Sonchiriya (2019) Hindi | Sinhala Article

Sonchiriya (2019) Hindi

Rating: 8.1/10 IMDb

97% liked this film Google users

Spoiler Alert!

Dacoit නැතිනම් Bandit යන යෙදුම ඔබ අසා තිබෙනවාද?. Dacoity යෙදුම ඉන්දියාව තුල මතු වන්නේ ඉංග්‍රීසීන්ට යටත් යුගයේ පටන්. සරලව පැවසුවොත් විවිද කල්ලීන් තුලින් බිහිසුණු මංකොල්ලකරුවන්. ඔවුන්ගේ ජීවිතය ගැට ගසා ගන්නේ විවිදාකාර නීතී විරෝධී ක්‍රියාවන් වල නිරත වෙමින්. නමුත් බැන්ඩිට්ස්ලාගේ එම නීතී විරෝධී ක්‍රියාවන් අභ්‍යන්තරය තුල, ඛේදනීය සමාජ දේශපාලනික කථිකාවක් තිබෙනවා. අභිෂේක් චෞබි 2019 දී අධ්‍යක්ෂණය කළ Sonchiriya චිත්‍රපටයටද පාධක වන්නේ මෙම බැන්ඩිට්ස් ප්‍රජාවගේ සමාජ අරගලයක් සම්බන්දවයි. බැන්ඩිට්ස් ඉන්දියානු සිනමාවේ ඇතැම් විශිෂ්ට සිනමා නිර්මාණ වෙනුවෙන් පාධක වී තිබෙනවා. එහි මතකය අවදි කලොත්: Mother India (1957) , Sholay (1975), Bandit Queen (1994) සහ Paan Singh Tomar (2012) යනු එම බැන්ඩිට් ජීවිතය පෙන්නුම් කළ ප්‍රකට නිර්මාණයන් පෙළක්. Sonchiriya ද මෙම විශිෂ්ට චිත්‍රපට ගොන්නට එකතු කළ හැකි තවත් ප්‍රභල නිර්මාණයක්.

මාන් සිං නොහොත් දද්දා, භාගීස් නම් බැන්ඩිට් කල්ලියක නායකයෙක්. ඔහු බැන්ඩිට් වරුන් අතරේ ප්‍රභල වීර චරිතයක්. දිනක් ඔහුගේ කල්ලිය සමග එම ප්‍රදේශයේ පැවැත්වෙන එක් මගුල් නිවසක  මංකොල්ලයක් කිරීමට පෙළඹෙනවා. ඔවුන්ගේ සැලසුම වන්නේ එම මංගල්‍යයේ මනාලියගේ පාර්ශවයෙන් දෑවැද්ද ලෙස ඉදිරිපත් කරන මුදල් සහ රත්තරන් රැසක් බඩු රැසක් කොල්ල කෑමටයි. මෙම මෙහෙයුම් දියත් කරන අතරවාරයේම, ඉන්දියාවේ ආන්දෝලනාත්මක දේශපාලනික සිදුවීමක්ද ඇති වනවා. ඒම සිදුවීම වන්නේ ඉන්දිරා ගාන්ධි රජය විසින් 1975 වර්ෂයේ දියත් කරන හදිසි තත්වයයි. මෙය බැන්ඩිට් ප්‍රජාවගේ ජීවිතයන්ට ප්‍රභල බලපෑමක් එල්ල කරනවා. භාගීස් විසින් මෙම මංකොල්ලය දියත් කරද්දී, ඔවුන් පසුපස හඹා එන පොලිස් මෙහයුම් කණ්ඩායමක් සමග ගැටීමටද සිදු වනවා. මෙම පොලිස් කණ්ඩායම මෙහෙයවන්නේ විජේන්ද්‍ර සිං ගුජ්ජර් විසින්. එම මංකොල්ලය අතර භාගීස් සහ පොලිස් කණ්ඩායම අතර සිදුවන වෙඩි හුවමාරුවකදී, මාන් සිං ඝාතනය වනවා. ඔහුගේ මරණය හමුවේ එම කල්ලිය තුල ප්‍රභල සාමාජිකයින් වන ලක්නා සහ වාකිල් සිං අතර ඇති විවිද මත හමුවේ, කල්ලිය දෙකඩ වනවා. ලක්නා විශ්වාස කරන්නේ මෙම දුෂ්කර ජීවිතය අත්හැර ඔවුන් පොලීසියට බාර විය යුතු බවයි. නමුත් වාකීල් සිංට අනුව ඔවුන් මාන් සිංගේ විප්ලවය වෙනුවෙන් සටන් කළ යුතුයි. කල්ලියේ මෙම බෙදීම තවත් වර්ධනය වන්නේ ඉන්දූ නම් ගැහැණියක් සහ ලල්ලී නම් (නොහොත් සොන්චිරියා) කුඩා දැරිවියක් හමුවීම සමගයි. ලල්ලී දරුණු ලෙස ඇයගේ සීයා විසින් දූෂණයට ලක්වී තිබෙනවා. මෙම බරපතල අපරාදය දැනගත් ඉන්දු ඔහුව ඝාතනය කර තිබෙනවා. එම නිසා ඇයගේ පවුලේ උදවිය ඉන්දු සහ ලල්ලීව මරා දැමීමට ඔවුන් පසුපස හඹා එනවා. දෙකඩ වූ බැන්ඩිට් කල්ලියක් සහ ජීවිතය වෙනුවෙන් සටන් කරන ගැහැණියක් සහ කුඩා දැරිවියක්. මනුෂ්‍යත්වය තුරන්වී තිබෙන භූමියක ඔවුන්ගේ ඉරණම කුමක්ද?.

Sonchiriya චිත්‍රපටය තුල ඔබ‍ට මුණ ගැසෙන බොහෝ චරිතයන් කළු සුදු මිශ්‍ර චරිත. බැන්ඩිට්ලා විසින් සිදු කරන බොහෝ දේවල් සාදාරණය කළ නොහැකි වූවත්, එම සෑම නීතී විරෝධී ක්‍රියාවක් පිටුපසම ඇත්තේ කටුක ඛේදවාචකයක්. කුලයෙන්/පංති බේදයෙන් වෙන්වූ සමාජයක, මනුෂ්‍යත්වය කෙමින් අළුවී යනවා. දරිද්‍රතාවය හමුවේ මිනිසුන් නොයෙකුත් භයානක අතුරු මාර්ගයන් තුල ගමන් කරයි. මෙම අමානුෂික ක්‍රමවේදය හමුවේ පීඩිතයා දඩයක්කරුවෙකු වන්නේ ඔවුන්ටද නොදැනීය. මෙහිදී අපට මුණගැසෙන මාන් සිං සහ Bandit Queen චිත්‍රපටයට පාධක වූ පූලාන් දේවිය වැනි චරිතයන් මහපොළොවේ බිහි වූයේ මෙම අමානුෂික ක්‍රමවේදයන් හමුවේ. මෙම චිත්‍රපටයේ සිටින බහුතරයක් චරිත හරහා ඔබ‍ට මෙම අමානුෂික ක්‍රමවේදය තුල ඇති භයානක අභ්‍යන්තරය පෙන්නුම් කරයි. මෙවැනි ක්‍රමවේදයක් තුල මනුෂ්‍යත්වයක්‌ ඇති කරන්නේ නැත. ඉන් සැබවින්ම නිර්මාණය වන්නේ එකිනෙකාව පවා දෙන, එකිනෙකා විනාශ කර දමන ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයක්. ඒ සමගම ඉන්දු සහ ලල්ලීගේ චරිතයන් හරහා ගැහැණිය පාගා දමන පුරුෂ මූලික සමාජයේ සැබෑ නිරුවත පෙන්නුම් කරනවා.

ගිය වසරේ අප අතරින් වෙන්වූ සුශාන්ත් සිං රාජ්පුත්ගේ අවමයෙන්ම කතාබහට ලක්වුණු නිර්මාණයක්‌ Sonchiriya. සැබවින්ම මෙය ඔහුගේ ප්‍රභලම රංගනයන්ගෙන් එකක් ලෙස නම් කරන්නට පුළුවන්. ලක්නාගේ චරිතයේ රළු ගති ලක්ෂණ සමග ඉස්මතු වන මනුෂ්‍යත්වය සහ විටෙක ඇති ව්‍යාකූල ස්වභාවය ඉතා විශිෂ්ට ලෙස ඔහු ඉදිරිපත් කළා. භූමි පැද්නේකර් ඇයගේ සිනමා දිවියේ තවත් අභියෝගාත්මක රංගනයක් ඉන්දූගේ චරිතය හරහා ඉදිරිපත් කරනවා. පුරුෂ මූලික සමාජය තුල බැට කෑ ගැහැණියකගේ පටන් තමන්ට අත්වූ ඉරණම තවත් දැරිවියකට අත් නොවන තැනට සටන් වදින ගැහැණියක් දක්වා වර්ධනය වන එම චරිතයේ, සෑම සංකීර්ණ පැතිකඩක්ම භූමිගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. ඒ සමගම මනෝජ් බජ්පායී, රන්වීර් ශෝරේ සහ අශුතොෂ් රානා තුලින්ද ප්‍රභල රංගනයන් දැක බලා ගන්නට පුළුවන්.

අභිෂේක් චෞබිගේ සාර්ථක අධ්‍යක්ෂණය සහ තිර රචනය හරහා, මෙම පොළොවේ ඇති අඳුරු පැතිකඩ පෙන්නුම් කිරීමට සමත් වුනා. Anuj Rakesh Dhawan ගේ සිනමාකරණය හමුවේ, මෙම කාෂ්ටක මහපොළොවේ ඇති රළු ප්‍රචණ්ඩකාරී වාතාවරණය ඉතා අපූරුවට කැමරාවට හසු කර ගෙන තිබෙනවා. ඒ රළු වාතාවරණයට මුසුවන ආකාරයට නිර්මාණය වූ විශාල් බරද්වාජ්ගේ සංගීත අධ්‍යක්ෂණයද කැපී පෙනුණා.

අභිෂේක් චෞබිගේ පෙර නිර්මාණයන් වන Ishqiya, Dedh Ishqiya සහ Udta Punjab ඔබ රස වින්දා නම්, Sonchiriya හරහාද ඊට නොදෙවෙනි රස වින්දනයක් ඔබ‍ට ලබා දෙනවා.

Initial releaseMarch 1, 2019 (India)

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *