Sulanga Matha Mohothak
සුළඟ මත මොහොතක්
“නොයෙක පැහැය වපුරා
පුදසුන සඟවා
සෙනෙහස වපුරා……”
ජීවිතේ කියන්නෙ සුළඟ මත මොහොතක් නම්, ආදරේ කියන්නෙ ඒ වගේ ජීවිතේකින් ණයට ගත්තු හුස්මක්.
බොහෝ කලකට පසු ඔවුහු යළිත් හමුවූහ.
“චාරු, ඔයාට කොහොමද?”
ඇගේ නෙත් බිමට හැරවී තිබුණේ කියාගත නොහැකි දහසක් කතාවල බර උසුලාගැනීමට මෙනි.
“චාරු, ඔයා හොඳින් ද?”
එක්වරම ඇය සිය දෑස එසවූවා ය.
ඔහුගේ පැනයන්ට සෑම පිළිතුරක්ම එම දෑස්වල පැහැදිලිව සටහන් වී තිබුණි. ඒ සියල්ල වටහාගැනීමට ඔහුට ගත වූයේ එක් කුඩා නිමේෂයක් පමණි.
ඉන්පසුව නිහැඬියාවක්……
එහෙත් ඒ නිහැඬියාවට පවා ආවේණික බසක් විය.
ඒ කුඩා නිමේෂය ද කල්පයක් සේ ඔවුනට හැඟෙන්නට ඇතුවා නිසැක ය.
වසර ගණනාවකට පසුව ද ඔහු ඒ දෙනෙතෙහි බස හැඳිනුවේ ය.
එය “ප්‍රේමය” නොවේ යැයි කිව හැක්කේ කාටද?
ප්‍රේමයට ඇත්තේ කෙටි නිමේෂයන් ය. නමුත් එහි මතකයන් ඉතා දිගු ය.
“ප්‍රේමය” කිසිදා පහසුවෙන් පරාජය වන්නක් නොවේ. එක් වරක් හෝ ඔබ සැබෑවටම යමෙකුට ප්‍රේමකර ඇත්නම්, කිසිදා ප්‍රේමයෙන් පරාජිතයෙකු වන්නේ නැත. ප්‍රේමයේදී සිදුවන්නේ මගහැරීම්, අත්හැරීම්, සහ අහිමිවීම් පමණි. නමුත් ඒ කිසිවකින් ඔබ ප්‍රේමයෙන් පරාජිතවූවකු බවට හැඟවෙන්නේ නැත.
ඇය/ ඔහු නැතත් “ප්‍රේමය” තවදුරටත් ජීවත් විය යුතු ය.
“මහත්තයා,
මොකද මේ කළුවරේ?
මහත්තයා අඬනවනේ…ගෑනු ළමයා මහත්තයට ආදරේකරන එක නවත්තන්න ඇති…….
ප්‍රේමය කාවවත් අයිති කරගන්නෙ නෑ මහත්තයා. ඇයි දන්නවද? ප්‍රේමය කාටවත් අයිතිකරගන්න බැරි හන්දා. ප්‍රේමය ප්‍රේමයට විතරමයි. අපි ප්‍රේම කරන්න ඕන අපිට බාධාවක් ඇතිනොවෙන විදියට. මෙතන ඉදලා වැවට පනින්න හිතන්න එපා. අඬලා දුක තුනී කරගෙන ගෙදර යන්න. අද අපි අතහැරියා වගේ පේන දේ හෙට අපිව බලාපොරොත්තු වන වග කවුරු දන්නවද?”
ජීවිතය සුළඟ මත මොහොතක්ම වන්නේ ද ඒ නිසාවෙන්ම ය. අද අප සමීපයේ තිබූ දේ හෙට අප වෙතින් බොහෝ දුර ඈතකට ගසාගෙන ගොස් තිබිය හැකි ය. අද අප සමීපයේ තිබූ දෙයක් වෙනුවෙන් හෙට අපට වැළපීමට සිදු විය හැකිය. අද අපෙන් දුරස් වී ගිය දෙය, හෙට අප වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටීමට ද ඉඩ ඇත.
ප්‍රේමය මේ සියල්ල අතර සැරිසරමින් වරෙක ආනන්දයෙන් ද, තවත් වරෙක වේදනාවෙන් ද අපගේ හදවත් මුසපත්කරමින් ජීවිතය බලාපොරොත්තුවෙන් පුරවාලයි.
“අපි හරියට මීදුම වගේ. සුළඟ වගේ මතකයේ අරුණාලෝකය තුළින් අපි නැවත එක්වෙමු. එක්වී කතා කරමු. එවිට ඔබ මට ඇහෙන්නට වඩාත් ගැඹුරින් ගීතයක් ගායනා කරනු ඇත….”
ඒ ගීතයේ ගැඹුර මතක මාවත ඔස්සේ අනන්තය තෙක් නොපෙනෙනා ඉමක් දක්වා විහිදී යනු ඇත. එය නිහඬතාවය තුළින් ද ඔබ, මා ආමන්ත්‍රණය කරනු ඇත. එවිට අරුමැසි හැඟීමක පහන් එළි දැල්වුමෙන් ඔබේ හදවත ද, ආත්මය ද ආලෝකවත් වී බබළනු නිසැක ය.
“ඔබ දුකින් පසුවන්නේ නම් යළිත් ඔබේ හදවතට එබී බලන්න. එවිට ඔබ ඇත්තවශයෙන්ම හඬාවැටෙන්නේ වරෙක ඔබගේ ආනන්දය වී තිබූ දේ වෙනුවෙන් බව ඔබට වැටහෙනු ඇත.”
ප්‍රේමය යනු හිමිවීම නොවේ. අහිමිවීම ද නොවේ. අත්කරගැනීම හෝ අත්වීම ද නොවේ.
ඉඳින්,
අප ප්‍රේම කළ යුතු ය. ප්‍රේමය වෙනුවෙන් ප්‍රේම කළ යුතු ය.
ප්‍රේමය හඳුනන්නෝ ඇවිලීමේත් නිවීමේත් රසය හොඳින් ස්පර්ශ කළ අය වෙති. “ප්‍රේමය” යනු හුදෙක් “ඇවිලීමක්” පමණක්ම නොවන බැව් මැනවින් අවබෝධකරගත්තෝ වෙති. එබැවින් ප්‍රේමය හඳුනන්නෝ සැමදා නිවුණාහු වෙති.
“හාංකවිසියක
රැලි නගයි සුසුම
ගහකොල මල වැල
දවටා දොම්නස
සුලඟට සැරසි
යලිඳු පණ වෙව්ලුවයි…
නොයෙක පැහැය වපුරා
පුදසුන සඟවා
සෙනෙහස අතුරා
දෙතොල් සැරසිලා
පැහැදිලි සිව්රැවමක
නාදේ…
හඬයි නිහඬවම
විසංවාදි ස්වර නිදිබරයි
තරු ලකුණක දුර දකින
අහස උසට කොත බැඳෙන
ආදරය….
ආදරය….
ආදරය….
ආදරය….”
(පද රචනය – ඩබ්ලිව්. ජයසිරි
ගායනය සහ සංගීතය – කසුන් කල්හාර)
**********************************************

ටෙලිනාට්‍යය – “සුළඟ මත මොහොතක්”
අධ්‍යක්ෂණය – රුක්මල් නිරෝෂ්
රූපවාහිනී රචනය – ප්‍රියංකර රත්නායක
නිෂ්පාදනය – වසන්ත බණ්ඩාර
රංගනය – සාරංග දිසාසේකර
තිසුරි යුවනිකා
බිමල් ජයකොඩි
මහේන්ද්‍ර පෙරේරා
කෞශල්‍යා ප්‍රනාන්දු
චාන්දනී සෙනවිරත්න
ඩබ්ලිව්. ජයසිරි