The Kashmir Files (2022) Hindi | Sinhala Article

The Kashmir Files (2022) Hindi  by Ramitha Vimukthi

අවරුදු 75 අතීතයකට යන දේශපාලනික ගැටුමක්!

The Kashmir Files යනු මෙම වර්ෂයේ හින්දි සිනමාවෙන් නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක්. දැනට තිරගත වූ හින්දි චිත්‍රපට අතරින් වසරේ වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටයට හිමි වාර්තාව තබා ගන්නේ මෙම චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය එවැනි දැවැන්ත කඩ ඉමක් පසු කරන්නේ කිසිදු සුපිරි තරැවක් නොමැතිවයි. නමුත් ඒ සියල්ලකටම වඩා මෙය කතාබහට ලක්වන්නේ මෙහි ඇතුලත් වන ආන්දෝලනාත්මක දේශපාලනික පසුබිම සම්බන්දවය. චිත්‍රපටයේ සඳහන් කරන්නේ 90 දශක මුල් අවදියේදී මෙම කාශ්මීර ගැටුමේදී, හින්දු භක්තිකයින් රැසක් ඉස්ලාම් අන්තවාදීන්ගේ කෘර ප්‍රහාරයන් හමුවේ මරා දැමුණු වග. ඇතැමුන් මෙය මුළුමනින්ම මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් ගැසීමට සහ ඉන්දියාවේ වත්මන් රජය මෙහෙයවන භාරතීය ජනතා පක්ෂයේ propaganda වක් ලෙසටද චෝදනා කර තිබෙනවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත. එම නිසා විවේක් රන්ජන් අග්නිහොත්‍රී මෙහි ඉදිරිපත් කරන කාරණය තුල කුමන හෝ සත්‍යක් ඇත. චිත්‍රපටයේ පෙන්නුම් කරන ආකාරයට මෙය සැබවින්ම මුස්ලිම් හින්දු ගැටුමක් පමණද? ඔව්, නමුත් එය ඉන් ඔබ්බට ගිය සංකීර්ණ දේශපාලනික කාරණයක්. එය ඉන්දියාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබූ 1947 දක්වා ඉතිහාසයකට යන අතීත සිදුවීමක්.

ඉන්දියාව සහ පකිස්ථානය බ්‍රිතාන්‍යට යටත් රාජ්‍යයෙන් නිදහස් වන්නේ 1947 දී. ඒ අනුව ඉන්දියාව සහ පකිස්ථානය ස්වාදීන රාජ්‍යන් ලෙස වෙන් වනවා. එවකට ඉන්දියාවේ Princely States 562 ක්‌ තිබී ඇත. Princely States යනු එවකට බ්‍රිතාන්‍ය රාජ්‍යයේ අවම මැදිහත් වීමෙන්, ඉන්දියානු රජෙකු හෝ නවාබ්වරයෙකු විසින් ස්වාදීනව මෙහෙයවූ ප්‍රාන්තයන්. මෙහි ප්‍රධානම ගැටළුව ආරම්භ වන්නේ ඉන්දියාව බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් අනතුරුවයි. 1947 ඉන්දියානු නිදහස් පනතට අනුව මෙම ස්වාදීන ප්‍රාන්තයන්ට දේශ සීමාවන්ට සාපේක්ෂව විකල්ප ත්‍රිත්වයක් ඉදිරිපත් කර ඇත. එම විකල්පයන් වන්නේ ඉන්දියාවට සම්බන්ද වීම, පකිස්ථානයට සම්බන්ද වීම නැති නම් ස්වාදීනව සිටීමයි. ඒ අනුව බොහෝ ප්‍රාන්ත ඉන්දියාව සමග සම්බන්ද වෙද්දී ඇතැම් ප්‍රාන්තයන් පකිස්ථානය සමග සම්බන්ද වුනා. නමුත් එවකට ජම්මු සහ කාශ්මීරය මෙහෙයවූ මහරාජා හරී සිං තම ප්‍රාන්තය ස්වාදීනව පවත්වා ගැනීමට තීරණය කර තිබුනා. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුට එවකට ඉන්දියාවේ අගමැති වූ ජවහාර් ලාල් නේහ්රූ සමග පැවතුනු වෙනස් මති මතාන්තරයන්ය. එම වෙනස් මති මතාන්තර මොනවාද?.

නේහ්රූට කාශ්මීරය තුල හිතවත් මිත්‍රයෙක් ශෛක් අබ්දුල්ලා. ශෛක් අබ්දුල්ලා යනු කාශ්මීරයේ පළවෙනි දේශපාලන පක්ෂය වන Kashmir Muslim Conference (වර්තමානයේ National Conference) හි නායකයායි. ශෛක් අබ්දුල්ලාගේ දිගු කාලීන සිහිනය වූයේ කාශ්මීරය පාලනය කිරීමටයි. ඒ සමග වාමාංශික රජයක් පිහිටවීමට ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත. එය ක්‍රියාත්මක කිරීමට අබ්දුල්ලා කශ්මීරයේ රජ වූ මහාරාජා හරී සිං ට එරෙහිව Quit Kashmir යනුවෙන් රැල්ලක් ක්‍රියාත්මක කර ඇත. කශ්මීරය යනු හින්දු රජ කෙනෙකු විසින් පාලනය කළ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වාසය කළ ප්‍රාන්තයක්. මෙම රැල්ල වඩාත් බරපතල වූයේ අබ්දුල්ලා මෙය විදේශිකයෙකු වෙනුවට ඉන්දියානු ජාතිකයෙකුට එරෙහිව ක්‍රියාත්මක කළ රැල්ලක් නිසා. ඔහුට අවශ්‍ය වූයේ මහාරාජා හරී සිංව කශ්මීරයෙන් පන්නා දැමීමටයි. එවකට අගමැතිව සිටි ජවහාර් ලාල් නේහ්රූ, අබ්දුල්ලා සමග පැවති මිත්‍රත්වය නිසා ඔහුගේ මෙම ක්‍රියා කලාපයන්ට විරුද්දව ක්‍රියාත්මක වී නැත. නේහ්රූට අබ්දුල්ලා කෙරෙහි ඇති මෙම පක්ෂපාති බව ඔප්පු කරන ප්‍රකාශයක්‌ පහතින් : ” If non Muslims want to live in Kashmir, they should join the National Conference or bid goodbye to the country. If Pandits do not join it, no safeguards and weightages will protect them “. මෙවැනි ප්‍රකාශයන් ඇති කලේ ආරවුලක්. එහි ප්‍රතිපලයක් වශයෙන් 1946 මැයි මාසයේ මහරාජා හරී සිං, අබ්දුල්ලාව අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා. නේහ්රූ මෙම නියෝගය දකින්නේ ඔහුට කළ අපහාසයක් ලෙසට. නේහ්රූ සහ මහාරාජා හරී සිං අතර ඇති මෙම ගැටුම තවත් වර්ධනය වන්නේ කශ්මීරයේ අනාගතය අඳුරට දමමින්. මහාරාජා හරී සිං තම ප්‍රාන්තය ඉන්දියාව සමග අත්වැල් බැඳ ගතහොත් පකිස්ථානයේ ආණ්ඩුකාර ජනරාල්වරයා වන මොහොමඩ් අලී ජින්නාගෙන්ද විරෝදයක්‌ පැමිණෙනවා. සිං පකිස්ථානය සමග අත්වැල් බැඳ ගතහොත්, කශ්මීරයේ සිටින හින්දු ප්‍රජාවගේ විරෝදයක්‌ සේම පෞද්ගලික යටි අරමුණු සමග කැටිව සිටි ශෛක් අබ්දුල්ලාගෙන්ද විරෝදයක්‌ පැමිණෙනවා. දැඩි දෙගිඩියාවෙන් සිටි හරී සිං අවසානයේ ඉන්දියාව සමග අත්වැල් බැඳ ගන්නවා. ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඉන්දීය හමුදාව කශ්මීරයේ ආරක්ෂාව තහවුරු කිරීමට තම හමුදාව ක්‍රියාත්මක කරවනවා. කෂ්්මීරය දේශපාලකයාගේ පුද්ගලික සහ දේශපාලනික අතකොළුවක් බවට පත් වන්නේ එලෙසයි. නමුත් ප්‍රශ්නය අවසන් වන්නේ නැත.

මෙයට විදේශ මැදිහත්වීම්ද සිදුවනවා. ඉන් ප්‍රධානතම මැදිහත්වීම සිදු වන්නේ ඉන්දියාවේ පෙර ආණ්ඩුකාර ජනරාල්වරයා වූ ලෝර්ඩ් මවුන්ට්බැටන්ගෙන්. ඔහු මොහොමඩ් අලී ජින්නා වෙත යෝජනාවක් ඉදිරිපත් කරනවා කශ්මීරයේ ජනමත විචාරණයකට. මවුන්ට්බැටන් මෙය ඉදිරිපත් කරන්නේ ඉන්දියාවටද රහසිගතවයි. ඒ අනුව මෙය නීතී විරෝධී ගණුදෙනුවක්. ඔහු ඉන් අනුමාන කර ඇත්තේ ඉන්දියාව මෙම යෝජනාවට එකඟතාවය පල කරාවි යන අරමුණෙන්ය. මෙහි අනිකුත් සුවිශේෂී කාරණය වන්නේ මොහොමඩ් අලී ජින්නාද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබීමයි. නමුත් ඉන්දීය අගමැති ජවහාර් ලාල් නේහ්රූ, මෙහි බරපතලම වරද සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදානය පාලනය කරන ජනමත විචාරණයක් කශ්මීරයේ පැවැත්වීමට තීරණය කිරීමත් සමග. ඔහු සිතුවේ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඉදිරියට ඇති වීමට හැකි යුද්ධය නවතා දැමීමට ඇති එකදු විසඳුම ලෙස. පකිස්ථානයද මෙහිදී බලාපොරොත්තු වූයේ මුස්ලිම් බහුතරයක් සිටින කශ්මීර ජනතාව ඔවුන්ට සහාය දක්වාවි යන ස්ථාවරත්වයෙන්. නමුත් ලෝක දේශපාලනයට මෙම ප්‍රශ්නය විසඳීමට යාම තුලින්, දිගු කාලීනව කශ්මීරය විසඳුමක් නොමැති ගැටළුවක් ලෙස ජීවමානව පැවතුනා. රට තුල විසඳා ගැනීමට තිබුනු ගැටළුවක් ලෝක දේශපාලනය හමුවේ ලෙහා ගත නොහැකි නූල් බෝලයක් බවට පත් වුනා. සරලවම පැවසුවොත් මෙතන සිදු වූයේ ඉන්දියාව ඉල්ලන් කෑමක්.

ඉන්දීය අගමැති ජවහාර් ලාල් නේහ්රූද ඔහු කලේ බරපතල වරදක් බව පසු කාලීනව පිළිගැනීමට සිදු වුනා. එයට ප්‍රතිචාර වශයෙන් ඔහු පවසා තිබුනේ “The Kashmir issue has given us a great deal of trouble. The attitude of the great powers been astonishing. Some of them have shown active partisanship for Pakistan. We have not been given a fair deal “. නේහ්රූගේ මිත්‍රයා වූ ශෛක් අබ්දුල්ලා ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරන්නේ මෙතැන් පටන්. අබ්දුල්ලා කශ්මීරයේ බලයේ තමාගේ අතට පත් කර ගන්නවා. ඔහු නැවත වරක් කශ්මීරය ඉන්දියාවෙන් ස්වාදීනව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. Article 370 හඳුන්වා දෙන්නේ මෙම අවදියේදී. කශ්මීරය නීත්‍යානුකූලව ඉන්දියාවේ කොටසක් වූවත් දේශපාලනික කේවල් කිරීම් හමුවේ කශ්මීරයට පමණක් විශේෂ ව්‍යවස්ථාවක්‌ හඳුන්වා දුන්නා. එම ව්‍යවස්ථාවට අනුව ජම්මු සහ කශ්මීරයට වෙන්වූ ප්‍රාන්ත කොඩියක් සහ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් විශාල බලතල රැසක් හිමි කර දුන්නා. නමුත් එය කශ්මීර ගැටළුව විසඳීමට පිලියමක් වූයේ නැත. ඒ අනුව කශ්මීරය ඉන්දියාවේ පමණක් නොව ලෝක දේශපාලනයේද අතකොළුවක් වන්නේ එලෙසයි.

මෙහි බොහෝ තොරතුරු Gravitas Plus හි The Genesis of Kashmir Issue නම් වැඩසටහනේ පල්කි ශර්මා විසින් ඉදිරිපත් කළ තොරතුරු වල පරිවර්තනයන්. එහි අවසානයේ ඇය මෙවැනි දෙයක්ද සඳහන් කරනවා: ” This is a a dispute of India’s own making. A dispute with countless mistakes. Letting foreign powers meddle with it’s affairs and letting friendships influence political decisions being the biggest mistake of them all “.

Initial release: March 11, 2022
Director: Vivek Agnihotri
Distributed by: Zee Studios
Production companies: Zee Studios; Abhishek Agarwal Arts; I am Buddha Production
Music by: Score: Rohit Sharma; Songs: Rohit SharmaSwapnil Bandodkar
Cinematography: Udaysingh Mohite
Download
Subtitle Download

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *