The Exam (2021) Iraq | Sinhala Article

The Exam (2021) kurdish by Luckshman Aranvala

Exam කිව්වම ෆිල්ම් පිස්සොන්ට මතක් වෙන අපූරු චිත්‍රපටයක් තියෙනවා. 2009 දි නිකුත් වුණ, සම්පූර්ණ චිත්‍රපටයම විභාග ශාලාවක තුළ පැවැත්වෙන අද්භූත සිදුවීමක් ඇසුරෙන් සමන්විත අපූරු චිත්‍රපටයක්. කිසිසේත්ම කිසිම ආකාරයක සමානකමක් නැති නමුත් මේකත් මම ඒකටම ඈඳනවා. ඒ මේ චිත්‍රපටය තුළත් පවත්නා නොනිම් කුතුහලය නිසා. මේක කුර්දිෂ් බසින් සමන්විත චිත්‍රපටයක්. ඒ නිසාම මැදපෙරදිග සිනමාවට ආවේණික යථාර්ථවාදී බවිනුත් අනූනයි. කුර්දිෂ්-ඉරාකී ජාතික සිනමාකරු Shawkat Amin Korki කියන්නේ 88 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙල වෙනුවෙන් ඉරාකය නියෝජනය කළ (නොමිනේට් නොවූ) ‘Memories on Stone’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි. මෙයත් ඔහුගේ අගනා නිර්මාණයක්.

විශ්ව විද්‍යාල වරම් ලබාගන්නට අවශ්‍ය කරන විභාග මාලාවකට මුහුණ දෙන කුර්දිෂ්-ඉරාකී තරුණියකට ඒ විභාගය නිසාවෙන්ම මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත වාතාවරණයක් විදිහටයි කතන්දරය දිගහැරෙන්නේ. එක්කෝ ඈ කැම්පස් ‍යා යුතුයි, නැතිනම් ඈ අකමැති යෝජිත විවාහයකට කැමති විය යුතුයි ලෙසිනුයි ඇගේ වර්තමාන තත්ත්වය සැදුම් ලබන්නේ. නමුත් ඇය විශ්ව විද්‍යාලයට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු සැබෑම කාරණය අවබෝධ කරගන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරිය පමණයි. ඒ නිසාම Rojjn ගෙ විභාග මාලාව සමත් කරවන්නට අක්කා Shilan ට ත් සිදුවෙනවා අනපේක්ෂිත අවදානම්කාරී වාතාවරණයකට මැදිවන්නට. ඒ අනුව මේ කතන්දරය අක්කා-නගෝ දෙදෙනා අතරම බෙදී යනවා. ඒ වගේම රට ජාතිය සහ වැසියන් මුහුණපානා අර්බූදයන් ගැනත් වටෙන් පිටෙන් කියනවා. ඒවා ප්‍රධාන කතන්දරයටත් අනුයුක්ත කරවනවා.

උගත්කමින් අනූන වුවත් විභාගය සමත් වීම ලෙහෙසි පහසු නැහැ. Rojin ට මේක කොහොමත් කරන්න බෑ. නමුත් අක්කා හොයාගන්නවා ක්‍රමයක්. ඒ ඔස්සේ මේ කතන්දරයට එක්වන අනෙකුත් චරිත අතරේ මහ මොළකරු Mr. Engineer, විභාග ශාලා පරීක්ෂක Jamal සහ අක්කාගේ සැමියා Sardar යන චරිත වලටත් කතන්දරය ඇතුළේ ලොකු ඉඩක් හිමිවෙනවා. නංගිගෙ විභාග හුටපටය අක්කගෙ සැමියා වෙතට බලපාන්නේත් නොසිතූ විරූ ආකාරයකටයි. ඒ ඔස්සේ මැදපෙරදිග චිත්‍රපටවලින් වැඩිපුර උලුප්පලා පෙන්නන පුරුෂාධිපත්‍යය වගේ කාරණා වෙතටත් අංශක කීපයකින් හැරෙනවා.

කොහොමත් කෙල්ලෙක් විභාග පාස් කරවලා කැම්පස් යවන එක කසාදයක් බන්ඳලා දෙන එකට වඩා වැදගත් වෙන්නෙ නැහැනේ ඒ අයට අනුව. නමුත් මුලිනුත් සඳහන් කළා වගේ නංගිව කැම්පස් ‍යවන්න බලපාන ප්‍රධානතම හේතුව තේරුම් ගන්න හැකියාවක් තියෙන්නෙ අක්කටම විතරයි. ඒ හින්දයි ඇය වැනි සාමාන්‍ය මැදපෙරදිග කාන්තාවක් විසින් නොදැරිය යුතු අවදානම්කාරී මෙහෙයුමක කොටස්කාරිනියක් වන්නට සිද්ධ වෙන්නේ. හොඳ රියලාස්ටික් ඩ්‍රාමා රසයක් සහ හොඳ කුතුහලයක් ජනිත කරවනා චිත්‍රපටයක් විදිහටත් ඉහළින්ම නිර්දේශ කරනවා.

*****************************************************

Directed by
Shawkat Amin Korki

Produced by
Mehmet Aktas

Written by
Shawkat Amin Korki
Mohamed Reza Gohari

Cast
Avan Jamal
Vania Salar
Hussein Hassan Ali
Hoshyar Nerwayi
Kawa Kadir
Shwan Attoof

Cinematography by
Adib Sobhani

Music by
Mehmûd Berazî

Countries
Germany
Iraq
Qatar

Language
Kurdish

ඉංග්‍රිසි උපසිරැසි එක්ක ලින්ක් එක ඩ්වුන්ලෝඩ් කරගන්න පුලුවන්

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *