Sunny (2021) Malayam by Luckshman Aranwala
88% liked this film Google users
ජයසූර්යා ගේ රංගන දිවියේ 100 වැනි චිත්‍රපටය නිමිත්තෙන් ඔන්න මිනිහා ආපහු තදටම බොන්න පටන් ගෙන. ‘Vellam’ (2021) ට පස්සෙ ඉතින් බොන චරිතයකට 100% ක්ම ගැලපෙන රංගන ශිල්පියා විදිහට ලේබල් වෙන එකත් සාධාරණයි. මේකෙදි හැබැයි බොනවට වඩා නිරූපණය කරන්න වෙන්නෙ බොන්න නැතුව අමාරුවෙන් ඉන්න විදිහ තමයි. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ලෝකෙට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වාතාවරණයත් චිත්‍රපට වලට එකතු කරගන්න මලයාලම් සිනමාව සමත් වුණා. Joji, Aarakkriyam වගෙ චිත්‍රපට වලිනුත් කොවිඩ් එක්ක සාමාන්‍ය ජනරටාව තුළ සිදුවන නව සාමාන්‍යකරණය මලයාලම් සිනමාවෙන් දැක්කා. මේ එහි තවත් පියවරක්.

මෙහිදී සනී කියන චරිතය කුමනාකාරයේ එකක්ද කියන එක තමයි මුලු චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබෙන්නේ. සිංගල් ලොකේෂන් එකක් සහ සිංගල් කැරැක්ටර් එකක් සහිත චිත්‍රපට ගණයට දාන්න පුළුවන්. අනෙකුත් චරිත සනී හා සම්බන්ධ වෙන්නේ දුරකථනයෙන් විතරයි. නීරෝධායනය නිසා සමීප සබඳතා පවත්වන චරිතයක් මේ තුළට ඔබන්නත් බෑනේ. දැඩි ආතතියකින්, නොරිස්සුමකින්, කලකිරීමකින්, අවුලෙන් වැනි චරිත ලක්ෂණ තමයි දකින්නට ලැබෙන්නේ. මේවාට හේතු කාරණා මොනවද යන්න දුරකථන ඇමතුම් ඔස්සේම ඉදිරියේදී අනාවරණය වෙනවා. එතෙක් අපිට ජයසූර්යා ගේ විශිෂ්ට රංගනයත් එක්ක ඒ දැඩි ආතතියකින් පෙළෙන මිනිසා ව අධ්‍යයනය කරන්නට, අවබෝධ කරගන්නට ඉඩක් ලැබෙනවා. ඒත් ඉතින් මෙච්චර පීඩනයකින් ඉන්න මනුස්සයෙක් මෙච්චර සුඛෝපභෝගී හෝටලයක් තෝරගත්ත එක ගැන කුතුහලයකුත් මතුවෙනවා. කොවිඩ් නිසා මේ ලෝකෙම මිනිස්සු කාලෙ ගත කරන්නෙ යටි හිතේ පැසවන මොකක්මහරි නොරිස්සුමක් එක්ක බව රහසක් නෙමේනේ. අපේ ජීවිතේ මොකක්මහරි හරි දේකට සෘජුවම හෝ වක්‍රව බාධාවක් එල්ල වෙනවාමයි. හැබැයි සනී ගේ වාතාවරණය ඊට වඩා සෑහෙන්න වෙනස් සහ දරුණුයි.
චිත්‍රපටය වඩාත්ම සිත්ගන්නා එකක් වෙන්නට ජයසූර්යා ගෙ රංගනයත් ලොකු හේතුවක් වෙනවා. මනුස්සයෙක් මානසිකව පීඩා විඳිනා ආකාරය වඩාත් සොබහවික වින්‍යාසයකින් ඔහු විසින් ඉදිරිපත් කරනවා. අධ්‍යක්ෂකවරයා එක්ක සම නිෂ්පාදනයටත් ඔහු දායක වෙනවා. හැබැයි කතන්දරය ගොඩනංවා තිබෙන ආකාරය තුළ තමයි මෙහි සාර්ථකත්වය අඩංගු වෙන්නේ. මුලිනුත් සඳහන් කළා වගේ සිංගල් ලොකේෂන්, කැරැක්ටර් එකක් එක්ක කතාවක් කියන එක අභියෝගයක්. පර්‍යේෂණාත්මක මට්ටමේ නිර්මාණ වෑයමක්. උඩ තට්ටුවේ අදිති වත් පෙනෙන නොපෙනෙන ගානකට දායක කරගෙනම සනී ගේ අඳුරු ජීවිත කතාව අපිට ඉදිරිපත් කරන ආකාරය තුළ පවත්නා අපූර්වත්වයක් එක්ක වසරේ හොඳම මලයාලම් සිනමා අත්දැකීමක් ලබන්නට හැකිවෙනවා නොඅනුමානයි.
