Subete ga F ni Naru (2015) Japan | Sinhala Article

‘Subete ga F ni Naru’ (Evertything Becomes F: The Perfect Insider) – 2015 Luckshman Aranwala

ජීවිතේ ප්‍රථම වතාවට නැරඹූ Japanese anime series එක තමයි මේ. ලොකු උනන්දුවක් මුලදී තිබුණේ නැති වුණත් ඉදිරියට ගලා ගෙන ගිය කතන්දරේ මාව හොල්මන් කරා කිවුවොත් හරි. මොකද කතන්දරය උපරිම කුතුහලයකින් යුක්ත වූ නිසා. අනික මේ තුළ හැම දේම අඩංගුයි. ප්‍රධාන වශයෙන් අභිරහස් ඝාතනයක් සහ ගුප්ත කාන්තා චරිතයක් තමයි කථාවේ කේන්ද්‍රස්ථානය වෙන්නේ. ඇයව හඳුන්වන්නේ Dr. Magata නමින්. ඇගේ වර්තමාන කතාව සහ අතීත කතාව කියන දෙකම බොහොම ගුප්තකාරීයි. මේ චරිතය ගොඩනැගීමේදී යොදා තිබෙන නිර්මාණාත්මක අගය ඉතා ඉහළයි. කතන්දරය තුළට Mystery, psychological, thriller, personality disorder, violence, mind bending ආදී හැම දෙයක්ම එකතු වෙන්නේ මුලිනුත් සඳහන් කල කුතුහලය කියන දේ උපරිමයෙන් රඳවමිනුයි. ඒ හින්දම මුළු සිද්ධි මාලාවම Unpredictable බවකින් සමන්විතයි.
සිදුවීම වෙන්නේ කෲරතරව සිදු වූ ඝාතනයක සුළ මුල සෙවීමයි. ඝාතනය සිද්ධ වෙන්නේ කිසිවකුටත් කිසිම විදිහකින් ඇතුළට යා නොහැකි, ඇතුළින් පිටතට පැමිණිය නොහැකි, ආරක්ෂක කැමරාවන් පැය 24ම ක්‍රියාත්මක වන අධි ආරක්‍ෂිතව නිමවුණු කාමරයක. තමා විසින්ම සිය දිවි නසාගන්නවා හැරෙන්නට වෙන කිසිම ක්‍රමයක් නැහැ ඝාතනයක් සිදු වන්නට නම්. එහෙනම් කොහොමද මේ කෲර ඝාතනය සිද්ධ වුණේ කියන එක තමයි කුතුහලය. මළ සිරුරේ දෑත් දෙපා පවා සිරුරෙන් වෙන් කරලා. මේ තරම් අධි ආරක්ෂාවක් සහිත පරිසරයක ඝාතන තැතක් සිදු කරනවා නම් එය ක්ෂණිකව සිදු කල යුතුයි. අංග සම්පූර්ණ පරිගණක පද්ධතියක් විසිනුයි සියල්ල නිරීක්ෂණය වෙන්නේ. මළ සිරුරක් කැබලි කොට මරා දමන්නට තරම් කාලයක් කොහොමටවත්ම ලැබෙන්නේ නෑ මේ අධිආරක්ෂාව යටතේ. නමුත් හැමදෙනාම උඩුයටිකුරු කරවමින් එහෙම දෙයක් සිද්ධ වෙලා. සිද්ධිය වෙනකොට හැමෝම ඉන්නේ එකට නිසා සැක කරන්නටත් කවුරුත් නැහැ. එකම එක හෝඩුවාවක් පමණක් ඉතිරිව තිබෙනවා. ඒ තමයි “Evertything Becomes F” නමින් පරිගණකයේ සටහන් වන පාඨයක්. මේ කියමනේ තේරුම හොයාගත්තොත් මේ අභිරහස විසඳන්නට හැකි වේවි කියලයි හැමෝගෙම අදහස වෙන්නේ. ඒ නිසාම තරමක Horror ගතියකුත් කතන්දරේට ඉබේම ඇතුළත් වෙලා.
සියලුම කාරණා සලකා බලන කල්හි, ගැටලුව නිරාකරණය කරගැනීමට අවශ්‍ය වෙන්නේ බොහොම තීක්ෂණ මනසක්. ඒ වෙනුවෙන් තවත් අපූරු චරිත සුසංයෝගයක් මේ හා සම්බන්ධ වෙනවා. ආචාර්ය Souhei Saikawa සහ ශිෂ්‍යාව Moe Nishinosono. කතන්දරයේ අභිරහස් බවටත් වඩා ලොකු උද්යෝගයක් ගෙන එන්නේ මේ දෙන්නගේ ආකර්ෂණීය බැඳීමම තමයි. ඉතාම බුද්ධිමත් Saikawa සහ දඟකාර නමුත් සුපරික්ෂාකාරී Nishinosono තමයි මේ අභිරහස විමර්ශනය කරන රහස් පරීක්ෂක කණ්ඩායම බවට පත් වෙන්නේ. නමුත් කිසිම අගක් මුලක් නැහැ අභිරහසක් පමණක් වන ඝාතන සිදුවීමේදී. මෙහිදී දෙදෙනා විසින් යෙදිය හැකි සෑම උපක්‍රමයක්ම ක්‍රියාත්මක කරනවා ඔවුන්ගේ බුද්ධිය යොදවමින්. විශේෂයෙන්ම අංක ගණිතමය පැත්තෙන් සෑහෙන ලොකු අනාවරණයක් සිදු කරගැනීමයි ඔවුන්ගේ වෑයම. ඒ නිසා කතන්දරය තුළ වන නිර්මාණාත්මක මට්ටම ඉතාමත්ම බුද්ධිමත් සැකිල්ලක් මත ඔප මට්ටම් කොට තිබෙනවා. ප්‍රේක්ෂක අපටත් සිද්ධ වෙනවා අපේ මනස වෙහෙසවන්නට ඔවුන් විසින් ගොඩනගන තර්ක සහ පැහැදිලි කිරීම් තේරුම් ගන්නට නම්. මොකද අංක ගණිතය කියන දේට පොදුවේ අපි කාගේත් තිබෙන ආශාව සාමාන්‍යයෙන් අඩු නිසා. විශේෂයෙන්ම “දහසයේ පාදයේ සංඛ්‍යා” වැනි කාරණා එක්කයි මිණීමරුමක සුළ මුල සොයන්නට තිබෙන්නේ. ඒ නිසා අංක ගණිතයට අපි අලුතෙන්ම ඇලුම් කරාවි මේ සමඟම. එක් කොටසක් විනාඩි 20ක් වැනි කාලයකට සීමා වන නිසා කොටස් 11කින් යුත් මුළු කතා මාලාවම එක දිගට කිසිම අලසකමින් තොරව එක හුස්මට නරඹන්නටත් හැකියි.
****************************************************
Directed by
Mamoru Kanbe
Produced by
Yuka Okayasu
Shōki Niwa
Written by
Toshiya Ōno
Music by
Kenji Kawai
Country
Japan

Language

Japanese

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *