TENET (2020) English | Sinhala Article

TENET (2020) English by Chanaka Colombage

TENET (2020) බැලුව? තේරුණා?

හොඳට තියෙන ඔළුව ගොඩ කාලෙකින් කොහේ හරි හයියෙන් හප්ප ගන්න බැරි වුණා?
නිදාගන්න හිතෙන්නෙවත් නැතුව, මොළේ හම යනකං කල්පනා කර කරන්න ඉන්න මොකක් හරි අළුත් ගැටළුවක් ඕන ද?
ඝන්ධබ්බ නිද්‍රාවකට සමවැදිලා, ඒ ආරුඩ කරගත්ත ෆීලින්ග් එකෙන් මත්වෙලා අවකාශයේ ඔහේ පාවී පාවී ඉන්න කැමති ද?
තාප ගති විද්‍යාවේ (Thermodynamics) පරණ සිද්ධාන්ත ටික ආයේ ආයේත් දිග හැර හැර බලන්න සිද්ධ වෙන අළුත් විද්‍යාත්මක සංකල්පයක් ගැන දැනගන්න ඕන ද?

කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක්…
TENET බලන්න.

හිටු කියලා වෙඩි තියාගැනිලි,
කන් අඩි පුපුරණ සද්දෙන් අධි බල බෝම්බ පුපුරලා බිල්ඩින් සුන්නද්ධූලි වෙලා යන,
පිස්සු කොරවෙන ෆියිට් සීන් එක්ක තව පට්ට පතුරු Action, Stunt කෑලි වැහි වැහැල තියෙන,
ඇත්තම Boeing 747 එකක් කාර් ගොඩක් කුඩුපට්ටම කරගෙන ගිහින් බිල්ඩිමක හැපිලා පුපුරන,
පපුවට කුළු ගෙඩියකින් තඩි බානවා වගේ දැනෙන Film Score එකක් තියෙන,
පටන්ගත්ත වෙලේ ඉඳන් මෙලෝ සංසාරයක් නොතේරෙන කතාවක් එක්ක “අප්පට-සිරි වෙන” ending එකක් තියෙන, අළුත්ම ෆිල්ම් එකක් බලන්න ඕන?

ඒත් TENET බලන්න…

ඔබ මේ ඉහත කියපු ආකාරයේ ෆිල්ම් බලන්න කිසිම කැමැත්තක් නැති කෙනෙක් ද?
“මිනිස්සු ෆිල්ම් එකක් බලන්නේ ගැටළු විසඳන්න නෙමේ” කියලා හිතන කෙනෙක්?
ඔබ සොයන්නේ මල් ගස් වටේ නටන ලස්සන කෙල්ලකුයි කොල්ලෙකුයි ඉන්න, අතරින්පතර සින්දු පහ හයක් විතර තියෙන, බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් කොමික් කෑලි තියෙන ෆිල්ම් එකක් ද?

මේක නම් ලොවෙත් ඔබ සොයන චිත්‍රපටය නොවන්නේය. එහෙයින් කරුණාකර TENET නොබලා සිටිනු ද, මේ හෑල්ල මෙතනින් එහාට වැරදිලා වත් නොකියවා ද සිටිනු මැනවැයි අවධාරණය කරමි.

එහෙනම්, මෙතනින් එහාට මේ ලිපිය ලියැවෙන්නේ අර මුලින්ම කී ආකාරයේ මොළේ විකාර වෙන ෆිල්ම් බලන්න ඇබ්බැහි වුන, පිස්සු යක්කු ටික වෙනුවෙනි. (කැමති අයට පුළුවන් මෙතනින් එහාට කියවන්න කලින් මේ සමග අමුණලා තියෙන ෆිල්ම් එකේ Trailer එක පොඩ්ඩක් බලලා මේක කියවන්න අවශ්‍ය උත්තේජනය ලබාගන්න)

2020 සැප්තැම්බර් 11 වන දා ශ්‍රී ලංකාවේ විශේෂිත සිනමාහල් වල පමණක් ප්‍රදර්ශනය ආරම්භ කල Christopher Nolan ගේ 11 වන පිස්සුව “TENET (2020)”, ඔබත් නෝලන් ලොක්කගේ මාරාන්තික සිනමා රසිකයෙක් නම් සිනමාහලක් තුල මේ නෝලනියානු සිනමා අත්දැකීම ලබා ඇතුවාට නම් සැකයක් නැත. 2014 නිකුත් වුන Interstellar චිත්‍රපටයෙන් පස්සේ නෝලන් අත ගහපු සුපිරිම වැඩේ TENET කියන්න පුළුවන්. Inception (2010) චිත්‍රපටයට නොදෙවනි කතාවක් සමග, නෝලන්ට හිතුන හිතුන හැටියට චිත්‍රපටය තුල පිස්සු නටන්නට නිදහස හිමිවූ, අධික වස්තු සංහාරයක් සිදුකර ස්වභාවික දර්ශණ තල මත අඩුම CGI, VFX තාක්ෂණ භාවිතා කරමින් සිදුකල මේ චිත්‍රපටය කොතරම් පුදුමාකාර දැයි දැනගැනීමට නම් අනිවාර්යයෙන්ම සුපිරි සිනමාහලක් තුල නැරඹිය යුතුමය.

ඔබ උග්‍ර බොලිවුඩ් චිත්‍රපට රසිකයෙක් විය හැක. හොලිවුඩ් චිත්‍රපට පේන්න බැරි කෙනෙක් වෙන්නට ඇත. නෝලන්කාරයයි හොලිවුඩ් චිත්‍රපටයි යකාට ගියාවේ, TENET හි Priya ගේ චරිතය රඟපාන Dimple Kapadia ගේ රංගනය බොලිවුඩ් රසිකයෙක් වන ඔබව අතිශය පුදුමයට පත් කරවනු ඇති.

TENET ෆිල්ම් එකේ නිකුත්වුන Trailer එකේ වගේම ෆිල්ම් එකේ මුලදීත් මෙන්න මෙහෙම දෙබසක් තියෙනවා. මේක කියන්නේ විද්‍යාඥයවරියක් වගේ ඇඳගත්තු කාන්තාවක්.

“Don’t try to understand it. Feel it”

නෝලන් ලොක්කා මේ පාර ෆිල්ම් එකේ ලේසි වෙන්නේ නැති ඇඹරිල්ලක් අඹරලා ඇති බවට කරපු පළමුවෙනි රතු එලිය ඔන්න උදේ පාන්දරම පත්තු කරලා. සරලවම කිව්වොත් නෝලන් මේ දෙබස කිව්වේ ගැලරියේ ඉඳන් නෝලන්ව තේරුම්ගන්න හිතාගෙන ආපු අපිටය.

“කිරි පුතේ, මේ කොරෝනා කළබල අස්සේ උඹලා ගොන්නු වගේ සල්ලිත් දීලා TENET බලන්න හෝල් එකට ආවනම්, මේ මගුල ගැන වැඩිය නොහිතා ෆිල්ම් එක බලපල්ලා. මේකෙ තියන රෙද්දවල් උඹලට තේරුම් කරවන්න තියා මටවත් තේරෙන්නෙ නෑ”

ඔව් ඉතිං, මේ කොරෝනා කලබල අස්සේ, මීටරේ පරතරේ තියන්, හෝල් එක ඇතුලෙත් මාස්ක් දාගෙන, පැය දෙකහමාරක් දිග මෙලෝ රෙද්දක් නොතේරෙන මේ ෆිල්ම් එක බලන් හිටපු අපිට නම් ඇත්තටම පිස්සු තමයි.

හෝල් එකේ Subtitle නැතුව TENET බලද්දී සමහර ඩයලොග් ඇහෙනකොට ඇත්තටම මට හිතුනේ,

“අඩේ, මුං මේ කතා කරන ඉංග්‍රීසි මම තාම ඉගෙනගෙන නෑනේ… “

TENET බලලා ගෙදර ඇවිත් නිකමට වගේ Google කළා වෙන රටවල ඉන්න උන් TENET ගැන දක්වපු අදහස් එහෙම බලන්න. හම්මේ… ඊට පස්සේ දැනුන ආධ්‍යාත්මික සුවය. ඉපදිච්ච දවසේ ඉඳන් කඩ්ඩෙන් කොටන සුද්දන්ටවත් මේකේ සමහර තැන්වල ඉංග්‍රීසි තේරිලා නෑ. මොකද ඒ තැන් වල පාවිච්චි කරන ඇක්සන්ට් වෙනස්, එහෙම නැත්තන් උන් කතා කරන්නේ invert වෙලා ඉන්න ගමන්, ඒවා අපිට ඇහෙන්නෙත් invert වෙලා. ඉතිං මේකත් ෆිල්ම් එක සංකීර්ණ වෙන්න තවත් හේතුවක් තමයි.

TENET කියන්නේ සමහර අයට අනුව නෝලන් ෆේල් වුණ චිත්‍රපටයක්, ෆිල්ම් එකේ කතාව අනවශ්‍යය විදිහට අමාරු කරවන්න දරපු උත්සාහයක්, බහුතර ප්‍රේක්ෂකයින්ට නොතේරෙන සංකල්පයක් නිසා TENET කියන්නේ නෝලන් හොඳම එකෙන් ඇණ ගත්තු තැනක්.

ඇත්තටම TENET එකේ දී නෝලන් ස’ ෆේල් ද?. නෝලන් ස’ ඇණ ගත්තා ද?.

එතෙක් මෙතෙක් නෝලන් විසින්ම ලියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරෙන්, මුලක් මැදක් අගක් තේරුම්ගන්න අමාරුම, සංකීර්ණතම විද්‍යාත්මක සිද්ධාන්තයන් සහිත, මොළේ හම යනකං කල්පනා කරත් මෙලෝ රෙද්දක් නොතේරෙන ෆිල්ම් එකක් විදිහට TENET නම් කල හැකිය. මේක විස්තර කරන එක කොයි තරම් දුරකට සාර්ථකව කරගත හැකිවේ දැයි මේ මුල් සටහන ලියන මොහොත වන විටවත් මම නොදනිමි.

“මේ හෑල්ල දැනටමත් අනාගතයේදී මා විසින් ලියා අවසානය. එය අනාගතයේදී ලියූවේ කෙසේදැයි මම නොදනිමි. වර්තමානයේ දී මා සිදු කරනුයේ අනාගතයේ දී ලියැවීමට ඇති ඒ දේ, වර්තමානයේ දී ලියැවෙන ආකාරය දෙස බලමින් කල්මැරීම පමණකි”

සරළවම ගතහොත් TENET හි දිවෙන මුළු කතාවේම සාරාංශය ද මෙයයි.
මම ඒ ගැන වැඩිදුර නොසිතමි, තේරුම්ගන්න උත්සාහ ද නොකරමි. මේ ලිපිය නිරායාසයෙන්ම ලියැවෙන්නට හරිමි.

TENET චිත්‍රපටයේ කතාව

මේකත්, කතාව තේරුම් ගන්න නම් n වතාවක්වත් (n ⩾ 3), නැරඹිය යුතු ජාතියේ නොලන්ගේ එපික් ඝනයේ ෆිල්ම් එකකි. ඒ හින්දා මුල ඉඳන්ම හොඳ කල්පනාවෙන් කිහිප වතාවක්ම ෆිල්ම් එක බලන්න වෙයි. චිත්‍රපටයේ මුළු කතාවම මුල සිට කීමට මම බලාපොරොත්තු නොවෙමි. චිත්‍රපටයේ මතුපිට පෙන්වන කරණා බැරෑරුම්ව තේරුම් ගැනීමට අවශ්‍යය තල්ලුව පමණක් මේ ලිපියෙන් ඔබට ලැබෙනු ඇත. චිත්‍රපටය n වතාවක් හෝ නරඹා කතාව තේරුම්ගෙන පහත තිබෙන කරුණු පැහැදිළි කිරීම් කියවීමෙන් TENET චිත්‍රපටය යන්තම් හෝ ගොඩ දාගත හැකිවේ යයි මම සිතමි.

මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ TENET ෆිල්ම් එක මම තේරුම් ගත්ත විදිහට සහ මගේ දෘෂ්ටිය අනුව එහි සංසිද්ධීන් සිදුවීම පැහැදිළි කිරීම පමණකි. මෙහි ඔබ එකඟ වන, නොවන කරුණු වගේම මේ වනතුරුත් TENET චිත්‍රපටයේ ඔබ නොසිතපු, නොදැකපු පැති කිහිපයකටම එතුළින් මාර්ග විවර විය හැකිය. එතැනින් එහාට මේ දෝලාව කරේ තබාගෙන යාම ඔබට බාරයි.

TENET චිත්‍රපටයේ ප්‍රධාන චරිතය Protagonist (John David Washington), ලෙස හඳුන්වන අතර ඔහුට කතාව තුල නිශ්චිත නමක් නැත. චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ Protagonist සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා, Kyiv Opera House එක ඇතුලේ ඉන්න සන්නද්ධ කණ්ඩායමක් විසින් යටත් කරගෙන සිටින VIP කෙනෙක්ව ගලවා ගැනීමේ මෙහෙයුමකට (Rescue Mission) වෑන් එකක යන දර්ශණයකිනි. මේක යුක්රේනියානු බලඝනයක් (Squadron) එක්ක ඇමරිකන් බලඝනයක් එක්ව කරන සන්නද්ධ ත්‍රස්ත මෙහෙයුමක්. Protagonist කියන්නෙත් මේ යුක්රේනියානු ත්‍රස්ත කණ්ඩායමේම සන්නද්ධ සාමාජිකයෙක් විදිහට ඉන්න CIA සංවිධානයට වැඩ කරණ රහස් ඔත්තුකාරයෙක් (Undercover Agent). මේ Protagonist එක්ක ඉන්න යුක්රේනියානු ත්‍රස්තයන් කරන්නේ මෙතනට එන යුක්රේනියන් KOPA Team එක වගේම වෙස් වළාගෙන Kyiv Opera House එක ඇතුළට යන එකයි.

Kyiv Opera House එක ඇතුලට යන මේ KOPA Team එක ඇතුලේ ඉන්න ත්‍රස්ත කණ්ඩායම සිහි නැති කරවන්න ගෑස් එකක් ගහනවා. එත් එතන සිටින ත්‍රස්ත කණ්ඩායම හදිසි ගෑස් ප්‍රහාරයක් සඳහා පෙර සුදානමින් Gas Mask දාගෙනම තමයි Mission එකට ඇවිත් තියෙන්නේ. Opera House එකේ සිටි සිවිල් ජනතාව සියල්ලම මෙනිසා සිහි මුර්ජා වෙනවා. Protagonist එයාගේ team එකේ කට්ටියත් එක්ක හැම කාමරයක්ම සෝදිසි කරනවා VIP ව හොයාගන්න. අන්තිමට ඔවුන්ට අවශ්‍යය කරණ VIP පුද්ගලයාව හොයාගන්නවා. VIP වත් අරගෙන Protagonist කාමරයෙන් එළියට එනවා. ඒ අතර Protagonist විසින් VIP පුද්ගලයා ලබා දුන් ඔත්තුවක් අනුව හතරැස් යකඩ කෑල්ලක් වැනි යමක් ද හොයාගන්නවා. ඉන්පසු VIP ගේ ආරක්ෂාව තකා ඔහු වෙනුවට CIA කණ්ඩායමේ සිටින ජපන් ජාතිකයෙකු හා වෙස්වලා ගන්නට සලස්වා ඔවුන් දෙදෙනාව මාරු කරවනවා.

“We live in a twilight world…”
“And there are no friends at dusk…”

චිත්‍රපටය මුලදීම, අවස්ථා කිහිපයකදීම ඇහෙන මේ වාක්‍යය ඔබට ප්‍රශ්ණ ගණනාවක්ම ගෙන එන්නට ඇත. ඒකෙ තේරුම හොයන්න වැඩිය මහන්සි වෙන්න එපා, මේක Military Call Sign එකක්. ඒ කියන්නේ යම් යුධමය තත්ත්වයකදී හමුදා කණ්ඩායමක සිටින පිරිසක් ඔවුනොවුන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරණ වචන/වාක්‍යය පෙළක්. කෙනෙක් Call Sign එකෙහි මුල් වචනය/වාක්‍යය කියූ පසු අනෙකා එහි අනෙක් වචනය/වාක්‍යය කිවයුතුය. Call sign එක නොදන්නා අයෙකු නම් ඔහු සතුරු කණ්ඩායමේ කෙනෙකු විය යුතුය. එනිසා යුධබිමේදී වෙස්වලාගෙන සිටින සතුරා සරලවම හඳුනා ගැනීමට මේ call sign න්‍යාය යොදා ගනී.

Protagonist විසින් ත්‍රස්ත කණ්ඩායම විසින් Opera House එක තුල තබා තිබු කාල බෝම්බ අයින් කරන්න යනවා. මේ අතර Protagonist යනු Undercover Agent කෙනෙක් කියලා ත්‍රස්තයෙකුට අහු වෙනවා, එත් එක්කම ඔහුගේ කණ ලඟින් යන Bullet එකකින් ඒ ත්‍රස්තයට කව්දෝ මන්දා වෙඩි තියලා, අනිත් පැත්ත හැරිලා දුවනවා. Gas Mask එකක් දාගෙන ඉන්න ඔහුව අඳුර ගන්න බෑ. ඇත්තටම ඒක Protagonist ව බේරගන්න තිබ්බ උණ්ඩයක්. හැබැයි ඔහු මීට කලින් ඒ වගේ වෙඩි තැබීමක් දැකලා නෑ. ඒ පුද්ගලයා ත්‍රස්ත කණ්ඩායමේම හිටපු ත්‍රස්තවාදියෙක්. වෙඩි තැබූ කෙනා ඇත්තටම මේ ත්‍රස්ත කණ්ඩායමේ කෙනෙක් නොවන බව ඔහුට තේරුම් යනවා. මේකේ වෙඩිල්ල තිබ්බ ද වෙඩිල්ල ආපස්සට ඇදලා ගත්තා ද කියලා Protagonist ට හිතා ගන්න බැරි වෙනවා. තත්පර කිහිපයක් ඇතුලත සිදුවන මේ කලබලකාරී දේවල් ගැන සිතන්නට Protagonist නොහැකි වෙනවා. ඔහු අර තියෙන බෝම්බ සියල්ලම එකතු කරගෙන මල්ලකට දමා Opera House එකේ බැල්කනි එකට විසිකරමින් ඉන් පිටතට දිව යනවා. VIP පුද්ගලයා වෙනුවට යොදාගත් ජපන් ජාතිකයාවත් රැගෙන Opera House එකෙන් එලියට යන අතරතුර ජිවිත හානි සිදු නොවී බෝම්බ සියල්ල පුපුරා යනවා. ඔවුන් දෙදෙනාම දිව යන්නේ ත්‍රස්තවාදීන් ඉන්න වෑන් එකට.

Protagonist ජපන් ජාතිකයාත් සමග වෑන් එකට ගියාට පස්සේ එතන ඉන්න ත්‍රස්තවාදී යුක්රේන්කාරයෝ කියනවා මේ ඉන්නේ ඔවුන්ට අවශ්‍යය වුන VIP පුද්ගලයා නොවන බව. යුක්රේන්කාරයෝ දැනගන්නවා Protagonist කියන්නේ රහස් ඔත්තුකාරයෙක් (Undercover Agent) කියලා. මේ නිසා යුක්රේන්කාරයෝ ටික එකතු වෙලා Protagonist ට හොඳටම වධ දෙනවා රහස් දැනගැනීමට, නිකන්ම නෙමෙයි Protagonist ගේ දත්, නියපොතු අඬුවකින් ගලවන ගමන්. බාගෙට සිහි නැතිව ඉන්න Protagonist දකිනවා ඔහුගේ අනෙක් සගයා, යුක්රේන්කාරයන්ට හොරෙන් යම් ලෝහමය පෙනුමක් ඇති පෙත්තක් එළියට ගන්නවා. වහා ක්‍රියාත්මකවන Protagonist ඒ පෙත්ත ගිලිනවා. ඒක සයනයිඩ් පෙත්තක්. Protagonist මැරෙනවා.

නැවත අවදිවන Protagonist ඉන්නේ මුහුද මැද ඇති විශාල නැවක. ඔහු අසල ඉන්නවා CIA agent කෙනෙක් වැනි අයෙක්. මේ වෙන මෙලෝ රෙද්දක් නොතේරෙන Protagonist දැන් ඉන්නේ හොඳටම කළබල වෙලාය.
අර Agent කියනවා Opera House Mission එක Protagonist ට නොතේරෙන විශාල මෙහෙයුමක පොඩි කෑල්ලක් විතරයි කියලා. බොරු සයනයිඩ් පෙත්තේ සිද්ධිය, TENET කියන විශේෂ කණ්ඩායමට Protagonist ව බඳවාගන්න කරපු පොඩි Test එකක් කියලා. Protagonist සිය කණ්ඩායම පාවා දෙනවා වෙනුවට වධ හිංසා ඉවසමින් සියදිවි නසා ගෙන මරණය තෝරා ගැනීම නිසා ඔහු මේ test එකෙන් පාස් වෙනවා, ඒ නිසාම TENET එක විසින් ඔහුව මරණයට කලින් යුක්රේන්කාරයින් ගෙන් ගලවා ගත් බවත් පවසනවා. නමුත් සාමාන්‍යය ලෝකයට අනුව Protagonist යනු මියගිය පුද්ගලයෙක්. මේ ඉන්න Agent ඔහුගේ අත්දෙකේ ඇඟිලි එකිනෙක බැඳලා TENET සංවිධානයේ සඥාව Protagonist ට පෙන්වනවා.

ඉන්පසු නැවෙන් ගොඩබිමට යන Protagonist ට පර්යේෂණාගාරයකදී කාන්තාවක් හමුවෙනවා. ඇය තම අනන්‍යතාවය හෙළි නොකරණ Laura නම් විද්‍යාඥයවරියක්.

මෙන්න මෙතන ඉඳන් තමයි කිරි පුතේ නෝලන්කාරයා අර සුපුරුදු පොල්ලෙන් අපේ ඔලුවට ගහන සීන් එක පටන් ගන්නේ. මෙතැන් සිට පත බාන Technical Jargons ටික නම් ඇත්තටම පට්ට සංකීර්ණයි. ඒකේ ආයේ දෙකක් නෑ.

Thermodynamics (තාප ගති විද්‍යාව) කියන්නේ කොහොමටත් ඉස්සර ඉඳන්ම මට නීරසම subject එකක්. පට්ට ගේමක් දීල කැම්පස් එකේදී Thermo ගොඩ දාගත්තෙත්, “අම්මපා ඔය Thermo තියරි හොයා ගත්ත උන් ටික නම් කොටියම කන්න ඕන”, ඉස්සර Thermo පාඩම් කරන්න ගත්ත හැම වෙලාවකම මට හිතුනේ එහෙමයි. විනෝදාංශයක් විදිහටත් මම Thermo ලෙක්චරේ කට් කරා. වැරදිලා හරි ලෙක්චරේට ගියත් නිදා ගන්න එක තමයි වැඩිපුරම කළේ. ඔන්න මට අතීතයේ කරපු ගොං කං වල ප්‍රතිඵල වර්තමානයේ පළ දුන්නා. තත්ත්වය සෝචනීයයි, කරන්න දෙයක් නෑ, නෝලන්කාරයට සෙකන්ඩ් වෙන්නත් බෑ. TENET තේරුම්ගන්න නම් අපිට මේ වැටෙන් පනින්නම වෙනවා. එහෙනම් කට්ටියම තම තමන්ගේ පරණ Thermo නෝට්ස් එහෙම දිග ඇරගන්න ලෑස්ති වෙන්න.

Thermodynamics සිද්ධාන්ත යකාට ගියාවේ. ඔය නෝලන්කාරයා කියන මෙලෝ මළ දානයක් නොතේරුණත් කමක් නෑ මේ පහල තියෙන විස්තර ටික උඩින් පල්ලෙන් හරි කියවන්න. කැමති අයට මේක මගහැරලා යන්නත් පුළුවන්. TENET එකේ කතාව මතුපිටින් තේරුම්ගන්න නම් ඒක කිසිම බාධාවක් වෙන එකක් නෑ.

Entropy (එන්ට්‍රොපිය)
අවකාශ කාලය (Space-time) පිලිබඳ විස්තරයක් මම Interstellar (2014) ලිපියේ දක්වලා ඇති. කැමති අය ඒක කියවන්න. ඉතින් ඒ ලිපිය කියවපු හැමෝම දන්නවා කාලය කියන්නේ අපට ගෝචර නොවන හතරවන මානය බවට. Interstellar (2014) මුළු චිත්‍රපටයම නෝලන් දිගහරින්නේ මෙන්න මේ Space-time concept එක උඩ. ඉතින් ඔන්න මේ හාදයා TENET ෆිල්ම් එක දිගහැරලා තියෙන්නෙත් ඒ වගේම සංකීර්ණ සිද්ධාන්තයක් වන Entropy (එන්ට්‍රොපිය) එක මත.
Entropy එක විස්තර කරන්නේ Thermodynamics නැත්නම් තාප ගති විද්‍යාවේ ප්‍රධානතම මුලධර්ම 4 ඇතුලතදීය.

1. Zeroth Law of Thermodynamics (ශුන්‍යය නියමය)
2. First Law of Thermodynamics (තාප ගති විද්‍යාවේ පළමු නියමය)
3. Second Law of Thermodynamics (තාප ගති විද්‍යාවේ දෙවන නියමය)
4. Third Law of Thermodynamics (තාප ගති විද්‍යාවේ තෙවන නියමය)

නෝලන් කතා කරන Entropy එකට පාදක වෙන්නේ තාප ගති විද්‍යාවේ දෙවන නියමයයි (Second Law of Thermodynamics).

“The Second Law of Thermodynamics states that the state of entropy of the entire universe, as an isolated system, will always increase over time. The second law also states that the changes in the entropy in the universe can never be negative.”
(උපුටා ගැනීම – https://chem.libretexts.org)

“මුළු විශ්වයම සංවෘත පද්ධතියක් ලෙස ගත් කල එහි එන්ට්‍රොපි තත්ත්වය කාලයත් සමඟ සෑම විටම ඉහළ යනු ඇත. විශ්වයේ එන්ට්‍රොපියෙහි වෙනස්වීම් කිසි විටෙකත් ඍණාත්මක නොවේ.”

මෙහි සඳහන් එන්ට්‍රොපිය යනු, යම් සංවෘත පද්ධතියක කාලයත් සමග ඉදිරියට ඇතිවන අක්‍රමවත් භාවයයි (Disorderliness). මේක සරළව මෙහෙම විස්තර කරන්න පුළුවන්. හිතන්නකෝ පුස්තකාලයක් තියෙනවා, මේකේ පොත් එළියට ගෙනියන්න තහනම්. ඕන පොතක් රාක්ක වලින් අරන් කියවලා පුස්තකාලයේම තියලා යන්න පුළුවන්. පුස්තකාලාධිපති විසින් මුලදී මේකේ තියෙන පොත් රාක්ක ඔක්කොම ලස්සනට ක්‍රමවත්ව (Orderly State) අස්පස් කරලා පිළිවෙලට තියලා තියනවා. ඊට පස්සේ මම වගේ අපතයෙක් පුස්තකාලයට ඇවිත් මේ රාක්ක වල පිළිවෙලට තියලා තියෙන පොත් කියවන්න පටන් ගන්නවා. අයෙත් ටික දවසකින් බැලුවහම ඒ රාක්ක වල පොත් ඒ විදිහටම තියෙයි ද?. නෑ, පොත් අපිළිවෙල වෙලා, සමහර පොත් එහෙමෙහේ දාලා. සමහර පොත් වෙනත් රාක්ක වල, සමහර පොත් ඉරිලා, කැඩිලා. ඉතිං පුස්තකාලාධිපතිට මළ පැනලා මගේ සාමාජිකත්වය තහනම් කරනවා. එතකොට මට පුස්තකාලයට එන්න විදිහක් නෑ.

ඔන්න ඔයවගේ තමා මේ එන්ට්‍රොපි සිද්ධියත්. සංවෘත පද්ධතිය කියන්නේ පුස්තකාලේ, පොත් කියන්නේ එහි ඇති අංශු. එන්ට්‍රොපිය කියන්නේ මං ඇවිත් පොත් එහෙ මෙහේ කරලා කාලයත් සමග පොත් අපිළිවෙල වුන එක. නැත්තම් Disorder වුන එක. මගේ සාමාජිකත්වය අහෝසි වුණ නිසා දැන් මට පුස්තකාලය ට එන්න බෑ. ඒ හින්දා දැන් පොත් එහෙ මෙහේ වෙන්නෙත් නෑ. අර අපිළිවෙලට තිබ්බ විදිහටම පුස්තකාලේ තියෙනවා. ඕක තමයි Second Law of Thermodynamics එකේ මූලික හරය. මේ කියන Disorderliness එක මණින මිනුමක් විදිහටත් එන්ට්‍රොපිය හඳුන්වන්න පුළුවන්. කාලය ගතවෙද්දී Orderly (අඩු එන්ට්‍රොපිය) දේවල් Disorderly (එන්ට්‍රොපිය වැඩි වීම) වෙන එක කියන්නේ විශ්වීය නියතයක්. මේක සිදුවෙලා සිදු වෙලා අවසාන තත්ත්වයකට එනවා. ඒ කිව්වේ එන්ට්‍රොපිය උපරිමයකට (Highest Entropy Point) එනවා. ඒ කිව්වේ අර පුස්තකාලාධිපතිට මළ පැනලා, “තෝ ආයෙත් මේ පුස්තකාලේ පැත්ත පළාතේ එන්න එපා” කියලා මගේ සාමාජිකත්වය තහනම් කරලා, මං හින්දා පුස්තකාලය තවදුරටත් අපිළිවෙල වෙන එකෙන් බේරා ගත්තා වගේ වැඩක්. හැඩි වෙන එක, අපිළිවෙල වෙන එක නැත්තම් එන්ට්‍රොපිය කාලයත් සමග ඉදිරියට යාම එතනින් නවත්ත ගත්තා.

ඊට පස්සේ පුස්තකාලාධිපති කරන්නේ ආයෙත් අර පොත් ටික මුල ඉඳන්ම පිළිවෙලට රාක්ක වලට අහුරලා හදන එක.

අන්න නැවතත් අර පුස්තකාලය Disorderly තත්ත්වයෙන් Orderly තත්ත්වයට ක්‍රමයෙන් පැමිණෙනවා. ටික දවසකට පස්සේ පුස්තකාලාධිපතිට දුක හිතිලා මට අයෙත් පුස්තකාලයට එන්න අවසර දෙනවා. මම ආයෙත් පොත් කියවනවා, අයෙත් අර Orderly වෙලා තිබ්බ පොත් රාක්ක අපිළිවෙල වෙනවා, පුස්තකාළයේ එන්ට්‍රොපිය වැඩිවෙනවා. පුස්තකාලාධිපතිට මළ පනිනවා, මාව පුස්තකාළයෙන් එළවනවා. මේක කාලයත් එක්ක චක්‍රයක් වගේ ඉදිරියටම සිද්ධ වෙනවා. මම සරළව කිව්වට මේක මුළු විශ්වයටම පොදු වුන චක්‍රයක්.

අපි හැමෝම දන්නවා “කාලය” ගලා යන්නේ ඉදිරියට පමණක් බව. මේ සියලුම දේවල් සිදු වෙන්නේ කාලයත් සමග ඉදිරියට. මේකට Arrow of Time කියලත් කියනවා. කළු පාට කෝපි කෝප්පයකට සුදු පාට කිරි එකතු කළාම රන්වන් දුඹුරු පාටක් එන්නෙත්, පෙට්‍රල් වලට ගිණි තිබ්බොත් වහා ඇවිලෙන්නෙත්, හුළං පුරවපු බැළුමකට අල්පෙනෙත්තකින් ඇන්නහම පුපුරන්නෙත්, වීදුරුවක් බිම වැටුනහම කුඩු වෙලා යන්නත්, ආදී සංසිද්ධීන් සිදුවන්නේ මෙන්න මේ එන්ට්‍රොපියේ Arrow of Time නිසා තමයි. ඒක සිදුවන්නේ ඉස්සරහට, අපි ප්‍රයෝගිකව දන්නා නිශ්චිත අවසානයක් ඇතුව. මේක කවදාවත් ආපස්සට හරවන්න බෑ.

Second Law of Thermodynamics න්‍යායට අනුව විශ්වයේ එන්ට්‍රොපිය කාලයත් සමග එන්න එන්නම වැඩි වෙනවා. ඒක සිදුවන්නේ අවුරුදු බිලියන 13.7 කට පෙර සිදුවූවා යයි අනුමානකරන Big Bang Theory (මහා පිපුරුම් වාදය) එකට අනුව, අපි ඉන්න මේ විශ්වය ආරම්භයේදී ඉතා කුඩා තිතක්. ශක්තියේ අසමතුලිතතාවය නිසා එක්වරම මේ තිත ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඉර, තරු, ග්‍රහලෝක, ග්‍රාහක, මන්දාකිනි, කළු කුහර, Wormholes, නෙබියුලා, ජීවින් ඇතුළු මේ හැම දෙයක්ම තිබ්බේ මේ කුඩා තිත ඇතුලේ හැකිළිලා අංශු බවට පත්වෙලා. එතකොට අර කුඩා තිත ඇතුළේ Orderly (Low Entropy) වෙලා තිබ්බ අංශු ඔක්කොම Disorderly (High Entropy) වෙලා විසිරිලා යනවා. ඒ කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. මේක කීයටවත් අනිත් පැත්තට සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ එන්ට්‍රොපිය ආපස්සට හැරෙන්නේ නෑ. මේ විදිහට ශක්තිය හිරවී තිබු (Energy Trap) අවස්ථාවේ සිට ශක්තිය නිදහස් කිරීමේ අවස්ථාව නොනවත්වාම දිගටම පැවතුනහොත් අවසානයේ දී මුළු විශ්වයම තාප සමතුලිතතාවයකට පත්වෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයම Thermal Equilibrium එකක් බවට පත්වෙනවා. එය සිදුවන්නේ විශ්වයේම එන්ට්‍රොපිය උපරිම අවස්ථාවකට (Highest Entropy Point) පත්වුනහම.

Big Bang එක යම් දිනක ඉවර වුනොත්, ඒ කියන්නේ විශ්වයේ එන්ට්‍රොපිය එහි උපරිම අගයකට පත්වුණාම, විශ්වය සංකෝචනය වීම (Big Crunch) පටන් ගන්න පුළුවන්. අන්න එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ කිව්ව එන්ට්‍රොපිය ආපස්සට හැරේවි කියලා. Disorderly (High Entropy) වෙලා තිබ්බ අංශු සියල්ල නැවත Orderly (Low Entropy) අවස්ථාවට එයි කියලා.ඒ කියන්නේ කාලයත් නැතිනම් Arrow of Time පවා ආපස්සට හැරිලා ගමන් කරාවී. ඒත් ඒකට තව අවරුදු බිලියන, ට්‍රිලියන ගානක් යාවි. මේ කිව්වේ බොහොම සංකීර්ණ කතාවක් ඉතාම සරළව. ඉතිං ඔය කියාපු කරුණු ටික හොඳට දිග ඇරගෙන අපිට පුළුවන් හොඳ කෝපි කෝප්ප දෙක තුනක්ම බොන ගමන්, රෑට අහස දිහා බලාගෙන පට්ට මනෝ පාරක් ගහගෙන අවකාශයේ ඔහේ පාවී පාවී ඉන්න ගමන් ගොඩක් දේවල් කල්පනා කරන්න.

නෝලන් නමැති මේ මහා මොළකරු තාප ගති විද්‍යාව සම්බන්ධ විද්‍යාඥයන්ගේ ඉහ මොළ පවා රත්වන්නට මේපාර කට්ට ගහන්නේ මෙන්න මේ Thermodynamic නියමයන් වල ඇති loop-hole එකකටයි. ඒ කියන්නේ ලෝකයේ එන්ට්‍රොපිය අනිත් පැත්ත හරවන සිද්ධාන්තයටයි. එහෙනම් අපි බලමු නෝලන් ඒක කළේ කොහොමද කියලා.

නෝලන් මෙතැනදී කරන්නේ මෙන්න මේ එන්ට්‍රොපිය ආපසු හරවන එක. ඒ කියන්නේ Big Crunch එකටත් කලින්ම විශ්වයේ එන්ට්‍රොපිය අපවර්ථනයකට (Invert) ලක් කිරීමයි.

චිත්‍රපටයේ Protagonist ට විද්‍යාගාරයේදී හමුවූ විද්‍යාඥයවරිය (Laura) මෙන්න මේ එන්ට්‍රොපිය ගැන පැහැදිළි කරන්න පටන් ගන්නවා. ඉතින්, ඔය ඉහත කියපු දේවල් හොඳින් කියෙව්වොත් Laura කියන්නේ මොකක් ද කියලා තේරේවි. ඇය පෙන්වන වෙඩි උණ්ඩයක් (Ammunition) ආපස්සට ගමන් කිරීම ගැන Protagonist ට විස්තර කරනවා. මේ කාර්‍යයේදී Inverted Objects (අපවර්ථිත වස්තුන්) ගැන පවා සඳහන් වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති Protagonist ට Opera House එකේදී එල්ලවුණ උණ්ඩය Inverted එකක් නැතිනම් අපවර්තනය වූ එකක් බව.

කොහොමද මෙහෙම වෙන්නේ. යම් වස්තුවක එන්ට්‍රොපිය ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් කලවිට එහි Arrow of Time නැත්තම් කාලයේ දිශානතිය ද වෙනස් වේ. එවිට එම වස්තුව සෑදී ඇති අංශුන් සියල්ල Disorderly (එන්ට්‍රොපිය වැඩි වීම) සිට Orderly (අඩු එන්ට්‍රොපිය) දක්වා එන්ට්‍රොපිය වෙනස් කරගනී. එයට සාපේක්ෂව අනෙක් වස්තුන් ගමන් කරන්නේ කාලයේ ඉදිරියටයි. එනිසා Arrow of Time එකට සාපේක්ෂව Inverted Objects ආපස්සට ගමන් කරයි. ඒ කියන්නේ අපි Inverted bullet එකකින් වෙඩි තියන්න අවශ්‍යය නම් Inverted තුවක්කුවක කොකා ගැස්සීම (pull the trigger) පමණක් සිදු කළයුතුය. එවිට අපවර්ථනය වූ උණ්ඩය නිකන්ම තුවක්කුවේ මැගසීනය (Magazine) තුලට ඇදී එනවා. ඒත් ඇත්තටම උණ්ඩය එයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඉදිරියට, මොකද එයාගේ එන්ට්‍රොපිය අපවර්ථනය වී ඇති නිසා.

මේ පිස්සු තියරිය තව තව හිතන්න වෙයි TENET ෆිල්ම් එකේ ඉස්සරහට එන සංසිද්ධීන් හොඳින් තේරුම් ගන්න නම්. මේක කිසි තේරුමක් නැති මොංගල් විකාරයක්, නෝලන් කියන්නේ හෙනම ගොං විද්‍යාත්මක තර්ක ඇත්ත වගේ ෆිල්ම් වලට ගෙනත් ප්‍රේක්ෂකයා මුළා කරණ පට්ට ෆේල් පොරක් කියලා නිකමට හරි හිතෙනවනම්, පපුවට අත තියලා කියන්නේ මෙතැනින් නවතින්න. මේ ලිපිය මෙතනින් එහාට නොකියවා ඉන්න. තාමත් ඔයා පරක්කු නෑ.

Laura පවසන පරිදි මේ Inverted Material එන්නේ අනාගතයේ සිටය. මේවා නිපදවන්නට ඇත්තේ අනාගතයේ යම් දියුණු ජීවි කොට්ඨාශයක් විසිනි. මෙහි දකින Inverted Ammunitions වර්තමානයේ දී නිපදවුවත් ඒවා සැදීමට ගන්නා අමුද්‍රව්‍යය එන්නේ අනාගතයේ දී එන්ට්‍රොපිය invert කල material වලිනි. Laura යනු, මෙවැනි තවත් බොහෝ Material පිලිබඳ අධ්‍යයනයට TENET සංවිධානය විසින් පත්කළ විද්‍යාඥයවරියයි.

Protagonist මේ Inverted Ammunitions හා Weapons හදන අවි ආයුධ වෙළෙන්දෙක් (Arms-dealer) වන Sanjay Singh ව හොයාගෙන ඉන්දියාවේ මුම්බායි වලය යනවා. එතැනදී ඔහුට මේ මෙහෙයුම සඳහා TENET සංවිධානය මගින් පත් කල ඔහුගේ සහයකයා වන Neil ව (Robert Pattinson) මුණගැසෙනවා. ඔහු TENET සංවිධානයට සේවයකරන බ්‍රිතාන්‍යය ජාතිකයෙක්. මේ දෙන්නා Arms-dealer ගේ ගෙදරට Bungee jump එකක් යොදාගෙන හොරෙන් පැන ගන්නවා. මේක අපි සාමාන්‍යයෙන් දකින ඉහළක සිට පහලට පනින Bungee jump එකකට වඩා වෙනස්, පහළක සිට ඉහළට ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව සිදු කරන පැනීමක්.

මෙතැනදී Protagonist ට ඔහු සොයන ඇත්තම Arms-dealer වන Priya ව මුණගැහෙනවා. Priya ගෙන් දැනගන්න තොරතුරු වලට අනුව Andrei Sator නම් පුද්ගලයෙක් හා ඔහු මේ Inverted Material හා ගණුදෙනු කරන ආකාරය Protagonist දැනගන්නවා. කවුද මේ Andrei Sator?

අතීතයේ, එහෙම නැත්තම් ඔබත් මමත් මේ ඉන්න වර්තමානයේ මිනිස්සුන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවන පරිසර හානිය අනාගතයේ අපගේ ඉදිරි පරම්පරාවේ සිටින මිනිසුන්ට වන්දි ගෙවීමට සිදුවෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම, ග්ලැසියර දියවී සාගර ජල මට්ටම් වැඩිවීම නිසා අනාගතයේ සිටින මිනිසුන්ට ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ නිසා අනාගතය තීරණය කරනවා අතීතයට යුද්ධ ප්‍රකාශ කරන්න. අනාගතයේ ඉන්න මුණුබුරා තීරණය කරනවා අතීතයේ සිටි තමන්ගේ සීයාව මරලා දාන්න. මේකට කියන්නේ Grand Father Paradox කියලා. Interstellar ලිපියේ ප්‍රධාන Time Travel Paradoxes තුනක් ගැන මම විස්තර කරපු නිසා Grand Father Paradox ගැන විස්තර කරන්න යන්නේ නෑ. ඉතින් කට්ටියට පැහැදිළි ඇති කාලය රේඛියව ගමන්කරන අවස්ථාවක සාමාන්‍යයෙන් මේ Grand Father Paradox එක විය නොහැක්කක් බව. එත් මුණුබුරා තීරණය කරලා ඉවරයි, තමන්ගේ පැවැත්ම උදෙසා තමන්ගේම සීයව මරලා දාන්න. එකට ඔවුන් යොදාගන්නේ Algorithm එකක්.

අනාගතය විසින් අතීතය මරා දැමීමට මේ සිදුකරන මෙහෙයුමට එරෙහිව තවත් රහස් සංවිධානයක් බිහි වෙනවා. ඒ තමයි TENET.

අනාගතයේ TENET සංවිධානයේ මහා මොළකරු නැතිනම් ලොක්කා තමයි වර්තමානයේ අපි දකින Protagonist. ඉතින් කළින් ලිපි මාලාව කියවපු අයට සමීප ඇති නෝලන්ගේ මේ මොළේ කුරුවල් වෙන Nonlinear Narrative Type එක. අපි TENET චිත්‍රපටය තුල මුලිකවම දකින්නේ Protagonist ගේ timeline එකෙන්. මේ Timeline එකට අමතරව අනෙක් අය ඉන්න Timelines ගොඩක් තියෙන බව ඔයාලට ෆිල්ම් එක බලද්දී තේරෙන්න ඇති.

Closed Time Loop
මේ කියන්නේ මොකක්ද කියලා මම Interstellar ලිපියේ සඳහන් කරලා ඇති. මේ TENET මෙහෙයුම කියන්නේ විශාල Closed Time Loop එකක්. ඒ කියන්නේ මෙතැනදී කාලය ගමන් කරන්නේ සරළ රේඛියව නොව, වෘත්තයක ආකාරයට. එනිසා මේ Closed Time Loop එක තුල සිදුවන සිද්ධීන් කාලයෙන් ස්වායක්ත වේ. ඉතින් මේ TENET සංවිධානයට අතීතයේදී Protagonist ව බඳවාගන්නේ ද අනාගතයේ සිටින Protagonist විසින් එවන පිරිසක් විසිනුයි.
TENET මෙහෙයුමේ ඉන්න මේ චරිත ඔක්කොමත් ඒ Time Loop එක ඉවර වෙනවත් එක්කම නැතිවෙලා යනවා. මේවා තවම ප්‍රයෝගික කරණා නොවුනත් මිනිසා Time Travel කරන Technology එක හොයාගත්තු දවසක සත්‍යය වෙන්නත් පුළුවන්. මේක ගැන වැඩිදුර හිතලා දැන්ම මොළේ කුරුවල් කරගන්න එපා, කල්පනා කරන්න මීට වඩා දරුණු ප්‍රශ්ණ තව ෆිල්ම් එකේ ඉස්සරහට තව තියෙනවා. ඊට කලින් අපි බලමු මේකේ තියෙන නොතේරෙන වචන මොනවද කියලා.

Algorithm
අනාගතයේ විද්‍යාඥවරියක් විසින් නිපදවූ කොටස් 9 කින් සමන්විත උපකරණයක්. මේ උපකරණයට පුළුවන් අපි ජිවත් වෙන ලෝකයේ එන්ට්‍රොපිය අපවර්ථනය කරන්න. නැතිනම් Arrow of Time අනෙක් පැත්තට හරවන්න. එතකොට වර්තමානයේ ඉන්න අපි හැමෝම කාලයේ ආපස්සට ගිහිල්ලා, මේ ලෝකයෙන් තුරන් වෙලා යනවා. පරිසර හානියක් වෙන්නේ නෑ. අනාගතයට තමන්ගේ ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවෙනවා. මේකට අතීතයේ සිටින අයගෙන් උදව් අවශ්‍ය වෙනවා අනාගතයට. මේ Algorithm එකේ කොටස් අතීතයට ගලාගෙන යන නිසා ඒ කොටස් 9 එකතු කරන්න අනාගතය විසින් තෝරාගන්නේ Andrei Sator වය. මේ විද්‍යාඥවරිය බොහෝ විට Laura වියහැකි බවටයි මගේ මතය. මන්ද යත් වර්තමානයේ ඇය Inverted Material ගැන කරන පර්යේෂණ සාර්ථකවී අනාගතයේදී ඇය විසින් මේ Algorithm එක හදනවා.

මේකේ භයානක කම දැනගන්න Laura එය කැබලි 9 කට කඩා මිනිසුන්ට ලංවිය නොහැකි අධි විකිරණශීලි (Radioactive) සහ අතිශය රහසිගත ස්ථාන 9 ක (High Security Nuclear Plants) මේ Algorithm එක සඟවනවා. ඒ එම කැබලි Inverted කර අනාගතයේ සිට අතීතයට යැවීමෙන් අනතුරුවය. පසුව ඇය දිවි හානි කරගන්නවා මේ රහස ඇයත් එක්කම වැළලිලා යන්න. එතකොට අනාගතයේ හදපු මේ Algorithm එක ඇත්තටම තියෙන්නේ අතීතයේ. එතකොට අනාගත මිනිසුන්ට මේ Algorithm එක යොදාගෙන පෘතුවිය Invert කරන්න හම්බවෙන්නේ නෑ. Laura මිය ගිය නිසා මේ එන්ට්‍රොපිය හරවන තාක්ෂණයත් කවුරුත් දන්නේ නෑ. කරන්න පුළුවන් එකම දේ අතීතයෙන් මේ Algorithm එක අනාගතයට ගෙන්න ගන්න එක විතරයි.

ඉතින් මේ Algorithm එක අතීතයේ සිට අනාගතයට යැවුවහොත් අනාගතයේ මිනිසුන්ට එය සක්‍රීය කර (Activate the Algorithm) පෘතුවියේ එන්ට්‍රොපිය ආපසු හරවා අතීතය විනාශ කල හැකිය. ඒ කිව්වේ Grand Father Paradox එක, නැත්තම් මුනුබුරා විසින් සියාව මරා දැමීම. ලෝකය බේරා ගැනීමට නම් මේ Algorithm එකේ කොටස් අනාගතයට නොයවා අතීතයේම තබා ගත යුතුය.

මේ Algorithm එකේ කොටස් 9 සොයාගෙන එය අනාගතයට එවීමට අනාගතය විසින් තෝරාගන්නේ Sator ව ය. 70 දශකයේ රුසියාවේ න්‍යෂ්ටික අවි පුපුරපු Stalask 12 කියන බොහොම රහසිගත තැනක Sator සිය තරුණ අවධියේදී Plutonium කණින කම්කරුවෙකු ලෙස වැඩ කරනවා. (මේවා Closed Cities ලෙස හඳුන්වනවා, අඩුම ගානේ Map එකකවත් මේ තැන් සඳහන් කරන්නේ නෑ. ඒ තරම් රහසිගතයි. හරියටම කිව්වොත් ඇමරිකාවේ Nevada වල Area 51 වගේ තැන්.)

මේ කැනීම කරණ අවස්ථාවක Sator ට ලෝහමය සිලින්ඩරයක් (Artifact/Time Capsule) හමුවෙනවා. මේ තියෙන්නේ අනාගතයේදී Invert කර, ලියුමක් සමග අතීතයට එවන ලද කොන්ත්‍රාත්තුවකි. මේ කොන්ත්‍රාත්තුවට අනුව අනාගතයේදී නැතිවුණ Algorithm එකේ කොටස් 9 සොයාගෙන එය Artifact එකක නැතිනම් Time Capsule එකක දමා අනාගතයට එවිය යුතුවෙයි. මේ සඳහා රත්‍රන් වලින් ගෙවීමක් ද Sator ට සිදු කරනවා. මෙමගින් ඔහු හිතාගන්න බැරි තරම් පොහොසතෙක් වෙනවා. ඉතින් අනාගත මිනිසුන් අතීතය විනාශ කිරීමට නියෝජිතයා විදිහට Sator ව පත් කරගන්නවා. Sator ට පුළුවන් වෙනවා අනාගතය හා සන්නිවේදනය කිරීමට හා Time Capsule හරහා ඔහුට අවශ්‍ය රත්රන් පමණක් නොව, Invert කිරීමේ තාක්ෂණය පවා අනාගතයෙන් ගෙන්වා ගන්න. ඉතින් මේ කියන්නේ Grand Father Paradox එකකට අනුව මුණුබුරා විසින් තමාගේ සීයාව මරන්න සීයාගෙන්ම ම උදව් ගත්තා වාගේ වැඩක්.

Sator ගේ හදවත නවතින සංඥාව තමයි Algorithm එක ක්‍රියාත්මක වීමේ switch එක වෙන්නේ. මේකට The Dead Man’s Switch කියලත් කියනවා. ඒ සඳහා Sator මිය යායුතුය, Algorithm එකේ කැබලි 9 ම එකතුකර ඒවා අනාගතයට යවන ද්වාරයට දැමූ පසුව ඔහු විසින්ම සිය දිවිනසා ගතයුතුය. එවිට Sator ගේ ශරීරයට සවිකර ඇති Tracker එකක් මගින් Dead Man’s Switch එක ක්‍රියාත්මක වී අනාගතයට Email පණිවිඩයක් යවනවා. මෙමගින් අනාගත මිනිසුන්ට Algorithm එක අතීතයෙන් අනාගතයට එවූ බවට වන සඥාව ලැබෙනවා.

දීර්ඝ කාලයක් විකිරනශීලි මුලද්‍රව්‍ය කැණීම කිරීම හා ඒවාට නිරාවරණය වී සිටි නිසා Sator පිළිකාවකින් පීඩා විඳිනවා. Sator කියන්නේ මරණය අතේ තියන් ජිවත් වෙන කෙනෙක්. ඔහුට මෙළොව ජීවත් විය නොහැකි නම් කිසිවෙකුටත් එය කළ නොහැකි යැයි විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා තමන්ගේ සැලසුම් අනුව Algorithm එක එකතු කල පසු සියදිවි නසාගැනීම කියන්නේ Sator ට අමුතු දෙයක් නෙමෙයි.

Turnstile
මෙය පුද්ගලයෙක්ගේ Time Inversion එකක් සිදු කිරීමට යොදාගන්නා යන්ත්‍රයකි. සරලවම කිව්වොත් Time Machine එකකි. Turnstile එක මගින් සිදු කරන්නේ එන්ට්‍රොපිය වෙනස් කිරීමය. මෙය Forward & Backward දිශා දෙකටම එන්ට්‍රොපිය වෙනස් කරනවා. චිත්‍රපටය තුල අවස්ථා කිහිපයකදීම ආකාර කිහිපයක Turnstiles දැක ගත හැකි වේ. Turnstile එකක් හරහා යන පුද්ගලයෙක් ඉන් එලියට එනවිට ඔහුට දැනෙන කාලයට සාපේක්ෂව ඔහු ඉදිරියට ගමන් කරයි, නමුත් ඔහුට සාපේක්ෂව අවට පරිසරයේ කාලය හා ඔහු වටා ඇති වස්තුන් සියල්ල ආපස්සට ගමන් කරයි. ඒ කියන්නේ Turnstile එකක් හරහා යන කෙනෙක් ඔහුගේ එවෙලේ පවතින එන්ට්‍රොපිය Invert කරගන්නවා. එන්ට්‍රොපිය Invert වුන කෙනෙක් Turnstile එකක් හරහා ගියොත් නැවත සාමාන්‍යය තත්ත්වයට අනුව හැඩගැසෙනවා. අනාගත මිනිසුන්ගේ උදව්වෙන් Turnstile එකක් මුලින්ම නිර්මාණය කරන්නට ඇත්තේ Sator බවට හිතන්න පුළුවන්. ඒ ඔහුට අනාගතය සමග සන්නිවේදනය කරන්න ඇති හැකියාවත් ඕනෑ තරම් Inverted Material සහ අනාගත තාක්ෂණය ගෙන්වා ගැනීමටත් ඇති හැකියාව නිසාය.

මේ කියන විදිහට එන්ට්‍රොපිය Invert වෙලා ලෝක විනාසය ආරම්භ වෙන්න නම් Algorithm එක අතීතයෙන් අනාගතයට යායුතුය. Sator මේ Algorithm එක සම්පුර්ණ කර අනාගතයට යැවූ බවට අනාගත මිනිසුන් දැනගන්නේ මේ Dead Man’s Switch එක ක්‍රියාත්මක වී, එමගින් ඔවුන්ට අතීතයේ සිට එන පණිවිඩය මගිනි. එවිට ක්‍රියාත්මක වන අනාගත මිනිසුන් Algorithm එක සොයාගෙන එය ක්‍රියාත්මක කරවා, ලෝකයේ එන්ට්‍රොපිය ආපසු හරවනවා. එතකොට මේ ලෝකය කැරකීම පවා සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. එතනින් එහාට සාමාන්‍යය පරිසරයේ සිදුවන සංසිද්ධි ටික හිතාගන්න පුළුවන්නේ. ඔහොම මේ එන්ට්‍රොපිය Invert වෙලා අතීතයේ පරිසරය විනාශ කරපු මිනිසුන් මේ පෘතුවිතලයෙන්ම අතුගෑවිලා යනවා. ඊටපස්සේ අනාගත මිනිසුන් තීරණය කරන සුදුසු මොහොතක මේ Invert වුන එන්ට්‍රොපිය නැවත Un-invert කරනවා. එතැන් සිට කාලය සමග එන්ට්‍රොපිය සාමාන්‍යය පරිදි ඉදිරියට ගමන් කරන අළුත්ම ලෝකයක ජිවත් වීමට ඔවුන්ට හැකිවෙනවා, අනාගත ජීවයේ අඛණ්ඩතාවය සුරැකෙනවා.

මේ Invert වෙන සංසිද්ධියේදී සමහර අනාගත මිනිසුන්, සතුන් පවා විනාශ වී යනු ඇත. මක්නිසාද යත් ඔක්සිජන් mask එකක් හෝ, එවැනි ඔක්සිජන් සැපයීමක් සහිත කුටීරයකට වී නොසිටින, ඔක්සිජන් ආශ්වාසය සිදුකරන සියළු ජීවින් ද කාබන්ඩයොක්සයිඩ් විෂවීමෙන් විනාශව යනු ඇත. මෙයට හේතුව වන්නේ Invert වෙන පුද්ගලයා හට ඔක්සිජන් ආශ්වාස කළ හැකි සේ විශේෂ යන්ත්‍රයක් මගින් නිරන්තර ඔක්සිජන් සැපයුමක් ලබාදිය යුතු වීමය. Invert වූ මිනිසෙකු හට හුස්ම වැටෙන්නේ ද ප්‍රතිවිරුද්ධ දිශාවට නිසා සාමාන්‍ය වාතය ප්‍රතිලෝම පෙණහලු හරහා නොයයි. එනම් Invert වූ අයෙකු ඔක්සිජන් (O2) ආශ්වාස කර කාබන්ඩයොක්සයිඩ් (CO2) පිට කරනවා වෙනුවට CO2 ආශ්වාස කර O2 පිටකලයුතුය. එසේ වුවහොත් O2 නොමැතිව මිනිස් ශරීරයේ ක්‍රියාවලි සියල්ල අඩපණවී Invert වූ පුද්ගලයා මියයයි. මේ සිද්ධිය නවත්තගන්න තමයි Invert වුන හැමෝම O2 වාතය සපයන Gas Mask එකක් ගෙන ඉන්නේ.

ආයෙත් කතාව දෙසට හැරුනොත්, Priya විසින් ලබා දුන් ඔත්තුවක් අනුව Protagonist යනවා Prof: Michael Crosby (Michael Caine) ව හමුවෙන්න. Prof: Crosby විසින් Protagonist ට ලබා දෙනවා Goya’s Painting (Francisco Goya විසින් අඳින ලද සිතුවමකි) එකක ව්‍යාජ සිතුවමක්. මේක Sator ට ලංවෙන්න Protagonist ට හම්බවෙන යතුරක්. ඒ Sator ගේ බිරිඳ Kat (Elizabeth Debicki) හරහා.

කාලයකට කලින්, Goya’s Painting එකක් Kat විසින් Sator හට ඉතා විශාල මුදලකට අලෙවිකරනවා. මේ Goya’s Painting එක හොර කොපියකි (Fake Painting). මෙය ඇය නොදැනුවත්ව සිදුකළා යයි සඳහන් වුවද, මේ මුළු Time Loop ම එක සලකා බැලීමේදී, අනාගත Protagonist විසින් අතීත Protagonist හට Sator වෙත ලංවීමටත් Kat ගේ විශ්වාසය දිනාගැනීමටත් යොදාගෙන සිදුකල උපක්‍රමයක් බවයි මගේ අදහස.

මේ Goya’s Painting පලහිලව්ව නිසා Sator විසින් Kat ව නිතරම Blackmail කරනවා. Protagonist, Kat ට පොරොන්දු වෙනවා ඇය විසින් Sator ටඅළෙවි කල Painting එක Oslo Freeport එකෙන් ලබාගෙන නැවත ඇයටම ලබාදෙන බවට. එවිට Sator ගෙන් Kat ට නිදහස් වීමට හැකි නිසා. මේ පලහිලව්වෙන් Protagonist, Sator ට ලංවීමට මගක් පාදා ගන්නවා. ඒ සිද්ධි දාමය චිත්‍රපටය බලනකොට පැහැදිළි වෙන නිසා මෙහි විස්තර කිරීම අනවශ්‍යයි.

Oslo Freeport
මෙහි දැක්වෙන ගුවන් තොටුපොල හා ඇති Oslo Freeport එක යනු නිදහස් ආර්ථික කලාපයකි. ධන කුවේරයන් සතු විවිධ වටිනා වස්තුන් රේගු බදු (Tax) වලට හසු නොවනසේ තාවකාලිකව ඉතා ආරක්ෂිතව තබාගෙන සිටින තැනක්. මෙම භාණ්ඩ කිසිදු රටකට අයිති නැත. එනම් රේගු වලින් බදු ගෙවා තවම රට ඇතුලට පැමිණ නැත. එනිසා ඒවාට බදු අය කළ නොහැක.

Protagonist සහ Neil එකතුව Kat විසින් Sator ට අලෙවි කල ව්‍යාජ සිතුවම Freeport එකෙන් සොරකම් කිරීමට යනවා. එහිදී ඔවුන්ට අවශ්‍යය රහස් කාමරයට ඇතුළුවීමට නම් ගුවන්තොටුපලේ විශාල කළබලයක් ඇතිකරවිය යුතු බවට කල්පනා කරනවා. මේ සඳහා රත්‍රන් ප්‍රවාහණය කරන Boing 747 එකක් ගොඩනැගිල්ලක හප්පවා පුපුරවන්නට ඔවුන් තීරණය කරනවා. මේ සඳහා ඔවුන් Mahir (Himesh Patel) නමැති තවත් TENET කණ්ඩායමේ සාමාජිකයෙකු යොදාගන්නවා.

Runway (ගුවන්යානා ගොඩබස්සවන ප්‍රධාන මාර්ගය) එකෙන් Taxiway (ගුවන්යානය Runway එකෙන් එළියට හෝ ඇතුලට ගෙනයාමට ඇති මාර්ගය) එකට විත් Apron (ගමන්වාරය එනතුරු ගුවන්යානා තාවකාලිකව එළිමහනේ නවත්වන ස්ථානය) එක වෙත එන Boing 747 එක, Mahir විසින් මගදී පැහැරගෙන (Hijack) එහි තිබු රත්‍රන් සියල්ල මුළු Taxiway එක පුරාම විසුරුවනවා. පසුව ගුවන්යානය ගෙනගොස් Aircraft Hangar (ගුවන්යානා අංගනය) එකක හප්පවා පුපුරවනවා. මෙතන විශාල කළබලයක් ඇතිවීFreeport එකේ ආරක්ෂක දොරගුළු පද්දති ක්‍රියාත්මක වනවා. එමගින් ඔවුන්ට ආරක්‍ෂිත දොරවල් වලින් මිදී සිතුවම ඇති කාමරයට යාමට හැකි වෙනවා. එතැනදී ඔවුන් ප්‍රථම වරට Turnstile එකක් හා වීදුරු රාමුවකින් එකිනෙක වෙන්කළ කාමරයක් දකිනවා. Turnstile එකෙන් එලියට එන Gas mask දාගත්ත inverted වුන කෙනෙක්ව Protagonist දකිනවා. මෙහිදී ඔහු Protagonist ට පහර දෙනවා වගේ පෙනුණත් ඇත්තටම සිදුවන්නේ ඔහු Protagonist ගෙන් බේරී පලා යාමට උත්සාහා කිරිමකි.
මේ Gas Mask දාගත්ත සෙබළා Kat ගේ ජීවිතය බේරා ගැනීමට Invert වූ Protagonist ගේම අනාගත කෙනා බව අපි දන්නවා.

Freeport එකේ මේ සිද්ධිය වෙන අතරතුර Protagonist ගේ version 3ක් පවතිනවා.

1. මේ වෙන මෙලෝ දෙයක් නොදන්නා සාමාන්‍ය timeline එකේ ඉන්න Protagonist
2. Invert වෙච්ච Protagonist (සාමාන්‍ය timeline එකේ ඉන්න Protagonist එක්ක ෆයිට් කරණ කෙනා)
3. Invert වෙලා ඉඳලා නැවත Turnstile එකෙන් un-invert වෙලා පැනලා යන Protagonist (Neil ට හම්බවෙලා බේරලා අරින්නේ මේ කෙනාව තමයි)

මෙතැනදී තව සුවිශේෂ භෞතික විද්‍යා නියමක් ලස්සනට නමන්නට නොලන් ලොක්කා සමත්වෙලා තියෙනවා. ඒ තමයි Quantum Entanglement Theory එක.

Quantum Entanglement Theory
Invert වූ පුද්ගලයෙකුට වෙනත් Timeline එකක සිටින ඔහුවම මුණගැසුනොත්? ගැටළුවක් නැත. ඔහුට ඔහුගේම Inverse හෝ වෙනත් Time Line එකක සිටින තැනැත්තා/තැනැත්තන් කිහිපදෙනෙක් දැකීම ගැටළුවක් වන්නේ නැත.

යම් හෙයකින් ඔවුන් සමට සම (Skin to Skin) ස්පර්ශ වුවහොත්? ඔව්, ඒක නම් ගැටළුවක් තමයි.

Quantum භෞතිකයට අනුව එක අංශුවකට විශ්වයේ කොහේ හෝ තවත් තැනක හෝ තැන් කිහිපයක පැවතිය හැකිය. Quantum Entanglement Theory එක කියන්නේ මේකටයි. මේක බොහොම බැරෑරුම් කාරණාවක්. සරළවම කිව්වොත්, මාව මේ විදිහටම වෙනත් සමාන්තර ලෝකයක නැතිනම් සමාන්තර විශ්වයක පවතිනවා නම් ඒක වෙන්නේ මේ Quantum Entanglement Theory එකට අනුවයි. මොකද එකම අවස්ථාවේ මගේ photocopy එකක් තවත් තැනක තියෙනවා. මගේ ශරීරයේ අංශු රටාවට සමානව එකම අංශු පද්ධතිය තවත් තැනක ඒ විදිහටම තියෙනවා. මේ අංශුවල චලිතය ආලෝකයේ වේගයටත් වඩා වැඩියි. ඉතින් අපිට පියවි ඇසට මේ අංශුවල චලිතය ගෝචර වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි අපේ photocopy එකත් එක්ක නොනවත්වාම අංශු හුවමාරු කරගන්නවා. නිකමට හිතන්න මේ photocopy එකට කොහේදී හරි මාව ඇත්තටම මුහුණට මුහුණ හමුවුනොත්.

“කොහෙද මෝඩයෝ උඹ මෙච්චර කල් හිටියේ?” කියලා මම අහාවී.

හැබැයි ෆිට් එක වැඩිකමට පොරට hug එකක් දෙන්න ගියොත්?…

අන්න Quantum Entanglement Particles එකිනෙක එකිනෙක ගැටීම නිසා මම විතරක් නෙමේ “මා නොවන මමත්” විනාශ වෙලා යනවා.

TENET ෆිල්ම් එකේ කොහේදීවත් මේ Quantum Entanglement Theory එක ගැන කතා කරන්නේ නෑ. මේ තියරිය මට ෆිල්ම් එක බලද්දී ඔළුවට ආපු අදහසක් විතරයි. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් Protagonist, අර Freeport එකේදී Protagonist ගේම අනාගත Inverted කෙනා එක්ක හිටු කියලා ගහගන්න එක ගැන. නෝලන් මෙතැනදී පරිස්සම් වෙලා තියෙනවා Protagonist ගේ Future Version එකට Gas Mask එකක් දම්මලා, මුළු ඇඟම ආරක්‍ෂිත ඇඳුමකින් වහලා තියන්න. එතැනදී ඔවුන් දෙදෙනා Skin to Skin ස්පර්ශ වෙන්නේ නෑ. Quantum Entanglement Particles එකිනෙක ස්පර්ශ වන්නේ නෑ. එනිසා ඔවුන් විනාශ වෙන්නේ නෑ.

මේ කොහොම වුනත් Goya’s සිතුවම කලින්ම Freeport එකෙන් අයින් කරන්නට Sator කටයුතු කරලා. ඒ කියන්නේ මේ දෙන්නා Freeport එකේ රඟපාන්න යන නාට්‍යය Sator කලින්ම දැනගෙන. ඒ Sator ට අනාගතයේ සිදුවන දේවල් Pincer Movement එකක් මගින් දැනගැනීමට ඇති හැකියාව නිසයි.

Tallinn Highway Car Chase
Highway එකේදී Protagonist හා Neil එකතුව සිදු කරන Algorithm කැබැල්ලේ සොරකම මතක ඇති. මුලින්ම Protagonist ඒක හොරකම් කරන්නේ Plutonium 241 කෑල්ලක් කියලා හිතලා, Sator ට දීලා ඔහුගේ ගේ විශ්වාසය දිනා ගන්න. නමුත් මේ ලෝහ කැබැල්ල හොරකං කරගෙන Protagonist, Neil ඉන්න BMW කාර් එකට ආවම තත්ත්වය වෙනස් වෙනවා. ඔවුන් සිටින BMW එකේ රේඩියෝවෙන් ඇසෙන කතාව ආපස්සට ධාවනය වෙන්නට පටන් ගන්නවා. මේක ටිකක් අමුතුයි.

එත් එක්කම ඔවුන් දකිනවා Audi SUV රථයක් Invert වී පැමිණෙනවා සමගම BMW එකේ පැති කන්නාඩිය කඩාගෙන යනවා. නැවත SUV එක BMW එක පස්සේ එන්නේ reverse එකට. මේ SUV එක ඇතුලේ ඉන්නේ invert වුන Sator, ඔහුගේ සගයින් හා invert නොවුණු Kat සමග. Kat එතැන Gas Mask එකක් නොදා ඉන්නේ ඇය invert නොවුණු නිසාය. Sator, SUV එකේ ඉන්න ගමන්ම Protagonist ට සංඥාවක් කරනවා Plutonium 241 කැබැල්ල නොදුනහොත් Kat ව මරණ බවට.

Protagonist අතේ තියෙන Plutonium 241 කැබැල්ල දකින Neil කියනවා මේ ඔහු සිතාගෙන සිටින Plutonium 241 නොවන බව. Neil කියනවා මේ සාමාන්‍යය Plutonium 241 නොවන බවත් ඒක Sator ට දුන්නොත් ඇතිවෙන තත්ත්වය අතිශය භයානක විය හැකි බවත්. අපි දන්නවා මේ තියෙන්නේ Plutonium 241 නොවන බවත් Algorithm එකේ අවසන් කොටස වන, 9 වන කොටස බවත්. මේ අතර තවත් silver පාට SAAB කාර් එකකුත් crash වෙලා පෙරලිලා තිබිලා කෙලින්වෙලා අයෙත් reverse එකට එන්න ගන්නවා. Protagonist යන්තම් දකිනවා ඒ SAAB කාර් එක එලවන්නෙත් ඔහුම බව. ඔහුගේ ම Inverted version එකක් එන නිසා Protagonist තීරණය කරනවා පෙට්ටිය විසි කරන්න Sator වෙතට. මෙතන රූප රාමුව හොඳින් බැලුවොත් පෙනේවි Protagonist විසින් Algorithm කැබැල්ල අතේ තියාගෙන පෙට්ටිය Sator ට විසි කරන බවත් Algorithm කැබැල්ල SAAB කාර් එකට විසිකරන බවත්. ඔහු විශ්වාස කරනවා ඔහුගේම Inverted Version එකට පුළුවන් වේවි කියලා මේ වැරැද්ද හරිගස්සවන්න.

මේ සිදුවීම් වලින් පසුව Protagonist විසින් Kat ව බේරා ගත්තත්, පසුව Protagonist වත් Sator අල්ලා ගන්නවා. ඉන්පසු ඔවුන්ව Turnstile එකක් ඇති ගොඩනැගිල්ලකට ගෙනයනවා. මේ ගොඩනැගිල්ල කොටස් දෙකකට බෙදා ඇත. එහි එක පැත්තක් නිල් පාට වන අතර අනෙක් පැත්ත රතු පාට වේ. Invert වුන Sator එහි නිල් පාට පැත්තෙන් Kat සමග මතුවෙනවා. Algorithm කැබැල්ල ඇති තැන නොකියුවහොත් ඔහු Kat ට වෙඩි තබන බව පවසනවා.

මෙතැනදී Sator ඉන්නේ invert වෙලා නිසා කියන දේවල ඔක්කොම අපිට ඇහෙන්නෙත් අනිත් පැත්තට, නැත්තම් reveres වෙලා. Sator කියන දේවල් convert කරන්න වෙනම Audio System එකක් ඒ කාමරයේ සවි කරලා තියෙනවා. Sator විසින් Kat ට වෙඩි තබනවා inverted bullet එකකින්. ඉන්පසු un-inverted වුන Sator රතුපාට කාමරයෙන් මතුවෙනවා. මේ ඉන්නේ Sator නැවත වාරයක් Tallinn Highway Car Chase එකට ගිහින් එන Sator ය. ඔහු Protagonist ට පහර දෙනවා BMW එකේ Algorithm කැබැල්ල තියෙනවා කියලා බොරු කියපු නිසා.

මේ අතර විශේෂ හමුදාවක් පැමිණ Protagonist ව Sator ගෙන් බේරා ගන්නවා. Sator, Turnstile එකට ගිහින් අතුරුදහන් වෙනවා. මේ හමුදා කණ්ඩායම මෙහෙයවන්නේ Ives (Aaron Taylor Johnson) නැමැත්තෙක් විසින්. මේ හමුදා කණ්ඩායම අයත්වෙන්නේ Priya ටය.

Protagonist කුපිත වෙනවා Neil මේ දෙවල් කළින් නොකියා හිටියට. ඔහු Neil ව සැක කරනවා මෙහෙයුම පවා දුන්නා යයි කියා. Ives පැහැදිලි කරනවා මේක Temporal Pincer Movement (TPM) එකක් මගින් Sator කලින්ම දැනසිටි බවටත් Neil වරදකරුවෙක් නොවන බවත්. Neil මේ දේවල් කලින්ම දැක ඇති නිසා Protagonist ට ඒවා නොකියා සිටීමට වගබලා ගන්නවා. සිදුවූ දේ සිදුවී අවසානයි. එය ලෝකයේ සිදුවූ සිදුවීම් වල යාන්ත්‍රනය වෙනස් කිරීමට යාම නිෂ්ඵල ක්‍රියාවක්, එහෙමයි Neil පවසන්නේ.

“What’s happened, happened. It’s just an expression of faith in the mechanics of the world. It’s not an excuse to do nothing”

ඉන්පසු Protagonist ප්‍රථම වතාවට Turnstile එකකින් Invert වී නැවතත් Tallinn Highway එකට යනවා. ඒ යන්නේ SAAB කාර් එකෙන්. මුලින්ම කාර් එකට නගින Protagonist බලනවා ඔහු SAAB කාර් එකට Tallinn Highway එකේදී විසි කරපු Algorithm කැබැල්ල තිබේ දැයි කියා. නමුත් එය SAAB කාර් එක තුල නැත. මෙතැන ඉඳන් ප්‍රේක්ෂක අපට දැනෙන්න ගන්නවා Invert වුන කෙනෙක්ට අවට ලෝකය දැනෙන්න ගන්න අයුරු. මේ සිද්ධි කිහිපය ඉතාම අපුරුවට නෝලන් තිරයට අරගෙන තියෙනවා. Tallinn Highway එකේ මගදී Protagonist දකිනවා ඔහු Sator වෙත විසිකළ Algorithm කැබැල්ල තිබු පෙට්ටිය. ඔහු GPS & Voice Tracker එකක් ඒ පෙට්ටියට සවි කරනවා. Normal Timeline එකේ සිටින Sator එම පෙට්ටිය එලියට විසි කරන්නේ ඉන් පසුවයි (මෙය ප්‍රතිවිරුද්ධව අපිට පෙනෙන්නේ Protagonist ගේ Invert timeline එක නිසාය). නමුත් GPS & Voice Tracker එක ඒ පෙට්ටියේ තිබෙන නිසා Protagonist Sator ව හඹා යනවා. Tallinn Highway එකේදී අපි කලින් දුටු සංසිද්ධි ටිකම SAAB එකේ සිටින Protagonist ගේ කෝණයෙන් අපි දකිනවා. SAAB කාරය අනතුරකට ලක්කර, Sator කොහොම හරි මේ Algorithm කැබැල්ල Protagonist ගෙන් ලබා ගන්නවා. මෙතැනදී වෙන්නේ Algorithm කැබැල්ල බන්දේසියක තියලා Sator දුන්නා වගේ වැඩක්. හැබැයි TENET මෙහෙයුම සාර්ථක වීමට එය එසේ සිදුවිය යුතුව තිබුණා.

ඉන්පසු Sator විසින් SAAB කාරයට ගිනි තියනවා. Sator සිතනවා පිපිරීමෙන් Protagonist මිය යන්නට ඇති බව. මෙහිදී Inverted එන්ට්‍රොපියේ සංසිද්ධියක් සිදු වනවා. එනම් පෙට්‍රල් නිසා SAAB කාරය අවට ගිනි ගෙන පුපුරා ගිය ද එය අධික තාපයකට ලක් නොවී අධික ශිතලකට පත්වෙනවා. Inverted එන්ට්‍රොපියේ දී සිදුවන්නේ කාරය තුලට තාපය ගලා යාම වෙනුවට කාරය තුලින් ඉවතට තාපය විමෝචනය කිරීමකි. එනිසා කාරය ඇතුලත ඍන උෂ්ණත්වයක් ඇතිවී අයිස් මිදෙනවා. කෙසේ හෝ Ives ගේ කණ්ඩායම Protagonist ව ශීතලෙන් ගල් වීමෙන් බේරා ගන්නවා.

සාමාන්‍ය Bullet එකක් ඉදිරියට ගමන් කලත්, Inverted Bullet එකක් ගමන් කරන්නේ පසුපසට හා එමගින් ශරීරයේ අවයව වලට සිදුකරණ හානිය ඉතාම දරුණුය. Inverted Bullet එකකින් වෙඩි වැදුණහොත් ඉතා දැඩි වේදනාත්මක මරණයකට අනිවාර්යයෙන්ම ගොදුරුවේ. එහෙයින්, Protagonist හා Neil විසින් Inverted Bullet එකකින් වෙඩි වැදුණු Kat වත් රැගෙන Turnstile එක ඇතුලට යනවා අතීතයට ගිහින් Kat ව සනීප කරගන්න හිතාගෙන. Invert වුන මේ තිදෙනා Oslo Freeport එකට එන්නේ Shipping Container එකකය. මෙතැන ඇති Turnstile එක පාවිච්චි කරලා ඔවුන් නැවත Un-Invert විය යුතුය. මෙතනින් එහාට වෙන දේවල් ටික චිත්‍රපටයේ මුලදීම අපි දකිනවා. නමුත් මෙහිදී අප එය දකින්නේ Invert වුන Protagonist ට අනුවය. කොහොම හරි මේ තුන් දෙනාම Un-invert වෙලා Oslo Freeport එකෙන් මිදිලා යනවා.

Hypocenter සහ Dead Drop
නෂ්ටික අත්හදා බැලීම සඳහා පොළව යට ඉදිකර ඇති අධි ආරක්‍ෂිත ස්ථානයක්. මෙය උමගක් මගින් පොලව මතුපිට සිට භූගත බංකරයකට සවිකර ඇත. Dead Drop එක යනු Hypocenter හි සවිකර ඇති පොළව අභ්‍යන්තරයට යන විශේෂ නලයකි. Algorithm එක අනාගතයට යැවීම සඳහා එය Invert කර Dead Drop එක තුලට දැමිය යුතුය.

Temporal Pincer Movement (TPM)
Pincer Movement එකක් යනු හමුදාවේ භාවිතාවේ එන විශේෂ වචනයකි. එනම්, හඳුනාගත් සතුරු ස්ථානයකට එකිනෙකට වෙනස් දිශා දෙකකින් එකම කාලයේදී සිදුකරණ ප්‍රහාර එල්ල කිරීමකි. Pincer Movement එකක් සිදුකරන්නේ ද එකම සතුරු කඳවුරක ස්ථාන දෙකකටය. මෙහිදී සතුරාට සිදුවන්නේ කුමක්ද, කොයි දිශාවකට, කාට ප්‍රහාරය එල්ල කලයුතු ද යන්න පවා තේරුම් ගත නොහැකිවේ.

නෝලන් මෙහිදී Temporal Pincer Movement එකක් සිදු කරනවා. එය කාළයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා දෙකකින් එකම ස්ථානයක් වෙත සිදුවන ප්‍රහාරයක්.

TPM මෙහෙයුමට යාමට ප්‍රථම Protagonist, Invert වී ගොස්, Oslo වලදී Priya ව හමුවෙනවා. මෙය සිදුවන්නේ Car Chase එක වීමට දින දෙකකට කලින්ය. Priya විසින් Protagonist ව Sator ට අවශ්‍යකරන Algorithm එකේ කොටස ලබා දීමට ඉත්තෙකු ලෙස යොදා ගත් බව හෙළිවෙනවා. Protagonist විසින් Kat සහ ඇයගේ පුතාට Priya ගෙන් අනාගතයේදී අනතුරක් නොවන බවට වන පොරොන්දුවක් ද ලබා ගන්නවා. මෙහිදී Priya සතුව ඇති Turnstile එකක් ගැන ද ඇය පවසනවා. ඇය අවි ගනුදෙනු සිදුකරන Sator ගෙන් කුමන හෝ මොහොතක එල්ල වියහැකි ප්‍රහාරයකට පෙර සූදානමක් ලෙස Priya එලෙස Turnstile එකක් සෑදු බව පවසනවා. TENET සංවිධානයට Priya ව බඳවා ගන්නේ ද අනාගත Protagonist විසිනි. ඇය ද TENET සංවිධානය විසින් කුලියට ගත් තැනැත්තියකි.

Norway හි Trondheim වල මුහුද මැද ඇති පුහුණු මධ්‍යස්ථානයක Ives විසින් Sator ට මුහුණ දීමට හමුදා කණ්ඩායමක් පුහුණු කරණ බව ඔහු හා සම්බන්ධ වන ලෙසත් Protagonist ට ප්‍රියා පවසනවා.

පසුව Protagonist, Neil හා Kat සමග එතනට යනවා. Ives ඔහුගේ military Briefing එකෙන් පසුව TPM එකට යන්න කලින් Protagonist ට මෙහෙම කියනවා.

“Don’t get on the chopper if you can’t stop thinking in linear terms”

මෙවැනි දෙබසක් දැමීමෙන් නොලන් අදහස් කරන්නේ මෙතැන් සිට ෆිල්ම් එක “අප්පට-සිරිම”වෙන්න පටන්ගන්න බවත්, මෙතනින් එහාට කල්පනා කිරීමෙන් මොළේ හමයන බවත්ය. එනිසා, කාලය යනු සරල රේඛිය දෙයක් නොව, එය Time loop එකක ආකාරයකට මෙතැනින් එහා ගමන් කරන බව තේරුම් ගතහැකි උන් ටික විතරක් මෙතනින් එහාට මේ ෆිල්ම් එක බලන්න කියන එකය.

Stalsk-12 නගරයෙහි සිදුවන අවසාන මෙහෙයුමට අනුව Red Team එක Hypocenter හි පිපිරිම සිදුවීමට විනාඩි 10ක් කලින් තම මෙහෙයුම අරඹයි. ඔවුන් සාමාන්‍ය පරිදි කාලයත් සමඟ ඉදිරියට යයි. Blue Team එක එන්නේ Turnstile එකක් හරහා Invert වීමෙනි. ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ වන්නේ පිපිරිම සිදුවන අවස්ථාවේ සිට විනාඩි 10ක් පසුපසටය නැතිනම් සාමාන්‍යය කාලයට ප්‍රතිවිරුද්ධ දිශාවටය. Red Team එකට Blue Team එක පෙනෙන්නෙත් Blue Team එකට Red Team එක පෙනෙන්නෙත් Invert වූ ආකාරයෙනි, එනම් එක්නෙක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන ආකාරයෙනි. මෙය කාලයේ දිශා දෙකකට සිදුවන නිසා මෙහෙයුම සිදුවූ ආකාරය පිළිබඳව Blue Team එකෙන් Red Team එකට තොරතුරු හුවමාරු වෙනවා. එහෙයින් අනාගතයේ සිදුවන්නට නියමිත දේවල් සිදුවීමට ප්‍රථම Red Team එකට තොරතුරු ලැබෙනවා.

Ives තම Briefing එක අවසානයේදී Protagonist ට පවසන පරිදි, Splinter Unit එකට නැතිනම් Hypocenter එකේ ඇති Dead Drop එක ආසන්නයට යන කණ්ඩායමේ සිටින්නේ ඔවුන් දෙදෙනා පමණි.

දැන් ඔබට පැහැදිළි ඇති Highway එකේ සිදුවන Car Chase එකත් Stalsk-12 නගරයෙහි සිදුවන මෙහෙයුමත් යන දෙකම Temporal Pincer Movement එකක් බව. ඇත්තටම ගත්තොත්, මේ මුළු TENET මෙහෙයුමම Pincer Movement එකක් බව චිත්‍රපටය සම්පුර්ණයෙන්ම නැරඹු ඔබට පැහැදිලිවනු ඇත.

TPM සටනට දිනක් පිටුපසින් ඇති Timeline එකක සිටින Kat ව වියට්නාමයේ නිවාඩුවක් ගතකරන Sator සිටින යාත්‍රාවට ප්‍රවාහනය කරනු ලබන්නේ Mahir (Himesh Patel) විසිනි. මේ අතර Sator තමන්ව Invert කරගෙන අතීතයට ගොස් නැවත Un-invert වී Kat සමඟ වියට්නාමයේ ඇති ඔහුගේ Super Yacht යාත්‍රාවේ නිවාඩුව ගතකරන තැනට ආපසු යන්නේ ඔවුන් දෙදෙනාම සතුටින් සිටියදී, සාමකාමීව එහිදී සියදිවි නසා ගැනීමට සැලසුම් කරගෙනය.

Sator ගේ හෘද ස්පන්දනයට සම්බන්ධ කර ඇති Dead Man’s Switch එක මගින් ඔහු සියදිවි නසා ගන්නවාත් සමගම Algorithm එක Hypocenter එකේ ඇති Dead Drop එකට දැමූ බවට අනාගතයට Email පණිවිඩයක් යනවා. එවිට කළින් පැහැදිලි කල පරිදි අනාගත මිනිසුන් Algorithm එක සොයාගෙන ලෝකය Invert එන්ට්‍රොපියකට හරවනවා. Sator වියට්නාමයේ ඇති ඔහුගේ Super Yacht යාත්‍රාවට එන්නේ අනාගතයේ සිදුවන මේ සියලුම මෙහෙයුම් සම්පුර්ණ කර Kat ට ද වෙඩි තබා Protagonist ගෙන් Algorithm එක ගෙන Volkov අතේ Hypocentre එකට යැවීමෙන් පසුවය. නමුත් මේ සිටින Kat ද අනාගතයේ සිට invert වී පැමිණි බව Sator නොදනී. මෙහිදී Kat ගේ කාර්යය වනුයේ, TPM කණ්ඩායම මගින් Algorithm එක Dead Drop එකට දැමීමෙන් වලකා ගන්නා තුරු Sator ගේ සියදිවි නසා ගැනීම ප්‍රමාද කරවීමය. Kat මේ සිදුවන කිසිවක් නොදන්නා ඇගේ අතීත චරිතය ලෙස Sator ඉදිරියේ පෙනී සිටියි.

Stalsk-12 මෙහෙයුමේදී, එකම අවස්ථාවක Invert වුනු Neil ගේ අනුරූ කිහිපයක්ම සිටිනවා. කතාව පට්ටම විදිහට සංකීර්ණ වෙන්නේ මෙතැනදීය. ඔබගේ මොළය හොඳටම කරකවා අඹරවා ගන්න ඕන නම් මෙන්න මේ මෙහෙයුම තුළ Neil විසින් Invert වූ අවස්ථා ගණන ගැන සහ මෙහෙයුම තුල ඔහු දායකවූ සිද්ධීන් ගැන තනියම කල්පනා කරන්න පුළුවන්.

TPM මෙහෙයුමේ ඉන්න හැමෝටම වඩා අනාගතය ගැන ඇති දැනුම, Invert වීම, Temporal Pincer Movement එකක් සිදුකරණ ආකාරය ගැන පවා හොඳින්ම දන්නේ Neil ය. Neil මේ හැමෝටම හොරෙන් නිහඬව තම රාජකාරිය අකුරටම ඉටු කරනවා. ඇත්තටම කිව්වොත් මේ මුළු මෙහෙයුමම ඉදිරියට සිදුවන්නට ඉඩ දී, එහි එන Loophole වැසීම Neil ගේ කාර්යයයි. මෙතැනදී Neil ගේ TPM ගණනාවක්ම දැකගන්නට පුළුවන්.

මේක හොඳින්ම බලා ගන්න පුළුවන් Military Base Camp එකේදී Blue Team එකට Briefing එක දෙන මුල්ම අවස්ථාවේ Neil සිටින රූපරාමුවක. එතැන මුහුණු ආවරණ සහිත Gas Mask දමා ගත් කිහිප දෙනෙක්ම සිටිනවා. මේ අතර ඉන්නවා Invert වෙලා Blue Team එකත් එක්ක සටන්බිමට ගොස් TPM මෙහෙයුමට පසුව නැවත Base Camp එකට පැමිණ, ආයෙත් වරක් Invert වෙලා නැවත වාරයක් TPM මෙහෙයුමට මුල සිට සම්බන්ධ වී එහි සිදුවන වැරදි නිවැරදි කිරීමට බලා සිටින Neil ගේම අනාගත Version එකත්. එමෙන්ම Hypocenter එක තුල Sator විසින් සවිකර ඇති Turnstile එක මගින් ද Neil තමන්ව කිහිප වාරයක් Invert කර ගන්නවා.

නීල් පළමු වරට යුධ පිටියට ගොඩබසින විට, ඔහු දකිනවා Invert වුන Hummer Truck එකක් ඔහුව පසු කරගෙන ගමන් කරන ආකාරය. මේ Hummer එකේ යන්නේ ද Protagonist බේරා ගැනීම සඳහා යන Invert වූ Neil මය.
MI-17 Helicopter එකකින් පැමිණෙන Sator ගේ ආරක්ෂකයෙක් වන Volkov විසින් Hypocenter එකේ ඇතුලට යන තැන Booby trap එකක් (බෝම්බයකට සවිකළ නූලක්) දමනවා. මේ Booby trap එක Hypocenter එකේ ඇතුලට දිවයන Protagonist ට හා Ives ට පෑගෙන එකෙන් වලකා ගන්නට Neil ආයෙත් Invert වෙනවා. ඊට පස්සේ තමයි Hummer Truck එකකින් Neil නැවත එතනට එන්නේ අනතුර හඟවන්න හෝන් එක ගහගෙනම. එත් බෝම්බය පුපුරා යනවා. උමග වැසීයාම නිසා දැන් Protagonist ට හා Ives ට එලියට එන්නට නොහැකිය.

Neil පසුව Hummer එකේ ඇති Winch Mount Cable එක Protagonist ට හා Ives ට එලියට එන්න හැකිවෙන ලෙසට Hypocenter එකේ ඇති විවරයකින් පතුලේ ඇති Dead Drop එක තුලට දමනවා.

Sator, Hypocenter එකේ සිටින Volkov හරහා දුරකථන පණිවිඩ ඔස්සේ සටන්බිමේ සිටින Protagonist සමඟ කතා කරයි. Protagonist බෝම්බය ලබා ගන්නා තෙක් Kat, Sator ව නොමරා සිටිය යුතු නමුත් එක් අවස්ථාවකදී Kat ට ඇයගේ කෝපය පාලනය කරගත නොහැකිව Sator ට වෙඩි තබයි. Sator මිය යයි. නමුත් තවම Algorithm එක Dead Drop එක තුලින් බේරාගෙන නැත.

Neil, Dead Drop එකට එන ගේට්ටුව ඇරලා දෙන නිසා, Protagonist විසින් Volkov ව ඝාතනය කර Algorithm එක Dead Drop එකට වැටීමෙන් වළක්වා ගන්නවා. හදිසියෙවත් Algorithm එක Dead Drop එකට වැටුණා නම් Sator මිය ගොස් ඇති නිසා Dead Man’s Switch එක මගින් අනාගතයට දැනටමත් Email පණිවිඩයක් ගොස් හමාරය. එවිට Dead Drop එක තුලින් අනාගතයේ සිටින අයට Algorithm එක සොයාගෙන, ලෝකයේ එන්ට්‍රොපිය Invert කළ හැකිවෙනවා.

අවසානයේ දී Protagonist හා Ives ව Neil විසින් Hypocenter එකේ විවරය තුලින් එහි පතුලේ ඇති Dead Drop එකට එවූ Winch Mount Cable එක ආධාරයෙන්, බෝම්බය පිපිරෙනවත් සමගම එළියට ගන්නවා. Algorithm එක පිළිබඳව රහස දන්නේ මේ තිදෙනා පමණක් නිසා, මෙහෙයුමට සම්බන්ධ වූ අනෙක් අය සිතන්නේ සැළසුම් කළ පරිදි බෝම්බය පුපුරා ගිය බවය.
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි Neil ගේ මියයාම. Volkov ඔහුට වෙඩි තැබීමට බිමට පෙර ඔහු Volkov ට වෙඩි නොතිබ්බේ මන්ද?

“No one who know the contents of the capsule can leave the field”

මෙහෙයුමට කලින්ම Ives විසින් Protagonist ට මෙය පවසනවා. එනිසා චිත්‍රපටය අවසානයේ Ives විසින් Algorithm එක කොටස් තුනකට කඩනවා. Ives, Protagonist හා Neil අතරේ මේ කොටස් තුන බෙදා ගන්නවා. මේ කොටස් කාටවත් හොයාගන්න බැරි තැනක සඟවා තබන්නටත් ඔවුන් නැවත මුණ නොගැසෙන්නටත් තීරණය කරනවා. බැරි වෙලාවත් දෙදෙනෙක් මුණ ගැසුණහොත් ඉන් එක අයෙකුට හිමිවන්නේ මරණයයි. TENET සංවිධානයට අනුව Algorithm හි ආරක්ෂාව සඳහා වන එකඟතාවය එයයි. එවිට Algorithm එක කවදාවත් අනාගතයට නොයනු ඇත. ඉන් වර්තමාන ලෝකය නොනැසී ආරක්ෂා වනු ඇත.

මේ හේතුව නිසා තමයි Neil, Hypocenter එකේදී Protagonist ට ගේට්ටුවේ අගුල ඇර දීමෙන් පසු Volkov තබන වෙඩි පහරකට ස්වේඡ්චාවෙන් හිස දී මිය යන්නේ. TENET සංවිධානයේ ප්‍රතිඥාව අනුව එය එසේ සිදුවිය යුතුය, Neil මිය යායුතුය, නැතිනම් සියදිවි හානි කරගත යුතුය. TPM එකේ සහ Protagonist ට එල්ල වන තර්ජන සියල්ල සහිත loopholes වසා දැමූ පසු Neil තීරණය කරනවා වීරයෙකු සේ මිය යාමට. ඒ තම කලණ මිතුරා වෙනුවෙන් උණ්ඩයකට හිස දීමෙන්. එතැන් සිටින්නේ Opera House මෙහෙයුමට ගොස් පැමිණි Neil ගේ අනාගත Version එකයි. ඔහු Protagonist ව අවසාන මාරකයෙනුත් බේරා ගන්නවා.

චිත්‍රපටයේ TPM මෙහෙයුම අවසානයෙදී Neil විසින් ඔහු දැනසිටි සත්‍යය Protagonist හට හෙළි කරනවා. මේ TENET මෙහෙයුම සම්පුර්ණයෙන්ම මෙහෙයවුයේ අනාගතයේ සිටින Protagonist විසින් බවත්, අනාගතයේ දිනක Protagonist ට Neil ව හමුවන බවත් ඔහු විසින් Neil ව මේ මෙහෙයුම සඳහා බඳවා ගන්නා බවත් Neil පවසනවා. මෙය පැවසීමෙන් ඔහු TENET සංවිධානයේ නීතියක් කඩ කරන නිසා Neil ට කොහොමත් මේ TPM එකට පසු මරණය කියන දේ අනිවාර්යය දෙයක් වෙනවා.

මේ අවස්ථාවෙන් පස්සේ Neil නැවත Ives එක්ක Chinook helicopter එකෙන් ඔවුන් ගේ Base Camp එකට යනවා. එතැනදී Neil නැවත වාරයක් Invert වෙලා Blue Team එකත් එක්ක නැවත Stalsk-12 මෙහෙයුමට යනවා Protagonist ට ගේට්ටුවේ අගුළ ඇරලා දීමට. මේ තමයි Neil මෙහෙයුම තුල invert වෙලා සටන් බිමට පැමිණෙන අවසාන අවස්ථාව. Neil තම මිතුරා නැතිනම් අනාගතයේදී ඔහුව TENET මෙහෙයුමට බඳවාගත් Protagonist ව බේරා ගැනීමට Invert වී පැමිණ Protagonist වෙත තබන වෙඩි උණ්ඩයක් ඉදිරිපිටට පනියි. එයින් Protagonist බේරුනත්, Neil මිය යයි.

නීල්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මෙය ඔහුගේ අවසාන මොහොතයි. ඔහුගේ මරණ මංචකයයි. එහෙත් Neil මේ වනවිටත් Invert වී ඇති කෙනෙකි. නමුත් Protagonist ට Neil ව පෙනෙන්නේ un-inverted වූ Neil කෙනෙක් ලෙසය. එනිසා ඔහුට පෙනෙන දෘෂ්ටි කෝණයට අනුව Neil දකින්නේ වෙඩි වැදී මියගොස් සිට නැවත පණ ඇවිත් ඉන් පිටතට දුවන Neil කෙනෙකි. මෙය තමාගේ ඉරණම හා රාජකාරිය බව Neil වටහා ගෙන ලෝකය බේරා ගැනීම උදෙසා ඔහු අවසානයේ දී මරණය තෝරා ගන්නවා.

චිත්‍රපටය අවසානයේ දකින Neil ගේ බෑගයේ ඇති තැඹිලි පැහැති නූල මගින් Opera House මෙහෙයුමේදී Inverted Bullet එකකින් ද Protagonist ව බේරාගත්තේ ද Neil විසින් බව ප්‍රත්‍යක්ෂ වෙයි. Neil ගේ බෑගයේ ඇති තැඹිලි පැහැති නූල චිත්‍රපටය පුරා අවස්ථා තුනක දී දැක ගත හැකිය.

1. Kyiv Opera House මෙහෙයුමේදී
2. Hypocenter හිදී Protagonist ව වෙඩි තැබීමකින් බේරාගත් සොල්දාදුවාගේ මළ සිරුර
3. අවසානයේ Protagonist ට සමුදී ඉවත්ව යන Neil යන අවස්ථා තුනයි.

මේ TPM මෙහෙයුම අතර Neil, Kyiv Opera House Mission එකටත් යනවා Protagonist ව ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වීම වැලක්වීමට. පසුව අපි දන්නවා මේ ත්‍රස්ත කණ්ඩායම Opera House Mission එකට එවන්නේ ද Sator විසින්ම බව.

චිත්‍රපටයේ අවසාන TPM සටන සිදුවන්නේ සාමාන්‍යය Timeline එකට අනුව පෙන්වන Opera House Mission එකට එක් දිනකට කලින්ය. Protagonist විද්‍යාගාරයේදී දකින Inverted Bullets තිබෙන විශාල ගල් කැබැල්ල ද අවසන් සටන සිදුවූ ස්ථානයෙන් ඊට දිනකට කලින් සොයා ගත් ගල් කැබැල්ලකි.

Neil විසින් Protagonist ව අවස්ථා කිහිපයකදීම බේරා ගන්නේ ද TPM එකක් මගින් අනාගතය පිලිබඳ ඔහු ලබා ගත් දැනුම මගිනි.

1. Kyiv Opera House මෙහෙයුමේදී.
2. Freeport එකේ Protagonist ඔහුගේම Future Version එක සමග ඇතිවන සටන් දර්ශනයේදී , Protagonist ගේ අතින් ඔහුගේම Future Version එක ඝාතනය වීමෙන් වැළක්වීම.
3. Sator ගේ ග්‍රහණයෙන් Protagonist ව බේරා ගැනීම සඳහා Ives සහ හමුදාව රැගෙන ඒම.
4. Hypocenter එක පිපිරීමට ප්‍රථම කඹයක් විසි කර Protagonist හා Ives බේරා ගැනීම.
5. අවසානයේ Hypocenter එකේදී Protagonist ට Sator ගේ ආරක්ෂකයා විසින් තබන වෙඩි උණ්ඩය මැදට පැන සිය ජීවිතය ද Protagonist හා TENET මෙහෙයුම වෙනුවෙන් කැප කරයි.

Neil යනු Physics පිළිබඳව Masters Degree එකක් කරපු කෙනෙකි. මේ TENET මෙහෙයුමේ විද්‍යාත්මක පැත්ත ගැන ඔහුට Protagonist ට වඩා අවබෝධයක් ඇත. අනාගතයේදී Neil ව Protagonist විසින් TENET සංවිධානයට බඳවා ගන්න තවත් හේතුවක් වන්නට ඇත්තේ Neil සතු ආරක්ෂක අගුළු ඇරීමේ සුවිශේෂී හැකියාව ද නිසා වියහැක. මෙහෙයුමේ තීරණාත්මකම සාධකය වන, Sator විසින් උපරිම ආරක්ෂාවක් යෙදූ Hypocenter හි ඇති අගුල ඇරීමට නම් ඒ පිලිබඳ විශේෂඥය ඥානයක් ඇත්තෙක් අනාගතයේදී සොයාගෙන අතීතයට යැවිය යුතුය. ඒ සඳහා අනාගතයේදී Protagonist විසින් තෝරාගන්නේ Neil වය.

සාමාන්‍යය Timeline එකේ සිටින Protagonist, ඔහු දින කිහිපයකට කලින් දැන හඳුනාගත් මිතුරා, අනාගතයේ වසර ගණනාවක් තිස්සේ තමා ව ආරක්ෂා කරමින්, හොඳම මිතුරෙකු වී ලඟින් සිටි බවත් Protagonist ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් Neil තම ජීවිතය කැපකළ බවත් දැනගන්නවා. එය Protagonist ට දරා ගැනීමට අපහසු දෙයක් වනවා.

එම මිතුදම ආරම්භය ගැන Neil විසින් Protagonist ට ඉඟියකින් පවසන පරිදි,

“It’s years ago for me, years from now for you”.

මෙය Neil ගේ ජිවිතයේ අවසන් මොහොතයි. නීල් පැහැදිලි කරන පරිදි, මෙය ඔහු සඳහා ලියැවී ඇති කතාවේ අවසානයයි. ඔහු Protagonist සහ Ives බේරාගනිමින් Hypocenter එකේදී සිය ජීවිතය පුජා කරනවා. ඒ සමගම Neil ගේ Time loop එකද වැසී යනවා. නමුත් Protagonist ගේ Time loop අනුව තවමත් ඔහුට මෙය ඔවුන් දෙදෙනාගේ මිතුදමේ ආරම්භය පමණයි.

TENET යන වචනය Palindrome එකකි. ඉදිරියේ සිට පිටුපසටත්, පසුපස සිට ඉදිරියටත් කියවූ විට එකම වචනය ලැබෙයි. “වඩුමඩුව” යන සිංහල වචනයත් එවැනි Palindrome එකකි. සමස්ථයක් ලෙස ගත කල මුළු TENET චිත්‍රපටයම Palindrome එකකි.

තමන්ට අනාගතයේදී අනතුරක ඉවක් දැනුනහොත්, Protagonist විසින් Kat ට ලබාදෙන ෆෝන් එක මගින් ඇය සිටින ස්ථානය දන්වන ලෙස, TPM මෙහෙයුමට පිටවීමට කලින් Protagonist විසින් Kat ට පවසනවා. එම පණිවිඩය අනාගතයට (Posterity) යන බව ද Protagonist පවසනවා. Kat ගේ Timeline එකට වඩා Protagonist සිටින්නේ Invert වී දවසක් ඉදිරියෙනි. එනිසා ඔහුට කළින්ම කියාත්මක වී ඇයට සිදුවන අනතුරකින් බේරා ගැනීමට අවස්ථාව ඇත. Priya විසින් Kat ව ඝාතනය කිරීමට පෙර Protagonist එම ස්ථානයට එන්නේ මේ හේතුව නිසාය.

TENET මෙහෙයුම සම්පුර්ණ වීමට මේ ලිහුණු කොන් ගැට ගැසිය යුතුය. නැතිනම් තවත් Time loop එකක් ආරම්භවී ගැටළු ගණනාවක් ඇතිවනු ඇත. Priya විසින් Kat ව ඝාතනය කරන්නට සැලසුම් කරන්නේ ද Kat මෙහෙයුම ගැන ඕනෑවටත් වඩා දැනගෙන සිටින නිසාය. නමුත් Protagonist ඒ වනවිටත් තේරුම්ගෙන අවසන් මේ TENET නමැති මෙහෙයුමේ ලොක්කා ඔහු බව. එනිසා මේ Time loop එක හරි විදිහට අවසන් කරන්නට අවශ්‍ය කරන මේ ලිහුණු කොන් ගැට ගැසීම ඔහු තමන් භාරයට ගන්නවා. Protagonist විසින් Priya ව ඝාතනය කරන්නේ ද, මිය යාමට ප්‍රථම Time loop එක හරි විදිහට අවසන් කරන වගකීම Priya විසින් Protagonist ට භාර කරන්නේ ද ඒ නිසයි.

Sator සහ Protagonist
නිකමට හිතන්න Interstellar ෆිල්ම් එකේ මුලදී පෙන්වන නුදුරු අනාගතයේ සිදුවන සංසිද්ධිය ගැන. වායුගෝලයේ පවතින නයිට්‍රජන් (N2) ප්‍රතිශතය 80% දක්වා අසාමාන්‍යය ලෙස ඉහල ගොස්, ඔක්සිජන් (O2) ප්‍රතිශතය ඉතා සීග්‍රයෙන් අඩුවී වායුගෝලය තුල විවිධ දිලීර වර්ග වර්ධනය වී, මිනිසුන්ට තම එදිනෙදා ජීවන කටයුතු පමණක් නොව, හුස්ම ගැනීම පවා සාමාන්‍ය පරිදි කරගෙන යාමට අපහසු වුවහොත්?
අනාගතයේ වාසය කරණ මිනිසුන්, ජිවත් වීමේ ඉතාම අසීරු කාලසීමාවක් කරා කෙමෙන් කෙමෙන් ලඟා වුවහොත්?.
මිනිස් ජනගහනය හාමතේ හෝ හුස්ම හිරවී මෙලොවින් සම්පුර්ණයෙන්ම වඳ වී යාම වැඩි ඈතක නොවන බව ප්‍රත්‍යක්ෂ වුවහොත්, ඒ වගේ තත්ත්වයකදී ඒ මිනිස්සු ජීවත්වෙන්න මොනවා නම් නොකරයි?
වැරදි කරපු අතීතයෙන් පළිගන්නට ඔවුන් උත්සාහ නොකරාවි යයි කීමට හැක්කේ කාටද?

චිත්‍රපටයේ නොපෙන්නුවත්, අනාගත Protagonist යනු බලයෙන් මත්වූ ඒකාධිපතියෙක් බව හොඳින් පැහැදිළි වනවා. ඔහු මෙලොව ජීවමාන දෙවියාය. Stalks -12 මෙහෙයුමෙන් පසුව Ives ව සොයාගෙන ගොස් ඔහුව ඝාතනය කර හෝ Algorithm එකේ අනෙක් කොටස ලබාගෙන ලෝකයම පාලනය අතට ගන්නට Protagonist සමත්වන්නට ඇත. Algorithm එක සතු ඔහුට මේ ලෝකයේ කල නොහැක්කක් නොමැත. එක් පුද්ගලයෙක් වටා අසීමිත බලයක් ඒකරාශී වීම අතිශය භයානකය. එහි ප්‍රතිඵල අනාගත මිනිසුන් අත්විඳිනු ඇත. අනාගත Protagonist ට එරෙහිව එන සියළු සතුරු බලවේග ඔහු ඉතා ලෙහෙසියෙන්ම විනාශ කර දමනවා.

Protagonist යනු TENET සංවිධානය හරහා අනාගතයේ විශ්වය පාලනය කරන දෙවියා බව වර්තමානයේ සිටින අපි නොදනිමු. එහෙයින් අප TENET චිත්‍රපටය දකින්නේ ඔහුගේ කෝණයෙනි. අපට අනුව Protagonist යනු වර්තමානය බේරා ගැනීමට අනාගතයේ සිට ආ දෙවියෙකි. නමුත් එය එසේ නොවේ, ඔහු සිත් පිත් නැති යක්ෂයෙකු බවට පත්වන්නේ මේ Algorithm හි ඇති බලයෙන් වල්මත් වූ දා සිටය. ඔහු Neil ව අනාගතයේ දී TENET සංවිධානයට බඳවාගෙන ඔහු ලවා අතීතයේ සිටින මේ කියන මෙලෝ මළ මගුලක අදහසක් නැති Protagonist නම් චරිතය කුළියට ගන්නවා. ඔහු විසින් ඔහුවම TENET සංවිධානයට බඳවා ගන්නවා. Protagonist මෙහි ඇති Time Loop සියල්ල නැවත නැවතත් ආපස්සට හරවා ඔහුට අවශ්‍යය පරිදි අතීතය වෙනස් කරගැනීමට සමත්වෙනවා. අවසානයේ මේ කියන Protagonist මුළු විශ්වයේම මහා බලවතා බවට පත්වෙනවා.

“My greatest sin was to bring a son into a world I knew was ending. Do you think God will forgive me?”

Sator විසින් Protagonist ට කරන මේ ප්‍රකාශයම ඇති, ඔහුගේ අභිප්‍රාය අපි හිතන් ඉන්නවට වඩා සාධාරණ එකක් බව ඔප්පු කිරීමට. නෝලන් චිත්‍රපටය තුල අපිට නොකියපු අනාගත සත්‍යය ලෝකය මෙය වියහැකි බවට මම විශ්වාස කරමි.

TENET සංවිධානය
අපි දකින TENET සංවිධානය යනු අනාගත ජීවීන්ගේ විනාශයට පාර කපන රහස් සංවිධානයකි. පරිසර විනාශය නිසා අනාගත ලෝකයෙන් ජීවින් වඳවී යායුතු යයි විශ්වාස කරන කල්ලියකි. Sator යනු අනාගත මිනිසුන්ගේ ගැළවුම්කරුවාය. නැතිනම් Interstellar එකේ අපි දුටු Cooper ගේ චරිතයට සමාන චරිතයයි. අනාගත ජීවයේ අඛණ්ඩතාවය රැක ගැනීමේ වගකීම භාරගත් තැනැත්තාය. සත්‍යය වශයෙන්ම චිත්‍රපටයේ Protagonist විය යුත්තේ Sator ය. එයට අකුල් හෙලන්නා අනාගතයේ දී සිය අසීමිත බලයෙන් වල්මත් වූ Protagonist ය. ඔහුට අවශ්‍යය අනාගත ජීවින් සියල්ල මේ ලෝකයෙන් තුරන්කර දැමීමය. මිහිපිට අපායක් කර සියලු ජීවින් හා සොබාදහම විනාශ මුඛයට අද දැමීමටය. අප සිටින වර්තමානයට අනුව ඔහු වීරයෙකි, දෙවියෙකි. නමුත් අනාගත ජිවින්ට අනුව ඔහු ලේ පිපාසිත දුෂ්ඨ පුද්ගලයෙකි, සාතන්ගේ පුත්‍රයෙකි. TENET චිත්‍රපටය තුල අපි දකින්නේ, Protagonist ගේ හා Antagonist ගේ චරිත දෙක ද Invert වීය.

නෝලන්ගේ මනසේ වසර 10 ක් පමණ තිස්සේ ක්‍රියාත්මක වූ අදහසක් අනුව ගොඩනැගුණු TENET චිත්‍රපටය නමැති මේ පිස්සුව, මෙලෙස සමාප්ත වූවත් ඔහු අපට එහි සිතන්නට තව බොහෝ තැන් ඉතිරි කරනවා.

නෝලන්ගේ මනසේ ක්‍රියාත්මක වන ඊළඟ පිස්සුව මොකක් වෙන්න ඇත්ද?

ඔහු මේ වනවිටත් කිසිවෙකුත් නොදන්නා ෆැන්ටසියක අතරමංව, සිය කතාව ටිකෙන් ටික ගොඩනගනවා වන්නට ඇත. ඒ ෆැන්ටසිය Reality එකක් කර ගැනීමට ඔහුට කෙතරම් කාලයක් යයි ද?

ඔව්, එතෙක් අපි බලා සිටිමු…

TENET චිත්‍රපටයේ චරිත
TENET එකේ මම ආසම කරන නළුවා. ඔව්, ඔව්… Pattinson කොලුවා තමයි වෙන කවුද?.
මම තාම Robert Pattinson රඟපාපු Twilight Series එක සම්පුර්ණයෙන්ම බලලා නෑ (බලන්න ආසාවකුත් නෑ, මොකද මට මූ ගැන දැනට තියෙන හොඳ Impression එක අඩුවෙයි කියලා හිතෙන නිසා). සමහර ප්‍රේක්ෂකයින්ගේ මතය නම් Twilight වගේ කතාවක හිටපු ලඳ බොළඳ Robert Pattinson ට 2021 එන්න තියෙන The Batman චිත්‍රපටයේ Batman වගේ චරිතයක් බරපතල් වැඩියි කියලා, ශරීර හැඩය කෙට්ටු වැඩියි කියලා. ඒත් මෑත කාලයේ තිරගතවුණු Robert Pattinson ගේ චිත්‍රපට දිහා බැලුවම නම් මට ඒ විචාර වලට කිසිසේත්ම එකඟ වෙන්න බෑ. අනිවාර්යයෙන්ම Pattinson කොලුවා මේපාර Batman ට වෙනස්ම පාටක් එකතුකරයි කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා, ෆිල්ම් එකේ Trailer එක බැලුව වෙලේ ඉඳන්ම. අපි බලාගෙන ඉමු, මේ වවුල් කොලුවා මේ පාර Batman ට කරන්න යන දේ ගැන.

TENET චිත්‍රපටයේ මා දුටු විශිෂ්ටතම නළුවා. ඔව් කතා දෙකක් නෑ, ඒ තමයි ෆිල්ම් එකේ Antagonist, නැතිනම් දුෂ්ටයා වන Andrei Sator ගේ චරිතය නිරූපණය කරන Kenneth Branagh. කාලෙකට පස්සේ සුපිරිම Villain කෙනෙක් තමන්ගේ චිත්‍රපටයකට ගේන්න නෝලන් සමත්වෙලා තියෙනවා කියන්න පුළුවන්. Villain කෙනෙක් කිව්වම දකිනකොට ප්‍රේක්ෂකයාට බය හිතෙන්න ඉන්න ඕන, ඌව දකින කොටත් පපුව ටිකක් ඩිග් ඩිග් ගාන්න ඕන, හරියට නිකං ඉස්සර හින්දි ෆිල්ම් වල හිටපු අම්රිෂ් පූරි ලොක්ක වගේ. කොහොම හරි Kenneth Branagh ට පුළුවන් වෙලා තියෙනවා TENET ෆිල්ම් එක පුරාවටම Sator ගේ චරිතය හරහා ඒ බය හිතෙන ෆීලින්ග් එක ප්‍රේක්ෂකයාට අභිප්‍රේරණය කරවන්න. ප්‍රේක්ෂකයා තදින් වෛරකරණ තරමට, ඌව මරාගෙන කන්න හිතෙන තරමට, Andrei Sator ගේ චරිතය බොහොම අපුරුවට Kenneth Branagh ඉදිරිපත් කරනවා වගේම නෝලන් චිත්‍රපටය තුලඑය මතුකරලා තියෙන ආකාරයත් විශිෂ්ටයි..

John David Washington, නැත්තම් ෆිල්ම් එකේ Protagonist, කවුරුත් දන්නවා ඔහු Denzel Washington ගේ පුත්‍රරත්නය බව. John David Washington ගේ ඇක්ටින්ග් ගැන නම් මට කියන්න තියෙන්නේ, දෙපාරක් ඔස්කාර් උස්සපු ඔහුගේ පියා වන Denzel Washington ගේ දක්ෂතාවල අහලකින් වත් තියන්න සුදුසු නැති බවයි. නෝලන්ගේ කළින් චිත්‍රපට වල කැපී පෙනුණ ප්‍රධාන චරිත රඟපෑ Leonardo DiCaprio, Christian Bale, Heath Ledger, Hugh Jackman, Cillian Murphy, Tom Hardy වැන්නවුන් ගත් කල John David Washington ගේ රංගනය තුල විශාල අඩුපාඩු ඇති බව නම් කිව යුතුමය. චිත්‍රපටය තුල John David Washington ගේ ක්‍රියාදාම වැඩ කෑලි ටිකනම් Next Level ය, තර්කයක් නැත. එහෙත් TENET හි Protagonist ගේ චරිතය තුල, වෙනදාට නෝලන් ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය තුලින් අපි දකින හැඟීම් ප්‍රකාශණය, අවස්ථානුකුලව emotional වීම මට නම් John David Washington තුලින් ලොකුවට දැනුනේ නැත. Neil සහ Protagonist වෙන් වී යන අවසාන ජවනිකාවේ කඳුළු පෙර පෙර අඬන Protagonist ට ඒක මීට වඩා ප්‍රේක්ෂකයාට දැනෙන්න හොඳට කරන්න තිබ්බා සහ එතන දී ගන්න තිබ්බ Vibe එක නෝලන්ටත් අතපසුවෙලා කියලා මට හිතෙනවා. සමස්ථයක් ලෙස TENET චිත්‍රපටය ගත්තොත් Leo හිටපු Inception චිත්‍රපටයට වඩා පහළින් තියන්න එක හේතුවක් තමයි John David Washington සාධකය.
එක ඇහැක් පුංචි කරලා කට කොණකින් දත් පෙන්නලා, Denzel Washington දාන ඒ කුප්ප හිනාව, John කොළුවට තාත්තාගෙන් ඉගෙන ගන්න තව බොහෝ දේවල් ඉතිරිකර ඇත.

Ludwig Göransson Vs Hans Zimmer
TENET හි සංගීත නිර්මාණය (Film Score) කරන්නේ ඔස්කාර් සම්මාන ලාභී Ludwig Göransson විසිනි. ඒ ඔහු නෝලන් ගේ චිත්‍රපටයක සිදු කරන ප්‍රථම සංගීත නිර්මාණයයි. එහෙත්, The Dark Knight Trilogy එකේ සිට නෝලන්ගේ චිත්‍රපට තුල තම සුවිශේෂී සංගීතය නැමැති ආධ්‍යාත්මය පැතිරවූ, මා හදවතේ සංඛ්‍යාතයට අනුනාදය වන ඒ ස්වරය හඳුනාගත්, Hans Zimmer නම් වූ අසහාය ඝාන්ධර්වයාගේ සංගීතය TENET හි නැති අඩුව නම් චිත්‍රපටය පුරාවටම මට තදින්ම දැනිණ.

“A Film by Christopher Nolan, Music by Hans Zimmer…”

If you see those two names together, then you know that the movie is gonna be a Masterpiece.

සමහර ජෝඩු ඉන්නවා, උන් වෙන් වෙලා ඉන්නකොට මෙලෝ රහක් නෑ…
එකට ඉන්නකොට ලොවෙත් ඒ වගේ රහක් නෑ…

එච්චරයි…!!!

පසු සටහන

කාලයක් තිස්සේ චිත්‍රපට ගැන ලියපු ලිපි මාලාව TENET චිත්‍රපටයට ලියපු මේ ලිපියත් සමග සමාප්ත වනු ඇත…

ලෝකය, විනාශයෙන් බේරාගෙන නිහඬවම මරු තුරුළට ගිය ඩොනී ඩාකෝ…
තම අරමුණ වෙනුවෙන් මරුවාට සිය ආත්මය කැප කළ ලෙනාඩ් ෂෙල්බි…
ලෝක සත්ත්වයාගේ ජීවයේ අඛණ්ඩතාවය රකිනුවස්, නිමක් නැති දරු සෙනෙහස පසෙක ලා, කාළ අවකාශයේ තරු අතර වූ අඳුරු කුහරයක සැඟව ගිය, ජෝසප් කූපර්…
ඒ මතක… ඔව්, අමතක කරණු නොහැකි, ඒ හිතට වධදෙන අතීත සොඳුරු මතක, ඒ මතක තුලින්ම ගොඩනැගූ සිහින ලෝකයක් තුල අතරමං වූ ආදරණිය ඩොමිනික් කොබ්, ඒ සිටියේ නුඹට වඩා මමය…

නුඹලා ගැන සිතමින්, නුඹලාගේ ෆැන්ටසි ලෝක වලට එබිකම් කරමින්, මනසට වධ දිදී ඒ සිතුවිලි, අකුරු පද වැල් බවට හෙමි හෙමිහිට අමුණපු ඒ දවස්… ඒ හවස්… ඒ රැයවල්… වල ගතවූ සොඳුරු නිමේෂයන් වල මතක පමණක් මා සමග රැගෙන යමි…

ඒ මතක, විශ්වය නමැති හදවතේ එක් කොනක මා පමණක් දන්නා, ආලෝක අංශුවකටවත් ළඟාවිය නොහැකි, අඳුරු කුහරයක අපරිමිතය ආසන්නයේ, කවදාවත්ම අමතක නොවන විදිහට, සදහටම නිධන්ගත වෙලා තියේවි.

ආලෝක සියවස් ගණනක් දුරින් ඇති මුත්
සදාතනිකව මා ආදරය කරන ඒ පුංචි තාරකාව,
මම මෙතැනින් නවතිමි…
නුඹ නොදන්නවා ඇති
ඒත්, කවදා හෝ නුඹ රෑ අහසේ දිස්වන තුරු
තවමත් මම,
ඇසිපිය නොහෙළා
නුඹ සිටි ඉසව්ව දෙසම බලා සිටිමි…

ස්තුතියි…

Download
Subtitle Download

චානක කොළඹගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *