Stranger – Season 01 (2017) by Luckshman Aranvala
මෙතෙක් නැරඹූ හොඳම කොරියන් ඩ්‍රාමා ත්‍රිත්වයට ඇතුළත් කරන හොඳම සීරීස් එකක්. මේ කතා කරන්නේ නම් සීසන් 1 ගැන විතරයි. කොරියන් සීරීස් මහ ගොඩක් බලල නැති නිසාම බලන්න තෝරගන්නෙත් හොඳම යැයි සම්මත ඒවාමයි. ඒ අනුව දැනට අංක 1 My Mister, අංක 2 Stranger සහ අංක 3. Beyond Evil ලෙසින් පෞද්ගලිකව රෑන්ක් කරනවා. මේ ත්‍රිත්වයම බලපු අය සම්පූර්ණයෙන්ම එකඟ වෙයි මේ කතන්දර තුනෙන්ම හමුවන ප්‍රධාන රංගන ශිල්පියාගේ අති විශිෂ්ට රංගන වින්‍යාසය සම්බන්ධයෙන්. ඒ වගේම කොරියානු සීරීස් සම්බන්ධයෙන් ගත්තම ෆැන්ටසි කාරණා වලට වඩා රියලාස්ටික් ප්ලොට් කෙරෙහි වැඩි ඇල්මක් ඇති නිසාමත් ස්ට්‍රේන්ජර් ව ඉහළින්ම තබන්නට ලොකුම හේතුවක්.
අධිකරණය පද්ධතියට අයත් Prosecutor කියන තනතුර සම්බන්ධයෙන් අදාළ වන වෘත්තීමය කාර්යභාරය ගැන වැඩිම විස්තර ප්‍රමාණයක් මුලින්ම දකින්නට ලැබුණේ මේ තුළිනුයි. ප්‍රධාන චරිතය වෙන්නේ prosecutor රාජකාරිය අකුරටම ඉටු කරනා අයෙක්. අසාධාරණට එරෙහි, අල්ලසට නොනැමෙන, තීක්ෂණ බුද්ධියකින් හෙබි, දූෂණයට එරෙහිව තදින් ක්‍රියා කරන්නට නොපසුබට මුත් රාජකාරියේදී ඉතාම සන්සුන් ඇවතුම් පැවතුම් ඇති අයෙක්. පළමු එපිසෝඩය ආරම්භයේදී ම ඔහු සතු අසාමාන්‍ය හැකියාවක් ගැනත් විස්මිත කාරණාවක් ඉදිරිපත් කරනවා. ඔහුගේ රාජකාරියේ දී ඒ හැකියාවෙන් සූක්ෂමව වැඩ ගන්නා අයුරුත් දකින්නට ලැබෙනවා. ඊටත් වඩා අපරාධ විමර්ශකයෙක් විදිහට ඔහු තුළ පවත්නා සන්සුන් සොබහවයම තමයි වඩාත්ම කැපී පෙනෙන්නේ. ඉහළින් කොතෙකුත් එල්ල වන බලපෑම් සැඩ මාරුතයන් සේ හමද්දීත් ඔහු නෙමේ බිඳක්වත් සැලෙන්නේ. ඒකම තමයි. ඔහුව මැඩලන්නට උත්සහ කරනා ඉහළ බලධාරීන් ට තිබෙනා ලොකුම හිසරදය වෙන්නේත්.
කතන්දරයේ පූර්ණ අවධානය දිනාගන්නට සමත් චරිත විස්තරයක් රංගන ශිල්පී Cho Seung-woo වෙනුවෙන් සැදුම් ලබද්දී ප්‍රේක්ෂකයා ට තවත් දිශාවකට අවධානය යොමු කරන්න සිදුවෙනවා අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Bae Doona විසින් නිරූපණය කරනා පොලිස් පරීක්ෂකවරියගේ චරිතය වෙතටත්. අපරාධ පරීක්ෂණය අතරතුරදී ගොඩනැගෙන දෙන්නගෙ කෙමිස්ට්‍රි එක ඉතා ආකර්ෂණීයයි. හැබැයි දෙන්නගෙ හැසිරීම් රටාවන් නම් අහසට පොළව වගෙයි. අභිරහස් ඝාතනය නිරාකරණය කරගන්නට, ඉහළ බලාධිකාරයන් එක්ක මුහුණට මුහුණ ගැටෙන්නට, එල්ල වන සියලුම බාධක හමුවේ පරීක්ෂණය අතනෑරම සිටින්නට මේ දෙන්නම එකට එක්ව ගන්නා අතිමහත් වෙහෙස හොඳින්ම ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම ඉහළ බලධාරීන් ගේ බලපුළුවන්කාරකම් හමුවේ යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න එකම ලොකුම අභියෝගයක්. රට තුළ බලපැවැත්වෙන එවන් අදිසි හස්තයන් හා ගැටෙන එකම ලොකුම සටනක්. ඒ අනුව මේ දෙන්නගෙ ප්‍රධානත්වයෙන් ඒ සටනට එරෙහිව සන්නද්ධ වන කණ්ඩායමක සූක්ෂම ක්‍රියාන්විතයක් මේ ඔස්සේ දකින්නට පුළුවන්.
අභිරහස් ඝාතනයක් පසුපස හඹා යන ත්‍රාසජනක කතන්දරයක් විදිහට ගත්තොත් නම් ගලායාම තරමක මන්දගාමීයි කියල හිතෙන්නත් පුළුවන්. මුල්ම කොටස් වලදී උද්වේගකාරී අවස්ථාවන් ඇත්තේම නැති තරම්. ප්‍රධාන චරිත විස්තරයත් ඉතාම ශාන්ත දාන්න අයෙක් නිසාම එවන් මන්දගාමී ගලායෑමක් තමයි වඩාත්ම ගැලපෙන්නේ කියල කියන්නත් පුළුවන්. හැබැයි ඔහුගේ අතිශය සන්සුන් බව බිඳෙන අවස්ථාවන් නැතුවාමත් නෙමේ. සංයමයකින් යුතුව නරඹන්නට සිදු වන අතරේදී එක්වරම උච්චස්ථානයන් කරා ප්‍රවේශ වන අවස්ථාත් එමටයි. ඉතින් කතන්දරයේ සැබෑම ත්‍රාසය රැඳෙන්නේ එවිටයි. ඉන් වඩාත් ඉස්මතු වෙන්නේ තිරරචනයේ ගුණාත්මක බවම තමයි. නරඹන්නාව අසීමාන්තිකව කුල්මත් කරවමින් කුතුහලය උපරිම මට්ටමින් රැඳවෙන ගලායෑමකට බොහොම සෙමින් සම්ප්‍රාප්ත වන රටාව නිසාම ට්විස්ට් කඳු පිටින් ගොඩගැහෙන වෙනත් කොරියානු සීරීස් වලින් ලබනවාට වඩා වෙනස්ම උසස්ම වින්දනයක් මින් ලබන්නට හැකිවුණා. ඒ නිසාම ගුණාත්මක කොරියන් සීරීස් හඹා යන අයට පමණක් ඉහළින්ම නිර්දේශ කරනවා.
*****************************************************
Created by
Studio Dragon
Written by
Lee Soo-yeon
Directed by
Ahn Gil-ho
Yoo Je-won
Creative directors
Kim Suk-won
Kim Sung-kyoon
Executive producers
Lee Chan-ho
Min Hyun-il
Go Byung-chul
Lee Sung-jin
Producers
Park Eun-kyung
Seo Jae-hyun
Starring
Cho Seung-woo
Bae Doona
Lee Joon-hyuk
Yoo Jae-myung
Shin Hye-sun
Jeon Hye-jin
Choi Moo-sung
Yoon Se-ah
Cinematography
Jang Jong-kyung
Composers
Kim Jun-seok
Jung Sae-rin
Country of origin
South Korea
Original language
Korean