Stranger – Season 2 (2020) Korean Tv Series | Sinhala Article

Stranger – Season 2 (2020) by Luckshman Aranvala

නැරඹූ හොඳම කොරියන් ඩ්‍රාමා එකක් වන Stranger Season 1 ගැන මීට කලින් පළ කරපු සටහනක මම සඳහන් කළා මෙතෙක් බලපු හොඳම කොරියන් ඩ්‍රාමා 3 අතරේ දෙවෙනි ස්ථානය මම Stranger ට දෙනව කියල. ඒ අනුව ප්‍රථම ස්ථානය My Mister (2018), තෙවන ස්ථානය Beyond Evil (2021) විදිහටයි මගේ පෙළගැස්ම වෙන්නේ. මේ කතා ත්‍රිත්වය ඉහළින්ම රෑන්ක් කරන්නේ කතාව, තිරරචනය සහ රංගනයන් ගැන සලකලයි. අධ්‍යක්ෂණයේ ගුණාත්මක බව ගැන වෙනම සඳහන් කරන්න අවශ්‍ය නෑ. මේ කතන්දර වලින් ලැබූ විස්මය නිසාමයි කොරියන් ඩ්‍රාමා වල රියලාස්ටික් ප්ලොට් ඇරෙන්න අනෙකුත් ෆැන්ටසි හෝ හිස්ටොරිකල් වර්ගීකරණයන් කෙරෙහි හිත නොබැඳෙන්නේ. මේ වගේ ඒවා බලනකොට හැමතිස්සෙම හිතෙන්නේ මුං කොහොමද අප්පා මෙහෙම කතා ලියන්නේ කියලයි. නැරඹූවෝ දනිති.

ස්ට්‍රේන්ජර් දෙවෙනි සමය ආරම්භ වෙන්නේ වසර දෙකකට පස්සෙයි. කතා නායකයා Hwang Si-mok සහ කතා නායිකාව Han Yeo-jin ආපහු සැරයක් මුණගැහෙනවා දෙන්නා නියෝජනය කරනා වෘත්තීය පාර්ශවයන් දෙකේ සුවිශේෂී අවස්ථාවක් වෙනුවෙන්. ඇත්තටම ඒක ගැටුමක්. Investigation rights සම්බන්ධයෙන් Prosecution සහ Police දෙපාර්තමේන්තු අතර කාලාන්තරයක් තිස්සේ පවතින මතභේදයක් නිරාකරණය කරගන්නට දෙගොල්ලෝ රැස්වෙලා. අපේ දෙන්නත් එකිනෙකාට එරෙහිව දෙපැත්තට වැටිලා. හැබැයි පස්සෙ දෙන්නටම එකට එකතුවෙන්න වෙනවා කලින් සීසන් එකේදි වගේම විශේෂ විමර්ශන කටයුත්තක් සඳහා.

මෙතනදී මේ කතන්දරයට වඩාත්ම ප්‍රිය කරන්නට ප්‍රධානතම කාරණාව වෙන්නේ prosecutor Hwang Si-mok ගෙ චරිත විස්තරය නිසාම තමා. තමන්ගෙ වෘත්තීය සම්බන්ධයෙන් ඔහු ප්‍රවීණයෙක් නමුත් සමාජශීලී බව අතින් නම් ගුප්තකාරී චරිතයක්. කලින් සීසන් එකෙදිත් නරඹන්නා විදිහට ලාවට වගේ බලාපොරොත්තුවක් දැල්වුණා පොලිස් නෝනා Han එක්ක මොකක්මහරි පටලැවිල්ලක් ඇතිවෙයිද කියලත්. දැන් දෙවෙනි සීසන් එකෙදිත් යාංතං කොළ එළිය නිවි නිවී දැල්වෙන බවකුත් පේනවා. සාමාන්‍යයෙන් දෙන්නව ගත්තම දෙන්නම එකම ශරීරය බෙදාගන්නා මොළය සහ හදවත වගේ. ඒ බැඳියාව එහෙමම තියෙන අතරෙදි ඩිටෙක්ටිව් පැත්ත ප්‍රබලව ආවරණය කරනා සිදුවීම් මාලාවක් එක්ක ප්‍රේක්ෂකයාට හොඳ ත්‍රාසයක් සහ කුතුහලයක් අත්විඳින්නට ලැබෙනවා.

දියේ ගිලී යාමෙන් සිදුවූ මරණ දෙකක්, සියදිවි නසාගැනීමක්, ස්වාභාවිකව සිදුවූ මරණයක් සහ පැහැරගැනීමක් කියන අභිරහස් පරීක්ෂණ හතරට මැදිවෙන්නට අපේ දෙන්නට සිද්ධ වෙනවා. ඒ කිසිවක්ම පළමු සීසන් එකට සෘජුවම සම්බන්ධ නැති නමුත් එතනදී බොහොම බලසම්පන්න පාර්ශවයක් නියෝජනය කළ හැන්ජෝ සමාගම මෙහිදීත් හොල්මන් කරනවා. පළමු සීසන් එකේදි සිද්ධ වෙච්ච ජරමර එක්ක සමාගමේ හිමිකාරීත්වයේ වෙනසක් සිද්ධ වෙලා තියෙන නිසා මෙවර බලපෑම වැඩියිද මන්දා. කොහොම නමුත් Si-mok සහ Han දෙන්නගෙ ප්‍රධාන බාධාව සමාගම නම් නෙමේ. සුපුරුදු පරිදි තමන්ගෙම වෘත්තීය පාර්ශවයෙන් තමා. Si-mok කියන්නෙ කොහොමත් තමන්ගෙ ලොක්කොන්ගෙන් කුණු බැණුම් අහගෙන වුණත් ඔළුව පාත් කරන කෙනානේ. ඒ හැබැයි තමන්ට ඔළුව උස්සන්න නිවැරදිම මොහොත උදාවෙනකන් විතරයි. මෙහිදී ඒ උච්චස්ථානය සනිටුහන් වන අවස්ථාව තදින්ම දැනෙනවා.

ඒ වගේම දෙන්නටම තමන්ගෙ වෘත්තීය පරිසරය නිසාවෙන් එල්ල වන පීඩනයත් දැඩියි. ඒ ඇසුරෙන් වෙනම විස්තරයක් දිගහැරෙනවා. එන්ඩින් එකත් සනිටුහන් වෙන්නේ ඒ කාරණාව පෙරදැරි කරගෙනයි. මේ දෙවෙනි සීසන් එක නිසා ඒ අවසානය ප්‍රේක්ෂකයා ආදරයෙන් බලන් ඉන්නා අවසානයක් විදිහට වෙනස් වුණත් කමක් නැහැ කියල හිතුණා. හැබැයි සීසන් 3 ක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම බුලින් කියන කාරණයත් අනුවේදනීයව ඉදිරිපත් කරනවා වෙනම විස්තරයක් විදිහටත්. ප්‍රධාන වශයෙන්ම ඉහළ නිලධාරීන්ගේ අනිසි බලපෑම්, වෘත්තීමය බලතල අනිසි ලෙස භාවිතා කිරීම්, බළලුන් ලවා කොස් ඇට බෑවීම් වැනි පළමු සීසන් එකේදිත් හමු වූ සිදුවීම් එලෙසින්ම නොඅඩුව මෙහිදීත් දක්නට ලැබෙනවා. ඒ සෑම දෙයක් එක්කම විශිෂ්ටතම රියලාස්ටික් කොරියන් ඩ්‍රාමා එකක් උපරිම රස විඳගන්නට හැකිවෙනවා.

****************************************************

Directed by
Park Hyun-suk

Written by
Lee Soo-yeon

Producers
Park Eun-kyung
Seo Jae-hyun

Starring
Cho Seung-woo
Bae Doona
Lee Joon-hyuk
Yoon Se-ah
Jeon Hye-jin
Choi Moo-sung

Cinematography
Jang Jong-kyung

Theme music composer
Kim Jun-seok

Opening theme
Stranger
Composers
Kim Jun-seok
Jung Sae-rin

Country of origin
South Korea

Original language
Korean

No. of episodes
16

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *