Tamil Cinema and Malayalam Actors | Sinhala Article

Tamil Cinema and Malayalam Actors

දමිළ සිනමාවට මලයාලම් නළුවන් නැතිවම බැරිද?

2015 වසරේ තිරගත වුනු ප්රේමම් චිත්රපටිය මලයාලම් සිනමාවේ වාණිජ මුහුණුවර හාත්පසින්ම වෙනස් කිරීමට සමත් වුනු බව පැවසීම නිවැරදි යැයි සිතමි.
කේරළයේ මතු නොව ‘⁣දෙමළුන්ගේ රට’ තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි හි පවා ප්රේමම් දින සියයක් ඉක්මවා තිරගත විය. ඇතැම් විට ඒ ප්රේමම් යනු විනයිතාන්ඩි වරුවායා චිත්රපටියට පසුව තමිල්නාඩුවේ තිරගත වුනු 100% ප්රේමයම මූලික කරගත් චිත්රපටියක් නිසා වන්නටද පුළුවන.
කෙසේ නමුත් නව පරපුරේ මලයාලම් නළුවන් පිළිබඳව තමිල්නාඩු ප්රේක්ෂකයින් යම් සංවේදී භාවයක් ඇති කරගත්තේ ද, චිත්රපටි
නිෂ්පාදකයින් තරුණ මලයාලම් නළුවන් සතු විභවය පිළිබඳව නිවැරදි තක්සේරුවකට එළඹියේ ද ප්රේමම් චිත්රපටිය තමිල්නාඩුවේ සිදු කළ පෙරළියෙන් පසුව බව නම් ඒකාන්ත වශයෙන් කිව හැකි ය.
මලයාලම් මෙගාස්ටාර් මම්මුතිගෙ පුත්රයා වන දුල්කර් සල්මාන් රංගනයේ යෙදුනු මනිරත්නම් මහතාගේ OK Kanmani චිත්රපටිය යනු මලයාලම් තරුණ නළුවන් පිළිබඳව තමිල්නාඩුවේ දමිළ තරුණියන් අතරද එක්තරා ආකාරයක උන්මාදනීය හැඟීමක් ඇති කිරීමට විශාල දායකත්වයක් දැක්වූ සිනමා පටයකි. OK Kanmani චිත්රපටියට පෙර 2014 වසරේදී දුල්කර් සල්මාන් තම දමිළ සිනමා ආගමනය සනිටුහන් කලේ බාලාජි මෝහන්ගේ Vaayai Moodi Pesavum චිත්රපටිය තුළිනි. එය එතරම් සාර්ථක චිත්රපටියක් නොවුනු නමුත් ඒ හරහා දමිළ චිත්රපටි අධ්යක්ෂකවරුන්⁣⁣⁣ගේ ද තමිල්නාඩුවේ තරුණියන්ගේ ද අවධානය ලබා ගැනීමට දුල්කර් සමත් විය. විශේෂයෙන්ම ආර්. මාධවන්⁣ ගෙන් පසු දමිළ සිනමාවේ මීළඟ ‘චොක්ලට් බෝයි’ දුල්කර් බවට පළවෙමින් තිබුනු අනාවැකි ද, දමිළ තරුණියන් තම සිහින කුමරා ලෙස දුල්කර් පිළිගැනීමට දැක්වූ නැඹුරුතාවය ද චොක්ලට් බෝයි නළුවන් තම චිත්රපටි සඳහා යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන මනිරත්නම් මහතාගේ අවධානය දුල්කර් දෙසට යොමු වීමට හේතු කාරණා ලෙස සැලකිය හැකි ය.
දුල්කර් සල්මාන් රඟපෑ KKK(Kannum kannum kollaiyadithaal) චිත්රපටියේ සාර්ථකත්වයත් සමග දමිළ සිනමාවට මලයාලම් නළුවන් නැතුවම බැරි බවට මලයාලම් ලෝලීහු පවසන්නට යෙදුණු නමුත් ඉන්දියාවේ පවතින සිනමා කර්මාන්තය අතරින් ඉතා ඉහළ ශක්යතා පූර්ණ මානව සම්පතක් මෙන්ම ශක්තිමත් මූල්යමය හැකියාවක්ද සහිත වඩාත් ස්වාධීන සිනමා කර්මාන්තයක් වන දමිළ සිනමාවට මලයාලම් හෝ වෙනත් සිනමාවක හෝ නළුවන් නැතුවම බැරි යැයි පැවසීම විහිළුවකි.
[දමිළ සිනමාව තුළ ප්රමුඛස්ථානයක් හිමි වන්නේ නළුවන්ට විනා නිළියන්ට නොවේ]
නමුත් මලයාලම් සිනමා නළුවන් සහ දමිළ සිනමා අධ්යක්ෂකවරයින්අතර පවතින අනුයෝජනීය සබඳතාවය ආරම්භ වූයේ 2015 වසරින් පසුව නම් නොවේ.
මලයාලම් මෙගා ස්ටාර් මම්මුති දමිළ සිනමාවට පය තබන්නේ 1989 වසරේ තිරගත වුනු Mounam Sammadham චිත්රපටිය තුළිනි. K.J. යේසුදාස් මහතා සමග K.S. චිත්රා මහත්මිය ගායනා කරන සුප්රසිද්ධ “Kalyaana Thaen Nilaa” ගීතය මෞන සමාධම් චිත්රපටියේ ගීතයකි. එයින් පසුව 1991 වසරේ තිරගත වුනු මනිරත්නම් මහතාගේ තලපති චිත්රපටියේ ‘දේවරාජන්’ චරිතය තුළින් ඔහු අමතක නොවෙන රංගනයක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ සිනමා ජීවිතය තුළ දායක වුනු තවත් එක් විශිෂ්ඨ සලරුවක් වන 2018 වසරේ තිරගත වුනු පේරන්බු චිත්රපටිය හරහා ඔහු නැවතත් නොමඳ ප්රේක්ෂක, විචාරක පැසසුම් ලබා ගත්තේය.
1997 වසරේ මනිරත්නම් මහතාගේ ඉරුවර් චිත්රපටිය හරහා මලයාලම් සිනමාවේ සුපර්ස්ටාර් වන මෝහන්ලාල් දමිළ සිනමාව ස්පර්ශ කලේ ය. බොහෝ තැන්වල කිරීඩම් චිත්රපටිය යනු මෝහන්ලාල්ගේ රංගන ජීවිතයේ එක් කූඨප්රාප්තියක් ලෙස හඳුන්වනු දැක ඇත්තෙමි. එසේ පවසන්නෝ නිසැකවම ඉරුවර් නරඹා නැත. මෝහන්ලාල් යනු කවුරුන්ද යන්න නිරවුල්ව නිසැකවම නිර්වචනය කලේ ඉරුවර් චිත්රපටියේ ඔහු රඟපෑ ‘ආනන්දන්’ නැමැති චරිතය තුළිනි. සාමාන්යයෙන් ඔහුගේ වෙනත් චිත්රපටි වල දැකිය නොහැකි සියුම් භාව ප්රකාශන සහිත එම විශිෂ්ඨ රංගනය වුව ද මෝහන්ලාල් යනු කවුද යන්න පැවසීමට ප්රමාණවත්ය. එයින් පසුව කමල් හාසන් සමග රඟපෑ Unnai Poloruvan, තලපති විජේ සමග රඟපෑ Jilla සහ සූරියාගේ Kaappaan වැනි චිත්රපටි සමග මෝහන්ලාල් දමිළ සිනමාවද ආක්රමණය කලේ ය.
දමිළ සිනමාව සමග බොහෝ සමීපව කටයුතු කරන අනිත් ප්රධාන මලයාලම් නළුවා වන්නේ ජයරාම් ය. 1993 වසරේ ගෝකුලම් දමිළ චිත්රපටිය සමග ඇරඹි ජයරාම්ගේ දමිළ සිනමා සංචාරය තුළ ඔහු මේ වන විට තිහකට අධික දමිළ චිත්රපටි සංඛ්යාවකට රංගනයෙන් දායකවී ඇත. ඒ අනුව බලන කල දමිළ සිනමාව සමග වඩාත්ම හොඳින් පෑහී සිටින මලයාලම් නළුවා වන්නේ ජයරාම් බව පැවසීම නිවැරදි ය. 2000 වසරේ තිරගත වුනු තේනාලි සහ 2002 වසරේ තිරගත වුනු පංචතන්තිරම් වැනි චිත්රපටි තුළින් ඔහු දමිළ රසික හදවත් වඩාත් තදින් වැළඳගත්තේ ය.
මලයාලම් නළුවන් කෙරෙහි දමිළ චිත්රපටි අධ්යක්ෂකවරු සහ නිශ්පාදකවරුන් මෙතරම් ආශක්ත බවක් දක්වන්නේ ඇයි යන්න විමසා බැලිය යුතු ය. වර්තමාන තරුණ පරපුර තුළ මලයාලම් තරුණ නළුවන් කෙරෙහි ඇති ආකර්ශනය යනු එ් සඳහා මුඛ්යය හේතුවක් ලෙස සැලකිය නොහැක. යම් පුද්ගලයෙකුට හැකියාවක් තිබුනත් නැතත් ජනප්රිය නළුවෙක් කිරීමේ සර්වබලධාරී, විශ්වකර්ම හැකියාවක් සහ මූල්යය ශක්තියක් සහිත පුද්ගලයින් KTown හි සුලබ ය.
මෙම මලයාලම් රුචිකත්වයට ප්රධාන හේතු දෙකක් ඇති බව පෙනී යයි. පළමුවැනි කාරණය මූල්යමය වාසිදායක බවයි. සාමාන්යයෙන් දමිළ සිනමාවේ සිටින ප්රධානම නළුවන් එක් චිත්රපටියක් සඳහා තම ගාස්තුව ලෙස අඩු වශයෙන් කෝටි දහයක් වත් අය කරති. නමුත් දමිළ නළුවෙක් වෙනුවට මලයාලම් නළුවෙකු යොදාගත් විට රුපියල් කෝටි දහයක් වැය කර සම්පූර්ණයෙන්ම චිත්රපටියක් නිෂ්පාදන කරන්නට පුළුවන. මනිරත්නම් මහතාගේ OK Kanmani චිත්රපටිය සඳහා වැයවී ඇත්තේ කෝටි හයක පමණ මුදලක් බව කියැවේ. මේ දිනවල අති සාර්ථකව තිරගත වන මම්මූක්කා සමග මලයාලම් ලේඩි සුපර්ස්ටාර් මංජු වාරියර් රඟපෑ ‘The Priest’ මලයාලම් චිත්රපටි සඳහා වැයවී ඇත්තේ කෝටි දහයක පමණ මුදලකි.
යම් දමිළ චිත්රපටියක් සඳහා දමිළ සිනමාවේ සුපර්ස්ටාර් වන රජිණිකාන්ත් සමග ලේඩි සුපර්ස්ටාර් නයන්තාරා රංගනයට එක් කරන්නේ නම් ඔවුන් දෙදෙනාගේ ගාස්තුව පමණක් කෝටි පනහකට ආසන්න වනු ඇත.
මලයාලම් නළුවන් තමිල්නාඩුවේ ද ජනප්රිය නිසා ඔවුන්ව චිත්රපටි සඳහා යොදවාගැනීම මූල්යමය වශයෙන් සුරක්ෂිත ය. උදාහරණයක් ලෙස විජේ සේදුපති අග්රගණ්ය රංගනයක යෙදුනු සුපර් ඩිලක්ස් චිත්රපටියේ ෆහාඩ් ෆාසිල් නිරූපණය කළ චරිතය සඳහා ෆහාඩ්ගේ මට්ටමේ ජනප්රියත්වයක් සහිත දෙවන හෝ තෙවන පෙළ දමිළ නළුවෙක් යොදා ගත්තා නම් ඔහුගේ ගාස්තුව ලෙසම විශාල මුදලක් ගෙවීමට සිදු වනු ඇත. ලෝ බජට්, නමුත් නිර්මාණාත්මක දමිළ සිනමාපට සඳහා මලයාලම් නළුවන් වඩාත්ම සුදුසු ආදේශකයකි.
දෙවනි කාරණය වන්නේ මොවුන් චිත්රපටිය තුළ තම ප්රතිරූපය පුම්බන්නේ කෙසේ ද යන්නට වඩා චිත්රපටියට තමන් ලබා දිය යුතු දායකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ය. වෙනත් අයුරකින් පැවසුව හොත් ඔවුන් තමන්ට රිසි අයුරින් චිත්රපටියේ කතාව වෙනස් කරන්නට උත්සාහ දරන්නේ නැති අතර එය සෑම විටම අධ්යක්ෂකවරයාගේ හිතසුව පිණිසම පවතී. KKK චිත්රපටියේ දුල්කර් රඟපෑ චරිතය 100% සුදු චරිතයක් නොවේ. නමුත් ඔහු තමන්ට අවශ්ය පරිදි වෙනස් කරන්නට උත්සාහ නොදැරීමේ ප්රතිඵලයක් ලෙස මෑත කාලයේ දකින්නට ලැබුනු හොඳම මට්ටමේ plot twist එකක් සහිත චිත්රපටියක් ප්රේක්ෂකයාට නරඹන්නට හැකියාවක් ලැබිණි. විශේෂයෙනම අලුත් කතාවක් සහිත චිත්රපටි වලට වඩා අලුත් මුහුණු සහිත චිත්රපටි කෙරෙහි බොහෝ නිෂ්පාදකයින් ඇලුම් කරන වටපිටාවක් තුළ චිත්රපටි අධ්යක්ෂකවරුන්ට ඇති හොඳම විකල්පය මලයාලම් නළුවන් වීම වැලැක්විය නොහැක.

ඉහත කරුණු වලට අමතරව සමස්ත දකුණු ඉන්දියාව පුරාම මලයාලම් සිනමා නළුවන්ට ආදරය කරන පිරිස දිනෙන් දින ඉහළ යෑමද හේතුවක් ලෙස සැලකිය හැක. බොහෝ දමිළ නළුවන්ට තමිල්නාඩුව තුළ මෙන්ම තමිල්නාඩුවෙන් පිට ද රසිකයින් තරමටම හේටර්ස්ලා ද ඇති නමුත් මලයාලම් නළුවෙකුට කේරළයෙන් පිට විරුද්ධවාදීන් නැති තරම්ය.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *