Shoplifters (2018) Japanese | Sinhala Article

Shoplifters (2018) Japanese  by Indeewari Herath

මෙලොව ඕනෑම රටකට, ඕනෑම සමාජයකට,ඕනෑම කුලයකට හෝ ඕනෑම ආගමකට පොදු ධර්මතාවයක් ඇත. එය නම් දුගීභාවය යි. දුප්තුන් නැති ලෝකයක් නැත, රටක් නැත, කුලයක් හෝ ආගමක්ද නැත. ලොව සුපිරි ධනපතියන් වෙසෙන අමෙරිකාවේද පදික වේදිකාව නිවහනක් කරගත් අන්ත දුගී ප්‍රජාවක් වෙසෙති. ඔවුන්ට අහිමි වන්නට යමක් නැත. අමුතුවෙන් වෙහෙසී ලබා ගන්නට දෙයක්ද නැත. පවතින්නේ එදිනෙදා යැපීම පිළිබඳව කෙරෙන සටනක් පමණි.

යමෙකුගේ දුගීභාවය ⁣මනින්නෙ තවකෙකුගේ ධනවත් බවට සාපේක්ෂව ය. මුදල මත පමණක් පදනම්ව මැරතන් එකක දුවමින් සිටින ලෝකයක වැඩි වටිනාකමක් හිමි වන්නේ යම් තැනැත්තෙක් සතු මුදල් ප්‍රමාණයේ අගය වැඩි වන තරමට ය. මෙම සමාජ ක්‍රමය තුළ සෑම විටම යම් පුද්ගලයෙක් තුළ ඇති මානුෂීය ගුණධර්මයන්හි අගය පවතින්නේ ඔහු හෝ ඇය සතු මුදලේ අගයට පහල මට්ටමක ය.
මිනිසුන් තුළ පවතින මානුෂීය බැඳීම් වලට යම් මිලක් නියම කළ හැකිද? කොන්දේසි විරහිත කාරුණික බවක්, අනෝන්‍යය උපකාරීත්වයක් හෝ ප්‍රේමයක් මොළොව පවතින්නේම නැතිද? පවුලක් ලෙස ජීවත් වන්නට නම් එකම ලෙයින් ඉපදුන අයම සිටිය යුතුද? ඉතා වැදගත්, මිනිස්සුන්ට සතුටින් ජීවත් වන්නට මුදල් අවශ්‍යමද?
මෙවැනි ප්‍රශ්න රාශියකට පිළිතුරු ඉතා අපූරු ලෙස විවරණය කරමින් ජපන් සමාජයේ පහළම ස්ථරයක ජීවත් වෙන ගැහැණුන් සහ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවත වලට එබී බැලීමක් ලෙස නිර්මාණය වුනු අගනා චිත්‍රපටයකි Shoplifters. Shoplifters යනු සැබැවින්ම ප්‍රෙක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන චිත්‍රපටයක් ලෙස හැඳින්වීමේද වරදක් නැතැයි සිතමි.
ජීවිතය යනු මල්යහනක් නොවේ. ‘මල් යහනාවකි ලෝකේ’ යැයි කියුවද ලෝකයද ඔය සිතන තරම් මල් යහනක් නොවේ. අපට සියලුම දේවල් එක් ජීවිත කාලයක් තුළ අත්විඳිය නොහැක. එබැවින් නිරන්තරයෙන්ම වෙනත් අයගේ අත්දැකීම් වලින් ඉගන ගැනීමට සිදු වනු ඇත.

ඒ නොනවතින ජීවන අරගලයෙන් යම් යම් නිමේෂයන් කිහිපයක් Hirokazu Kore-eda විසින් තම අධ්‍යක්ෂණය යටතේ නැවතත් රූපගත කර ප්‍රේක්ෂකයා හමුවට රැගෙනවිත් ඇත. රසවින්දනය බලෙන් දීමක් නැත. එය ඔබව අඬවන්නේ නැත, හාස්‍යයක් ද නැත. සරලවම කිවහොත් දරිද්‍රතාවයෙ පතුල අතගාමින් සිටින පවුලක එදිනෙදා ජීවිතයේ සිදුවන යම් යම් සිදුවීම් කිහිපයක් තිරය මත සුමටව ගලාගෙන යනවා පමණි. නමුත් ඒ ගලා යෑම සරල නැත. එය ප්‍රේක්ෂකයාව ප්‍රකම්පනයට පත් කරයි. මිනිසුන්ගේ ජීවිත පිළිබඳව සහ තම පවුලේ සාමාජිකයින් සමග පවත්වන සබඳතාවයේ ස්වරූපය පිළිබඳවත් නැවත සිතා බැලීමට බල කරයි. සිහින නිද්‍රවන්හි අැලී ගැලී සිටින්නන් එයින් මුදවා සැබෑ ලොවට ඇද දමන යථාර්තවාදී සිනමාපටයකි shoplifters. වරක් නැරඹූ පසු එය අමතක කිරීම අපහසුය. තම මවගෙන් පවා අඩන්තේට්ටම් වලට ලක් වුනු පස් හැවිරිදි කුඩා දැරිය ‘ජූරි’ගෙ මොළකැටි ස්වභාවය අමතක කරන්නට අපහසු ය. දරුවකු වැදූ පමණින්ම මවක් විය හැකිදැයි ප්‍රශ්න කළ, තමන්ගේ නොවන දරුවන්ට මවක් වුනු නොබොයු අමතක කර දැමීම පහසු නැත.

ආදරය, කරුණාව, අගය කිරීම, සිනහව, මිත්‍රත්වය, පවුල ආදී හොඳම දේවල් ලැබෙන්නේ නොමිලේය. එම හොඳම දේවල් වලට පසුව ඇති හොඳම දේවල් එනම් දෙවනියට හොඳම දේවල් මිලාධිකය. අපි නොමිලේ ලැබෙන හොඳම දේවල් වලට පයින් ගසමින් දෙවනියට හොඳම දේවල් පසුපස දුවමින් සිටින්නෙමු.

Download
Subtitle Download

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *