Spring, Summer, Fall, Winter… and Spring (2003) Korean
“නිසල දිය මත සසල සිත”
නරඹපු චිත්‍රපට ගැන වචනයෙන් දෙකෙන් පවසන අවස්ථාවන් වලදී අපි “මාරයි, ලස්සනයි, දුකයි, පිස්සු හැදෙනවා, පට්ට, හම්මෝ…., කියන්න වචන නෑ” වගේ යෙදුම් භාවිතා කරනවා. තවත් සමහර වෙලාවට “චිත්‍රයක් වගේ, කවියක් වගේ, භාවනාවක් වගේ, චාරිකාවක් වගේ…” කියන අදහස් එක්ක අපි නරඹපු දේට වෙනස්ම අර්ථකථනයන් එක් කරනවා. ඒ වගේම ලෝක සිනමාවේ නොයෙකුත් ෂානරයන් අතරේ අපි කැමති සිනමා ප්‍රකාශනයට අපේ අදහස් ගළපගන්නවා. ඒත් ‘Spring, Summer, Fall, Winter… and Spring’ වගේ නිර්මාණයක් එක්ක අපිට හිතෙන දේ වචන වලට හරවන්න පුලුවන් වෙයිද කියන එක නම් ගැටලුවක්. කොහොමත් අද්භූත අනන්‍යතාවයක් පවතින කොරියානු චිත්‍රපට ඇසුරු කර ඇති අයට මේ අපූර්ව චිත්‍රපට අත්දැකීමත් එක්ක තමන්ගෙම ප්‍රකාශනයක් ගොඩ නගාගන්නට හැකි වනු ඇති. තවත් පිරිසක් මහත් ව්‍යාකූලත්වයකට පත්ව අහස පොළව ගැටලන්නට උත්සහ දරණු ඇති. නමුත් සියල්ල සැහැල්ලුවෙන් ග්‍රහණය කරගෙන, විචිත්‍රවත්වය ආශ්වාදය කළොත්, ලබනා සිනමා අත්දැකීම මෙතෙක් නැරඹූ බොහෝ දේ අතුරින් වෙනස්ම මඟක් ගත් එකක් බවට පත් වූ හැටි ගැන නිසන්සලේ සිතා බලන්නටත් අවස්ථාවක් සලසනු ඇති.
Coming of age චිත්‍රපටයක් ආකාරයට සැදුම් ලබමින් කුඩා සාමණේර නමකගේ ජීවන අන්දරයක් විදිහට, ඔහුට ඔහුගේ ජීවිතයේ විවිධ අවධීන් තුළ මුහුණ දෙන්නට සිදුවන දෛවෝපගත සිදුවීම් පෙළක් ගැනයි මේ විස්තරය. කුඩා සාමණේර නමට සියලුම ගුරුහරුකම් ලැබෙන්නේ බහුශ්‍රැත ගුරු හිමි නමකගෙන්. මහා වනයක් මැද හුදෙකලාව පිහිටන විලක් මැද ඉදිවූ ඉතා කුඩා ආරාමයක් ඔවුන්ගේ නිවහනයි. හරිත වර්ණයෙන් බබළන ගස් කොළන්, නීල විල් ජලතලයත්, කඳුකරයේ සීතල දිය සීරාවන් යන දර්ශනීය සොබහවික සෞන්දර්යයෙන් අනූන භූමි දර්ශනයන් අතරේ වඩාත්ම නෙත් සිත් පැහැරගන්නා දේ වෙන්නෙත් විල් ජල තලය මත දැවයෙන් තැනුනු ආරාමයම තමයි. වර්ණවත් සිතුවම් සහ කැටයම් ආදියෙන් අලංකාර වූ සුන්දරතම වාසස්ථානයක් විදිහට මේ ගුරු ගෝල හිමිවරුන් මෙහි ගෙවන්නේ අපූරුම සැහැල්ලු දිවියක්. චිත්‍රපටයේ මුල්ම මිනිත්තුවේ සිටම නෙතට රසඳුනක් වන් ආකර්ශනීය රූප රාමු තුළින් නරඹන්නාව මේ කතන්දරයට ඇද බැඳ තබා අවසන්. ඉතින් මේ දර්ශනීයත්වයෙන් වශීකෘත වන නරඹන්නාට ඉදිරියේදී සිදු වන්නට නියමිත අනපේක්ෂිත කම්පණයන්ට හැඩ ගැහෙන්නට කොහෙත්ම ඉඩක් නෑ. ඉඟි සපයන්නේ නැහැ. කවියක් වැනි, සිතුවමක් වැනි, භාවනාවක් වැනි රූප පෙළහරක් මධ්‍යයේ, විටෙක ශරීරය ගල් ගැසෙනා මට්ටමටම පත් කරනා බොහෝමයක් දෑ ඇසිපිය නොහෙළා බලා හිඳින්නට සිදුවනා සැටි සිනමාවේ මායාවක්මැයි හැඟෙනු ඇති.
කුඩා හිමි නම ක්‍රමයෙන් වැඩිහිටියෙක් වීමේ කතන්දරය විස්තර කිරීමේදී නිර්මාණකරුවා අපූරු ප්‍රකාශන රීතියක් භාවිතා කරනවා. වසර ගණනාවක් පුරා දිවෙන ජීවන චාරිකාව ඔහු විසින් ස්වාභාවික සෘතු විපර්යාසයන් වලට බෙදා කොටස් කරනවා. වසන්තය, ගිම්හානය, සරත්, ශීත සහ නැවතත් වසන්තය විදිහට අපිට දකින්නට ලැබෙන්නේ ඔහුගේ දිවිය තුළ ඔහුට මුහුණ දෙන්නට සිදුවන ජීවන අත්දැකීම් සමුදායක්. මෙතනදී ගුරු හිමි නම මේ සියලුම සෘතු වෙනස්කම් වලදී ඔහු පසුපසින් සිටින ආකාරය වෙනස්ම තළයක ගුරුහරුකමක්. ප්‍රධාන චරිතයට වගේම ගුරු හිමි නමගේ චරිතය තුළ පවත්නා අනන්‍යතාවය අවසනදී නැවතත් උදා වන වසන්ත සෘතුව වනට විට ගෝල හිමි නමටත් නරඹන්නාටත් හොඳින්ම අවබෝධ වී ඇති. සෘතු වෙනස්කම් වලට අනුගතව ආරාමය විල අවට පරිසරයේ වෙනස්කම් හා පෑහෙන ගෝල හිමි නමගේ ජීවන පෙරළීන් තුළින් ඉදිරිපත් කරනා සිනමා ප්‍රකාශනය නරඹා ඇති වෙනත් සිනමා කෘතීන් වලින් හමු වී ඇතිද යන්නත් සැක සහිතයි.
නරඹන්නට ලැබෙන සියල්ලම බුදු දහමේ සඳහන් බොහෝ ඉගැන්වීම් වලට ව්‍යංගයෙන් සහ සෘජුවම සම්බන්ධයි. වසන්තය, ගිම්හානය, සරත් සහ ශීතය යන සෘතු විපර්යාසයන් තුළින් නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය වන්නා වූ පෘතග්ජන ලොව සහ පෘතග්ජන වැසියන් නියෝජනය කරනු ලබයි. එමෙන්ම සෑම සෘතුවක් තුළදීම ගෝල හිමි නමට මුහුණ දෙන්නට සිදුවන එක් එක් අත්දැකීම් තුළින් මනුෂ්‍ය දිවියේ විවිධාකාරී ඉසව් වලින් ඉගෙනගන්නට ලැබෙනා පාඩම් ගැන අතිශය ගැඹුරු විග්‍රහයක් සිදු කරනු ලබයි. මුහුණ ආවරණය කරගත් කාන්තාව ආදී සංඛේතාත්මක රූප ප්‍රකාශනයන් තුළින් කතන්දරයේ අභ්‍යන්තර ආධ්‍යාත්මික පැතිකඩ නිරාවරණය කෙරෙයි. බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන “මමය, මගේය යනුවෙන් කිසිවක් නොපවතී. සියල්ලම හේතු ඵල දහමට අනුව සිදුවනා සොබහවික ක්‍රියාකාරීත්වයක කොටස් පමණී” යන්න ඉතා සූක්ෂමව මේ විස්තරය තුළ අතුරා තිබෙයි. දෙබස් වලට වඩා රූපයට ප්‍රමුඛස්ථානයක් ලබා දුන් නිර්මාණයක් විදිහට මේ storytelling රටාව අසමසම එකක් බවටත් පත්වෙයි.
ඒ අනුව එකී මෙකී නොකී හේතු කාරණා රැසක් නිසාවෙන් මෙහි රචකයා, අධ්‍යක්ෂකවරයා වගේම රංගනයෙන් දායක වන Kim Ki-duk ගේ විශ්මිත පරිකල්පනය අපව තෘෂ්නිම්භූත කරවනා ආකාරය විඳ බලන්නටම ඕන. නිසල දියක් මැද සසල සිතක් ඇත්තෙකු පානා පෙළහරක් ඔබේ චිත්‍රපට අත්දැකීම් අතරට එක් කරගන්නටම ඕන. සිතුවමක්, කවියක්, භාවනාවක් සහ චාරිකාවක් එක්ක ඔබ දැහැන්ගත වෙන්නටම ඕන.