Soundless Dance (2019) Tamil | Sinhala Article

Soundless Dance (2019) Tamil 

My Rating – 8.5/10

#ලංකාවේ_යුද්ධය පිළිබඳව ඔබට මට අනන්‍ය වූ අදහස්, විවේචන තිබේ. ඒවා දැරීමට ද ඔබට සහ මට නිදහස සහ අයිතිය තිබේ. එනමුත් අප ඒ පිළිබඳව දරණ අදහස්, විවේචන කෙතරම් දුරට “සත්‍ය නම් ඉම” පෝෂණය කරනවා ද යන්න සංවාදයට ලක් කළ යුතු කාරණාවකි. නමුත් මගේ මේ උත්සහය ඒ පිළිබඳව කතිකාවතක් නිර්මාණය කිරීම නොව, ලංකාවේ යුද්ධය මූලික කර ගෙන නිර්මාණය කරන ලද තවත් එක් සිනමාපටයක් පිළිබඳව ඔබව දැනුම්වත් කිරීම යි.
ලංකාවේ යුද්ධය මූලික කර ගෙන නිර්මාණය කරන ලද සිනමා පට ඔබ අප කොතෙකුත් නරඹා ඇති. මෙයත් ඒ ආදී ලෙසම නිර්මාණය වූ එකකි. නමුත් ඔබ මින් පෙර නරඹන ලද නිර්මාණ තුළ ඉස්මතු වූ අධ්‍යක්ෂකවරයාගෙ දෘෂ්ටිකෝණය මෙහි දී වෙනස් එකක් බවට පත් වී තිබිය හැක. නිර්මාණකරුවාගේ ප්‍රකාශනයේ නිදහස අප අගය කළ යුතු සේම එය මගින් ඔහුගේ දෘෂ්ටිකෝණය නිරූපණය වේ. මෙය පෙර අප විසින් නරඹන ලද, යුද්ධය මූලික කොටැ ගෙන නිමැවුණු නිර්මාණ සියල්ලටම පාහේ වෙනස් ව නිර්මාණය කරන ලද්දක් ය, බොහෝ විට.

අධ්‍යක්ෂකවරයා ලංකාවේ එකෙකි. දමිළයෙකි. නවකයෙකි. ඔහුගේ කුළුඳුල් සිනමා ප්‍රවේශය යි. යුද්ධය පිළිබඳව සමාජය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන, ඉස්මතු වෙන දෘෂ්ටිකෝණයන් ත්‍රිත්වයක් පිළිබඳව සාකච්ඡා කරන ගමන් ඕනෑම යුද්ධයක යතාර්ථය වන්නේ කුමක් ද යන්න පිළිබඳව අගනා ලෙස ඔහු මෙම සිනමා පටය තුළින් සාකච්ඡා කර යි. එය ලංකාවෙ පැවැති යුද්ධයටත් දෙවන ලෝක යුද්ධයටත් සිරියාවේ යුද්ධයටත් අදාල කර ගත හැක.

පීඩිතයා සහ පීඩකයා, දේශපාලනයෙන් තොරව යුද්ධයක් බිහි විය නොහැක, යුද්ධයක් තුළින් අවසානයේ අපට ඉතිරි වන්නේ විනාශයම පමණක් බව ආදී නා නා විධ කාරණා ඉස්මතු කරලමින්, අන්තාවාදී ඉමක පසු වෙන ප්‍රේක්ෂකයාටත්, මධ්‍යස් මතධාරී ප්‍රේක්ෂකයාටත්, කිසිදු ආකල්පයක් නොදරණ ප්‍රේක්ෂකයාටත් ආදී සමාජයක් තුළ ජීවත් වෙන එකිනෙකට වෙනස් වූ මත දරණ සියලුම සිනමා රසිකයන්ට නැරැඹීමට හැකි සහ ලාංකිකයන් ලෙස නැරැඹිය යුතු නිර්මාණයකි මෙය.

ප්‍රේක්ෂකාගාරය වෙතට එන විට ඔබ විසින් දරණ ලද මතවාද වලට එකතු කර ගත හැකි එක් දෙයක් හෝ ඔබට අනිවාර්යයෙන්ම මෙම සිනමාපටය නැරැඹීම තුළින් ලබා ගත හැක.

නිර්මාණය තුළ තාක්ෂණික ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා කරන විට; තිර පිටපත, දෙබස්, කැමරාකරණය, සංඥා හා සංකේතමය රූප රාමු භාවිතය, ආලෝකකරණය, නවක නළු නිළි කැළගේ රංගනය, සංගීතය ආදී සියල්ලක්ම අතිශය සාර්ථක ය. ප්‍රබල ය. අධ්‍යක්ෂකවරයා ඔහු ගේ කාර්‍යය මැනැවින් ඉටු කර ඇත.

පණ ඇද ඇද දුවන ලංකාවේ සිනමාව තුළ දමිළ සිනමා නිර්මාණ බිහි වීම සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණක්. දමිළ සිනමාව ලෙස වෙන් නොකොට පොදුවේ ගත් කළ “ලංකාවේ සිනමාව” ක්‍රමක් ක්‍රමයෙන් හිස ඔසවනු දැක ගත හැකි වීම සතුටට කරුණකි.

අපේ කතාවක්, අපේ කෙනෙක් කියනවා. ඉතින් අපේ කෙනාගෙ ඒ කතාව අපි හැමෝම අහමු.

ප.ලි – ඉදිරියේ දී මෙම සිනමා පටය නැවතත් ප්‍රේක්ෂකාගාරය වෙත මුදා හරන අවස්ථාවක් එලැඹෙන විට දි ඔබව දැනුවත් කරන්නම්.

Initial release2019

To watch

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *