Silenced (2011) Korean | Sinhala Article

Silenced (2011) Korean by Kosala D Maduraweera

8.1/10 · IMDb

95% liked this film Google users

ඔබ වයස අවුරුදු 10ක පමණ සවන් නෑසෙන, කතා කළ නොහැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. ඔබ, ඔබේ දිළිඳු දෙමාපියන්ගෙන් ඈත්ව නේවාසික පාසැලක ඉගෙනුම ලබනවා. මේ නේවාසික පාසැල භාරව සිටින වයස අවුරුදු 65ක් පමණ වන පාලක ගුරුතුමා ඔබව විටින් විට ලිංගික අතවරයට ලක් කරනවා. ඒ බව ඔබ “සංඥා බසින්” ඔබේ පන්ති භාර ගුරුවරයාට පවසනවා. ඔහු දිනක් ඔබව ඔහුගේ ගුරු නිවසට රැගෙන යනවා. එහිදී ඔහුද ඔබව ලිංගික අතවරයට ලක් කරනවා. එපමණක් නොව ඔබ එයට ඔබට හැකි අයුරින් විරුද්ධ වීමට තැත් කරන විට ඔබට ඔහු අමානුෂික අයුරින් පහර දී ඔබව අඩපණ කරනවා. අවසානයේදී මේ බව ඔබ නේවාසිකාගාරයේ පාලිකාවට දන්වනවා. ඇය ඔබව කළුවර කාමරයක සිර කොට තබමින්, අනේක විධ ශාරීරික වධ බන්ධනවලට ලක් කරමින් පීඩාවට පත් කරනවා. මේ සියලු අඩන්තේට්ටම් හමුවේ අවසන තව දුරටත් වයස අවුරුදු 10ක් වන ඔබ “පණ පිටින් සින්නේ නම්” එතැනින් මතුවට ඔබට කාගේ පිළිසරණක්ද?

උඩ මම ලියපු වචන ටික දැනුනද? රිදුනද? ඇඬුනද? දන්නවද ඔය ඇත්තම ඇත්ත කතාවක්. ඔබ සහ මම ජීවත් වන මේ ලෝකයේ තැනින් තැන අහන්න දකින්න ලැබෙන “ඇත්තම ඇත්ත කතාවක්” ඉතින් දුක් වෙනවා ඇරෙන්න අපිට වෙන මොනවද මේ වෙනුවෙන් කරන්න පුලුවන් නේද? එහෙම හිතුනද? එහෙනම් ඔබත් වක්‍රාකාරව පීඩකයාට සහය වන්නෙක්. ඔබට හැකියාව පවතින්නේ වචනයකින් විරුද්ධ වීමටද? විරුද්ධ වෙන්න! ඔබට හැකියාව පවතින්නේ පැමිණිලි කිරීමෙන් විරුද්ධ වීමටද? විරුද්ධ වෙන්න! ඔබට හැකියාව පවතින්නේ fb එකේ ලිවීමෙන් විරුද්ධ බව දැනවීමටද? කරුණාකර විරුද්ධ වෙන්න!

ලිංගිකව අතවර කිරීම පමණක් නොව දරුවාට පහර දීමද, පරුෂ වහනයෙන් බැණ වැදීමද, ක්‍රියාවෙන් අසරණ කිරීමද “අතවරයන්ය”. අවාදර්ශමත් අයුරින් හැසිරීමද අතවරයක්ය. දරුවාගේ අකමැත්තෙන් දෙරණ Little Star රැගෙන ඒමද අතවරයක්ය. එබැවින් බොහෝ අවස්ථාවල “අතවරය” යන වචනය හා යුගල් වී පැමිණෙන “ලිංගික” යන වචනයෙන් පැන නඟින්නා වූ “ලිංගික අතවර” යන්න පමණක් “අතවර” නොවන්නේය. අතවර යනු සෑම ආකාරයකම පීඩාවන් පමුණුවාලීමය. එබැවින් පළමුව ඒ පිළිබඳව දැනුම්වත් වන්න.

ඔබ ඔබේ දරුවන්ව පල්ලියට, පන්සලට මහත් විශ්වාසයෙන් යුතුව පිටත් කර හරින දෙමාපියෙක්ද? එහෙම අයෙකු නම් ඔබ, ඔබ හරිම මෝඩයි! තමන්ගේ පියා විසින්ම දූෂණය වූ දැරිවියක් සම්බන්ධයෙන් වන පුවතක් පෙරදා රැයේ රූපවාහිනිය තුළින් නැරැඹූ ඔබ පසු දින ඔබේ දරුවා පන්සලේ හෝ පල්ලියේ පැවිදි පූජක පිරිස වෙත කිසිදු බියක් සැකයක් නොමැතිව පිටත් කර හරිනවා නම් ඔබ තරම් අනුවණයෙකු තවත් නැත.

කුඩා සාමනේරවරුන් ඕනෑ තරම් ලිංගික අපයෝජනයට ලක්වෙන අතර, ඒ පිළිබඳ තොරතුරු අඩුවෙන් සමාජගත් වන්නේ මෙය “බෞද්ධ රටක්” වන බැවිනි. මීසමේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද පූජකවරයෙකු මේ මොහොතේ “බදුල්ල එක්තරා දෙව් මැදුරක” ප්‍රධාන පූජකයාව කටයුතු කරන අතර ඒ පිළිබඳව තවකෙකු වෙනත් පූජකයෙකුගෙන් විමසූ විට ඔහු “ෆාදර්ස්ලත් මිනිස්සුනේ පුතා” යැයි පිළිතුරු දී හරවා එවූ බව ඔබ දන්නවාද? පල්ලිය තුළ පූජකවරු විසින් අතවරයට ලක්කළ පුවත් පිළිබඳව ඔබ අසා තිබේද?

2005 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්තරා කතෝලික දේවස්ථානයක් මඟින් පවත්වාගෙන යනු ලැබූ ළමා නිවාසයක දරුවන් පිරිසකට ලිංගික අතවර සහ ශාරීරික වද හිංසා සිදුකරන ලද/සිදුකරන්නට වක්‍රාකාරව අනුබල දෙන ලද “ගීතිකා ලියන” ප්‍රසිද්ධ පූජකයෙකු කිසිදු වාරණයකින් තොරව නැවත රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා දේවස්ථානයක මීසම් භාර පියතුමා වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ බව ඔබ දන්නේ නැත. මෙලෙස ලියනවා නම් ලියන්නට බොහෝ සිදුවීම් තිබේ. නමුදු ඒවා කියැවීමට ඔබට කාලය නොමැත.

එක්තරා වසරක ළමා නිවාසයක් තුළදී ලිංගික අතවරයට සහ ශාරීරික වධ හිංසාවලට ලක් වූ දරුවන් පිරිසක් #ළමාරක්ෂක_අධිකාරිය භාරයට ගැනෙනවා. ඔවුන් ඒ ළමුන්ව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුවිට ප්‍රදේශයේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබනවා. අනතුරුව අධිකරණය තුළ වසරකට ආසන්න කාලයක් පුරාවට ඇදුණු නඩුව අවසානයේ පන්නිපිටියේ පිහිටි ළමා විශෝධනාගාරයකට මේ ළමුන් හරවා යවන අතර ඔවුන්ව දරුණු අපරාධ සිදු කළ සිරකරුවන් සිටිනා බසයක් තුළ ප්‍රවාහණය කරන අතර තුරේ එතැනදිත් සිරකරුවෙක් විසින් එහි සිටි එක් දරුවෙකුට ලිංගික අතවර සිදු කරනවා. ළමාරක්ෂක අධිකාරියේ උගත් නෝනා මහත්වරු පිං පඩිවලට පුටු රත් කරන විට අපේ රටේ ළමුන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ නරුම අත්දැකීම්වලටය.

මෙවැනි දෑ පිළිබඳව ලියනවා නම් තවත් ලිවිය හැකි නමුදු ඒවා කියැවීමට ඔබට වෙලාවක් නොමැත. මීට මාස කිහිපයකට පෙරාතුව සිය මව විසින් ගණිකා වෘත්තියේ යොදවන ලද වයස අවුරුදු 15ක පමණ දැරිවියක් සම්බන්ධයෙන් වන පුවතක් ගින්නක් සේ පැතිරී ගිය බව ඔබට මතක ඇති. ඇතැම් විටෙක ඒ දැරිවියව අපයෝජනයට ලක් කරනා වීඩියෝවක් “ලීක් වූයේ නම්” ඔබ එය නරඹන්නේ නැතිද? පපුවට තට්ටු කරමින් අසා දැනගන්න. මවක් විසින් සිය ලෙයින් උපන් දැරිවියක ගණිකා වෘත්තියේ යොදවන්නේ පාරේ මළපහ කරන ඉන්දියාවේ නොව මේ “බුදුන්ගේ රාජ්‍යයේදීය”. ඒ දැරිවියව අපයෝජනයට ලක්කළ පිරිස් අතර මහේස්ත්‍රාත්වරයෙකු සිටි බවට මතකයක් ඇත (වැරදි නම් නිවැරදි කරන්න). එවැනි සමාජයක අප ජීවත් වේ.

ගිය වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා වන තෙක් ගෙවුණු දින 365 තුළ එකදු දවසකදී හෝ CWBureau එකෙන් නොපැමිණි “ළමාරක්ෂාව” සම්බන්ධයෙන් වන කෙටි පණිවුඩයක් අද පමණක් පැමිණෙනවා.

“Responsibility is ours to protect our children and any exploitation of children including online harassment is a punishable offence. Report such incidents on 0112444444.
A Message of Police Children & Women Bureau.”

ආයෙත් එවැනිම වූ පණිවුඩයක් පැමිණෙන්නේ ලබණ වසරේ ඔක්තෝබර් 1 වැනිදාය. එතෙක් කල් දරුවන් කී දෙනෙකු නම් අපචාරවලට ලක් වනවාද යන්න සොයා බැලීමට ලංකාවේ ළමාරක්ෂක අධිකාරියට “කහන්නේ නැත”. මා දන්නා කියන පවුලක වයස අවුරුදු 4ක පමණ සුරතල් පිරිමි දරුවෙකු සිටියා. ඔහු සමඟින් බදුල්ල නගරයේ ප්‍රසිද්ධ වෙළඳසැලක වයස අවුරුදු 70ක් පමණ වන හිමිකරුවෙක් හිතවත්ව සිටියා. මේ කුඩා දරුවාගේ නිවස අසලින් පෙර කී වෙළඳසැල් හිමිකරුවා යනෙන විට ටොෆියක්, චොකලට් එකක් ලබාදෙන්නට පුරුදු වී සිටියා. දිනක් මේ කුඩා දරුවා නිවස තුළට හඬාගෙන පැමිණියා. මේ කුඩා දරුවාගේ පියා ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට හැඬූ කඳුලින් කුඩා දරුවා පවසා සිටියේ මහළු වෙළඳසැල් හිමියා ඔහුගේ ලිංගික අවයව ස්පර්ශ කෙරූ බවයි. මේ පිළිබඳව දිනක් දරුවාගේ පියා මගේ මිතුරෙකුට පවසා ඇති අතර එහිදී පැමිණි ආවෙගයට “අපි පොලීසියට කියමුද” යි අසන ලද අවස්ථාවේ දරුවාගේ පියා පවසා ඇත්තේ “පිස්සුද මල්ලී, ලැජ්ජා නැද්ද, මම ආයෙ පොඩි එකාව එළියට යවන්නේ නැහැ” යනුවෙනුයි. මෙවැනි අවස්ථාවක ඔබ කෙසේ හැසිරෙන්නේද?

ඇතැම් විට මේ සටහන කියවන ඔබ කුඩා කළ ලිංගික අපයෝජනයට ලක්වූ අයෙක් විය හැකියි. එවැනි සිදුවීම් ඔබේ ජීවිතයට කිසිදාක නොමැකෙන කැළලක් ඇති කරන බවද ඔබ දන්නවා ඇති. ඇතැම් විටෙක ඔබට අපයෝජනයට ලක් කරන ලද්දේ පිටස්තරයෙකු නොව ඔබගේම සමීපතමයෙකු වෙන්නට ඇති. ඔබ දන්නවාද? දරුවන් අපයෝජනයට ලක් වන්නේ බොහෝ විට නොදන්නා අයෙකුගෙන් නොව ඔබට සමීප ඔන හොඳින් දන්නා හඳුණන අයෙකු අතින්ය. අද හෝ අනාගතයේ දිනෙක දෙමාපියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට එහි ඇති වගකීම් සහගත බව සහ බරපතල බව පිළිබඳව තවමත් දැනුවත් බවක් නොතිබෙන්නට පුළිවණ. තවත් පමා නොවී ඒ පිළිබඳව දැනුවත් වෙන්න.

සියල්ල අබ්ලික්, සියල්ල දූෂිත, සියල්ල වැනසී තිබෙන සිරි ලංකාවේ “ළමුන්” සම්බන්ධයෙන් පවතින දේවල් වැනැසී නොතිබෙන්නට හේතුවක් නැත. නිදි වැදී සිට ඔක්තෝබර් 1 වැනිදාට හදීසියේ අවධි වන ළමාරක්ෂක අධිකාරිය වැනි නාමික ආයතනවල මඟපෙන්වීම හෝ මැදිහත්වීම බලාපොරොත්තු නොවී ඔබ ඔබට මඟපෙන්වීම අරඹන්න. ඔබම මැදිහත් වන්න. එවිට අනාගතයේ දිනෙක ඔබේ දරුවන් අපයෝජනයට ලක්වීමෙන් ආරක්ෂා කරගත හැකි වේවි.

ගුරුවරුන් විසින් දරුවන් අපයෝජනයට ලක්වන රටක, ජනතා නියෝජිතයන් (මන්ත්‍රීවරු) විසින් දරුවන් අපයෝජනයට ලක්වන රටක, පූජ්‍ය පක්ෂය විසින් දරුවන් අපයෝජනයට ලක්වන රටක, මව පියා විසින් දරුවන් අපයෝජනයට ලක්වන රටක, ඔබේ දරුවා කවර තත්ත්වයක් යටතේ වුවද “සුරක්ෂිත නැත”. එබැවින් ලෝක ළමා දිනයදා හදිසියේ නිදි වැද සිට ඇහැරුණු #ළමාරක්ෂක_අධිකාරිය මෙන් නොසිට සෑම මොහොතකම ඔබේ දරුවන් ගැන අවදියෙන් සිටින්න. “වක්‍රාකාරව අපයෝජකයන්ට සහය වන්නෙකු නොවන්න”

Silenced (2011) සිනමාපටය ඔබ අනිවාර්යයෙන්ම නැරැඹිය යුත්තකි. එය සමාජ වගකීම්වාදී පුරවැසියෙකුගේ යුතුකමක් බව සඳහන් කරනු කැමැත්තෙමි. අප මිනිසුන් වීම නිසාම නැරැඹිය යුතු සිනමාපට තිබෙන අතර මෙයද එයින් එකකි. එබැවින් පමා නොකොට, පමා නොවී අදම නරඹන්නට උත්සුක වන්න.

ළමා දිනය දා “Chillar Party” හෝ වෙනයම් “සුරංඟනා කතාවන්” නරඹන්නට ජාතියක් වශයෙන් හුරු පුරුදු වී ඉන්න අපට මේවා කර්කෂ විය හැකිය. නමුත් මේ ලොව ඔය කියනා තරම් ලස්සන නැත. එබැවින් යථාර්ථයට මුහුණ දෙන්න, අදම “ළමුන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් නිමැවුණු ” Silenced (2011) දකුණු කොරියානු යථාර්ථවාදී සිනමාපටය නරඹන්න.

Hwang Dong-hyuk
Initial releaseSeptember 22, 2011
Box officeUS$30.7 million

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *