Thalapathi (1991) Tamil | Sinhala Article

Thalapathi (1991) Tamil 

My Rating – 9/10

Crime/Drama ‧ 2h 47m
90% liked this film Google users

#දමිළ සිනමාවට ඈක්කා ගාන උන්ට ටොකු නොඇන මේක පෙන්වන්න ❤️.

සිනමාව සාගරයක් නම් කෙනෙක් ට ඒ සාගරයෙන් දෝතට ගත හැක්කේ අල්පයක් පමණක් ම වූ දිය ප්‍රමාණයක් පමණි. සිනමාව එවැන්නක්.එබඳු ස්ථානයක්.හැකි විලස හැකි පමණින් විවිධාකාර සිනමා නිර්මාණ නරඹා, විඳිමින්, ඇසුරු කරමින් ඉරි තලා ගිය රසවින්දනය නම් වූ පොළොවට දිය බිඳක් සේ පිරියම් කරන්නට හැකි වේ නම්, පිරියම් කරන්නට ප්‍රිය වේ නම් ඒ සිනමාලෝලියා සිනමාවේ සොඳුරු බව මොනවට අත් විඳින පුද්ගලයෙක්.

1991 වසරේ නිකුත් වෙන Thalapathi චිත්‍රපටය සිනමාලෝලියෙකුට නරඹන්නට වැදගත් වන්නේ එක් හේතුවක් නිසා නොව හේතු කිහිපයක් නිසා යි.

* රජිනිකාන්ත් ගේ තරු ගුණය (Superstar Rajni)
* මම්මුට්ටි ප්‍රශස්ත රංගනය (Mamooty)
* මනිරත්නම් ගේ රැඩිකල් සිනමාකරණය (Maniratnam)
* ඉලයරාජා ගේ රැඩිකල් සුමියුරු මීවිත වන් ස්වර මියැසිය (Ilayaraja)
* අරවින්ද් සාමි (Aravind Swaamy)
* නාගේෂ් ඇතුළු ප්‍රශස්ත සෙසු රංගධරයන් කැළ.

නිර්මාණශීලී, පපුවට දැනෙන, කතා පුවතක් රැගත් තලපති සිනමාලෝලියෙකු ට වැදගත් වනු යේ මන්ද යන්න පැහැදිලි කිරීම ට අවැසි ප්‍රමාණයටත් වඩා කරුණු කාරණා තිබේ.

රජිණි – මම්මුට්ටි සුසංයෝගය සිනමා නිර්මාණයක භාවිතයට ගැනුණු පළමු සහ අවසාන අවස්ථාව යි මේ. රජිණි ගෙ තරු ගුණයත් මම්මුට්ටි ගෙ ප්‍රතිභාපූර්ණ රංගනයත් පදමට මුහු වෙලා ප්‍රේක්ෂකයා ඉදිරියේ මවන සංතෘප්ත සිනමා නිර්මාණයක සොඳුරු බව 90 ගණන් වල විඳ ගත් ඒ සිනමා රසිකයන් වාසනාවන්තයන් ය. Rajinism යනු ආගමකි. මම ද තරමක් දුරට ලබ්ධිකයෙක් මි. ඔහු තිරයේ පෙනී සිටීම පමණක් සෑ හේ. එතැනින් මතුවට කතාව අපගේ එකක් ය. ඔහු අපේ එකෙකු බැවින් ය.රජිණි පිළිබඳ හැඟීම එබඳු ය. තාර්කික බුද්ධියට නොව සංවේදී හදවතට ඔහුව දැනෙණු ඇත. Rajinism යනු එවැන්නක් විය හැක.

මම්මුට්ටි ගේ රංගනයේ පවතින සියුම් බව, තත්ත්පර කිහිපයකට පමණක් සීමා වුව ත් ඔහුගේ රඟපාන රුව දැක ගැනීම සිනමා පිස්සෙකුට මහ මෙරක් තරම් ය. ඔහු අසලින් ම රජිනි ව දැක ගැනීම ඒ හැඟීම දෙගුණ තෙගුණ කිරීමට සමත් ය. නැශනල් සම්මාන ලාභී (National Award) මම්මුට්ටි එදා නිර්මාණ වල සිටින අයුරු මෙදා නිර්මාණවල දැක ගත නොහැකි දෝ යි සිතේ. Director Ram ගේ Peranbu කලකට පසු මම්මුට්ටි ගේ දමිළ සිනමා අවතීර්ණය ය. එය අනගි නිර්මාණයක් වනු නොඅනුමාන ය.

තරුණ නවකයෙකු වන අරවින්ද් ස්වාමි, මනිරත්නම් ගේ ප්‍රශස්ත සොයා ගැනීම, 60 70 ගණන්වල ඉපැදුණු දමිළ මුස්ලිම් කාන්තාවන් ඔවුන්ගේ නිවෙස් වලින් මනමාලයෙකු සොයන විට දී පවසනු යේ “අරවින්ද සාමි වගේ කෙනෙක් නම් හා අම්මේ” ලෙස ය. ඔහු ද ඔහුට ම සුවිශේෂී වූ රංග පෞරුෂයක හිමිකරුවෙක් ය.

මනිරත්නම් යනු දමිළ සිනමාව උඩු යටිකුරු කළ අධ්‍යක්ෂකවරයා ය. සාම්ප්‍රදායික කතා කියන කලාවෙන් බැහැර වූ ඔහු දමිළ සිනමාලෝලියාට අලුත් ම ආරේ කතා පැවසුවේ ය. ප්‍රේක්ෂකයා ද එය වැළඳ ගත්තේ ය. Naayagan, Roja, Dil Se, Bombay, Alai Payuthey, Guru, Raavanan, Iruvar, Mouna Ragam, Kannathil Muthamittal, Ayitha Azhuthu ආදී අපූරු සිනමා නිර්මාණ රැසක් දායාද කළ අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ගේ සිනමා ආඛ්‍යානය ඔහුට ම සුවිශේෂී වූ එකකි. ඔහු ගේ ඉහත කී නිර්මාණ නරඹන්නෙකුට ඔහු ගේ පවතින සුවිශේෂී බව තේරුම් ගත හැකි වෙනු ඇත. ප්‍රේමය, ද්වේශය, අරගල, යුද්ධය ආදී මාතෘකා පිළිබඳ ඔහු ගේ කියැවීම ඔහුගේ හැඟීම් ප්‍රකාශනය කූලැටි, කුසීත, ලිං ගෙඹි, පටු මානසික මට්ටම් වල පුද්ගලයන්ට දුහුවිලි පිස දමා මානව හිතවාදියෙකු ව නැඟී සිටීමට නිට්ටාවටම සරිලන මහඟු ඔසුවකි. ඔහුගෙ එම සිනමා භාවිතයම Thalapathi තුළ ද නොඅඩුව නිරූපණය වේ.

විටෙක වැරැදි පුද්ගලයා තවත් විටෙක නිවැරදි ය, දුසිරිත දුරැලා සුසිරිත් කරපින්නා ගත හැක,සෑම විටෙක ම මිනිසෙකු නරක ද නැත හොඳ ද නැත, කෙනෙකු පිළිබඳව අවසන් තීරණය ගැනීමට ඉක්මන් නොවන්න, මනුස්සයෙක්ට දෙවෙනි අවස්ථාවක් සෑම විටෙක ම උරුම ය, ප්‍රෙමය යනු හිමි වීම ම නොවේ අහිමි වීම ද ප්‍රේමය විය හැක, ආදී වූ අනේක විධ පාඩම් උගත හැකි “මනී ගේ තලපති” යනු සියුම් ලෙස විමසා බලා විඳ ගත හැකි සම්භාව්‍ය සිනමා නිර්මාණයකි යන්න යි මගේ මතය.

මිනිස් සන්තාන ගත හැඟීම් වලට වර්ණ හැඩ තල ලබා දෙමින් පියාඹන්නට සැලැස්වීම, කාලාන්තරයක් පුරාවට ඒ වර්ණ හැඩතල ප්‍රාණවත් කරවීන මනිරත්නම් ගේ සිනමා ප්‍රයෝගය යි.

කැමරාකරණය හා සංකේතාත්මක භාෂාවක් තුළින් ප්‍රබල ලෙස කථාන්තර කීම තලපති තුළ දැක ගත හැකි ප්‍රබල සිනමා භාවිතයකි. එක් ජවනිකාවක් වෙයි, අරවින්ද සාමි ඉහළ මාලයේ සිට පහළට බැස ඒම සහ ඔහු සේම රජිනි ද පිය ගැට පෙළක පහළම සිට ඉහලට පිය ගැට පෙළ නැග ඒම, අනතුරුව ඔවුන් දෙදෙනා සම තැනක සිට සාකච්ඡා කිරීම. ප්‍රබල දේශපාලනික කියැවීමක් ආරූඩ කළ හැකි ඒ දසුන සංකේතාත්මක සිනමා භාවිතයට එක් නිදසුනක් පමණි තලපති නිර්මාණයේ.

ඉලයරාජා – Ilayaraja ගේ ස්වර මියැසිය නිර්මාණයේ ප්‍රබල බව දෙගුණ තෙගුණ කරන්නට සමත් ය. කංකළු සංගීතය තුළින් ප්‍රේමය වර්ණනා කරන විට කර්කෂ සංගීත ඛණ්ඩ තුළින් ප්‍රචණ්ඩ බව හා උද්වේගකර බව කියා පායි. පසු බිම් සංගීතය රූප රාමුවට ඔබින පරිදි සකස් කොට ප්‍රේක්ෂකයාව ඒ ඒ අවස්ථාවන්ට අනුගත කරවීම සංගීත අධ්‍යක්ෂකවරයා ගේ දක්ෂතාවය මොනවට කියා පායි. අද වන් ඩිජිටල්කරණය වූ තාක්ෂණික සංගීත මෙවලම් සුලභ නොවුණු එවන් සමයක දහසක් සංගීත භාණ්ඩ වැයෙන්නට ඇති චිත්‍රපටයේ ආත්මය හා එකට ගමන් කළ හැකි සප්තස්වර මියැසියක් නිපැයීම ට. තනු තුළින් බැඳ ගන්නා සිතුවිලි කංකළු නාද රටාවන් හා මුහු වෙමින් වැයෙනා විට මනසික සිතුවිලි සංජානනය වනු යේ පදමට ය.

තලපති – Thalapathi යනු සිනමාවේ සොඳුරු රසය සොයා යන විචාරශීලී සිනමා රසිකයින් මඟ හැර නොගත යුතු ම වටිනා ඉන්දීය සිනමා නිර්මාණයකි. එවන් වූ නීර්මාණ අතලොස්සෙන් එකකි.නරඹනු මැනැවි ❤️?

Initial releaseNovember 5, 1991 (India)
Download
Subtitle Download

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *