The Batman (2022) English | Sinhala Article

The Batman (2022) – Spoiler free Review by Prageeth Shan

කට්ටිය The Batman එහෙම බැලුවද.. කොහොමද වැඩේ. මම හිතනවා මේ වෙද්දි ගොඩක් දෙනෙක් The Batman බලන්න ඇති කියලා. ඒවගේම තවත් ගොඩක් දෙනෙක් ඉදිරියේදී බලන්න හිතාගෙනත් ඇති. මමත් ඊයෙ මේක බලපු නිසා ඒ දැනුන feeling එකත්
එක්ක Spoilers මුකුත් නැති spoiler free review එකක් අදම දාන්න හිතුනා. මම මේකෙදි කියන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එක බලලා මට දැනුන දේවල්. ඉතින් ඒ ගැන ඔයාලගේ අදහසුත් පහලින් comment කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා.??

එහෙනම් මට මුලින්ම කතාකරන්න ඕන මුලදි හැමෝම විහිලුවක් විදියට සලකපු මේ වෙද්දි හැමෝම වගේ පිස්සු වැටිලා ඉන්න Robert Pattionson ගේ Batman ගැන..❤️❤️ ෆිල්ම් එක බලපු ගොඩදෙනෙක් කියලා තිබුනා මේ ඉන්නෙ මේ වෙනකන් Live Action ආපු Perfect ම Batman කියලා. ඇත්තටම ඒක හරියටම හරි. මේ තමයි මෙතෙක් වෙනකන් ෆිල්ම් එකක දකින්න ලැබුන හොඳම Batman. ඇත්තටම මේකේ දකින්න ලැබෙන්න අපි BvS, Justice League වල දකින්න ලැබුන අත්දැකීම් වලින් පරතෙරට ගියපු Batman කෙනෙක් නෙමෙයි. ඒවගේම Dark Knight Trilogy එකේ මට්ටමට ඇවිල්ලත් නැති Batman කෙනෙක්. දූෂණයෙන් පිරුණු Gotham නගරයේ දවසින් දවස අලුත් අලුත් දුෂ්ඨයෝ බිහිවෙද්දි උන්ගෙ හිතට බය ඇතුල් කරන්න උත්සාහ කරමින් ඉන්න Batman කෙනෙක්. ගොඩක් දුරට හැංගිලා කටයුතු කරනවට වඩා කෙලින්ම ගිහින් ගහලා එන, Batman අඳුරු හෙවනැලිවලින් එලියට එද්දි අපරාධකාරයින්ව බයෙන් වෙව්ලන්න සලස්වන්න කටයුතු කරන, Bat signal එකෙන් පවා fear කියන දේ හොඳින්ම අපරාධකාරයින්ගේ ඔලුවලට දාන්න උත්සාහ කරන බැටෙක්. ඒවගේම තවමත් මේ Batman එයාගෙ Bruce Wayne සහ Batman කියන චරිත දෙක එකිනෙකින් වෙන්කරගන්න අමාරු අවස්ථාවක ඉන්න කෙනෙක්. ඇත්තටම Bruce Wayne කියන සෙල්ලක්කාර බිලියනපතියගෙ චරිතේ ඒ විදියට රඟපාන්න Bruce උත්සාහ කරන්නෙ එයාගෙ ඇත්තම චරිතය වෙන Batman ව එයා එක්ක එදිනෙදා වැඩකටයුතු කරන මිනිස්සුන්ගෙන් සඟවන්න. නමුත් මේ අපි දැකපු Bruce Wayne ඇතුලේ තවමත් Batman ගේ සලකුණු වැඩිවශයෙන් පේන්න තියෙනවා. Batman සඟවගෙන ඉන්න වේදනාව Bruce ගේ මූනෙනුත් එලියට එන්නෙ අන්න ඒ නිසයි. ගොඩක් දුරට ඉදිරියෙදි මේ චරිත දෙන බැලන්ස් කරගෙන කටයුතු කරන Batman කෙනෙක්ව අපිට දැකබලාගන්න ලැබේවි. නමුත් මේ අවස්ථාවට අදාලව Batman ගේ සහ Bruce Wayne ගේ චරිත නිරූපණයන් ඇත්තටම perfect.??❤️

ඒවගේම මේ Batman Perfect කියන්න තව හේතුකාරණා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මීට කලින් Batman ව heroic feeling එකකින් වැඩිවශයෙන් දකින්න ලැබුනත් Batman ගේ හිත ඇතුලේ තියෙන පීඩනය කියන දේ දකින්න ලැබුන අවස්ථාවන් හරිම අඩුයි. The Dark Knight Trilogy එකෙන් මේ දේ පෙන්නන්න උත්සාහ කලත් අපිට ඒක Perfect ම විදියට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ බැටාගෙන් තමයි. තමන්ගේ දුක්බර අතීතයත් එක්ක ගනුදෙනු කරන ගමන් Batman විදියට Gotham වල නානාප්‍රකාර දුෂ්ඨයො එක්ක ගැටෙද්දි සිද්ධවෙන අත්වැරදීම්, අහිමිවීම්, නොමග යෑම් එක්ක හරි මාවත තෝරගෙන යුක්තිය ඉශ්ඨකරන එක මොනතරම් අමාරුද කියන කාරණාව අපිට හොඳින්ම පෙන්නුවේ මේ Batman. ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ Perfect. මේ Batman ගේ ඇස් දෙක දිහා බැලුවත් එයාගෙ ඇතුලේ තියෙන පීඩනය මොනතරම්ද කියලා පේන්න තියෙනවා. ඒවගේම තවත් කාරණාවක් තමයි Batman, Gotham වල අපරාධකාරයින්ගේ ඔලුවලට තමන් ගැන ඇතුලුකරලා තියෙන රූපය. අපිට මේකේ පේනවා ගොඩක් අපරාධකාරයො මුලින්ම Batman ව ගණන් ගන්නෙ නැහැ. ඉතින් මේ කට්ටියට ආයෙ මදි නොකියන්න සලකන්න Batman ට සිද්ධ වෙනවා. ඊටපස්සෙ ඒ අය Batman එද්දි පෙන්නන reaction එහෙම බැලුවනම් තේරේවි ඔවුන්ගේ බය. අන්න ඒ විදියට Batman කියන චරිතය තැනකට එද්දි වඩාත්ම හොඳින් අනිත් අයගෙ හිත්වලට බියජනක සිතුවිලි ඇතුලුකරන්න සමන් උන හොඳම Live Action Batman විදියට මේ Batman ව හඳුන්වන්න පුලුවන්. ඒක ෆිල්ම් එක බලන අපිටත් දැනෙනවා. ඒ තරම්ම ඒ අවස්ථාවන් අපූරුවට නිරූපණය කරලා තිබුනා. ??

ඒවගේම විශේෂයෙන්ම Fight scenes වලදි අපිට ඉතාම තාත්වික සටන් ජවනිකා දකින්න ලැබුනා. Batman තමන්ව Unstoppable කෙනෙක් විදියට පෙන්නන්න උත්සාහ කලත් එයත් අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක් කියන දේ ෆිල්ම් එකෙන් පෙන්නන්න උත්සාහ කරලා තිබුනා. සාමාන්‍යයෙන් මිනිහෙක් එකපාරටම බයවෙන අනපේක්ශිත අවස්ථාවලදි මේ බැට්මෑනුත් බය උනා. සමහර අවස්ථාවන් වලදි දරාගන්න පුලුවන් limit එක පැන්නා. නමුත් ඒ වෙලාවල් වලදි Batman ආයෙම නැගිටින්න උත්සාහ කරන විදිය මාරයි. අපිට ඒක බොක්කටම දැනෙනවා දෙයියනේ මේ මනුස්සයා පුදුම කට්ටක් නේද කන්නෙ කියලා. ඒ අවස්ථාවන් නම් ආයෙ කියලා වැඩක් නෑ. පට්ටයි. අන්න ඒකයි මේක මේ වෙනකන්ම ආපු Perfect ම Batman නිරූපණය කියලා මම කිව්වෙ.

දැන් ගොඩක් දෙනෙක් මේකත් එක්ක The Dark Knight එක compare කරන නිසා මම පොඩි කාරණයක් කියන්නම්. ඒකෙදි මූලිකම චරිතය Batman විදියට සැලකුවත් ඇත්තටම කතාවේ බැටාට වඩා හැම අවස්ථාවකදිම වගේ කැපිලා පෙනුනෙ Villains ලවයි. ඒ plot එක හැදිලා තිබුනෙම බැටාට හිතාගන්න බැරි විදියේ අභියෝගයන් දෙන්න උත්සාහ කරන villanins ලා සෙට් එකකගෙ වැඩකිඩ පෙන්වන්න. අන්න ඒකයි ඒක ගොඩක්ම ආකර්ශණීය උනේ. නමුත් එතනදි Batman කියන චරිතය අර Villains ලගෙ හෙවණැල්ලෙන් වැහිලා ගියා වගේ දෙයක් උනා. නමුත් The Batman එකේදී ඒක හාත්පසින්ම වෙනස්. මෙතනදි Villains ලව Batman ගේ හෙවණැල්ලෙන් වැහිලා යන විදිය අපිට බලාගන්න පුලුවන් ??

ඊලඟට කියන්න ඕන දෙයක් තමයි මේක හැමෝටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙන එකක් නැති වෙයි. කෙනෙක් විනාඩි පහෙන් පහට Action පිරුණු, සීරියස් තැන් වලදිත් joke කරලා ආතල් එකක් දීලා mind එක relax කරන, full happy mode එකෙන් පිරුණ ෆිල්ම් එකක් බලාපොරොත්තුවෙන් යනවනම් ඒක තේරුමක් නැති වැඩක්. මොකද මේක නිර්මාණය කරලා තියෙන්නෙම මිනීමැරුම් සහ ඒවා අතරෙ සැඟවිලා තියෙන ප්‍රෙහේලිකාවන් වගේ පොඩි පොඩි හෝඩුවාවන් පස්සෙ පන්නන, serial killers ලා සම්බන්ධ චිත්‍රපටි වල තියෙන ආකාරයෙන්ම අඳුරු වටපිටාවක්, කතාවක් තියෙන විදියටයි. ඒවගේම මේකේ කතාව තේරුම් ගන්න නම් dialogs ගැන හොඳ අවධානයක් දීලා අහන් ඉන්න ඕන. අන්න ඒ නිසා Se7en, Zodiac වගේ ෆිල්ම්ස් ගැන උනන්දුවක් නැත්නම් මේක ඔයාට හිතන තරම්ම සෙට් නොවෙන්නත් පුලුවන්. නමුත් ඒ ටයිප් එකේ ෆිල්ම් බලන්න කැමති කෙනෙක්ට නම් මේක රස ආකරයක් කිව්වට වරදක් නෑ. Se7en බලපු කෙනෙක් නම් මේක බලද්දි ඒකෙ යම් යම් අවස්ථාවන් නිකන්ම මතක් වෙන්න ඇති. ඉතින් සාමාන්‍යයෙන් අපි Horror film විදියට ගොඩක් දෙනෙක් සලකන හොල්මන් වලින් පිරුනු, කැපිලි කෙටිලි වලින් පිරුණු ෆිල්ම් එකකට වඩා මේ වගේ ෆිල්ම් බලද්දි හිතට දැනෙන creepy ගතිය වෙනම level එකක්. ඒක Batman එකෙත් හොඳටම තිබුනා. ඒකට ගැලපෙන්න වර්ණ භාවිතා කරලා තියෙන ආකාරය, Cinematograpgy එහෙම perfect..??

ඇත්තටම CBM එකක දැකපු ලස්සනම Shots ගොඩක් මේකෙදි දකින්න ලැබුනා. ඒවගෙ කහ, රතු වගේ වර්ණ ගැලපීම පට්ටම පට්ට. සමහර අවස්ථාවන් තියෙනවා නිකන් comic පිටුවක් දිහා බලන් ඉන්නවා වගේ shots. මේක නිර්මාණය කරද්දි Batman Long Haloween වගේ comics වල දකින්න ලැබුනු කොටස් ඒ හා සමාන ආකාරයෙන්ම මේකටත් ඇතුලත් කරන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා කියල හිතෙනවා ෆිල්ම් එක බලද්දි. ඊලඟට Action සීන් ගත්තත් ඒවා එතන අපි ඉදිද්දි දැනෙන විදියටම රූගතකිරීම් කරලා තිබුනා. Car chasing වලදි එහෙම අපිත් ඒ කාර් එකේ ඉන්නවා වගේ ෆීලින් එකක් දැනෙනවා. ඒවා කොහොම කලාද දන්නෙ නෑ. නමුත් ඒ ඒ චරිතයට ඒ අවස්ථා වලදි දැනෙන ත්‍රිල් එක ඒ විදියටම අපිටත් දැනෙන විදියට රූගතකිරීම් කරලා තිබුනා. ඉතින් comic පාදක කරගනිපු අවස්ථාවන්, ඒ shots වල accuracy එකත් එක්ක මේක comic fan කෙනෙක්ට නම් පට්ටම වටින ෆිල්ම් එකක්. විශේෂයෙන්ම Justice League එකත් එක්ක එකතුවෙලා ඕන එකෙක්ට ගේම දෙන Batman කෙනෙක්ට වඩා Batman ගේ Detective side එකට කැමති කෙනෙක්ට, Batman Hush, Long Haloween වගේ කොමික් වලදි අපි දැකපු ඒ සියුම් හෝඩුවාවන් පස්සෙ හඹාගෙන යන රහස්පරීක්ෂක Batman ට කැමති කෙනෙක්ට නම් මේක ඇත්තටම රස ආකරයක් කියන්න ඕන..❤️❤️

ඊලඟට මේ ෆිල්ම් එකේ වටිනම සුපිරිම දේ තමයි BGM. එහෙමත් නැත්නම් පසුබිම් සංගීතය. මම CBM එකක අත්විඳපු සුපිරිම BGM එක තිබුනේ මෙන්න මේකේ. ඒ තරම්ම මරු. ඒ ඒ අවස්ථාවන් වලට නූලටම ෆිට් වෙන විදියට සංගීතය යොදාගෙන තිබුනා.❤️?? ඒවගේම මේ පසුබිම් සංගීතය නිසා යම් අවස්ථාවකදි අපිට දැනෙන feeling එක තවතවත් තීව්‍ර කරන්න පුලුවන් කියන කාරණාවට හොඳම උදාහරණයක් දෙන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි The Batman කියන්නෙ. මේක බලපු අය දන්නවා ඒ ඒ අවස්ථාවන් වලදි දැනුන feeling එක මොනතරම් සුපිරිද කියලා. 100% perfect.

ඊලඟට මේකේ සෙසු චරිත ගත්තත් ඒ හැමෝම අදාල චරිතෙට හොඳම සාධාරණයක් කරලා තිබුනා. කට්ටිය Pattionson ව තෝරගනිද්දි එක එක කතා කිව්වා වගේම Catwoman, Gordon වගේ චරිත වලට කලු ජාතික නලු නිලියො තෝරගනිද්දි එක එක කතා කිව්වත් ඒ කතා හැම එකක්ම බොරු කරන්න අදාල නලු නිලියො සමත්වෙලා තිබුනා. ඒ අතරින් ගොඩක්ම කැපිලා පෙනුනේ Zoe ගේ catwoman. අපිට මීට කලින් අවස්ථා ගණනාවකදි cat woman ව live action බලාගන්න ලැබුනත් මට comic එක්ක හොඳටම සෙට් වෙන catwoman විදියට Zoe ව නම්කරන්න පුලුවන්. ඒවගේම Gordon, Riddler චරිත අපි දකින සුපුරුදු පෙනුමෙන්ම නොවුනත් කතාවත් එක්ක ගැලපිලා එද්දි ඒ චරිතවල වෙනසක් දකින්න ලැබුනෙ නැහැ. Penguin චරිතෙත් එහෙමමයි. ඉතින් Casting ගැන ගොඩක් දෙනෙක් නානාප්‍රකාර කතන්දර කිව්වත් ඒක perfect විදියට කරලා තියෙනවා කියන්න පුලුවන්.

