Sir (2018) Hindi | Sinhala Article

Sir (2018) Hindi by Ashini Randini

Is Love enough

? Spoiler Alert ?

අපේ ජීවන මාවතේ ඉදිරියට යනකොට යම් යම් නැවතුම් වලදී අපේ නේත්‍රා ඉදිරිපිටට මුණගැහෙන සමහර මනුස්ස ප්‍රාණීන් අපිත් එක්ක සදහටම ජීවිත මාවතේ ඉදිරියට ඇවිදගෙන යන්න එන්නෙ නෑ. විශේෂයෙන්ම සමහර පුද්ගලයන්ට අපේ ජීවිතයේ ලැගුම් අරන් ඉන්න හැකියාව තියෙන්නෙ බොහොම කෙටි කාලයක් උනත් අවාසනාවටද වාසනාවටද කියල වග උත්තර ලිහාගන්න බැරිව අපිට ඒ පුද්ගලයො අපේ ජීවිතයේ කොපමණ කාලයක් අරක් ගෙන ඉන්නවද කියල නිශ්චිතව අනුමාන කරන්න පුලුවන්කමකුත් නෑ.❤️

අතහැරීම් වෙන් වීම් ප්‍රතික්ශේප වීම් බිඳවැටීම් කොයිතරම් කටුක උනත් හිස නමල ඒ දේවල් භාරගෙන උහුලගෙන ඉන්න අපිට සිද්ධ වෙනව .ඒකට කොයිතරම් අකමැති උනත් ඒ වෙන් වීම් අපේ ජීවිතයේ කොටසක් විදියට හදවතින්ම පිලිගෙන නිහඬව ඉන්න සිද්ධ වෙන මොහොතවල් ඕනෙම පුද්ගලයකුගේ ජීවිත වල ඇති. සමහර මනුස්ස ප්‍රාණීන්ට යන්න දෙන්න උවමනා නැති උනත් දෛවයට අනුව යන්න උවමනා නම් යන්න අවස්ථාවක් හිමි උනා නම් යන්න දීල හදවතින්ම ඒ අහිමිවීම් දරාගත් අවස්ථා මගෙ ජීවිතයේත් තියෙනව. ඔබගෙ ජීවිතයේත් එහෙම අවස්ථා ඕනෑවටත් වඩා ඇති. ❤️

අමතක වෙන්න දෙන්න උවමනායි කිව්වට අමතක කරන්න උවමනා නැති සොඳුරු මතක අගුලු දාල හිත් අස්සෙ හංගගෙන ඒ මතක ඒ හීන එක්ක හුස්ම ගන්න මිනිස්සු ඕනෑවටත් වඩා ඇති.
අන්න ඒ කොට්ටාසයේ තමයි අපේ කතා නායිකාව රත්නා ජීවත් වෙන්නෙ.❤️

? සර් කරුණාකරල මේ හැන්දෑව ඔබේ මතකයෙන් ඉවත් කරන්න

රත්නා කලේ උගුරට හොරෙන් බෙහෙත් කෑමක් . එහෙම මුවඟින් පිටකලාට රත්නාගෙ සර් අශ්වින්ට වගේම රත්නාටත් ඒ හැන්දෑව මුලු ජීවිත කාලෙටම අමතක කරන්න උවමනා උනේ නෑ. ❤️

ඈත දුශ්කර ගම්මානයක වැන්දඹුවක් උනු රත්නාට මෙහෙකාරකමට මුම්බයි ආවාම ඒ සුඛෝපභෝගී නිවසේ සර් තමා රත්නට මතක ඇති කාලෙකින් හිමි වුනු හොඳම සැලකිලි , ලස්සන මතක කප්පරකට දුන්නෙ.❤️

වලලු දාන එක වැන්දඹුවන්ට අකැපයි කියන නිසා ගමට කිට්ටු වෙද්දි සිලිං බිලිං හඬට නැලවෙන වලලු අත් දෙකින් ඉවත් කරන රත්නාගෙ මියැදෙන්න ඔන්න මෙන්න තිබුනු මෝස්තර නිර්මාණ හීනෙට ආයෙ පන දුන්නෙ අශ්වින් සර්.❤️

ඒ මහන මැශිමක් ගෙනත් රත්නාගෙ මූනෙ ඩාදිය බිංදු එක්ක මෝදු වන ලස්සන හිනාව දිහා බලන් ඉන්න ගමන් .

? රත්නා ඔයා හරි දහිරියවන්තයි.

? රත්නා ඔයා මට මහල දීපු ශර්ට් එක තමා මම අද ඇඳගෙන යන්නෙ. අපේ තාත්ත ඒක හරිම ලස්සනයි කිව්ව .

ජීවිතයට කොතෙක් බාධක ආවත් මොන විපර්යාසයක් සිද්ධ උනත් අපි අපේ ජීවිතයේ ඉස්සරහට යා යුතුමයි කියල සර්ට කියල දුන්නෙ රත්නා. සිහින කිසිදාක මියැදෙන්න උවමනා නෑ කියල උගැන්වුවෙ ගමෙන් ආපු හීනි එකී රත්නා.❤️

මෙහෙකාරියො පහත් කුලයේ කියල අවලාද අපහාස කරන දාහක් මිනිස්සු අතරෙ රත්නාව විශේශ කෙනෙක් විදියට දැක්කෙ රත්නාගෙ සර්.

? මාව මේ ලෝකෙ වැඩියෙන්ම තේරුන් ගත්ත කෙනා රත්නා

? අශ්වින් ඔයාලගෙ පවුලෙ අය කැමති වෙන්නෙ නෑ ඕකට . මොන දේ උනත් ඒ ඔයාගෙ සර්වන්ට්. කොතනක හරි කවදාකහරි ඔය ප්‍රශ්නෙ මතු වෙනව.

? මට ඒව වැඩක් නෑ මම එයාට ආදරෙයි .

ඒ මොන දේ උනත් රත්නා හැමදාම කියනව වගේ ජීවිතය ඉදිරියට යා යුතුමයි. රත්නාට උවමනා උනේ නෑ තමන්ගෙ ආදරේ වෙනුවෙන් අශ්වින් සර්ගෙ ජීවිතේ උකසට තියන්න. හැම තරාතිරමකම මනුස්සයෙකුට හීන දකින්න පුලුවන් හීන හැබෑ කරගන්නත් පුලුවන් . ඒක හැම කෙනෙකුගෙම අයිතිය. හීන අපිව ජීවත් කරවනව වගේම අපිට හීන වෙනුවෙන් ජීවත් වීමේ අයිතියකුත් තියෙනවා.❤️

රත්නාගෙ හීන වලට පියාපත් දීල අවසානයේ අශ්වින් ඈත රටකට පියාසර කරන්නෙ හිතකින් නෙවෙයි කියල ප්‍රේක්ශකයාට හිතුනත් ෆැශන් ඩිසයිනර් කෙනෙක් වීමේ ස්වප්නයට හුස්ම පිම්බෙ අශ්වින් සර් කියල දැනගත්තම සර් ලඟ ඉන්නව වගේ දැනිල හීනි මන්දස්මිතයක් එන්නෙ මහා බරකින් හිත නිදහස් උනා වගේ.❤️

අශ්වින් සර්ට රත්නාම අමතක කරන්න කියල කියපු හැන්දෑවෙ හිටපු බැල්කනියට ගිහින් ඈත දුර කතරට අමතල රත්නා කියන්නෙ අකුරු හතරයි .

? අශ්වින්

රත්නාට කවරදාකවත් සර්ගෙ නම කියල ආමන්ත්‍රණය කරන්න තියා සර්ගෙ දෑස මානයේ පේන්න පුටුවකින්වත් ඇන තියාගන්න හැකියාවක් තිබුනෙ නෑ. ඒත් අවසානයේ රත්නාගෙ හීනෙට පණ පොවල අශ්වින් සයුරු හතකින් එහා ඉන්නකොට ලඟින් ඉන්නව වගේ දැනෙන හැඟීම් ගොන්න පොදි බැඳගෙන හිටපු රත්නාට දුරින් ඉඳන් හරි එහෙම අමතන එක ආශිර්වාදයක් . ❤️

හීන කියන්නෙ දුර ඉඳන් බලනකොට දේදුන්නක් වගේ දිලිහෙන ලං උනාම මිරිඟුවක් වගේ දිස් වෙලා හැබෑ කරගන්න පුදුමාකාර වෙහෙසක් දරන්න සිද්ධ වෙන ඒත් අපිව ජීවත් කරවන දෙයක්. බලාපොරොත්තුවක් කියන්නෙත් අපිට ජීවත් වෙන්න හුස්ම සපයන ඉන්ධනයකට. බලාපොරොත්තු හීන පොදි බැඳගෙන සුඛෝපභෝගී ජීවිත පෙවෙත් ගත කලත් උවමනාවක් නැති පුද්ගලයන්ට රත්නා කියන්නෙ පරමාදර්ශයක් .

 

? හීන කියන්නෙ හැමෝගෙම අයිතියක්. මොන දේ උනත් ජීවිතේ ඉස්සරහට යා යුතුමයි.

ඊයේ දවසේ සිදු වූ පසුතැවීම් වලට අද දවසේ ලැබුනු ආශිර්වාදය උදුරාගන්න ඉඩ දෙන්නෙපා. අද දවස හීන වල ඵල නෙලාගන්න තියෙන උපරිම අවස්ථාවක් බවට පත් කරගන්න. ❤️

හීන වෙනුවෙන් මහන්සි වෙන්න. හීන සඵල උනාම රත්නාගෙ මුවඟට නැගුනු හිනාමල් වගේ හිනාමල් සිය ගණනක් පිපේවි. ❤️

අශිනි රන්දිනි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *