරාගන්නා ඔවුන් ඇගේ දෛනික දිවිය ගෙවෙනා හැටි පටිගත කරනවා. මෙහිදී Shaman කෙනෙකුගේ කාර්‍යභාරය කුමනාකාරයේ එකක්ද යන්න පෙන්වා දෙනවා. ඇය සහ සාමාන්‍ය ජනසමාජය අතර ගොඩනැගෙන ආධ්‍යාත්මික සම්බන්ධතාවයෙහි පවත්නා සමාජ සංස්කෘතික පැතිකඩ සම්බන්ධයෙන් හොඳ විග්‍රහයක් සිදුකෙරෙනවා. චිත්‍රපටයේ හොරර් ක්‍රියාවලීන් ට වඩා පෞද්ගලිකව වඩාත්ම සිත්ගත්තේ ඒ කොටස්ම තමයි. කොහොමත් ඔය එක එක ජන සංස්කෘතීන්ට අයත් ඇදහිලි, විශ්වාසයන් සහ rituals වගේ ඒවායින් මට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඕනෑම හොරර් චිත්‍රපටයක වුණත් possession ක්‍රියාවලියක් සිදුවේ නම් මම ඒ චිත්‍රපටයට වැඩිපුර කැමති වෙනවා. මෙහිදී තායිලන්තය පාදක කරගෙන සිදුකරනා යාතිකර්මයන් සම්බන්ධයෙන් නම් සෑහෙන නැවුම් අත්දැකීමක් ලබන්නට හැකිවුණා මීට සමාන හොරර් චිත්‍රපට වලින් මෙතෙක් දැකල තිබ්බ බොහෝ දේවලට සාපේක්ෂව.
හොරර් කතන්දරයක් විදිහට හරිම බිහිසුණු දේවල් එකතු කිරීමේදී යක්ෂාරූඪ වන චරිතයට සිද්ධ වෙලා තියෙනවා සෑහෙන අභියෝගාත්මක චරිත නිරූපණයක නියැලෙන්නට. ඒ අනුව Mink නම් චරිතය වෙනුවෙන් සුන්දර ‍රංගන ශිල්පිණියකගෙන් කැපීපෙනෙන අතිදක්ෂ ‍creepy රංගනයක් දකින්නට පුළුවන්. ඒ වගේම හොල්මන් කියන ෆැන්ටසි භූමිකාව වඩාත් යථාර්ථවාදී පසුතලයක රඳවන්නට අධ්‍යක්ෂකවරයා විසිනුත් ලොකු නිර්මාණාත්මක වෙහෙසක් දරා තිබෙන බවත් පෙනෙනවා. අධ්‍යක්ෂකවරයාත් තායි හොරර් සිනමාව තුළ අපූරුම නිර්මාණ කීපයක්ම සිදුකළ අයෙක්. තායි සිනමාකරු Banjong Pisanthanakun විසින් අධ්‍යක්ෂණය කළ Shutter (2004), Alone (2007) සහ Pee Mak (2013) කියන්නෙ තායි හොරර් සිනමාවෙන් වෙනත් භාෂාවන්ගෙනුත් රීමේක් වූ නිර්මාණයන්. හැබැයි ඒ සියල්ලටම වඩා මේක නම් අතිශයින්ම දැවැන්තයි. පූර්ණ රසාස්වාදය උදෙසා රාත්‍රී කාලයකම නරඹන්නට වඩාත් සුදුසුයි ලෙසින් නිර්දේශ කරන්නට කැමතියි.
*****************************************************
Directed by
Banjong Pisanthanakun
Screenplay by
Chantavit Dhanasevi
Na Hong-jin
Story by
Na Hong-jin
Choi Cha-won
Produced by
Na Hong-jin
Banjong Pisanthanakun
Starring
Narilya Gulmongkolpech
Sawanee Utoomma
Sirani Yankittikan
Yasaka Chaisorn
Cinematography
Naruphol Chokanapitak
Music by
Chatchai Ponhprapaphan
Countries
Thailand
South Korea

Languages

Thai

Isan

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *