Shamshera (2022) Hindi by Ramitha Vimukthi
Shamshera යනු මෙම වසරේ හින්දි සිනමාවෙන් නිර්මාණය වූ තවත් සුවිශේෂී චිත්‍රපටයක්. කරන් මල්හෝත්‍රාගේ අධ්‍යක්ෂණයෙන් සමන්විත වන මෙය Period චිත්‍රපට ශානරයට අයත් වනවා. මෙහි අනිකුත් විශේෂත්වය වන්නේ රන්බීර් කපූර් වසර හතරකට පසුව නැවත තිරය තුල දැක ගැනීමට අවස්ථාවක් ලැබීමයි. ජූලි 23 වනදා සිනමා ශාලාවල් වෙත පැමිණි මෙම චිත්‍රපටයට ලැබුණේ මිශ්‍ර විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්. මෙයට ලැබුණු විචාරක ප්‍රතිචාරයන්ට විශේෂ අවදානයක් යොමු කළා. ඉන් සැලකිය යුතු බහුතරයක් මෙය disaster එකක් ලෙස ලේබල් ගසා තිබුනා. ප්‍රධාන නළුවා නිසා නැවත වරක් Boycott Bollywood සහ nepotism යන මාතෘකාවන් සමාජ මාධ්‍යන් තුල ට්‍රෙන්ඩ් වෙන්නට ආරම්භ වුනා. නමුත් ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය Shamshera මෙතරම්ම අසාර්ථක සහ දුර්වල නිර්මාණයක්ද යන කාරණයයි.
කතාවට පාධක වන්නේ ඉන්දියාව බ්‍රිතාන්‍ය රාජ්‍යයට යටත්ව සිටි කාල සීමාවයි. කතාව ප්‍රධාන වශයෙන් ප්‍රබන්දයක් වූවත්, එම කාල සීමාව තුල සිදුවූ බොහෝ සිදුවීම් මෙයට පාධකවී තිබෙනවා. ඔබ ඉන්දියාව බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත්ව සිටි කාල සීමාව අධ්‍යනය කලොත්, එදා පටන් ඉන්දියාවේ තිබූ කුලවාදය ඉංග්‍රීසින් ඔවුන්ගේ වාසියට හරවාගත් ආකාරය රහසක් නොවේ. Shamshera චිත්‍රපටයටද පාධක වන්නේ එවැනි අසාදාරණයකට ලක්වූ ගෝත්‍රික කුල ප්‍රජාවක් සම්බන්දවය. ඔවුන්ට මෙම ඉරණම අත්වන්නේ දරෝගා ශුද් සිං නම් ඉංග්‍රීසි හිතවාදී පාලකයෙකු නිසා. සිං එම ප්‍රජාවට යුක්තිය ලබාදෙන මුවාවෙන් සිදු කරන්නේ රැවටීමක්. මෙහි අපට හමුවන ප්‍රධාන චරිත දෙක වන්නේ බල්ලී සහ ශම්ශේරා. වසර 25 කට පෙර මෙම ගෝත්‍රයට සිදුවූ අසාදාරණයට මුහුණපාන්නේ එහි ප්‍රමුඛයෙකු වූ ශම්ශේරාය. බල්ලී වසර 25 කට පසුව එම ගෝත්‍රයට සිදුවූ අසාදාරණය වෙනුවෙන් සටන් කිරීමට පෙළඹෙනවා (පූර්ව ප්‍රචාරක පටයේ ඇතුලත් වෙච්ච නිසා spoiler එකක් නොවේ). චිත්‍රපටයේ මූලික කතා වස්තුව මෙයයි.
Shamshera චිත්‍රපටයේ නිර්මාණකරුවන් අතරින් සිදුවූ බරපතලම අඩුපාඩුවක් වූයේ මෙය නිසි ලෙස ප්‍රොමෝට් නොකිරීමයි. විශේෂයෙන්ම පූර්ව ප්‍රචාරක පටය තුල කතාවේ ප්‍රධාන plot points රැසක් ඇතුලත් වෙලා තිබුනා. විශේෂයෙන්ම රන්බීර් කපූර් චරිත ද්විත්වයක් රඟපානවා යන කාරණය පූර්ව ප්‍රචාරක පටය තුල සඟවා තැබුවා නම්, මෙහි එක්තරා ආකාරයක කුතුහලයක් එකතු කරන්නට තිබුනා. පසුගිය කාලයේ තිරගත වුනු බහුතරයක් හින්දි චිත්‍රපට ප්‍රචාරක පටවල මේ අඩුපාඩුව අඩු වැඩි වශයෙන් ඇතුලත්වී තිබුනා. චිත්‍රපටයේ කතාව තුල emotional connectivity එක අවමයි. අප Baahubali, KGF සහ Vikram දෙස බැලුවොත් ඔවුන් මේ අංගයන් සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. දරුවා සහ මව / පියා අතර ඇති බැඳීම සහ අනිකුත් මානුෂීය සම්බන්දතාවයන් වලට නිසි අවකාශයක් මෙහි තිර රචනය ලබා දීමට අසාර්ථකවී තිබෙනවා. විශේෂයෙන්ම රන්බීර් සහ ඔහුගේ මව සහ පියා අතර ඇති සම්බන්දය සංවේදනාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබුනේ නැත. මෙය ප්‍රධාන අඩුපාඩුවක් ලෙස දැනුණා. ඒ සමගම මෙයට ඇතුලත් වන ආදර කතාව තුලද එම අඩුපාඩුව දුටුවා.
රන්බීර් කපූර් මෙම චිත්‍රපටයේ ප්‍රභලම අවියයි. චිත්‍රපටය පුරාවටම නෙත ගැටෙන විවිද වූ අඩුපාඩු මැකී යන්නේ ඔහුගේ රංගනය නිසාවෙන්. සැබවින්ම මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා අවදානය රඳවා ගැනීමට සමත් වූයේ ඔහුගේ රංගනයයි. මෙහි සහාය චරිත රඟ දැක්වූ Saurabh Shukla සහ Sanjay Dutt ඔවුන්ගේ චරිතයන්ට සාදාරණයක් ඉෂ්ට කරත්, ඔවුන්ට කතාවේ ගලා යාම තුල ප්‍රභල අවකාශයක් ලැබෙන්නේ නැත. Vaani Kapoor ට මෙවැනි බොහෝ චිත්‍රපට වල, ප්‍රධාන නිළියට අත්වන දේ සිදුවෙලා තිබුනා. ඇයට ප්‍රධාන වශයෙන් තිබුනේ නර්තන අංගයන් සහ රූපයෙන් ප්‍රේක්ෂකයාව පිනවීමට පමණයි.
රන්බීර් කපූර්ගේ රංගනයට අමතරව චිත්‍රපටයේ ප්‍රභලම අංගයන් වන්නේ මෙහි තාක්ෂණික අංශයන්. මෙය දැවැන්ත period ගණයේ වාණිජ චිත්‍රපටයක් නිසා, එම අංශයන් තුලින් උපරිමය ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම මෙහි රූපරාමු සහ කලා අධ්‍යක්ෂණය ඉහල මට්ටමක දක්නට ලැබුනා. VFX සහ cinematography ද ප්‍රධාන වශයෙන් කැපී පෙනුණා. විශේෂයෙන්ම චිත්‍රපටයේ අවසන් හෝරාව තුල. මෙහි ඇතුලත් වූ සටන් ජවනිකාද සැහීමකට පත්විය හැකි මට්ටමකට දක්නට ලැබුනා. Mithoon ගේ සංගීත අධ්‍යක්ෂණයද හොඳ මට්ටමක තිබුනා. මෙම තාක්ෂණික අංශයන් සහ රන්බීර් කපූර්ගේ රංගනය, සමස්තයක් වශයෙන් සිනමා ශාලාවක නරඹා ගත හැකි රස වින්දනයක් ලබා දීමට ප්‍රමාණවත් වුනා.
ඒ අනුව මෙය කිසි සේත්ම අසාර්ථක හෝ බාල ගණයේ චිත්‍රපටයක් නම් නොවේ. නමුත් ඉතා සාර්ථක වන්නට තිබූ නිර්මාණයක්, නිසි ප්‍රචාරයක් නොමැති නිසා සහ තිර රචනයේ emotional connectivity එක යම් මට්ටමකට අවම නිසා නැති කර ගෙන තිබෙනවා. හැකි නම් මෙය සිනමා ශාලාවකම නරඹන්න.