Star Wars: A long time ago in a galaxy far, far away Ep 03 by Indeewari Herath
Star Wars Character- II
පෙර ලිපිය තුළින් අපි prequel චිත්රපටි තුන තුළින් අපට හමුවන ප්රධාන චරිත ගැන කතා කලා. අද අපි බලමු original trilogy එකෙන් අපිට හමුවන්නේ කවුද කියලා. ඉස්සරලම තියටර් රිලීස් වුනේ මේ original trilogy එක. නමුත් දැන් skywalker saga එක සම්පූර්ණ නිසා අපිට episode I ඉඳලා පිළිවෙලට පහලට එන්න පුලුවන් කම ලැබිලා තියනවා.
Original Trilogy එකේ තියන චිත්රපටි තුන:
Episode IV- A new hope(1977)
Episode V – The Empire Strikes Back(1980)
Episode VI – Return of the Jedi (1983)
(මේ චිත්රපටි තුන ගැන ඉදිරියේදී විස්තර ඇතුව කතා කරමු.)
Leia Skywalker Organa Solo සහ Luke Skywalker
ලෙයා සහ ලූක් කියන්නේ පාඩ්මේ සහ ඇනිකන් ස්කයිවෝකර් යුවළගේ නිවුන් දියණිය සහ පුත්රයා. ඔවුන්ගේ උපතත් සමග පාඩ්මේ මිය යාම සහ ඇනිකන් Sith lord කෙනෙක් බවට පත් වීම නිසා දරුවෝ දෙන්නා එක්තරා විදියක අනාථ භාවයකට පත් වෙනවා. ලෙයා සහ ලූක්ගේ උපතත් සමග ඔවුන්ව Sith lords ඩාත් සිඩියස් සහ ඩාත් වේඩර්ගෙන් බේරා ගැනීම සඳහා අප්රසිද්ධියේ වෙන වෙනම ඇති දැඩි කළයුතු බව තීරණය වෙනවා. එහිදී Alderaan පාලනය කරන Senator Bail Organa සහ ඔහුගේ බිරිඳ විසින් ලෙයාව හදාවඩා ගැනීමට බාරගන්නවා. ඇය Alderaan royal family එකේ සාමාජිකාවක් බවට පත්වීමත් සමග Princess Leia Organa ලෙස නම් ලබනවා.
ඕබි-වැන් විසින් ලූක් ස්කයිවෝකර්ගේ භාරකාරීත්වය දරමින් ඔහුත් රැගෙන ටැටූයින් ප්ලැනට් එකට යනවා. එහි සිටින ලූක්ගෙ පියාගේ ඥාති සහෝදරයෙක් වන Owen Lars සහ ඔහුගේ බිරිඳ Beru වෙත දරුවා භාරදෙන ඕබි-වැන් ලූක් ගැන අවධානයෙන් යුතුව බෙන් කෙනෝබි ලෙස අප්රසිද්ධ ජීවිතයක් ගත කරනවා.
ලූක්ට වයස අවුරුදු දහනවයේදී පමණ ඔහු සහ ඕබි-වැන් හැන් සෝලෝගේ මිලේනියම් ෆැල්කන් යානයෙන් ඩෙත් ස්ටාර් වෙත ගොස් ඩාත් වේඩර් විසින් එහි සිරකර සිටින Princess Leia Organa ගලවාගනු ලබනවා.
ලෙයා හැන් සෝලෝ සමග විවාහ වෙනවා. අැය වඩාත්ම ප්රසිද්ධ වන්නේ දේශපාලන ක්රියාකාරිනියක් ලෙසයි. Republic Alliance එක නැවත ගොඩනැගීම සඳහා ඇය විසින් සුවිශේෂී කාර්යභාරයන් ඉටුකරනු ලබනවා. ජෙඩායි මාස්ටර් යෝඩා යටතේ ජෙඩායි පුහුණුව ලබන ලූක් එයින් කලකට පසුව ජෙඩායි පුහුණු පාසලක් ආරම්භ කරනවා. ලෙයාත් ඇගේ සහ හැන් සෝලෝගේ දරුවන් සියලු දෙනාමත් ලූක් යටතේ ජෙඩායි පුහුණුව ලැබූ බව ස්ටාර් වෝස් නවකථා වල සඳහන් වෙනවා.

හැන් සෝලෝ
හැන් සෝලෝ ඉපදුනේ Corellia කියන ප්ලැනට් එකේදි. කුඩා වයසෙදිම අනාථ දරුවෙක් බවට පත් වෙන හැන් Imperial Cadet නිලධාරියෙක් විදියට පුහුණුවට බැඳෙනවා. ඔහුගේ නමට සෝලෝ කොටස එකතු වෙන්නේ එතනින්. නමුත් එයිනුත් ඔහුව නෙරපා හරිනවා. පසුකාලීනව Jabba the Hutt කියන මහාපරිමාණ හොර බඩු ජාවාරමකරු යටතේ ජාවාරම්කරුවෙක් බවට පත්වෙනවා. නමුත් ඇත්තටම හැන් කරන්නේ තේරෙන බාසාවෙන් කිව්වොත් ‘Jabbaට පොල්ල තියන’ එක. ඒක නිසා Jabba විසින් හැන්ගෙ ඔලුවට ලොකු මිලක් තියලා තියනවා. ඒ හේතුවෙන් ගැලැක්සි එකේ ඉන්න bounty huntersලා ඔක්කොම වගේ හැන් ගැන ඇහැ ගහගෙන ඉන්නේ.
මේ ගැලැක්සි එකේ හිටපු කඩවසම්, මුරණ්ඩු, දක්ෂ සහ ජනප්රියම ජාවාරම්කාරයා වුන හැන් සෝලෝ පසුව Rebel Alliance එකත් එක්ක එකතු වෙලා ජෙනරල් නිලයකට උසස් වෙනවා. ඔහු විසින් Princess Leia Organa ව Death Star එකෙන් බේරාගන්න ඕබි-වැන්ට සහ ලූක් ස්කයිවෝකර්ට උදව් කරනවා. ඒ වගේම death stars විනාශ කරන සටන් වලදි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඔහු Rebel Alliance එක වෙනුවෙන් විවිධ මෙහෙයුම් වලට සම්බන්ධ වෙනවා වගේම Rebel Alliance එක වෙනුවෙන් ambassador කෙනෙක් විදියටත් කටයුතු කරනවා. ජාවාරම්කරුවෙක් වුනත් හැන් සෝලෝට බොහොම නිර්භීත සහ අවංකව ‘රත්තරන් හදවතක්’ තිබුන බවයි පැවසෙන්නේ. මේ රත්තරන් හදවත ගැන sequel trilogy එකේ කීප තැනකම කියැවෙනවා.
Chewbacca
චිව්බාකා කියන්නේ Kashyyyk ප්ලැනට් එකේ ඉඳපු වූකි මිලිටරි ලීඩර් කෙනෙක් සහ යුධ වීරයෙක්. ඒ වගේම එයා දක්ෂ මිකැනික් කෙනෙක්, ජාවාරම්කරුවෙක් සහ පයිලට් කෙනෙක් ද වෙනවා. එපිසෝඩ් පිළිවෙලට බලාගෙන යන කෙනෙකුට නම් Episode III- Revenge of the Sith එකේදි තමයි ඉස්සරලම චීව්වි දකින්න ලැබෙන්නේ. මාස්ටර් යෝඩාට ආරක්ෂිතව සැඟවෙන්න ඔහු තමන්ගේ මිත්ර වූකියෙක් එක්ක උදව් කරනවා.

පස්සේ චීව්ට තරුණ හැන් සෝලෝ මුණගැහෙනවා. එ් වගේම හැන් මිලේනියම් ෆැල්කන් ශිප් එකේ අයිතිකාරය බවට පත් වුනාට පස්සේ චීව්වි මිලේනියම් ෆැල්කන් එකේ co-pilot විදියට කටයුතු කරන්න පටන් ගන්නවා. චීව්වි කියන්නේ තමන්ගේ යාළුවන්ට බෙහොම පක්ෂපාතී, අවංක කෙනෙක්. හැබැයි ස්වභාවයෙන්ම මේ වූකි ගෝත්රයට අයිති කට්ටිය තරහ ගියොත් බොහොම දරුණු තත්වයකට පත්වෙන අය. චීව්වි කියන්නේ හැන්ගෙ lifelong friend. මේ දෙන්නා ස්ටාර් වෝස් ෆ්රැන්චයිස් එකේ ඉන්න ජනප්රියම යාළුවො දෙන්නෙක්.
Lando Calrissian
කලිනුත් සඳහන් කලා වගේම ලැන්ඩෝ කියන්නේ වෘත්තීය gambler කෙනෙක්. නමුත් මේ ඔරිජිනල් trilogy එක තුළ ඔහුව අපිට හමුවෙන්නේ සූදුකාරයෙක් විදියට නම් නෙවෙයි.

හැන් විසින් මිලේනියම් ෆැල්කන් එක අරගෙන ගියාට පස්සේ ලැන්ඩෝගෙ අවධානය බිස්නස් පැත්තට හැරෙනවා. ඔහු Lothal කියන ප්ලැනට් එකේ කුඩා පරිමාණයේ mining operation එකක්(පතල් කැණීමක්) පටන් ගන්නවා. ක්රමයෙන් සාර්ථකව ගොඩ නැගුන මේ ව්යාපාරයත් එක්ක ලැන්ඩෝ Bespin ප්ලැනට් එකේ තියන cloud city එකේ Administrator බවට පත්වෙනවා. අපිට ඔහුව මුණගැහෙන්නේ හැන් සහ ලෙයා මේ ක්ලවුඩ් සිටි එකට යන ගමනත් සමග. ඊට පස්සේ කාලෙක ලැන්ඩෝ Rebel Alliance එකේ ජෙනරල් කෙනෙක් බවට පත් වෙනවා.
මිලේනියම් ෆැල්කන්
මිලේනියම් ෆැල්කන් කියන්නේ ස්පේස් ශිප් එකක්. YT-13000 light freighter කාණ්ඩයේ ස්පේස් ශිප් එකක් වුන මිලේනියම් ෆැල්කන් එක හදන්නේ Corellian Engineering Corporation විසින්. එයින් අවුරුදු දොළහකට විතර පස්සේ Smuggler කෙනෙක් විසින් මෙය මිලදී ගන්නවා. මේ විදියට වරින් වර අයිතිකරුවන් මාරු වුන මිලේනියම් ෆැල්කන් එක වෘත්තීය මට්ටමේ Gambler කෙනෙක් වුන Lando Calrissianට අයිති වෙන්නේ එහි පෙර අයිතිකාරයා විසින් ශිප් එක ඔට්ටුවට තියලා කරපු කාඩ් ගේම් එක ලැන්ඩෝ දිනපු නිසා. එයින් වසර කීපයකට පසු කාඩ් ක්රීඩාවෙන් ලැන්ඩෝ පරාජය කරලා හැන් විසින් මෙය දිනා ගන්නවා.
එතනින් පස්සේ දිගටම මේ ශිප් එක හැන් සොලෝට තමයි අයිති වෙලා තියෙන්නේ.

හැන්, චිව්බාකා සහ ලැන්ඩෝ මුණගැහෙන්නෙ කොහොමද,මෙයාලගෙ තරුණ වයසේ මුල් කාලය ගත වුනේ කොහොමද කියලා 2018 අවුරුද්දේ රිලීස් වුන Solo: A star wars story ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුලුවන්.
Darth Vader

මේ ඔරිජිනල් trilogy එක තුළ ඉන්න ඉතාම වැදගත් පුද්ගලයෙක් තමයි ඩාත් වේඩර්. ඔහු අතීතයේ ජෙඩායි නයිට්වරයෙක්. නමුත් ඔහු තුළ Dark Side of the force වඩා බලවත් වීම නිසා ක්රමයෙන් ඔහු dark side එකට හැරිලා අවසානයේදී Sith Lord කෙනෙක් බවට පත් වෙනවා. ඩාත් වේඩර්ගෙ මාස්ටර් වෙන්නේ ඩාත් සිඩියස්.
වසර ගණනාවක් තිස්සේ ඔහු තමන්ගේ මාස්ටර්ට අවනත වෙමින් Rebel Alliance එක විනාශ කරන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා. මේ ප්රධාන චරිත වලට අමතරව අපි කලින් කතා කරපු ඕබි-වැන් කෙනෝබි, R2-D2, C-3PO සහ මාස්ටර් යෝඩා වගේ අය මේ trilogy එකෙක් ඉන්නවා.
……………………………………………………..
තොරතුරු හා සහය
හෂාන් දුලංග ධර්මරත්න