Suzhal: The Vortex Tamil Web Series | Sinhala Article

Suzhal: The Vortex Tamil Web Series (2022) by Gayan Gamage

සුළිය!

Suzhal: The Vortex (Tamil Language Web Series)

NO SPOILERS! බය නැතිව කියවන්න ?

ලංකාවෙ ජීවත්වෙන ඔබත් මමත් ප්‍රෙහේළිකා විසඳන්න පුලුවන් මානසිකත්වයකද ඉන්නෙ කියන එක නම් ලොකු ගැටළුවක්. ඒ තරම්ම ප්‍රශ්නවලින් මිරිකෙමින් ඉන්න කාලයක් මේක. හැබැයි ඔබ කැමති නම් පැය පහ හයකට ඒ ප්‍රශ්න ටික ටිකක් පැත්තකින් තියලා ප්‍රෙහේළිකාවක් විසඳන්න මම ඔබට යෝජනා කරනවා Suzhal: The Vortex නරඹන හැටියට.

ඔබට පුලුවන් පැත්තකින් තියපු ප්‍රශ්න ටික වෙනුවට අලුත් ප්‍රශ්න ගොඩකින් ඔලුව පුරවගෙන කතා මාලාව පුරාවටම ඒවාට උත්තර හොය හොයා වෙහෙසෙන්න. මම වගකීමෙන් කියනවා, ඔබ සෑහෙන උත්තර ප්‍රමාණයක් වරද්දගන්නවා. ඔබ වතාවක් දෙවතාවක් නෙවෙයි කිහිප වතාවක්ම නොමග යනවා. ඔබේ අනුමානකිරීම්, නිගමන එක පිට එක බිඳ වැටෙනවා.

ඔව් මේක එහෙම කතාවක්. ප්‍රේක්ශකයාව කිහිප වතාවක්ම උස්සලා පොලවේ ගහන විදියේ කතාවක්. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට twist තියෙන කතාවක්, එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කුතුහලය වැඩි වෙන විදියේ කතාවක්. හැම එපිසෝඩ් එකක්ම අවසන් වෙන්නෙ ‘ඒ මොකක්ද ඒ වුනේ?’ කියන හැඟීම ඉතුරු කරලා. ඉතින් ඔබට බෑ ඊළඟ එපිසෝඩ් එකට නොයා ඉන්න. ඔබ පළවෙනි එපිසෝඩ් එක බැලුවොත් එපිසෝඩ් 8ම බලලයි නතර වෙන්නෙ. ඒක මම වගකීමෙන් කියන්නෙ.

මේක Amazon Prime Video Original මිනි සීරීස් එකක්. විනාඩි 40-50 වගේ එපිසෝඩ් 8ක්. කතාව ලියලා තියෙන්නෙ විශාල සිනමා රසික ප්‍රසාදයක් දිනාගත්තු ‘වික්‍රම් වේදා’ රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ගයාත්‍රී-පුශ්කර් යුවළ. (අන්තර්ජාලයේ සඳහන් විදියට මුලු ආසියාවෙම ඔවුන් දෙදෙනා පමණයි විවාහක යුවළක් හැටියට ඉඳගෙන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නෙ) ඔවුන් දෙදෙනා කෙතරම් දක්ෂ අධ්‍යක්ෂකවරු වුනත් ඔවුන් මේ නිර්මාණයේ අධ්‍යක්ෂණය බාර දෙන්නේ Bramma G. සහ Anucharan Murugaiyan කියන අධ්‍යක්ෂකවරුන් දෙපළට. ඔවුන් ඒ කාරිය අකුරටම ඉටුකරලා තිබෙන බවත් මතක් කරන්නම ඕන.

කාතිර්, අයිශ්වර්යා රාජේශ්, ශ්‍රෙයා රෙඩ්ඩි සහ පාර්තිබන් රාධක්‍රිෂ්ණන් මුල් පෙළේ චරිතයන්හි තමන්ගෙ උපරිමයෙන් රංගනයේ නිරත වෙනවා. පසුබිම් සංගීතයෙන් කාතාන්දරයට අවස්තානුකූලව දෙන්න පුලුවන් impact එක මදි නොකියන්න දීලා තිබුනා. විශේෂයෙන්ම ඉන්දියාවෙ පාරම්පරික ඇදහිළි, ආගමික වත්පිළිවෙත් සහ යම් යම් සංස්කෘතික අංග එක්ක මුසු වෙද්දි කතාවෙ සමහර දර්ශනවල තිබ්බ උද්වේගකරබව, ත්‍රාසය, භීතිය සහ කුතුහලය කිහිප ගුණයකින් වැඩි වෙලා තිබුන විදිය හරි අපූරුයි.

කතාව ගැන මම මුකුත්ම නොකියා ඉන්නෙ කිසිම ආකාරයක ස්පොයිල් කිරීමක් කරන්න අකමැති නිසා. හැබයි මේ ටික මම කියන්නම ඕනෙ. මේ කතාන්දරය ඇතුළේ මිනීමැරුම් තියෙනවා, පැහැර ගැනීම් තියෙනවා, තර්ජනය කිරීම්, බිය වැද්දීම් තියෙනවා. ඒ වගේම මේ කතාන්දරේ ඇතුළේ ඔබව පුදුමකරවන තැන්, ඔබව අමන්දානන්දයට පත්කරවන තැන්, ඔබව කෝපකරවන තැන් වගේම ඔබව තදින්ම කම්පනයට පත්කරවන තැනුත් තියෙනවා. ඉතින් ඒ හැමදේටම මනස සූදානම් කරගෙනම කතා මාලාව නරඹන හැටියට පොඩි මතක් කිරීමක් විතරක් කරනවා.

සෑම සිනමා රසිකයෙක්ටම විශේෂයෙන්ම Thriller, Suspense ශානරයට වඩාත් ප්‍රිය කරන අයට කතා මාලාව නරඹන හැටියට ඉහළින්ම නිර්දේශ කරනමින් සටහන අවසන් කරනවා.

ඔබත් මේ සුළියට අහුවෙන්න, අහුවෙලා එන්න අපි කතා කරමු.

ගයාන් ගමගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *