The Making of  The Bridge on the River Kwai|Sinhala Article

රිදී තිරයේ Kwai නදිය වූ අපේ කැලණි නදිය

අද මම කතාකරන්න හිතුවෙ ලාංකිකයන් විදියට අපි දැනගතයුතු වගේම සැබෑවටම ආඩම්බර වියයුතු කාරණාවක් ගැනයි. ඒ තමයි ලෝක ප්රසිද්ධ කතාවක් පාදක කරගෙන නිර්මාණය උන ඔස්කාර් සම්මාන ඇතුලු සම්මාන රාශියකින් පිදුම්ලද ලෝක සිනමාවෙ නිර්මාණය උන විශිෂ්ඨතම සිනමාපටයකට අපේ රට උන සුන්දර ශ්රී ලංකාව සම්බන්ධ උන ආකාරය. ගොඩක් දෙනෙක් මේ ගැන සාමාන්ය මට්ටමකට හෝ දන්නවා ඇති. මේ සිනමාපටය තමයි The Bridge On The River Kwai. මේක ලොවපුරා තිරගත වෙන්නෙ 1957 වර්ෂයේදි. එහෙනම් අපි සුපුරුදු විදියටම මේ සිනමාපටයේ කතාව සහ එහි සත්ය කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරලම ඒක අපේ රටත් එක්ක සම්බන්ධ උනේ කොහොමද කියලා කතාකරමු.

මම කලින් කිව්වා වගේ මේ සිනමා නිර්මාණය පාදක කරගන්නෙ එක්තරා සත්ය කතාවක් ආශ්රයෙන් නිර්මාණය උන නවකතාවක්. ඒකේ නම තමයි “Le Pont de la Rivière Kwai”. ප්රංශ නවකතාකරුවෙකු උන Pierre Boulle අතින් 1952 වර්ෂයේදී තමයි මේ නවකතාව රචනා වෙන්නෙ. මේකට පාදක වෙන කතාව මෙන්න මෙහෙමයි. දෙවන ලෝක යුධ සමයේ මිලිටරි කටයුතු සඳහා බුරුමයේ( වර්තමාන මියැන්මාරයේ) ජපන් සිර කඳවුරක සිටි බ්රිතාන්ය යුධ සිරකරුවන් පිරිසක් යොදාගෙන 1943 වර්ෂයේ සිට තායිලන්තයේ Khwae Yai ගංගාව( ඇත්තටම ඒ කාලේ මේකේ නම වෙලා තියෙන්නෙ Mae Klong River හැබැයි මේක චිත්රපටිය තිරගත උනාට පසුව තමයි Kwai ගංගාව එහෙමත් නැත්නම් Khwae Yai විදියට නම්වෙන්නෙ) හරහා දුම්රිය ගමන්කලහැකි පාලමක් නිර්මාණය කිරීමේ දුක්බර කතාන්දරය

The Bridge on the River Kwai - Wikipedia
The Bridge on the River Kwai සිනමාපටය

තමයි මේ සිනමාපටයෙන් නිරූපණය වෙන්නෙ. “the railway of death” නමින් ප්රසිද්ධ උන මේ පාලම නිර්මාණය කිරීමේදී අහිමි උන මිනිස් ජීවිත ප්රමාණය අති විශාලයි. ඉතින් යුධ සමයේ කෙලින්ම යුද්ධය හා නොබැඳුනත් එහි කවුරුත් නොදත් වෙනස්ම පැතිකඩක් නිරූපනය කල මෙය යුධ සිරකරුවන් විඳි අසීමිත දුක් ගැහැට, අමානුශික නිලධාරීන්ගේ හැසීරීම සහ මේ දෙපිරිස එකිනෙකා ඝට්ටනය වන ආකාරය ඉතාම තාත්විකව නිරූපණය කිරීමට සමත්වූ සිනමා සිත්තමක්. ඇත්තටම මේ වෙනකන් බලලා නැති කෙනෙක් නම් මේක බැලිය යුතුම සිනමාපටයක් නිසා කතාව තවදුරටත් විස්තර කරන්න යන්නෙ නැහැ. මේකේ සත්ය කතාවෙ යම් යම් කරුණු කාරණා කිහිපයක් ගැන කිව්වොත් මේ දුම්රිය පාලම නිර්මාණය කිරීමේදී ඒ වෙනුවෙන් ජීවිත පූජාකල මූලිකවම බ්රිතාන්ය සහ සුලු වශයෙන් ඇමෙරිකානු, ඕලන්ද සහ ඕස්ට්රේලියානු යුධ සිරකරුවන් සඳහා මිනී වලවල් නමදහසකට වඩා සාරා ඇතිබව වාර්ථා වෙනවා. මෙම සිරකරුවන් මිහිදන් කල ස්ථානය වර්තමානයේදී Kanchanaburi War Cemetery නමින් හැඳින්වෙනවා. ඇත්තටම “the railway of death” කියන නමටම ගැලපෙන පාලමක් උන මෙම පාලම නිර්මාණය අතරතුරේදි තායිලන්තයෙ පැවති අධික උනුසුම් නිවර්තන උශ්ණත්වයේ දිගු කාලයක් එකදිගට වැඩකිරීමට සිදුවීම, ආහාර හිඟකම, ජපන් නිලධාරීන්ගේ අමානුශික ක්රියාවන්, මැලේරියාව, අවට සිටි විෂඝෝර සර්පයින් වගේම ප්රතිවිරුද්ධ පාර්ශවයන් මගින් පාලම නිර්මාණය කඩාකප්පල් කිරීමට හෙලන ලද බෝම්බ මගින්ද ඉතා විශාල සිරකරුවන් පිරිසකට තම ජීවිතයට සමුදෙන්න සිදු උනා. ඒකාලේ ගැන සඳහන් කරන තායිලන්ත වැසියන් කියන්නෙ මේ පාලමේ එක් රේල් පීල්ලකට එක් මනුශ්ය ජීවිතයක් බැගින් බිලිගත්තා කියලයි. ඉතින් මේ වැඩේ තිබුන අමානුශික භාවය ගැන තවත් විස්තර කරන්නෙ මොකටද. කොහොම නමුත් ආරම්භයේදි නිර්මාණය කරනලද සත්ය පාලම සිනමාපටයේ අවසානයෙදි දැක්වෙන ආකාරයටම විනාශ වෙනවා. එතකොට පොඩි ප්රශ්නයක් එනවා. ඒ තමයි එතකොට දැන් තායිලන්තයේ Kwai ගංගාව හරස්කරලා ඉදිකරලා තියෙන්නෙ මේ පාලමමද කියන ප්රශ්නය. ඒකට උත්තරේ තමයි නැහැ, ඒක සත්ය පාලම නෙමෙයි. ඇත්තම පාලම නිර්මාණය කරලා තියෙන්නෙ ගඟේ ඊට තරමක් ඉහල සීමාවෙ ස්ථානයකලු. නමුත් මේ සිනමාපටය නිර්මාණය වෙද්දිත් මේ පාලමේ අවශේෂ වත් ඉතිරිවෙලා තිබිලා නැහැ. ඉතින් ලෝකය පුරාම The Bridge On The River Kwai සිනමාපටය ජනප්රිය The Famous Bridge On The River Kwai (Explored) | Famous bridges, Thailand travel, Places to travelවෙද්දි මිනිස්සුන්ට උවමනා වෙනවා මේ ලේ ගංගාවක් මැදින් නිර්මාණය උන පාලම ඇත්තටම දැකබලාගන්න. මේ වෙද්දිත් අද Kwai ගංගාව කියන කොටස හැඳින්වෙන්නෙ මම කලින් කිව්වා වගේ Mae Klong River නමින්. ඉතින් තායිලන්තයට වැල නොකැඩී එන සංචාරකයින්ගේ බලාපොරොත්තු සුන්කරන්න බැරි නිසාම තායි රජය වර්තමානයේ Kwai දුම්රිය පාලම ලෙස හැඳින්වෙන පාලම ආශ්රිත Mae Klong ගංගාවෙ ඉහල කොටස Khwae Yai විදියට අලුතින්ම නම්කරනවා. ඒ 1960 වර්ෂයේදි. ඉතින් ඔන්න ඔහොමයි සිනමාපටය නිසාම Khwae Yai නමින් ගංගා කොටසක් සහ පාලමක්ම අලුතින් නම්කරනු ලැබුවෙ.

ඔන්න දැන් තමයි මේ කතාවෙ අපිට වැදගත්ම කොටසට එන්නෙ. ඒ තමයි මේ කතාවට හේතූ පාදක වෙච්ච රට උනු තායිලන්තයට තමන්ගෙ රටට එන සංචාරකයන්ට පෙන්වන්න Kwai පාලමක් හෝ Kwai ගංගාවක් තිබුනෙ නැත්නම් අර චිත්රපටියෙ පෙන්වන සුන්දර Kwai ගංගාව සහ පාලම තිබුනෙ කොහේද කියන කාරණාව. ඇත්තටම ඒ තායිලන්තයේ නම් නෙමෙයි. ඊට සැතපුම් දෙදහසක් පමණ දුරින් පිහිටි එක්තරා සුන්දර දිවයිනක. ඒ තමයි අපේ රට වෙන ශ්රී ලංකාව. සිනමාපටයේ පෙන්නපු මනරම් Kwai ගංගාව උනේ ඇත්තටම අපේ කැලණි ගංගාව. The Bridge On The River Kwai සිනමාපටියේ අධ්යක්ෂකවරයා උන David Lean විසින් මුලදි මෙය තායිලන්තයේම රූගත කරන්න උත්සාහ කලත් ඇතිඋන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එක්ක මේ වැඩේ මග නතරවෙලා ඉද්දි තමයි ඔවුන්ට ශ්රී ලංකාවේ කිතුල්ගල ප්රදේශය තමන්ගේ වැඩේට නියමෙටම ගැලපෙන බව දැනගන්න ලැබෙන්නෙ. ඉතින් මෙහේ රූගතකිරීම් කරන්න කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැතිවීම වගේම අපේ රටේ වැසියන්ගෙන් ලැබුන පිලිගැනීම සහ සහයෝගය නිසාම ඔවුන් තමන්ගේ වැඩේට Perfect ම තැන විදියට කිතුල්ගල මස්ලෙලිය ඔය තෝරාගත්තා. කොහොමත් අපේ රටේ වැසියෝ ඒකාලේ ඉදන්ම ආගන්තුක සත්කාරය ගොඩක්ම ප්රසිද්ධ ජාතියක් නේ. ඉතින් තමන්ගේ Filming Location එක මේ විදියට තෝරාගත්තට පසුව David Lean ඇතුලු පිරිසට ඉතාම බාරදූර රාජකාරියක් තිබුනා. ඒ තමයි කැලණි ගංගාව හරස්කර සිනමාපටයේ අප දුටු ආකාරයේ දැවයෙන් තැනුනු Kwai පාලම සැබෑවටම නිර්මාණය කිරීම. ඔවුන්ට මේ පාලමේ වැඩ සම්පූර්ණයෙන්ම නිමකරන්න මාස අටක පමණ කාලයක් ගතවෙලා තියෙනවා. ඒවගේම ඒ කාලේ ඉතා විශාල වියදමක් උන ඩොලර් ලක්ෂ දෙකහමාරක පමණ වියදමක් (250,000$) මේ පාලම නිර්මාණය කිරීම වෙනුවෙන් පමණක් වැයකරලා තියෙනවා. දිගින් අඩි 425 ක් සහ උසින් අඩි 90 ක් පමණ විශාල නිර්මාණයන් උන මේ දැවමය පාලම එම සමයේදී සිනමාපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද විශාලතම පසුතල නිර්මාණය ලෙසත් හඳුන්වලා තියෙනවා. Sri Lanka to rebuild Bridge On The River Kwai | Daily Mail Online ඉතින් ඒකාලේ මේ දැවැන්ත ව්යාපෘතිය අපේ රටේ පිරිසටත් අලුත්ම අත්දැකීමක් වෙලා තියෙනවා වගේම තමයි ඔවුනුත් මේ වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය ලබාදීලා තියෙනවා. කොහොමහරි පාලමේ වැඩේට ලොකු ගාණක් යටකරන්න වීම නිසාම අතිරේක නලු නිලියන්ට ගෙවීමට වෙන්කල මුදල ප්රමාණවත් නොවීම නිසා අපේ ශ්රී ලාංකිකයින් බොහෝ දෙනෙක්ද මේ සිනමාපටයට POW(Prison of war) හෙවත් බ්රිතාන්ය යුධ සිරකරුවන් විදියට දායකත්වය ලබාදීලා තියෙනවා. අපේ සිනමා සක්විති උන ගාමිණී ෆොන්සේකා මහත්තයා පවා ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ කරන්නෙ මේ The Bridge On The River Kwai හි තෙවන සහය අධ්යක්ෂක ලෙස කටයුතු කිරීමෙනුයි. ඉතින් කිතුල්ගල ප්රදේශයට අමතරව සිනමාපටයේ දැක්වෙන වෙනත් ස්ථාන සඳහාත් ශ්රී ලංකාවේම අපිට හුරුපුරුදු තැන් තමයි යොදාගෙන තියෙන්නෙ. ඒ අනුව Major Warden විසින් බ්රිතාන්ය මූලස්ථානයේ සිට Kwai පාලම පුපුරුවා හැරීමට තමන්ගේ බලකායට අණ දී ඔවුන්ව මෙහෙයවන අවස්ථාව රූගත කර ඇත්තේ පේරාදෙණිය උද්භිත උද්යානයේ වන අතර සිනමාපටයේ පෙන්වන හමුදා රෝහල ලෙස යොදාගෙන ඇත්තේ වර්තමානයේ ගල්කිස්ස හෝටලයයි (Mount Lavinia Hotel).

ඉතින් ඉතාම සාර්ථකව මෙහි රූගත කිරීම් අවසාන කිරීමට David Lean ඇතුලු පිරිසට හැකියාව ලැබුනා. සිනමාපටයෙදි අපි දුටු ආකාරයෙන්ම අවසානයේදී මේ දැවමය පාලම සම්පූර්ණයෙන්ම පුපුරුවා හරිනවා. ඉතින් ඒ විදියටම පුරා මාස අටක කාලයක් නිර්මාණය කල පාලම ඇත්තටම පුපුරවා දැමීමට මොවුන් කටයුතු කරනවා. පසුකාලයේදි එහි ඉතිරි වු සුන්බුන් ද ලංකා රජය විසින් ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් වර්තමානයේදි The Bridge On The River Kwai | Film Locationsමේකේ ඉතිරිවෙලා තියෙන්නෙ කොන්ක්රීට් වලින් නිර්මාණය කරන ලද පාදම් කොටස් කිහිපයක් පමණයි. පසුව සංචාරක ආකර්ශණය දිනාගැනීමේ උපායක් ලෙස මෙම සිනමාපටය වෙනුවෙන් නිර්මාණය කර ලෝකයම දුටු පාලමේම ආකෘතියක් යලිත් එම ස්ථානයේ ඉදිකර ලෝකය පුරාම සිටින The Bridge On The River Kwai හි රසිකයින්ට එහි සැබෑ Location එකේදීම පාලම දැකබලා ගැනීමේ අවස්ථාව ලබාදී අමතර ආදායමක් ලබාගැනීමට සැලසුමක් සකස් කලත් එය කවදාවත් ක්රියාත්මක උනේ නම් නැහැ. ඒ විදියට තායිලන්තය සැබෑම පාලම නොවෙන වෙනත් පාලමක් Kwai Bridge ලෙස පෙන්වා ගංගාවේ නමද වෙනස්කර සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් ලබාගනිද්දි එය රූගත කල සැබෑම දර්ශනතලය The Bridge On The River Kwai location: Maskeliya Oya, Kitulgala, Sri Lankaඇති අපේ රටේ ඒ වෙනුවෙන් කිසිම ආකාරයේ ප්රසිද්ධියක් ලබානොදී එය අතහැර දමා තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්. කොහොම උනත් මේ පිලිබඳව සොයා කිතුල්ගලට යන්නෙකුට ගංගාවේ පාලම නිර්මාණය වූ නියම ස්ථානය කරා මගපෙන්වීමට සිනමාපටයේ කෙටි චරිතයකට රංගනයෙන් දායක වූ Samuel Perera නම් පුද්ගලයා කටයුතු කරනු ලැබ තිබෙනවා. ඊට අමතරව මෙහි මාර්ගය සටහන් කරන පුවරුවක්ද දැකගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් ඔන්න ඕක තමයි අපේ සුන්දර කැලණි ගංගාව ලෝක ප්රසිද්ධ උන Kwai ගංගාව බවට පත්වුන ආකාරය ගැන කතන්දරය. ඉදිරියටත් මේ ආකාරයටම ශ්රී ලංකාව හොලිවුඩය හා බැදුනු අවස්ථාවන් ගැන තොරතුරු රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *