The Hunt (2012) Denmark | Sinhala Article

The Hunt (2012) Jagten by Prageeth Shan

8.3/10IMDb

93%Rotten Tomatoes

77%Metacritic

90% liked this film Google users

ඔන්න අදත් තවත් බලන්න වටින චිත්‍රපටියක් ගැන කතාකරන්නයි ආවෙ. සමහරවිට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මොකද පහුගිය කාලේ සිනමාව සම්බන්ධ සමූහයන් වල තරමක් කතාබහට ලක් උන සිනමාපටයක් තමයි මේ. මේකේ නම තමයි The Hunt (2012) එහෙමත් නැත්නම් Jagten. Danish එහෙමත් නැත්නම් ඕලන්ද සිනමාවෙන් ලෝකයට බිහිකරපු වෙනස්ම ආකාරයෙ සිනමා ශෛලියක් අනුගමනය කරන අතිදක්ශ අධ්‍යක්ෂකවරයෙක් වෙන Thomas Vinterberg තමයි මෙහි නිර්මාණකරුවා වෙන්නෙ. අපි එහෙනම් බොහොම කෙටියෙන් බලමු මේ සිනමාපටයෙ කතාව මොන වගේද කියලා..

Lucas කියන්නෙ අසාර්ථක විවාහයකින් පස්සෙ තමන්ගෙ බිරිඳගෙන් සහ පුතාගෙන් වෙන්වෙලා ජීවත්වෙන පෙරපාසල් ගුරුවරයෙක්. ඉතින් බොහොම ආචාරශීලී, වැදගත් චරිතයක් විදියට හැමෝම අඳුනන Lucas පොඩි දරුවොන්ට බොහොම ආදරේ කෙනෙක්. ඉතින් ඒ නිසාම ලමයිත් එක්ක බොහොම සුහදව, ලඟින් ආශ්‍රය කරන්න Lucas ට පුලුවන් වෙනවා. ඔය අතරෙ මේ පෙරපාසලේ ඉන්නවා Klara කියලා පුංචි ගෑනු ලමයෙක්. ඇත්තටම පෙරපාසලේ ඉන්න අනිත් ලමයින්ට වඩා Klara ට Lucas ව විශේෂ වෙනවා මොකද Lucas කියන්නෙ Klara ගේ තාත්තා උන Theo ගේ හොඳම යාලුවා නිසා. ඉතින් මේ හිතවත්කමත් එක්ක වගේම තමන් අහම්බෙන් දකින ලිංගිකත්වය සම්බන්ධ දෙයක් නිසා මේ පුංචි Klara හිතනවා Lucas ව යාලු කරගන්න ??? ඇත්තටම මේක හරි විහිලුවක් වගේ උනාට පොඩි වයසෙදි එන අනවශ්‍ය බලපෑම් එක්ක, දකින අහන දේවල් එක්ක පොඩි ලමයි අරුම පුදුම දේවල් කරන්න උත්සාහ කරන අවස්ථා ඕනතරම් තියෙනවා. හැබැයි එයාලා ඒ කරන දේවල් වල තේරුමක්, බලපතලකමක් ගැන වැටහීමක් නෑ. ඉතින් මේ විදියට Klara, Lucas ට හාද්දක් දෙන්න පොඩි උත්සාහයක් අරගෙන පස්සෙ Lucas ගෙන් ඒකට අනුබලයක් නොලැබුන නිසා තරහා අරගෙන තමන් ඉන්න පෙරපාසලේ ප්‍රධානී තුමියට කියනවා පුංචි බොරුවක්…?? ඇත්තටම මේ කියන වචනවල බලපතලකම ගැන Klara ට කිසිම අවබෝධයක් නැති උනත්, ඒක එවෙලෙ ඇතිඋන ක්ශණික අමනාපය නිසා කියපු බොරුවක් උනත් මේ පුංචි ලමයා කියන අදහගන්න බැරි කතාව නිසා පෙරපාසල් ප්‍රධානීතුමියට හීන් දාඩිය දානවා.. ඔන්න ඔතනින් තමයි Lucas ගේ ජීවිතය සම්පූර්ණ කණපිට පෙරලෙන්න පටන්ගන්නෙ. සමහරවිට ඔයාලට හිතාගන්න පුලුවන් ඇති මොනවගේ දෙයක්ද Klara කිව්වෙ කියලා. නමුත් මම ඒ ගැන කියන්නෙ නෑ. බලපු නැති කෙනෙක් නම් බලලම ඉන්නකො Klara ගෙ මේ පුංචි බොරුව Lucas ගේ ජීවිතේ මොන අතකට අරගෙන යාවිද කියලා..

ඇත්තටම මේ චිත්‍රපටිය බලලා ඉවර උනාම කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක හරිම සරල කතාවක් නේද කියලා.. මොකද අප්පේ මෙච්චර මේක කට්ටිය හොඳයි කියන්නෙ කියලා හිතෙන්නත් බැරි නෑ. හැබැයි මේකෙන් කියවෙන ආකාරයෙ සිදුවීමකදි මිනිස් සමාජය විසින් දක්වන ප්‍රතික්‍රියාවන් ගැන, හැසිරීම් ගැන මේ තරම් හොඳට, සංයමයෙන් යුක්තව පෙන්වලා දීපු වෙනත් සිනමා නිර්මාණයක් මම නරඹලාම නෑ. මේකෙදි චිත්‍රපටියේ සාර්ථකත්වයෙ කොටසක් තිර පිටපත වෙනුවෙන් වෙන්කරනවා වගේම ඒ හා සමානවම කොටසක් රංගනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙනුත් වෙන්කරන්න ඕනමයි. ඒ තරම්ම ස්වභාවික රංගනයක් මේකෙ නලු නිලියන් විසින් සිදුකරනවා. අපි කියනවනෙ ඔය Overacting කියලා. එහෙම කිසිම දෙයක් මේකෙ නෑ. හරියට අපි සමාජයෙ වෙන දේවල් ඒ මිනිස්සුන්ට් හොරාම රූගත කලා හා සමානයි. Background music භාවිතය පවා ඉතාම අවමයි. ඒ හැම අවස්ථාවකදිම යොදාගෙන තියෙන්නෙ සාමාන්‍ය පරිසරයෙන් ඇහෙන ශබ්ද විතරයි. ඉතින් මේ නිසාම මේක බලද්දි චිත්‍රපටියක් නරඹනවට වඩා වෙනස්ම හැඟීමක් දැනෙන්න ඇති ගොඩක් අයට. ඒක තමයි මේකේ අධ්‍යක්ෂවරයා උන Thomas Vinterberg ගේ ශෛලිය. ඉතින් ඒක සහ මේකේ අපූරු පිටපත එක්ක එකතුවෙලා අපූරු සමාජ කියවීමක් සිද්ධකරන්න පුලුවන් වෙලා තියෙනවා.

මේ අපූරු සිනමාපටය 2014 වසරේදී හොඳම විදේශීය සිනමාපට සඳහා වන ඔස්කාර් සම්මානයේ නිර්දේශ අතරට එක් උනා විතරක් නෙමෙයි තව බොහෝ සිනමා සම්මාන විදේශීය සිනමාපට අංශයෙන් දිනාගන්න සමත් උනා. ඒවගේම මෙහි තිර පිටපත සහ රංගනය වෙනුවෙන්ද බොහෝ සම්මාන හිමිවෙලා තියෙනවා ❤️❤️ ඊටත් අමතරව IMDB දර්ශකයෙ 8.3 ක අගයක් රඳවාගෙන ලෝකයෙ නිර්මාණය උන හොඳම සිනමාපට අතර 95 වන ස්ථානයේ රැඳී පවතින විශිෂ්ට සිනමා නිර්මාණයක් තමයි මේ.

එහෙනම් මේ ෆිල්ම් එක නොබලපු අය මෙතනින් නැවතිලා ෆිල්ම් එක බලලම ඇවිත් ඉතුරු ටික කියවන්න. බලපු අය විතරක් ඉතිරි කොටස කියවන්න…

????? Spoiler Alert ?????

ඇත්තටම මේක ඕලන්ද සමාජයේ එක්තරා පැතිකඩක් පෙන්නුවත් අපේ සහ ඉන්දියාවෙ සමාජ වටපිටාවන් එක්ක ගත්තොත් මේක මීටත් වඩා බරපතල මට්ටමෙන් පෙන්වීමේ හැකියාව තියෙනවා. ඉන්දියාව කියන්නෙ දිනපතාම කාන්තා දූශණ, අපචාර වාර්ථා වෙන රටක් උනත් ඒ වගෙ දේකට වැරදිකරුවෙක් උන කෙනෙක්ට ( සමහරවිට මෙයා ඒ ගැන හාංකවිසියක් වත් නොදැන ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් ) සමාජය තුලින් එල්ලවෙන පීඩනය මොනතරම්ද කියලා අමුතුවෙන් විස්තර කරන්න උවමනා නෑ.ගොඩක් වෙලාවට මේ පීඩනය අදාල පුද්ගලයට විතරක් නෙමෙයි ඔහුගේ සමීපතමයන්ට පවා අත්විඳින්න වෙනවා. කවදහරි අර පුද්ගලයා උසාවියෙදී පැහැදිලිවම නිර්දෝශී බව ඔප්පු උනත් කවදාවත් අර මිනිස්සුන්ගෙ හිත්වල ඒ කෙනා ගැන ඇති උන කලු පැල්ලම යවන්න පුලුවන් වෙනවද.. බෑ… කවදාවත් බෑ.. ඉතින් ඒ දරුණු ඉරණමටම තමයි මෙතනදිත් Lucas ට මූණදෙන්න සිද්ධ වෙන්නෙ. එකම එක වැරදි වැටහීමක් නිසා තමන්ගෙ හොඳම යහලුවා ඇතුලු මුලු නගරයම Lucas ගැන හිතන විදිය එක දවසින් වෙනස් වෙනවා. මේක ඔහුව නොසලකා හැරීමටත් වඩා දුරදිග යනවා. ඔහුගෙ පුතාව පවා පිලිකුල් කරන්න මිනිස්සු පෙලඹෙනවා. රස්සාව නැතිවෙලා ඉන්න මනුස්සයට කෑම ටිකක් දෙන්න හොයලා බලනවා තියා ඒ මනුස්සයා කෑමක් බීමක් සල්ලි වලට හරි ගන්න යද්දි ඔහුව කඩෙන් එලවන තත්ත්වයටම මේ ප්‍රශ්නය දුරදිග යනවා. මේ දුක් කරදර Lucas ට තනියම විදින්න වෙන්නෙත් නැ. නගරෙම මිනිස්සු පිලිකුල් කරද්දි හැමදාම ඔහු ලඟින් ඉදගෙන තනිය මකපු බලු සුරතලාව පවා මරාදමන්න තරම් මේ වෛරය දුරදිග යනවා. ඉතින් ඔන්න ඕක තමයි දියුණු හෝ නොදියුණු වේවා ඕනම සමාජයක මේ වගේ චෝදනාවකට ලක්වෙන්නාට අත්වෙන ඉරණම.. ඔහු ඒ දේ ඇත්තටම කලානම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හිත දන්නවා ඔහු ඒ දඬුවම විඳින්න සුදුසුයි කියලා. නමුත් තමන් හීනෙකින්වත් හිතපු නැති වැරැද්දකට හැමකෙනාම තමන්ටම චෝදනා කරද්දි අඩුතරමෙ තමන් නිර්දෝශී බව පෙන්වන්න කියන එකම වචනයකට වත් කවුරුවත් ඇහුන්කන් දෙන්නෙ නැත්නම්. ඒ පුද්ගලයගෙ හිතට දැනෙන නමුත් හිත ඇතුලෙ හැංගිලා තියෙන වේදනාව මොනතරම් ද කියලා පෙන්වන ඉතාමත්ම තාත්වික රංගනයක් අතිදක්ශ නලුවෙකු වෙන Mads Mikkelsen විසින් සිදුකරනවා. ඇත්තටම ඒ ගැන කියන්න වචන නෑ ??? ඒ තරම්ම විශිෂ්ටයි.. ඊටපස්සෙ මේ කතාවෙ තවත් වැදගත් පැතිකඩක් තියෙනවා. ඒ තමයි වැඩිහිටියන් කුඩා දරුවන් පවසන දේවල් ගැන තියෙන විශ්වාසය. ඇත්තටම කොහේ උනත් වැඩිහිටියො තවත් වැඩිහිටියෙක් ව විශ්වාස කරන්න පෙලඹෙනවට වඩා කුඩා දරුවෙක් කියන දෙයක් විශ්වාස කරන්න පෙලඹෙන සම්භාවිතාවය වැඩී. මොකද ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි කෙනෙක් බොරුවක් කියන්නෙ යම් වාසියක් ගන්න බලාගෙන කියලා. ඉතින් කුඩා දරුවො මොන වාසියක් ගන්නද කියලා හිතලා පොඩි ලමයි කියන ගොඩක් දේවල් විශ්වාස කරන්න පෙලඹෙනවා. නමුත් ඇත්තටම කුඩා දරුවො වාසි ඇති හෝ නැති උනත් බොරු කියන අවස්ථාවන් ඕනතරම් තියෙනවා. මෙතන තියන භයානකකම තමයි වැඩිහිටියෙක් බොරුවක් කියද්දි ඒ බොරුව නිසා ඇතිවෙන ප්‍රතිවිපාක ගැන යම් අවබෝධයක් ඇතුවයි බොරුවක් කියනවා නම් කියන්නෙ. නමුත් පොඩි දරුවෙක් එහෙම නෑ. ගොඩක් වෙලාවට කියන දේ බරපතල කමක් තේරෙන්නෙ නෑ. ඒ අවස්ථාව අනුව එයාලා හිතලා කියනවා. හැබැයි ඒකේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙ අර දරුවට නෙමෙයි. ඊට පරිබාහිර කෙනෙක්ටම තමයි. ඉතින් ඔන්න ඕක තමයි මේ කතාවෙදිත් සිද්ධ උනේ. Klara එක අවස්ථාවකදි ඇති උන ආවේගයට බොරුවක් කිව්වා. නමුත් ඒක ටිකෙන් ටික භයානක මට්ටමකට එද්දි එයා තමන්ගෙ අම්මට තාත්තට ඇත්ත තේරුම් කරන්න උත්සාහ කලත් ඒ හැමදේම වැඩිහිටියො බාරගත්තෙ වැරදි කෝණයකින්. Lucas එයාට ආයෙ කරදර කරයි කියලා බය නිසා Klara එහෙම කියනවා කියලා තමයි වැඩිහිටියො හිතුවෙ. ඒකෙන් උනේ වැඩේ තවදුරටත් දිග්ගැස්සුන එක විතරයි. අන්තිමට සමාජයේ වැදගත් චරිතයක් විදියට ඉදපු අහිංසක මනුස්සයෙක්ගෙ ජීවිතේම අපායක් බවට පත්කරලා එයා එක්ක හැමදාම තනි රැකපු අහිංසක හුරතලාවත් උදුරගන්න මේ පුංචි බොරුවට පුලුවන් උනා.. කොහොම නමුත් අවසානයෙදි Theo විසින් ඇත්ත තේරුම් අරගෙන Lucas ට සමාව දුන්නත්, ඔහු නිර්දෝශී කෙනෙක් කියලා ආයෙම සමාජය පිලිගත්තත් තවමත් අර මිනිස්සුන්ගෙ ඔලුවල Lucas ගැන ඇති උන කලු පැල්ලම මැකිලා ගිහින් නෑ කියන කාරණාව චිත්‍රපටියෙ අවසානයෙදි අපිට පෙන්වනවා. ඇත්තටම නොදැනුවත්කමින් ඇති උන ඒ වැරදි වැටහීම Lucas ගෙ මරණයෙන් පසුව වත් මිනිස්සුන්ගෙ හිත්වලින් මැකී නොයනු ඇති බව මේ සිනමාපටය අපිට අපූරුවට පෙන්වලා දෙනවා. ඉතින් මේ වගේ සිදුවීමක් ඔබට, අපිට ඕනම කෙනෙක්ට සිද්ධවෙන්න පුලුවන්. වැදගත්ම දේ තමයි මේ වගේ දේකදි අපි මොනතරම් නිර්දෝශී උනත් සමාජය හැමවෙලේම ගන්නෙ වින්දිතයගෙ පැත්ත. අන්න ඒකයි ඇත්ත. The Hunt සිනමාපටයෙන් පෙන්වන සමාජ සත්‍යය ඕක තමයි.. ඉතින් නොබලපු අයට පොඩි උත්තේජනයක් එන්න වගේම බලපු අයට ආයෙ මතක් වෙන්නත් මේ Review එක උදවු උනා කියලා හිතනවා. තවත් මේ වගේ අපූරු සිනමාපටයක තතු විත්ති අරගෙන ඉක්මනින්ම හමුවෙන්නම්. එහෙනම් සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!

 

Thomas Vinterberg
Release date: January 10, 2013 (Denmark)
Danish: Jagten

Box office: $18.3 million

 

 

The Hunt Official Trailer #1

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *