The Art of the Symbolism by Prageeth Shan
සංකේතයන්ගේ කලාව
The Art of the Symbolism
ඔන්න කාලෙකින් ආයෙම සිනමාව සම්බන්ධයෙන් හදාරන්න කැමති අයට වටින කියන මාතෘකාවක් අරගෙන එන්න අවස්ථාව ලැබුනෙ. පහුගිය ටිකේ පොඩ්ඩක් වැඩ රාජකාරි එක්ක හරි හැටි වෙලාවක් තිබුනෙ නැති නිසා පොඩ්ඩක් සිනමාව ගැන තොරතුරු ඇතුලත් post ලියන්න කල් ගතඋනා. ඉතින් එහෙම කල් මර මර ඉදලා ඔන්න අද අරගෙන ආවා සිනමාව ගැන ඇල්මක් තියෙන මතුපිටින් පේන සිනමාවට වඩා ගැඹුරින් සිනමාව කියවන්න ප්‍රිය කරන අයට වටිනා කියන විස්තර ටිකක්. ඒ තමයි සිනමාවේ සංකේතාත්මක භාවිතයන් හෙවත් Art of Symbolism.
ඇත්තටම මේ සංකේත භාවිතා කරන්නෙ මොන මොන වගේ ක්ශේත්‍ර වලදිද?? ඔව් මේක සාහිත්‍යමය කෘති, කලා නිර්මාණ (සිතුවම්, කැටයම් වැනි) සහ දෘශ්‍ය කලා නිර්මාණ ( සිනමා, නාට්‍ය වැනි ) වලදි බහුලව යොදාගන්නවා. මේවා යොදාගැනීමේ අරමුණ තමයි තමන්ගේ කලා නිර්මාණය රසවිඳින පුද්ගලයෙක්ට යම් යම් සංකේත වලින් මතුපිටින් පෙනෙන දේට වඩා වඩාත් ගැඹුරු අර්ථයක් පෙන්වීමට උත්සාහ කිරීම. ඉතින් මේ කිව්වා වගේ සංකේතාත්මක යෙදුම් ගැන තේරුම් ගන්න නිකන්ම කලා නිර්මාණයක් මතුපිටින් බලලා හරියන්නෙ නෑ. ඒකේ දක්වලා තියෙන සෑම detail එකක් ගැනම හොඳ අවධානයෙන් බලන්න ඕන වගේම තමයි අදාල කලා නිර්මාණය සිදුකිරීමේ අරමුණ, ඒකේ පසුබිම වගේම එහි නිර්මාණකරුවගෙ වෙනත් කලා කෘතීන්, ඔහුගේ ශෛලීන් ගැනත් යම් අවබෝධයක් තියෙන්න අවශ්‍යයි.
දැන් අපි මූලිකවම කතාකරන්න බලාපොරොත්තු වෙන සිනමාවේ මේ Symbolism කියන දේ යොදාගන්නෙ තමන්ගෙ නිර්මාණය රසවිඳින ප්‍රේක්ශකයට ඒක එකපාරක් බැලීමෙන් සෑහීමකට පත්වෙන්න නොදී යලි යලිත් නැරඹීමට පොලඹවා ඒ බලන වාරයක් පාසා නවමු අර්ථයක් ලැබෙන්නට සලස්වා තමන්ගේ නිර්මාණය දිගු කාලයක් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන නිර්මාණයක් බවට පත්කිරීමේ උවමනාවෙනුයි. ඉතින් සිනමාවේ ඉදපු සහ දැනටමත් ඉන්න බොහෝ විශිෂ්ට සිනමාකරුවන් රාශියක් තමන්ගෙ සිනමාපට වල මේ Symbolism කියන දේ අපූරුවට පාවිච්චි කරලා තියෙනවා. මේක ටිකක් දිග මාතෘකාවක් නිසා මම මේ කොටසින් Art of Symbolism ගැන එහි මූලිකම සිද්ධාන්ත ගැන කතාකරලා ඊලඟ කොටසින් අපි හැමෝම දන්න කියන සිනමාපට වල Symbolism කියන දේ භාවිතා උන අවස්ථාවන් ගැන විස්තර කරන්නම්.
මුලින්ම මොකක්ද මේ Symbolism කියන්නෙ කියලා සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ යම් වර්ණයක්, වස්තුවක්, චරිතයක් භාවිතා කරමින් වෙනත් අර්ථයක් ලබාදීම. දැන් අපි උදාහරණයකට රතු පාට ගත්තොත් ඒකෙන් සංකේතවත් කරන්න පුලුවන් කෝපය කියන හැඟීම. ඒ වගේම අනාගතයේ සිදුවෙන්න පුලුවන් අනතුරක් ගැන නොකියා කියන්නත් මේ රතු වගේ වර්ණයන් භාවිතා කරනවා. ඊලඟට කුරුල්ලො අහසේ ඉගීලී යන දර්ශනයකින් අපිට නිදහස කියන දේ සංකේතවත් කරන්න පුලුවන්. ඒවගේම රෝස මලකින් දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරය ගැන සංකේතාත්මකව නිරූපණය කරන්න පුලුවන්. දැන් ඔන්න ෆිල්ම් එක මතුපිටින් බලන කෙනෙක් ට අරක නිකන්ම රෝස මලක් විදියට පෙනෙද්දි අවබෝධයකින් බලන කෙනෙක්ට ඒකෙන් කියන්න උත්සාහ කරන අදහස වෙන චරිත දෙකක් අතර ආදරයේ මෝදුවීම කියන දේ වටහාගන්න පුලුවන්. ඒවගේම ඇතැම් අදහස් වගේ දේවල් තියෙනවා ඒවා කෙලින්ම පිටපතට ඇතුලත් කරන්න අමාරුයි. අන්න ඒවගේ අවස්ථාවන් වලදිත් මේ විදියට ඒක තමන්ගේ target audience එකට තේරුම් ගන්න පුලුවන් විදියට සංකේත මගින් ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේ දේට තමයි Art of Symbolism කියන්නෙ.
දැන් මේ Symbolism කියන දේ ගත්තම ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ තමයි Motifs. මේ Motifs සහ Symbolism කියන දෙකේ තියෙන්නෙ සුලු වෙනසක්. Motifs කියන දේවල් අපිට කතාවෙ තේමාව අනුව විවිධ අවස්ථාවන් වලදි කීප වතාවක් දැකබලා ගන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් Godfather trilogy එකේ මරණයක් හෝ ලේ වැගිරීමක් වෙන සෑම අවස්තාවකදිම වගේ කොතනක හෝ දොඩම් ගෙඩි තියෙනවා දැකබලා ගන්න පුලුවන්. මේ හා සමානවම Scarface(1932) සහ The Departed වගේ චිත්‍රපටි වලත් ලේ වැගිරීමක් වෙන්න නියමිත අවස්ථා වලදි කතිර සලකුණු දකින්න ලැබෙනවා. ඒ විදියට සිනමාපටයේ තේමාව අනුව සිදුවෙන සිදුවීම් එක්ක ඒක අඟවන්න වරින් වර පෙන්වනු ලබන සංකේත තමයි Motifs කියන්නෙ. හැබැයි Symbolism වලදි එහෙම කීප වාරයක් එකම දේ පෙන්වන්නෙ නෑ. අවශ්‍ය තැනදි සිනමාපටයේ තේමාවට අදාල හෝ ඊට පරිබාහිර වෙනත්ම අර්ථයක් දෙන්න උනත් Symbolism කියන දේ පාවිච්චි කරන අවස්ථාවන් තියෙනවා. ඔන්න ඔය දේ තමයි මේ දෙකේ මූලික වෙනස වෙන්නෙ.
ඊලඟට ඔයා තිර රචකයෙක් විදියට තමන් නිර්මාණය කරන තිර පිටපතට Symbolism කියන දේ ඇතුලත් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඔයා සැලකිලිමත් වෙන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඇතුලත් කරන සංකේතාත්මක යෙදුම් බලන කෙනෙක්ට පැහැදිලිව පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් කලයුතු වීම වගේම ඒ පෙනෙන අතරවාරයෙදි අපි කියන්න උත්සාහ කරන අදහස ඉතාම සියුම් ආකාරයෙන් පමණක් නිරූපණය වෙන්න ඕන. මොකද Symbolism කියන දේ රසය තියෙන්නෙ ඒක සඟවා ඉදිරිපත් කිරීම තුලින්. එහෙම නැතුව අපි කෙලින්ම ඒ දේ පෙන්වන්න උත්සාහ කලොත් ඒ ප්‍රේක්ශකයාට Symbols කියන දේ තමන්ම අවබෝධකරගැනීමෙන් ලබාගන්න පුලුවන් රසය නැතිවෙලා යන්න පුලුවන්. මම නිකන් උදාහරණයක් දුන්නොත් අපි හිතමු අපිට ඉදිරියෙදි යම් සිද්ධියක් නිසා ඇතිවෙන අනතුරක් ගැන Symbolism මගින් පෙන්වන්න ඕන. ඒ වෙනුවෙන් අපි Warning signal එකක් Symbol එකක් විදියට පෙන්නන්න සැලසුම් කරගෙන ඉන්නවා. හැබැයි එතකොට මේක පෙන්වන අවස්තාවෙදි පෙන්වන්න ඕන කෙලින්ම Warning signal එක focus වෙන විදියටම නෙමෙයි. අපේ කතාවෙ චරිත ඒ ඉදිරියෙදි අනතුරක් වෙන සිදුවීම ගැන කතාකරද්දි ඒ චරිතවලට දර්ශනය focus කරද්දි පසුබිමින් Warning signal එක පැහැදිලිව පේන විදියට ඇතුලත් කරන්න පුලුවන්. එතකොට මොකද වෙන්නෙ. අපේ කතාව බලන කෙනා මුලදි අර චරිත කරන කතාවට තමන්ගේ සම්පූර්ණ අවදානය යොමු කරනවා. ඊටපස්සෙ අදාල අනතුර වෙනවා. ඔන්න දැන් දෙවෙනි පාර ෆිල්ම් එකේ ඒ සිදුවීම බලද්දි පේන්න ඕන අනතුර වෙන සිද්ධිය ගැන කතා වෙද්දි පසුබිමින් Warning sign එකක් පෙන්නනවා නේද කියලා. එතකොට බලන කෙනාට තේරෙන්න ගන්නවා “අයියෝ මට කලින් නොපෙනුනාට මේකේ වෙන අනතුර ගැන කලින්ම පෙන්නලා දීලා නේද කියලා” ඉතින් ඔන්න ඔය දේත් එක්ක එයා ආයෙම පාරක් ෆිල්ම් එක බලනවා තවත් ඒ වගේ අවස්ථාවක් තියෙනවද කියලා. මෙන්න මේ විදියට නියමාකාරයෙන් Symbolism කියන දේ භාවිතා කිරීමෙන් දිගින් දිගටම තමන්ගේ නිර්මාණය එක්ක ප්‍රේක්ෂකයව රඳවාගන්න පුලුවන් වෙනවා. ඉතින් එහෙම කරන්න නම් මම උඩ කියපු විදියට තමන්ගෙ සංකේතාත්මක යෙදුම පැහැදිලිවත් සියුම්වත් ඉදිරිපත් කරන්න නිර්මාණශීලී වෙන්න අවශ්‍යයි.
ඊලඟට තමන් පෙන්වන Symbols කතාවෙ තේමාව එක්ක ගැලපෙන ඒවා වෙන්න ඕන. මොකද ඔයා මොන ජාතියෙ Symbol කතාව පුරාම හංගලා තිබුනත් ඒවා කතාවට අදාල නැති ඒවා උනොත් නම් කිසිම තේරුමක් වෙන්නෙ නෑ. මොකද අපේ නිර්මාණය ඇතුලෙ ඇතුලත් කරන හැමදේකින්ම වගේ වෙන්න ඕන අපි Buildup කරන Story එකට ප්‍රේක්ෂකයාගේ අවධානය දිගින් දිගටම රඳවාගැනීම. එහෙම නැතුව කතාවෙ තේමාව එක්ක නොගැලපෙන Symbols ඇතුලත් කරලා මිනිස්සු ඒවා තේරුම් ගන්න උත්සාහා කිරීමෙන් වෙන්නෙ ඔවුන්ට කතාව කෙරෙහි තියෙන අවධානය නැතිවෙලා යාම. ඒක ලොකු හානියක්. ඒ නිසා හැම ජාතියෙම Symbols එකතු කරලා ප්‍රෙහේලිකා පොතක් වගේ ෆිල්ම් එකක් හදලා තේරුමක් නෑ. ඇතුලත් කරන සංකේතයක් සහ එවාගෙන් ගම්‍ය වෙන අර්ථයන් අපේ කතාව එක්ක තවදුරටත් ප්‍රේක්ෂකයාව ඇදබැඳ තබාගන්න විදියේ ඒවා වෙන්න ඕන.
දැන් අපි අපේ තිර පිටපතකට මේ ආකාරයේ Symbols ඇතුලත් කරනවනම් සැලකිලිමත් වියයුතු කරුණු ගැන පොඩ්ඩක් බලමු. ඒ වෙනුවෙන් මුලින්ම අපි නිර්මාණය කරන කතාව සහ එහි චරිතවල ස්වභාවයන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන. ඒ විදියට තමන්ගේ හිතේ නිර්මාණය වෙන කතාවෙ ස්වභාවය, චරිත ගැන හොඳ තක්සේරුවක් කරගත්තට පස්සෙ මෙන්න මේ පැති ගැන සැලකිලිමත් වෙන්න ඕන.
? කතාව අයත්වෙන Genre එක.
? කතාව තුලින් නිරූපණය කිරීමට අවශ්‍ය කරන අදහස් සහ තේමාවන්.
? චරිතවල අරමුණු සහ ගැටුම්
දැන් මේ දේවල් වලට ගැලපෙන විදියට Symbols තෝරගන්න ඕන. මේවා නිකන්ම පොදු, නිතර දකින්න ලැබෙන දේවල් නොවී විශේෂ අවධානයක් ලැබෙන ඒවා වෙන්න ඕන. ඒවගේම මේ තෝරගන්න Symbols කතාවෙ චරිත, සිදුවීම් එක්ක ගැලපෙන, කතාවෙ ගලායාමට බාධාවක් නොවෙන ඒවා වෙන්න ඕන. නිකන් අහසින් කඩා පාත් උනා වගේ දේවල් Symbols විදියට ගන්න බෑ. දැන් අපි Breaking Bad වලින් පොඩි උදාහරණයක් ගත්තොත් ඒකේ Walter White ගේ කලු තොප්පිය. ඒක එයා සාමාන්‍යයෙන් අදින ඇඳුම් අතරෙ තියෙන එකක්. නමුත් එයා ඒක පලඳින අවස්ථාවන් වලදි සහ නැති අවස්ථාවන් වලදි අපිට පැහැදිලි වෙනසක් පේනවනෙ. ඉතින් කතාවෙ ඉන්න Walter කියන මනුස්සයා තොප්පියක් දැමීම හෝ නොදැමීම කතාව බලන කෙනෙක්ට වෙනසක් පේන දෙයක් උනත් ඒකේ අසාමාන්‍ය බවක් දැනෙන්නෙ නැහැ. හැබැයි කතාවෙ රචකයා මොකද කරලා තියෙන්නෙ. එයා මේ Walter කියන චරිතය යම් විශේෂ අවස්ථාවන් වලදි විතරක් තොප්පිය පලඳින විදියට කතාව ලියලා තියෙනවා. දැන් කතාව එකපාරක් දෙපාරක් බලද්දි Walter ගේ චරිතය ගැන අපිට හොඳ අවබෝධයක් ආවම තේරෙන්න ගන්නවා මෙයා මේ තොප්පිය පලඳින්නෙ දුෂ්ඨ, සටකපට, කුමන්ත්‍රණකාරී වැඩක් කරන අවස්ථාවලදි පමණයි කියලා. අන්න ඒ විදියට තමයි කතාවට, චරිතවලට අසාමාන්‍ය ගතියක් එකතු නොවෙන ආකාරයට සහ තමන්ගේ සංකේතය සහ ඉන් අදහස් කරන කාරණාව පැහැදිලිව අවබෝධ වෙන විදියට Symbolism කියන දේ තෝරාගන්නෙ. ඉතින් මේ විදියට අපි තෝරාගෙන එකතු කරගන්න සංකේතයන් ඒවා යොදාගන්න පරාසය මත පහත ආකාරයට වර්ග දෙකකට බෙදන්න පුලුවන්.
1. Small Scale Symbolism
මේකෙන් අපේ කතාවෙ ඉන්න චරිතවල අභ්‍යන්තර සිතුවිලි වෙනස්වන ආකාරය වගේ කාරණා පෙන්වලා දෙන්න පුලුවන්. දැන් මම කලින් කියපු Breaking Bad එකේ Walter ගේ තොප්පිය වගේම Walter ක්‍රමයෙන් දරුණු පුද්ගලයෙක් බවට පත්වෙද්දි ලා පැහැ ඇඳුම් වල සිට තද පැහැ ඇඳුම්වලට මාරුවීම වගේ උදාරහණ මේකට දෙන්න පුලුවන්.
2. Large Scale Symbolism
මේකෙදි චරිතවල සිදුවෙන මනෝභාවයන් වෙනස්වීම වගේම චරිත සිදුකරන විශාල බලපෑමක් වෙන ක්‍රියාවන් ඇඟවිමට ඒ අදාල අවස්තාවේදි හෝ ඊට පෙර, පසු අවස්ථාවන් වලදි සම්පූර්ණ අවට පරිසරයම වෙනස්කමකට බඳුන් කරමින් Symbolism යෙදීම සලකන්න පුලුවන්. දැන් Se7en ෆිල්ම් එකේ Serial Killer එයාගේ ඝාතනයන් සිදුකරන්නෙ මේ ලෝකය පාපයන්ගෙන් ගලවා පාරිශුද්ධ කිරීමේ අරමුණින්. අපිට ෆිල්ම් එකේ එයාගෙ සෑම ඝාතනයකින් පසුව වගේම වැස්සක් ඇදවැටෙන ආකාරය දැකබලාගන්න පුලුවන්. ඒකෙන් මොකක්ද සංකේතවත් කරන්නෙ..? ඔව් ඒ තමයි මේ ඝාතකයගේ පරම පැතුම වෙන පාපයන්ගෙන් මිදී ලෝකයේ පවු සේදීයන ආකාරය සංකේතවත් කිරීම. මෙන්න මේ වගේ අවස්ථාවන් Large Scale Symbolism ගණයට ඇතුලත් කරන්න පුලුවන්.
දැන් අපි මේ Symbolism කියන දේ භාවිතයන් අනුව බෙදෙන ප්‍රධාන වර්ගකිරීම් ගැනත් කතාකරමු. මේ අනුව Symbolism ප්‍රධාන කොටස් හතරකට බෙදලා තියෙනවා.
1. Character Symbolism
2. Object Symbolism
3. Color Symbolism
4. Symbolism in Setting
දැන් මේ එක එකකට උදාහරණත් එක්කම කතාකරන්නම්. එතකොට තේරුම් ගන්න පහසුයි.
? Character Symbolism
අපේ කතාවෙ ඉන්න ප්‍රධාන හෝ උප ප්‍රධාන චරිතයක කතාවෙ, ඔහුගේ මානසික ස්වභාවයේ සිදුවෙන වෙනස්වීම් සංකේතවත් කරන්න මේ ආකාරයෙ සංකේත භාවිතයන් යොදාගන්නවා. මුලින් ඉදපු චරිත ටිකෙන් ටික Buildup වෙද්දි එයාලගෙ තීරණ එක්ක එයාලා කොතනින් නතර වේවිද, අවසන් ඉරණම මොකක් වේවිද වගේ දේවල් මේ සංකේත මගින් පෙන්වා දෙන්න උත්සාහ කරනවා. උදාහරණයකට ගත්තොත් The Dark Knight සිනමාපටයේ Harvey Dent ඔහුගේ මුහුණේ අඩක් පිලිස්සිලා අමනුශ්‍ය ස්වරූපයෙන් ඇඳක වැතිරිලා ඉන්න අවස්ථාව ගමු. මේකෙන් අපිට අර්ථ දෙකක් ඉස්මතු කරනවා. පලවෙනි අර්ථය තමයි මේ වෙද්දි Harvey කියන යහපත් පුද්ගලයා ටිකෙන් ටික පහලට ඇඳවැටෙමින් Two Face කියන දූෂිත පෞර්ෂත්වයේ නැගීසිටීම. කලින් තිබුන කඩවසම් මූණ පහල පැත්තට තිබිලා මුහුණේ විරූපී අර්ධය ඉහලට හැරී තිබීමෙන් පෙන්වලා දෙන්නෙ දැන් Harvey යටපත්වෙලා Joker ට අවශ්‍ය විදියටම නගරය මෙන්ම දූෂිත Two Face නැගීසිටිනවා කියන කාරණය මේකෙන් සංකේතවත් වෙනවා. අනික් තේරුම තමයි සෑම මිනිසෙකු තුලම තියෙන දෙබිඩි ස්වභාවය සංකේතවත් කිරිම. ඇත්තම කිව්වොත් අපි හැමෝම තුල වීරයෙක් සහ දුෂ්ඨයෙක් ඉන්නවා. අපි යම් අවස්ථාවකට මූණදෙන ආකාරය අනුව තමයි අපි තුල ඉන්න වීරයා එලියට ගන්නවද දුෂ්ඨයට එලියට එන්න ඉඩ දෙනවද කියලා තීරණය වෙන්නෙ, ඉතින් මේ වීරයා සහ දුෂ්ඨයා වෙන්කරන සීමාව හරිම අපැහැදිලි රේඛාවක් කියන්න පුලුවන්. අන්න ඒ විදියට මිනිසුන් තුල එකම අවස්ථාවෙදි නොපැහැදිලි ඉරකින් බෙදිලා හොඳ සහ නරක දෙකම පවතින ආකාරයත් අපිට මේ Harvey Dent ගේ විරූපී මූණෙන් සංකේතවත් වෙනවා.
? Object Symbolism
මේ ආකාරය තමයි Symbolism භාවිතයේදි සුලභවම යොදාගන්නෙ. වස්තූන් (Objects) භාවිතා කිරීමෙන් Symbolism භාවිතා කිරීමේදි සැලකිලිමත් වෙන්න ඕන මූලිකම කරුණක් වෙන පැහැදිලිව පෙනීම සහ සියුම්ව අර්ථ නිරූපණය වීම කියන දේ සමබරව කරගන්න පුලුවන් වෙනවා. මේවගේ ලොකුම වාසිය තමයි අපිට යම් චරිතයක අභ්‍යන්තරයේ සිදුවෙන වෙනස්කම් ගැන කෙලින්ම ප්‍රකාශ කරන්න බැරි අවස්ථාවන් වලදි පහසුවෙන්ම ඒ චරිතය එදිනෙදා භාවිතා කරන වස්තුවක් මාර්ගයෙන් එම වෙනස සංකේතවත් කරන්න හැකියාව ලැබීම. මම උඩදි කියපු Walter White ගේ කලු Top hat එක මේකට උදාහරණයක් විදියට පෙන්වන්න පුලුවන්. තව Parasite සිනමාපටයේ දැක්වෙන වාසනාව අඟවන ගල්පතුරත් මේකට උදාහරණයක් විදියට ගන්න පුලුවන්,
? Color Symbolism
වර්ණ භාවිතයෙන් යම් අදහසක් මතුකිරීම තමයි මේකෙදි වෙන්නෙ. මේ විදියට භාවිතා කරන වර්ණ වලට විවිධ තේරුම් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට කිව්වොත් රතු පැහැයෙන් අනතුරක්, ප්‍රචණ්ඩත්වයක් සංකේතවත් කරද්දි නිල්පැහැයෙන් මලානික උදාසීන ස්වභාවය අඟවන්න පුලුවන්. හැබැයි මේ වර්ණයන් යොදාගෙන සිදුකරන අර්ථ නිරූපණයන් කතාවෙන් කතාවට වෙනස් වෙන්න පුලුවන්. මම කිව්වා වගේ නිල් පැහැයෙන් උදාසීන ස්වභාවය පෙන්නනවා වගේම බලාපොරොත්තුව කියන දේ පෙන්වන්නත් යොදාගන්න පුලුවන්. ඒක නිර්මාණකරුවට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒකනිසා මේ වර්ණ භාවිතයන්ගෙන් අර්ථවත් කරන දේවල් හඳුනාගන්න නම් සමස්ථ කතාව ගැන, චරිත ගැන යම් මට්ටමක අවබෝධයක් තිබියයුතු වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් මේකේ රචකයා මේ අදාල වර්ණය භාවිතා කරලා තියෙන්නෙ මේ මේ අවස්ථාවන් පිලිබඳ සංකේතවත් කරන්නයි කියලා. මේ ආකාරයෙන් විශිෂ්ඨ ලෙසින් Color Symbolism යොදාගත් අවස්ථාවක් විදියට We Need to Talk About Kevin හි වර්ණ භාවිතය දක්වන්න පුලුවන්. දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් තිබෙන මේ චිත්‍රපටියෙ චරිත ඒ ප්‍රචණ්ඩකාරී සිදුවීමට පෙර සහ පසු යන අවස්ථාවන් දෙකේදිම රතු වර්ණය මූලික කරගෙන පෙන්වලා දීලා තියෙනවා. ඒ පෙර අවස්ථාවන් වලදි අනාගතයේ සිදුවෙන අවාසනාවන්ත ඛේදවාචකය ඇඟවීමට වගේම පසු අවස්ථාවන් වලදි ඒ ඛේදවාචකය නිසා ඒ හා බැඳුණු චරිත විඳවන ආකාරය පෙන්වීමටයි. ඊට අමතරව මම කලින් කියපු Breaking Bad හි Walter White ඇතුලු චරිත භාවිතා කරන ඇඳුම්වල වර්ණයන් වගේම ඒවා ක්‍රමයෙන් වෙනස්වීම මගින්ද ඒ ඒ චරිතවල සිදුවෙන වෙනස්කම් සහ විවිධ සිදුවීම් සමග ගැලපීම් කරන්න එහි නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා.
? Symbolism in Setting
මේකෙන් වෙන්නෙ අපි නිර්මාණය කරන කතාවෙ පසුබිම මගින් යම් යම් සංකේතාත්මක අර්ථයන් නිරූපණය කිරීම. මේකට උදාහරණයක් විදියට The Great Gatsby සිනමාපටය ගන්න පුලුවන්. ඒකෙදි Jay Gatsby ඉන්නෙ West Egg වල සහ Buchanan පවුල ඉන්නෙ East Egg වල. බැලූ බැල්මට මේ පවුල් දෙකම බොහොම ධනවත්, සරුසාර ජීවිත ගතකරන පවුල් උනත් කතාව බලාගෙන යද්දි අපිට තේරෙනවා East Egg වල පදිංචිවෙලා ඉන්නෙ පාරම්පරික ධනය ඇති තැනැත්තන් සහ West Egg වල අලුතින් ධනවත් උන පරම්පරාවන් ජීවත් වෙනවා කියන කාරණාව. මේ විදියට කතානායකයා උන Gatsby මේ තත්ත්වයට ආපු හැටි සහ ඔහු පෙර සිටි ආකාරය ගැන අපිට සංකේතාත්මකව පෙන්වලා දීලා තියෙනවා.
ඊලඟට Symbolism ගැන කතාකරද්දි අවසාන වශයෙන් මූලික නීතීන් දෙකක් ගැන කතාකරන්න ඕන. ඒ නීතීන් දෙක තමයි,
? The Law of Duality
? The Law of Correspondence
මේකෙන් The Law of Duality කියන්නෙ අපි නිර්මාණය කරන කතාවෙ ආරම්භයේදි භාවිතා කරන සංකේතයන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයේ සංකේතයන් කතාව අවසානයෙදි භාවිතා කිරීම. මේකට සරල උදාහරණයක් විදියට Game of Thrones කතා මාලාවෙ ආරම්භයේදි ශීත ඍතුව සංකේතවත් කරලා අවසාන භාගෙයෙදි ශීත ඍතුව පරාජය කරමින් ගිම්හානය පැමිණෙන ආකාරය සංකේතවත් කිරීම දක්වන්න පුලුවන්.
ඊලඟට Law of Correspondence ගැන කතාකලොත් ඒකෙදි වෙන්නෙ අපි භාවිතාකර සංකේතයන් වල අදහසට සමපාත වෙන වෙනත් සංකේතද භාවිතා කීරීම. මේකට උදාහරනයක් විදියට American Beauty සිනමාපටයේ ආදරය පිලිබඳ සංකේතවත් කිරීමට රතු පැහැය වගේම රතු රෝස මල්පෙති යොදාගෙන තිබීම දක්වන්න පුලුවන්.
ඔන්න එහෙනම් ඕක තමයි Art of Symbolism ගැන කතාව. මේ පලවෙනි කොටසෙන් මම Symbolism වල මූලික කරුණු ගැන විස්තර කලා විතරයි. ඊලඟ කොටසෙන් මේ විදියට අපූරුවට Art of Symbolism යොදාගනිපු අවස්ථාවන් ගැන සිනමාවේ සුප්‍රසිද්ධ සිනමාපට කිහිපයකින්ම උදාහරණ අරගෙන පෙන්වන්න තමයි හිතාගෙන ඉන්නෙ, ඒ කොටසත් ඉක්මනටම අරගෙන එන්නම්. එහෙනම් මේ විස්තරයෙන් යම් දෙයක් දැනගත්තනම් ඒ ගැන ඔයාලගෙ අදහසත් පහලින් Comment කරගෙන යන්න. එහෙනම් දෙවෙනි කොටසත් අරන් ඉක්මනින්ම හමුවෙන්නම්. සිනමාලෝලී සියලු දෙනාටම ජයවේවා !!