ඉතින් ඔන්න ඕක තමයි The Batman ගැන කතාව. කට්ටිය මේක පැය තුනකට කිට්ටුව ඇද්ද එක තේරුමක් නෑ කියලා කිව්වත් ඒ කතාවෙ ගලායාම එක්ක ඒකේ ලොකු වරදක් නැහැ. ෆිල්ම් එකත් එක්ක සෙට් වෙලා ඊලඟ හෝඬුවාව මොකක්ද කියලා දිගටම අවධානයෙන් බලන කෙනෙක්ට මේ වෙලාව ගලායාම දැනෙන්නෙම නැති තරම්. මේකේ අඩුපාඩුවකට තිබුනේ මම මුලින් කිව්වා වගේ නිතරම Batman කියන්නෙත් තවත් මනුස්සයෙක් කියලා පෙන්නන්න උත්සාහ කරලා තිබුනට එකම එක අවස්ථාවක් තිබුනා ඒක එහෙම නොවෙන. බලපු අයට මතක ඇති. අන්න ඒක කොහොම මිස් උනාද කියලා හිතාගන්න බැරි උනත් ඒක පැහැදිලි අවුලක්. Batman සම්බන්ධ නොවුනත් ඒ වගේ අවස්ථා දෙක තුනක් ෆිල්ම් එකේදි තිබුනා. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් මේක කාලෙකට බලන්න ලැබුන Perfect ම CBM එකක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CBM එකක් කියන්න පුලුවන්. මුල මැද අග ගැලපීම එක්ක Batman කියන චරිතය මුලදි තනිවම බොහොම ආවේගශීලීව ප්‍රශ්න විසඳන්න උත්සාහකිරිමත් පසුව යම් යම් දේවල් තේරුම් ගැනීමත් එක්ක Batman ක්‍රමයෙන් පරිණත ආකාරයෙන් ඒවට මුහුණදීමත්, අවසානයේදී Batman කියන චරිතය මිනිසුන්ට යුක්තිය වෙනුවෙන් මගපෙන්වන කෙනෙක් විදියට නිරූපණය කිරීමත් ඉතාම විශිෂ්ඨ විදියට ඉදිරිපත් කරලා තිබුනා. ඉතින් මේ විදියට විශිෂ්ඨ ආකාරයේ යලි ආරම්භයක් ලබාගනිපු Battinson එක්ක DC රසිකයන්ට වගේම ලෝකය පුරාම ඉන්න සෑම Batman රසිකයෙක්ටම ඉතාම සුභ අනාගතයක් තියේවි කියලා හිතනවා. කතාවේ මැද හරියේ තිබුන යම් යම් නොපැහැදිලිකම්, අර මම කියපු අඩුපාඩුව වගේ දේවල් ඇරුනම මේක Perfect film එකක් කියන්න පුලුවන්. විශේෂයෙන්ම Batman ගේ තදබල රසිකයෙක් විදියට මේක මටනම් සුපිරිම ෆිල්ම් එකක්. කට්ටිය TDK එකක් එක්ක සසඳලා ඒක මීට වඩා උඩින් කිව්වත් Batman කියන Comic චරිතයට දුන්න වටිනාකම එක්ක බලද්දි මට මේක ඊට වඩා ඉදිරියෙන් තියන්න පුලුවන්. නමුත් Entertainment අතින්, ෆිල්ම් එකක් විදියට ගත්තම TDK ඉස්සරහින් ඉන්නවා. අන්න ඒකයි මට දැනෙන හැඟීම. එහෙනම් මේ සටහන මම මෙතනින් නවත්තනවා. ඔයාලගේ අදහසුත් පහලින් comment කරගෙන යන්න. ඒවගේම spoilers තියෙන comment දාන්න එපා කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් මේ වගේ අපූරූ සිනමාපටයක් ගැන සටහනකින් මුණ ගැහෙන තෙක් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!

Budget$185–200 million
Download

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *