Tabu Indian Actress | Sinhala Article

Tabu (Tabassum Fatima Hashmi ) Indian Actress by Ramitha Vimukthi

Tabu 90 දශකයේ පටන් හින්දි සිනමාවේ ජීවමාන වන හොඳම රංගන ශිල්පිනියද?

මේ සම්බන්දව නැවත වතාවක් සිතා බලන්නට පෙළඹුනේ, අන්මෝල් ජම්වාල් නොහොත් ජැමී නම් ජනප්‍රිය youtube විචාරකයකු මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් කරපු වීඩියෝ එකක් හමුවේ. ඔහු එහිදී දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරනවා හින්දි සිනමාවේ වර්තමානයේ ජීවමාන වන හොඳම රංගන ශිල්පිනිය තබූ ලෙස. ඔහු එය සනාථ කිරීමට ඉතා ප්‍රභල සාධකයන් පෙළක්ම ඉදිරිපත් කිරීමත් සිතා බැලිය යුතුය.

තබූ ප්‍රධාන වශයෙන් සිනමාවට පිවිසෙන්නේ 90 දශකයේ. නමුත් ළමා රංගන ශිල්පිනියක් වශයෙන්, 1985 දී තිරගත වුනු Hum Naujawan චිත්‍රපටයට ඇය මූලික වශයෙන් රංගනයෙන් දායක වුනා. ඇය වැඩිහිටියෙකු වශයෙන් ප්‍රථමයෙන්ම රංගනයෙන් දායක වන්නේ Pehla Pehla Pyar සහ Vijaypath යන චිත්‍රපටයන් තුලයි. Vijaypath චිත්‍රපටය ඇයට මූලික වශයෙන් ජනප්‍රියත්වයක් ළඟා කර දෙන්නේ එහි රංගනයෙන් දායක වීමත් සමගම, එම චිත්‍රපටයේ ජනප්‍රියතම ගීතයක් වන Ruk Ruk ගීතයයි. මෙහි ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නිළිය ලෙසටද සම්මානයට පාත්‍ර වනවා. නමුත් තබූට එකල හින්දි සිනමාවේ ප්‍රභලව ව්‍යාප්තව තිබූ වාණිජ සිනමාව හමුවේ, තබූගේ රංගන හැකියාවට එම චිත්‍රපටයන් තුල විශාල අවස්ථාවන් හිමි වූයේ නැත. Jeet, Hum Saath Saath Hain සහ Biwi No.1 වැනි අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට වෙනුවෙන් ඇය රංගනයෙන් දායක වූවත්, තබූට නිසි ඇගයුමක් ලැබුනේ නැත. ඇයට බොහෝ වාණිජ ධාරාවේ නිර්මාණය වූ චිත්‍රපට තුල හිමි වූයේ සීමිත අවස්ථාවන් සහ ඇය ප්‍රධාන චරිතය රඟ දැක්වූ නිර්මාණ බොක්ස් ඔෆිස් අසාර්ථක වනවා.

නමුත් තබූ මෙම අවදිය තුලම ඇයගේ කම්ෆර්ට් සෝන් එකක්‌ සකසා ගන්නවා. වාණිජ ධාරාව තුල ඇයට අවස්ථාවන් ගිලිහී යද්දී, මැද මාවත සහ කලාත්මක සිනමාව තුල තබූගේ රංගන හැකියාවන් පෙන්වීමට අවස්ථාවක් උදා වෙනවා. මෙහිදී තබූගේ ප්‍රධාන හැරවුම වන්නේ ගුල්සාර් 1996 දී අධ්‍යක්ෂණය කළ Maachis චිත්‍රපටයයි. ඉන්දියාවේ එක් භීෂණ සමයක් පාධක කර ගෙන නිර්මාණය කළ මෙම චිත්‍රපටය තුල ඇය රඟ දැක්වූයේ, එම භීෂණ සමයට සටන්කාමියෙකු ලෙස සම්බන්ද වන කාන්තාවකගේ චරිතයක්. එකල හින්දි වාණිජ සිනමාවේ පැවති ආදර කතා රැල්ල හමුවේ, ජනප්‍රිය ධාරාවේ සිටින නිළියක් ලෙහෙසියෙන් අත නොතබන කළු සුදු මිශ්‍ර චරිතයක් මෙය. අනිකුත් කාරණය මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන චන්ද්‍රචර් සිං එකල නවකයෙක් වීමද, ජනප්‍රිය ධාරාවේ සිටින ශිල්පිනියක් බොහෝ විට මෙය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් විය හැක. තබූ මෙම අභියෝගාත්මක චරිතය ඉතා විශිෂ්ට ලෙස ජය ගැනීමට සමත් වනවා. මෙහි රංගනය වෙනුවෙන් ඇය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වනවා. මෙහි කැරලිකාර කාන්තාවකගේ චරිතයට පණ දුන් තබූ, 1997 දී තිරගත වුනු Virasat චිත්‍රපටයේ ඉතාම ලැජ්ජාශීලී තරුණියකගේ චරිතයක් රඟ දැක්වුවා. මෙම රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මාන අංශයේ හොඳම නිළිය බවට පත් වනවා.

සිනමාවේ මැද මාවත සහ කලාත්මක ධාරාවේ තම ස්ථාවරත්වය ගොඩනගා ගත් තබූ, Hu Tu Tu (1999), Astitva (2000), Chandni Bar (2001) සහ Maqbool (2003) වැනි චිත්‍රපට හරහා ඇය සතුව තිබෙන විවිදාකාර වූ රංගන පරාසයන් පෙන්නුම් කිරීමට සමත් වුනා. Astitva සහ Chandni Bar චිත්‍රපට තුල ඇය ඉදිරිපත් කළේ මැදි වයස් තුල සිටින කාන්තාවකගේ භූමිකාවන්. ඔබ Astitva සහ Chandni Bar චිත්‍රපට නරඹා තිබෙනවා නම් සහ එකල හින්දි සිනමාවේ වාණිජ ධාරාව පිලිබඳ අවබෝධයක් තිබෙනවා නම්, මෙම චරිතයන්ද එකල තබූගේ වයසක සිටින නිළියක් ලෙහෙසියෙන් කැමැත්තක් නොදක්වන චරිත වග ඔබ‍ට වැටහෙයි. ජනප්‍රිය ධාරාවේ බහුතරයක් නළු නිළියන් බොලිවුඩයේ hero/heroine සංකල්පය හමුවේ රාමුගත වෙද්දී, තබූ එම සීමාවන් තුලින් බැහැර වනවා. Astitva වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් විචාරක අංශයේ හොඳම නිළිය වෙද්දී, Chandni Bar වෙනුවෙන් නැවත වතාවක් ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත් වනවා. තබූ Maqbool චිත්‍රපටයේ රඟ දක්වපු නිම්මිගේ චරිතය පාධක වූයේ මැක්බත් නාටක කෘතියේ Lady Macbeth ව පාධක කර ගෙනයි. එයද ඉතා සංකීර්ණ කළු සුදු මිශ්‍ර චරිතයක්.

ඉන් අනතුරුව The Namesake (2007), Cheeni Kum (2007) සහ Life of Pi (2012)වැනි චිත්‍රපට තුල, මදක් සරල නමුත් මතකයේ රැඳුනු චරිතයන් ඇය රඟ දැක්වුවා. හින්දි සිනමා නිළියන්ට මදක් වයස ඉක්මවූ විට ඔවුන් සිනමාවේ ඉදිරියේ රැඳී සිටීම සම්බන්දව එන දෙගිඩියාව තබූටද අඩු වැඩි වශයෙන් 2007 සිට 2013 දක්වා බලපානවා. ඊට හේතුව ඇය රංගනයෙන් දායක වුනු බහුතරයක් වූ නිර්මාණයන් අසාර්ථක වීම සහ නිසි අවදානයක් නොලැබීමයි. නමුත් 2014 දී Maqbool අධ්‍යක්ෂක විශාල් බරද්වාජ් සමග ඇය සම්බන්ද වන්නේ ඇයගේ සිනමා දිවියේ තවත් දැවැන්තම රංගනයක් ඉදිරිපත් කිරීමට. මෙයද Maqbool සේම ශේක්ස්පියර්ගේ නාටක කෘතියක අනුවර්තනයක්. එම අනුවර්තනය වන්නේ Hamlet. Hamlet පාධක කර නිර්මාණය කළ Haider තබූගේ සිනමා දිවියේ තවත් අභියෝගාත්මක රංගනයක්. Hamlet ගේ මවගේ චරිතය රඟ දැක්වූ තබූ, නැවත වරක් එම සංකීර්ණ චරිත රංගනය හමුවේ ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින්වද මවිතයට පත් කළා. මෙය මෙහි ප්‍රධාන චරිතය රඟ දැක්වූ ශාහිඩ් කපූර්ගේ හොඳම රංගනය ලෙස සැලකුවත්, තබූගේ අති විශිෂ්ට රංගනය ප්‍රේක්ෂකයින් අමතක කර නැත. මෙම රංගනය වෙනුවෙන් ෆිල්ෆෙයාර් ඇතුළු සම්මාන උළෙලවල් රැසකදී තබූ හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වනවා. මින් අනතුරුව ඇය රඟ දැක්වූ Drishyam සහ Fitoor ද, තබූගේ අමතක නොවන රංගනයන්.

තබූට ඇයගේ සිනමා දිවිය තුල තවත් සුවිශේෂී අවස්ථාවක් හිමි වන්නේ 2018 ශ්‍රී රාම් රාඝවන් අධ්‍යක්ෂණය කළ Andhadhun චිත්‍රපටයෙන්. Andhadhun චිත්‍රපටයේ ඇය රඟ දැක්වූ සිමී යනු ඉන්දියානු සිනමාව තුල මා දුටු ප්‍රභලම femme fatale සහ villainous චරිතයක්. විශේෂයෙන්ම රංගන ශිල්පිනියන්ට මෙවැනි චරිතයන් ක්ෂේත්‍රය තුල ඉතා සීමිතව ලියවෙන නිසාවෙන්, මෙය තබූ වැනි ශිල්පිනියකට ලැබුණු අනගි අවස්ථාවක්. සිමීගේ එම චරිතය තුල ඇතුලත් වී තිබුනු එම රළු ස්වභාවය සහ විටෙක ඇති රාගදරී බව ඉතා විශිෂ්ට ලෙස ඇය ඉදිරිපත් කළා. මෙවැනි චරිතයක් සැබවින්ම මේ ආකාරයෙන් විශිෂ්ටව ඉදිරිපත් කිරීමට හැකි රංගන ශිල්පිනියකට සිටින්නේ තබූ වැනි ඉතා සීමිත (බොහෝ විට එකම ශිල්පිනිය) පිරිසක් පමණයි. විශේෂයෙන්ම එම චිත්‍රපටයේ ප්‍රධාන පුරුෂ චරිතය රඟ දැක්වූ අයුශ්මාන් ඛුරානා සමගද කරට කර යාමට ඇය සමත් වුනා. තබූ ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන උළෙලවල් රැසක හොඳම නිළිය ලෙස නිර්දේශ වුනා. 2018 වර්ෂයේ නිකුත් වූ චිත්‍රපට අතරින් බොහෝ විචාරකයින් නම් කළ වසරේ හොඳම නිළි භූමිකාවන් ලයිස්තුවේ තබූ ඉහලින්ම සිටියා.

තබූ ඇයගේ සිනමා දිවිය තුල බොහෝ සෙයින් මැද මාවත සහ කලාත්මක සිනමාව නියෝජනය කළත්, ඇයට ඇගයීම් ලැබූ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටද තිබෙනවා. ඉන් කිහිපයක් : Biwi No.1, Hum Saath-Saath Hain: We Stand United, Chachi 420, Iruvar, Hera Pheri, Kandukondain Kandukondain, Ninne Pelladutha, Golmaal Again, De De Pyaar De සහ Ala Vaikunthapurramuloo. මෙවැනි චිත්‍රපට තුල තබූට රඟපෑමට තිබුනු චරිතයේ තිරයේ දිස්වන කාල වේලාව සීමිත වූවත්, ඇය එම චරිතයන්ට උපරිම සාදාරණයක් කිරීමට සමත් වුනා. විශේෂයෙන්ම 2019 වර්ෂයේ තිරගත වුනු Bharat චිත්‍රපටයේ තබූ පෙනී සිටියේ කුඩා චරිතයෙන් වූවත්, චිත්‍රපටය තුල අමතක නොවන සංවේදී චරිතයක් ලෙස එය පරිවර්තනය කිරීමට තබූ සමත් වුනා.

තබූව ආමන්ත්‍රණය කිරීමට නිළිය යන යෙදුමට වඩා රංගන ශිල්පිනිය යන වචනය වඩාත් සුදුසුයි. කිසිදු සීමා මායිමකට යටත් නොවී ඕනෑම ආරෙක චරිතයක් ජීවත් කරවිය හැකි ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. ඇයගේ රංගන දිවිය තුල විවිද ආරයේ චරිතයන් රඟ දැක්වීමට ඇය සමත් වුනා. 2022 වර්ෂයට තබූට වයස අවුරුදු 52 ක්‌. අදටත් එදා සේම හින්දි සිනමාවට වැදගත් චරිතයක් ලෙස ඇය රැඳී සිටිනවා.

ඔබගේ මතය අනුව ඇය හින්දි සිනමාවේ 90 දශකයේ පටන් ජීවමාන වන හොඳම නිළිය ඇයද?.

මෙම සටහනට පාධක වුනු වීඩියෝව පහතින් :

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *