The Farewell (2019) Chinese | Sinhala Article

The Farewell (2019) Chinese by Ramitha Vimukthi

85% liked this film Google users

Spoiler Alert!

මව් රටෙන් ඈත්වී වෙනත් රටක ජීවත් වන කෙනෙකු වශයෙන්, The Farewell මාගේ සිතට තදින්ම කාවැදුණු නිර්මාණයක්‌. තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් වෙනත් රටකට සංක්‍රමණය වීම, එක්තරා පැතිකඩකින් සුබදායි වූවත් තවත් පැතිකඩකින් එය දුකක්. අපගේ දෙමාපියන්ගෙන් සහ සමීප නෑදෑ හිතමිතුරන්ගෙන් ඈත්වීමේ ඇති හුදෙකලාව මා අත්විඳ ඇත. කාලයත් සමග මා එයට හුරු වූ තිබුනද, යම් යම් අවස්ථාවන් වල එම හුදෙකලාව දැනෙන අවස්ථාවන් එමටයි. විශේෂයෙන්ම විවිද කාලවල් තුලදී නොස්ටල්ජියාවන් වල ජීවත් වීම මා වැනි සංක්‍රමණිකයෙකුට බොහෝ සෙයින් සුලබ දෙයක්. විශේෂයෙන්ම Farewell නැතිනම් සමුගැනීම යන කාරණයේදී, මා බොහෝ අවස්ථාවන් තුලදී මතුපිටින් සංවේදී නොවුනත් ඇතුලාන්තයෙන් සංවේදී වන අවස්ථා එමටයි. මෙම චිත්‍රපටය මා වෙත බොහෝ සෙයින් සමීප වන්නේ එතැනදී. මෙහි බිලීගේ චරිතයෙන් මාවම දුටුවා. බිලීගේ මිත්තණිය වන චරිතයෙන් මාගේ මිත්තණියව දුටුවා. එකදු වෙනස මාගේ මිත්තණියට අවසන් වරට සමුදීමට, මව් රටට පැමිණීමට අවස්ථාවක් නොලැබීමයි. The Farewell චිත්‍රපටය මා හට පෞද්ගලිකව සමීප වන්නේ එලෙසයි.

බිලී යනු ඇමරිකාවේ ජීවත් වන චීන ජාතික තරුණියක්. කුඩා කලදීම තම දෙමාපියන් සමග ඇය ඇමරිකාවට සංක්‍රමණය කර ඇත. බිලී ඇගේ මිත්තණිය (පියාගේ මව ) සමග සමීප සම්බන්දයක් පවත්වනවා. නමුත් චීනයේ ජීවත් වන ඇගේ මිත්තණිය සමග එකට සිට කාලය ගත කිරීමට, බිලීට නිසි අවස්ථාවක් ලැබී නැත. සාර්ථක රචකයෙක් වීමට හීන දකින බිලීගේ වෘතිමය තත්වයද එතරම් සාර්ථක නැත. මේ අතරවාරයේ තම මිත්තණිය පිලිබඳ හද කම්පා කරවන ආරංචියක් බිලී වෙත ලැබෙනවා. එම ආරංචිය වන්නේ ඇගේ මිත්තණියට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව. වෛද්‍ය අදහස් වලට අනුව තම මිත්තණිය දීර්ග කලක් ජීවමාන නොවන වගද ඇය දැනුවත් වනවා. බිලීගේ පවුලේ සාමාජිකයින් සහ චීනයේ සිටින අනිකුත් නෑදෑ හිත මිතුරන් මෙම රෝගී තත්වය පිලිබඳ මිත්තණිය දැනුවත් නොකිරීමට තීරණය කරනවා. මෙයට ප්‍රධාන හේතුවක් වශයෙන් සඳහන් කරන්නේ චීනයේ අනුගමනය කරන සංස්කෘතික ආචාර ධර්මයක්‌ ලෙසටයි. බිලීගේ පියාගේ සහෝදරයාද ජීවත් වන්නේ ජපානයේ. ඔවුන් සියල්ලන්ම එක්ව මිත්තණිය අවසන් වරට දැක බලා ගැනීමට තම මව් රටට ගමන් කරනවා. මෙම පවුලේ එක්වීමට උපායක් ලෙස භාවිතා කරන්නේ බිලීගේ ඥාති සහෝදරයෙකුගේ මංගල්‍යක්‌. එහි මූලික අරමුණ තම මිත්තණියට ඔවුන්ගේ පැමිණීම සම්බන්දව කිසිදු සැකයක් නොදැනෙන තැනට වැඩ කටයුතු සිදු කිරීමටයි. ඔවුන්ගේ සැලසුම ඒ ආකාරයටම ක්‍රියාත්මක වනවාද යන කාරණය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.

මරණය සහ එය සම්බන්දව ඇති වන සිතුවිලි, අප තුල ඇති කරන්නේ ගුප්තසහගත හැඟීමක්. බිලීටද තම මිත්තණියගේ රෝගී තත්වය දැන ගත් විගස, මෙවැනි ගුප්තසහගත සිතුවිල්ලක් පෙන්නුම් කරනවා. නමුත් අපට සිත සදා ගැනීමට සිදුවන එකම කාරණය, අපත් දවසක මැරෙනවාය යන සිතුවිල්ල පමණයි. මෙය අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ Lulu Wang, ඇමරිකානු සහ ආසියාතික සංස්කෘතීන් තුල ඇති වෙනස්කම් ඉතා අපූරුවට පෙන්නුම් කරනවා. බොහෝ බටහිර රටවල් තුල පුද්ගලයෙකුට ඇති වන රෝගී තත්වය කෙතරම් දරුණු වූවත්, එම පුද්ගලයාව එය සම්බන්දව දැණුවත් කරනවා. එහිදී බාල මහළු බේදයක් නොමැත සහ එවැනි රටවල් තුල රෝගියා එය පිලිබඳ දැණුවත් වීම ඔවුන්ගේ අයිතිවාසිකමක්‌ ලෙසද සඳහන් කරනවා. නමුත් ආසියාතික සංස්කෘතීන් තුල එවැනි රෝගී තත්වයන් ඇති මහළු පුද්ගලයින්ගෙන් සත්‍ය වසන් කරනවා. එයට හේතුවක් වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ, එම පුද්ගලයා රෝගී තත්වය ගැන කිසිවක් නොදැන සතුටින් මිය යාවී යන බලාපොරොත්තුවත් සමග. මා ආරම්භයේදී මාගේ මිත්තණිය පිළිබඳවද සඳහන් කළා. සැබවින්ම ඇයට තිබුනේද පෙනහළු පිළිකාවක් සහ මාගේ දෙමාපියන්ද ඒ සම්බන්දව ඇගෙන් වසන් කළා. එය පිලිබඳ මා තුලවත්, මාගේ සහෝදරිය තුලවත් කිසිදු එකඟතාවයක් තිබුනේ නැත. නමුත් කිසිවක් නොදැන සිටි මාගේ මිත්තණිය සමකාමීව මිය ගියා. මේ ආකාරයේ ඇතැම් විශ්වාසයන් අපට විහිළුවක් ලෙස දැනුණත්, එක්තරා ආකාරයකට එහි වරදක්ද නොමැත.මේ ලෝකයේ මිනිසුන් විවිදාකාරයි සේම, එකිනෙකාගේ සිතුවිලිද විවිදාකරයි. මාගේ මිත්තණිය සම්බන්දව සිතා බලද්දී, සැබවින්ම එයින් ඇයට අයහපතක්‌ සිදු වූයේ නැත.

Lulu Wang අධ්‍යනය කරන තවත් ප්‍රධානම කාරණයක් වන්නේ, ආසියාතික සංස්කෘතීන් තුල පවුල සම්බන්දව ඇති ප්‍රභල බැඳීම්. විශේෂයෙන්ම ළමුන් සහ ආච්චි/සීයා අතර ඇති බැඳීම්. ආසියාතික පවුලක් නිර්වචනය කෙරෙන ප්‍රධානතම කාරණයක් එය. අප කෙතරම් කාලයක් ඈත්ව සිටියත්, බොහෝ කලකට පසුව එම ආදරණීයන් මුණගැසෙන හැඟීම ඉතා සුවිශේෂීයි. පවුලේ සියළුම දෙනා සමග ගත කිරීමට ලැබෙන ඇතැම් මොහොතවල්,අප වෙනත් රටකට සංක්‍රමණය වූ විට නොලැබෙන්නට පුළුවන්. බිලීගේ චරිතය තුලද එම මොහොතවල් මග හැරීම සම්බන්දයෙන් එක්තරා ආකාරයක කලකිරීමක් සහ හුදෙකලාවක් පෙන්නුම් කළා. සැබවින්ම මෙය මා ඇතුළු බොහෝ සංක්‍රමණිකයන් තුල තිබෙන පොදු හැඟීමක්. තම මව් රටත් සමග සංක්‍රමණිකයෙකුට ඇති නොස්ටැල්ජියාව, ලෙහෙසියෙන් අමතක කිරීමට නොහැකි සංකීර්ණ කාරණයක්.

මෙහි අධ්‍යක්ෂිකාව වන Lulu Wang මෙවැනි සංවේදී මාතෘකාවක්, ප්‍රවේසමෙන් ඇතුලත් කර ඇති හාස්‍ය රසයත් සමග ඉතා අපූරුවට ඉදිරිපත් කර ඇත. මෙහි රංගනයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. බිලීගේ චරිතය රඟ දැක්වූ Awkwafina, එම චරිතය සංස්කෘතික විවිදත්වයන් හමුවේ අත්විඳින ව්‍යාකූල හැඟීම් සහ තම මිත්තණිය සහ මව් රට සම්බන්දව ඇති සංවේදී සිතුවිලි ඉතා විශිෂ්ට ලෙස ඇයගේ රංගනය තුලින් පෙන්නුම් කළා. බිලීගේ මිත්තණියගේ චරිතය රඟ දැක්වූ Zhao Shu-zhen ගේ රංගනයද ඉතාම ඉහල මට්ටමක තිබුනා. විශේෂයෙන්ම චිත්‍රපටයේ ඇතුලත් වන හාස්‍ය රසය සහ සංවේදය ඉස්මතු වන්නේ ඇයගේ රංගනය තුලින්. ඒ සමගම Alex Weston ගේ සංගීත අධ්‍යක්ෂණයද මෙහි කැපී පෙනුණ අංගයක්.

මෙය සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයක්. ඉන් කිහිපයක් වන්නේ :

77 th Golden Globe Awards – Best Actress in a Musical/Comedy

Independent Spirit Awards- Best Feature & Best Supporting Actress

Sundance Film Festival – Audience Favourite Award

Palm Springs International Film Festival- Directors To Watch Special Appreciation Award For Lulu Wang

Lulu Wang
Release dateJuly 12, 2019 (USA)
LanguagesMandarin; English
Box office$23.1 million
Download
Subtitle Download

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *