The Disciple (2020) Marathi | Sinhala Article

The Disciple (2020) Marathi 

Spoiler Alert!

2014 දී තිරගත වූ Court චිත්‍රපටයෙන් පසුව, චෛතන්‍යා තම්හානේගේ දෙවන ෆීචර් චිත්‍රපට නිර්මාණය වන්නේ The Disciple. The Disciple යනු මෙම වසරේ ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ඉන්දියාවෙන් යෝජනා කළ චිත්‍රපට අතරින් එකක්. නමුත් එය වෙනුවෙන් Jallikattu තෝරා ගැනීමත් සමග මෙම චිත්‍රපටයට එම අවස්ථාව අහිමි වනවා. Court චිත්‍රපටයේ ඉන්දියානු අධිකරණය පිලිබඳ බැරෑරුම් සංවාදයක් ඇති කළ තම්හානේ, The Disciple හරහා ඊට වෙනස් වූ තවත් සංකීර්ණ මාතෘකාවක් ඉදිරිපත් කරනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන මාතෘකාවක්‌ වන්නේ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය සහ කලා ශිල්පියාගේ අරගලය. කලා ශිල්පියෙකුගේ ජීවිත අරගලයක අභ්‍යන්තරය ඉතා ගැඹුරු ලෙස අධ්‍යනය කළ චිත්‍රපට තිබෙනවා නම්, එම චිත්‍රපට අතරින් ඉහලින්ම තැබිය හැකි නිර්මාණයක්‌ The Disciple.

ශාරද් යනු ශාස්ත්‍රීය සංගීතය තම ජීවිතයම කර ගත් තරුණයෙක්. කෙදිනක හෝ එම අංශයෙන් ඉහලටම යාම ඔහු තුල තිබෙන දැඩි අධිෂ්ඨානයක්. ශරාද්ගේ ගුරුවරයා වන ගුරූජී සහ ශාස්ත්‍රීය සංගීතවේදියෙක් වන ඔහුගේ පියාගේ මෙහෙයවීම යටතේ, තම සංගීතය පෝෂණය කර ගනු ලබනවා. ඔහුගේ පියා ශාස්ත්‍රීය සංගීතවේදියෙක් වූවත් ඉන් ඉහල සාර්ථකත්වයක් ලබා ගැනීමට අසමත් වී තිබෙනවා. ශරාද් සහ ඔහුගේ ඇතැම් පවුලේ උදවිය සමග ඇති වන සංවාදයන් තුලින් හෙළි වන්නේ, එම පියාට පවුල මග හැරුණු බවක්. ඔහු වර්තමානයේ ජීවමාන නැත සහ ශරාද් සහ ඔහුගේ මව තුලද ඇත්තේ දුරස්ථ සම්බන්දයක්. ශරාද් ප්‍රවීණ ශාස්ත්‍රීය සංගීතවේදිනියක් වන මායි නම් ශිල්පිනියකගේ දේශනයන්ට සවන් දෙනවා. මායි නම් ශිල්පිනියගේ දේශනයන්ට අනුව ඇය ශිල්පය තදින් අවබෝධ කර ගත් කාන්තාවක්. ඇගේ දේශනයන් වලට ඇබ්බැහි වන ශරාද් තුල ඇති කරන්නේ දැඩි අධිෂ්ඨානයක්. ශරාද් තම සිහිනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වනවා. මායිගේ දේශනයන් තුල ඇති සංකීර්ණ අන්තයන්ටද ඔහු ගමන් කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔහුට බලාපොරොත්තු වූ සාර්ථකත්වයක්‌ ලැබෙන්නේ නැත. තම කලාව වෙනුවෙන් ජීවිතයම කැප කළ ශරාද්, ඔහු මේතාක් දුටු සිහින පිලිබඳ ඔහු තුලින්ම ප්‍රශ්න කරනවා. එපමණක් නොව මායි නම් ශිල්පිනියගේ සංකීර්ණ ශිල්ප ක්‍රම සහ සැබවින්ම එම විශිෂ්ටත්වය ළඟා කර හැකිද යන මතය ශරාද් ඔහු තුලින්ම විමසා බලනවා. කලාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ මෙම ශිල්පියාට සැනසුමක් ලැබේවිද?.

The Disciple චිත්‍රපටය හරහා චෛතන්‍යා තම්හානේ හඬ නගන්නේ සංගීතවේදීන් පිලිබඳ පමණක් නොව: තම ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරන කලාකරුවන් උදෙසාය, දීර්ග කාලයක් තම ශිල්පය වර්ධනය කරමින් අධිෂ්ඨානශීලීව තම ගමන යන කලාකරුවන් උදෙසාය, දීර්ග කාලයක් තම වෙහෙස මහන්සියෙන් නිසි ඇගයීමක් නොලැබෙන කලාකරුවන් උදෙසාය, කලාවට ඇති ආදරය නිසා තම සමීපතයන්ද මගහැරුණු කලාකරුවන් උදෙසාය, ප්‍රතික්ෂේප කිරීම් සහ පරාජයන් හමුවේ නිහඬව තම දුක දරාගෙන සිටින කලා කරුවන් උදෙසාය සහ බොහෝ විට ප්‍රසිද්ද මාධ්‍යට නොපෙනෙන කලාකරුවන් උදෙසාය. මෙම චිත්‍රපටයේ අපට හමුවන ශරාද්ගේ චරිතයටද ඉහත සඳහන් කළ කරුණු කාරණාවන්ට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවනවා. ශරාද්ට ඇතැම් අවස්ථාවන් තුලදී මා තුලද කම්පණයක් ඇති කිරීමට සමත් වුනා. තම කලාව දේවත්වයෙන් සැලකූ ශරාද්ට ඇතැම් අවස්ථාවන් වලදී තම කලාව උරුම කළේ කුඩ අම්මාගේ සැලකිලි.

The Desciple චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ වර්ධනය සිදු වන්නේ අවුරුදු 24 පටන් 40 දක්වා. එවැනි දීර්ග කාල වකවානුවක කලාව වෙනුවෙන් කැපවූ ශිල්පියෙකු තුල මානසිකව සහ ශාරීරිකව සිදුවන වෙනස්කම් ඉතා අපූරුවට පෙන්නුම් කර තිබෙනවා. වයස අවුරුදු 24 සිටි ශරාද් 40 ස් වැනි වියට ළඟා වද්දී ඔහු අවට සිටින සමාජයද වෙනස්වී තිබෙන ආකාරය චිත්‍රපටය තුල පෙන්නුම් කරනවා. ශරාද් 24 වියේ සිටියදී එකල සමාජය යම්තාක් දුරකට එම ශිල්පයේ දනුවත්භාවයට ඉඩ සැලසුවත්, ඔහු 40 ට ළඟා වන විට එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්. වර්තමානයේදී කලාවේ ඉරණම මාධ්‍ය සහ රූපවාහිනී රියැලිටි කලාව තම ආධිපත්‍ය ස්ථාපිත කර ඇත. මෙවැනි මවාපෑම් තුලින් කලාව යැයි හදුන්වන සමාජයක සැබෑ කලාකරුවන්ගේ ඉරණම කුමක්ද?. චිත්‍රපට තුල චෛතන්‍යා තම්හානේ ප්‍රධාන වශයෙන් මෙම අර්බුදකාරී තත්වය ප්‍රශ්න කරනවා.

මෙහි ශරාද්ගේ චරිතය රඟ දැක්වූ Aditya Modak එම චරිතය තුල සැබවින්ම ජීවත් වුනා. ශරාද්ගේ චරිතය තුල ඔහුගේ කලාවට ඇති අධිෂ්ඨානශීලී ස්වභාවය සහ නිහඬව අත් විඳින සිත් බිඳ වැටීම ඉතා විශිෂ්ට ලෙස Aditya Modak ගේ රංගනය තුලින් ඉස්මතු කළා. විශේෂයෙන්ම මෙම චරිතය අවුරුදු 24 සිට 40 දක්වා ගලා යාමට, Modak විසින් ශාරීරිකව සිදු කළ කැප කිරීමද ඇගයිය යුතුයි. Michal Sobocinski ගේ විශිෂ්ට සිනමාකරණය සහ Aneesh Pradhan ගේ සංගීත අධ්‍යක්ෂණය, ශරාද්ගේ ජීවිතය මෙන්ම ඔහු අවට සමාජය වෙනස් වන ආකාරය පෙන්නුම් කළ ප්‍රභල අංගයන්. 2020 පැවති වෙනීස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ Golden Osella for Best Screenplay සහ FIPRESCI International Critics Prize යන සම්මානයන් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා. ඒ සමගම Golden Lion සම්මානය වෙනුවෙන් නිර්දේශ නාමයක් ලබා ගැනීමටද සමත්වී තිබෙනවා.

The Desciple යනු ඔබ අත්විඳිය යුතුම සිනමා අත්දැකීමක්.

Download

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *