Soorarai Pottru (2020) Tamil
“You own the ticket. I own the plane my friend”


96% liked this film Google users

චිත්රපටියක් යනු කොහෙන් හෝ වෙනත් චිත්රපටියකින්/ චිත්රපටි කිහිපයකින් අහුලාගන්නා කෑලි කිහිපයක් පූට්ටු කර එයට හොටු පෙරාගෙන අඬන්ට සිදුවීම් තුනකුත්, පාර මැද සිදුකරන සටන් ජවනිකා දහයකුත්, ඩ්රීම් සෝන්ග් එකකුත්, කොහෙන් හෝ අහුලාගන්නා ට්රැක් එකකට මෙලෝ අගක් මුලක් නැති වචන ටිකක් දමා සාදන mass song එකකුත් සමග සරාගීත්වය උපරිමයෙන්ම වෑහෙන පරිදි නිළියන්ගේ අඟපසඟ පෙන්වමින් සිදු කරන නර්තනයකුත් සංයෝග කර නිපදවන පැය දෙකක පමණ රූපරාමු පෙළක් යැයි සිතා කටයුතු කරන අති ප්රබල, දිළිසෙන, තරු ගුණයෙන් හෙබි, මහේශාක්ය අධ්යක්ෂකවරුන් අතර සුධා කෝන්ගාර යනු කුඩා කණාමැදිරි එළියක් වන්නට පුලුවන්. නමුත් අන්ධකාර රාත්රියක දිදුලන කණාමැදිරියෙකුගේ සහන් එළිය අති දීප්ත පහන් දහසකටත් වඩා මිනිසුන්ගේ සිත් සතන් සනසාලන පහන් ආලෝකයක්ම වීම නම් නිසැකයි.
අධ්යක්ෂණය ගැන වෙනත් කිසිවක් පැවසිය යුතු නැහැ. ඇය අතිවිශිෂ්ඨ අයුරින් තම කර්තව්යය ඉටු කර තිබෙනවා. එසේම චිත්රපටියේ දෙබස් නිර්මාණය ආදියද ඉතා ඉහළ මට්ටමකයි පවතින්නේ. ඉතා සුළු වචන ගණනකින විශාල අදහසක් සම්ප්රේෂණය කරනු දකින්නට පුලුවන්. අතීත සහ වර්තමාන කථා වල සම්මිශ්රණයක් ලෙස චිත්රපටිය ඉදිරියට ගලාගෙන යනු ලබනවා.
සූරියා බොහෝ කලකට පසුව චිත්රපටියක් තුළ රඟපානු දැකීම සතුටට කාරණයක්. ගෞතම් මෙනන්ගේ වාරනම් ආයිරම් චිත්රපටියෙන් පසු ඔහු ‘රඟපෑම’ සිදු කරන එකම චිත්රපටිය soorarai pottru බව පැවසුවහොත් එය අතිශෝක්තියක් නම් නොවෙයි. මෙහි නෙඩුමාරන්(මාරා) ලෙස ඔහුගේ රංගනය දකින සෑම විටකම වාරනම් ආයිරම් චිත්රපටියේ ඔහු රඟපෑ සූර්යා චරිතය සිහියට එනවා. මෙහි ‘මාරා’ ලෙස සූරියා රඟපාන චරිතය ගොඩ නංවන විට සුධා කෝන්ගාරගෙ සිතෙහිද වාරනම් ආයිරම්හි ‘සූර්යා’ චරිතය ශේෂ වුනු සෙවණැල්ලක් ලෙස පැවතියේදැයි සැක හිතෙන තරමටම එම හැඟීම ප්රභලව දැනුනා.
නෙඩුමාරන් තුළ ජීවත් වීමට සූරියා දැක්වූ දක්ෂතාව මෙන්ම ඔහුගේ හැකියාව එළියට ගනිමින් නිර්මාණයට ඇවැසි පරිදි සූරියාව හසුරුවා ගැනීමට සුධා දක්වා තිබුනු දක්ෂතාවයද නිසැකවම ප්රශංසනීයයි.
හඬ පාලනය, ඉරියව්, හැඟීම් ප්රකාශනය ආදී සියල්ලත් හරහා ‘සිංගම්’ සමග තමන්ගෙන් ගිළිහුණු, නමුත් නළුවෙක් වශයෙන් තමන් තුළ පවතින සැබෑ විභවය දක්වාලමින් සූරියා නළුවෙක් වශයෙන් තමාගේ ස්ථානය නැවතත් තහවුරු කරගත්තා. දැන්වත් ඔහු ෆෑන් බේස් පසුපස දිවීමත් ‘මාස් නළු’ සිහිනය ලුහුබැඳීමත් නවතා දමා සැබෑවටම තමන් සතු හැකියාව භාවිතා කිරීම ඇරඹිය යුතුයි.
නෙඩුමාරන්ගේ බිරිඳ ලෙස රංගනයෙන් එක් වන අපර්ණා බාලමුරලි යනු අධ්යක්ෂවරියගේ තවත් එක් විශිෂ්ඨ සොයා ගැනීමක්. අපර්ණා එම චරිතය රඟපෑම වෙනුවෙන්ම ඉපදුනා වැනියි. සූරියාට නොදෙවෙනි ලෙස ඇය චිත්රපටිය තුළ තමන්ගේ ස්ථානය තහවුරු කරගන්නවා. මිල්ක් වයිට් ස්කින් එකක් හෝ සරාගීත්වය වෑහෙන සිරුරක් හෝ නැචුරල් බියුටි මුහුණක් හෝ නොව නිළියකට අවශ්ය වන්නේ රඟපෑම බව ඇය විසින් තහවුරු කර සිටිනවා. මෙහි කතාවට අනුව සූරියා සහ අපර්ණා අතර ගැළපීමද ඉතා ඉහළ මට්ටමකිනුයි පවතින්නේ.
සුප්රසිද්ධ විකට නළු කරුණාස් soorarai pottru චිත්රපටිය සමග එක්වී සිටිනවා. ඔහුගේ සුපුරුදු රංගන විලසය මෙහිද නොඅඩුව දැකගන්නට පුලුවන්. ඔහුත්,නෙඩුමාරන්ගේ මව ලෙස රංගනයෙන් දායකවන ඌර්වසීත් ඇතුළු අනිකුත් සහය චරිත නිරූපණය කළ සියලු නළු නිළියන් ඉතා සාර්ථක ලෙස තම කොටස ඉටු කර තිබෙනවා. චිත්රපටියේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් දක්වා ඇති දායකත්වය අති විශාලයි.
දමිළ සිනමාව යනු පිරිමින්ගේ අධිරාජ්යයක්. ඉතා ප්රකට අධ්යක්ෂකවරුන් සියලු දෙනාම පාහේ පිරිමින්ව සිටින වටපිටාවක සුධා කෝන්ගාරගේ මේ ප්රවිශ්ඨය අගය කළ යුතුයි. ඇය feminism සංකල්පය පසෙකට විසිකර දමා ඒ වෙනුවට Women empowerment සංකල්පය චිත්රපටියට ඇතුළත් කරගැනීම අතිශයින්ම අගය කළ යුතුයි. Feminism යනු තව දුරටත් වලංගු සංකල්පයක් ලෙස සැලකීම අපහසුයි (Feminists යනු ඕනෑම ක්ෂේත්රයකට, විශේෂයෙන්ම සිනමා ක්ෂේත්රයට සාපයක්).
නෙඩුමාරන් තම සුවිසල් අපේක්ෂාව වෙනුවෙන් සටන් වදින අතර තුර ඔහුගේ බිරිඳ සාම්ප්රදායික ගෘහණියක් වීම පසෙක තබා ඇයගේ සුවිසල් සිහිනය සැබෑවක් කර ගැනීමට වෙහෙසෙනවා. ආර්ථික වශයෙන් ශක්තිමත් බිරිඳක් සිටීම නෙඩුමාරන්ගේ ගමනට විශාල රුකුලක් වන බව බොහෝ අවස්ථා වලදී වක්රව ඇඟෙවෙනවා.
කාන්තා අධ්යක්ෂවරියක් විසින් නිමැවෙන චිත්රපටියක කිව් සැනින් බොහෝ දෙනා සිතන්නේ එහි නිසැකවම ස්ත්රීවාදීමය සංකල්ප ඇතුලත්ව ඇතැයි කියා ය. නමුත් සුධා එවැනි ස්ත්රීවාදී සංකල්ප හෝ අදහස් වෙනුවෙන කාන්තාවන් අධ්යාපනයෙන්, ආර්ථික වශයෙන් බලගැන්වීම වැනි වර්තමානයට ඉතාම කාලෝචිතව ගැළපෙන අදහස් තම චිත්රපටිය තුළට අඩංගු කර තිබෙනවා.
එම ස්වයං චරිතාපදානය සහ චිත්රපටියේ කතාව අතර එතරම් සමානත්වයක් දකින්නට නැහැ. නමුත් සියලු මූලික සිදුවීම් සමාන වන අතර පොතක් චිත්රපටියක් බවට පෙරලීමේදී සාමාන්යයෙන් සිදු වන වෙනස් කිරීම් ඉතාම දක්ෂ අයුරින්, කිසිදු පාර්ශවයකට අගතියක් හෝ අසාධාරණයක් නොවන අයුරින් සිදු කරගැනීමට සුධා කෝන්ගාර සමත් වී තිබෙනවා.
නෙඩුමාරන් ලෙස සූරියා නිරූපණය කරනු ලබන්නේ කපිතාන් ගෝපිනාත්ගේ චරිතයයි.
එසේම නෙඩුමාරන්ගේ පියා යනු Simply Fly කෘතියෙහි සඳහන් වන ගෝපිනාත්ගේ පියා සහ පාසලේ විදුහල්පතිවරයගේ චරිත දෙකෙහි එකතුවයි. ඉතා දක්ෂ අයුරින් රචනා වුනු කෘතියක් එහි ජීව ගුණයද රැකෙන පරිදි පැය දෙක හමාරක සිනමාපටයක් බවට පෙරලා තිබෙනවා.
කර්ණාටක ප්රාන්තයේ බටහිර දිග කඳුවැටි අතර පිහිටි Gorur නමැති ග්රාමයේ ජීවත් වුනු බ්රාහ්මණ වංශික පාසල් ගුරුවරයෙකුට සහ ඔහුගේ බිරිඳට දාව ඔවුන්ගේ දෙවන දරුවා ලෙස 1951 වසරේ නොවැම්බර් 13 දින රාමස්වාමි ගෝපිනාත් උපත ලබනවා.
පාසල් අධ්යාපනයෙන් පසුව NDA(National Defence Academy) වෙත බැඳෙන ගෝපිනාත් එහි පුහුණුව අවසානයේදී IMA(India Military Academ) වෙතින් උපාධිය ලබා කැඩෙට් නිළධාරියෙකු ලෙස විසි හැවිරිදි වියෙහිදී යුධ හමුදාවේ කාලතුවක්කු බලඝණය වෙත එක්ව කපිතාන් නිළය දක්වා උසස්වීම් ලබනවා. වසර විසි අටේදී හමුදා දිවියට සමුදී නැවතත් ගමට යන ගෝපිනාත් ගොවියෙක් ලෙස කටයුතු කරමින් දිවිගෙවනවා.
ඔහුගේ විවාහය දියණියන්ගේ ඉපදීම වැනි වැදගත් සිදුවීම් සිදුවන්නේද ඔහු සම්මානනීය කෘෂි ව්යවසායකයෙක්ව සිටි මෙම අවධියේදී ය. ගොවිතැන හරහා සාර්ථක ව්යවසායකයෙක් බවට පත්ව සිටින ගෝපිනාත් බැංගලූරු නගරයට සංක්රමණය වනවා. එහිදී ඔහුට තම පැරණි යුධ හමුදා මිතුරකු වන කපිතාන් C.J. සැමුවෙල් මුණ ගැසෙනවා. ගෝපිනාත්ට හමු වන විටත් යුධ හමුදාවෙන් විශ්රාම ගෙන, පසුව නිදහස් හෙලිකොප්ටර් යාන නියමුවෙක්( freelance helicopter pilot) ලෙස කටයුතු කරමින් සිටින කපිතාන් සැමුවෙල් පසුවන්නේ ජීවිතයට යම් වෙනසක් උද්යෝගයක් දනවන කටයුත්තක නියැලීමේ ආශාවකින් පෙළෙමින්. Deccan Airways ඇරඹීමට මුල් වුනේ ඔවුන් දෙදෙනාගේ මෙම හමුවීමයි.
තම කෘතියෙහි හැඟින්වීම රචනා කරන කපිතාන් ගෝපිනාත් මෙලෙස සඳහන් කරනවා;
“I reared cattle to sell milk, got in poultry farming, silkworm farming, then turned a motor cycle dealer, an Udupi hotel owner, a stock broker, irrigation equipment dealer, an agriculture consultant, a politician and finally an aviation entrepreneur—struggling, falling, rising, falling, rising again and taking off.”
(මෙය විකිපීඩියා හෝ ගූගල් හෝ වෙනත් අන්තර්ජාල මූලාශ්රයකින් හෝ ලබා ගත්තක් නොව කැප්ටන් G.R. ගෝපිනාත් විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන Simply Fly: A Deccan Odyssey ග්රන්ථය සොයාගෙන එය යම් තාක් දුරකට කියවීමෙන් පසුව තබන ලද සටහනක් බව කරුණාවෙන් සලකන්න)
මේ වසරේ නරඹන්ට ලැබුන විශිෂ්ඨම දමිළ චිත්රපටිය මෙය බව පවසනු කැමැත්තෙමි. නිවැරැදි විනිශ්චයක් ලැබුනහොත් soorarai pottru වෙත සම්මාන පෙරහැරක්ද ලබන වසරේදී ගලා ඒමට නියමිතයි.
Initial release: November 12, 2020