Savitri – Vyjayanthimala Indian Actress | Sinhala Article

Savitri – Vyjayanthimala Indian Actress by Rajith Madumal Weerasooriya

සමාන්තර භාරතීය සිනමාවන් ජයගත් සුරූපිනියන් දෙපළ, සාවිත්‍රි සහ වයිජයන්තිමාලා

50, 60 දෙදශකයන්හි තෙලුගු සහ දමිල සිනමාවේ වැඩිම මුදලක් අයකල මහානති, නඩිගයියර් තිලගම් නොහොත් මහා රංගධාරිණිය ලෙස විරුදාවලි ලත්, සාවිත්‍රි සහ 50, 60 දෙදශකයන්හි හින්දි සිනමාවේ වැඩිම මුදලක් අය කල පලමු කාන්තා සුපිරි තරුව, මෙගා ස්ටාර් සහ හින්දි සිනමාවේ ගිණි සිළුව යන විරුදාවලිය ලත් වයිජයන්තිමාලා යන නිළි රැජිනියන් එකම කැමරා කාචයකට හසු වූ ඡායාරූපයක් පසු ගිය දා මට හමුවිය..

බැලූ බැල්මට නිළි රැජිනියන් දෙදෙනා හමුවූ සොඳුරු හමුවක් ලෙස පෙනෙන මෙම ඡායාරූපය කුමන අවස්තාවකද යැයි නම් නොදනිමි.. ඒ කෙසේ වෙතත් මෙයින් මට දෙදෙනා ගැන වචන කිහිපයක් තබන්නට සිත් විය..

සාවිත්‍රි උපදින්නේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මදුරාසියේ චිරාවුරුහි තෙලුගු කතා කරන පවුලකය.. ඒ 1935 දෙසැම්බර් 6 වනදා නිසංකර සාවිත්‍රි නමිනි.. සාවිත්‍රි සයමස් බිළිදියකව සිටින කල ඇගේ පියාගේ අභාවය නිසා ඇය හැදෙනුයේ මවත් සමඟ මරුටියේ සිය මාමා සහ නැන්දා සෙවණෙහිය.. සිය මාමාගේ තල්ලුව යටතේ නර්තනය හදාරණ ඇය සිනමාවට එන්නේ ඒ නර්තනය තුල ඇය පෙන්වූ හැකියාවන් නිසා ලද ඇගයීම් නිසාමයි..

වයිජයන්තිමාලා 1933 වර්ෂයේ අගෝස්තු 13 වන දා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මදුරාසියේම දමිල බ්‍රාහ්මණ පවුලක වයිජයන්තිමාලා රමන් ලෙස ඉපිද කුඩා කල සිට හැදෑරූ සිය ශාස්ත්‍රීය භරත නාට්‍යම් රංගනයෙන් තෙලුගු සිනමාවට පිවිස ඉන් හින්දි සිනමාවට අත් පොත් තබන්නීය.. ඇයගේත් පසු පසින් සිටින්නේ ඇගේ දෙමාපියන් නොව ඇගේ මිත්තණිය යදුගිරි දේවිය..

මුල් කාලයේ තමන්ට නුහුරු දමිල බස ඉගෙන ගැනීමට සාවිත්‍රිත්, තමන්ට නුහුරු හින්දි බස ඉගෙන ගැනුමට වයිජයන්තිමාලාත් වෙහෙස වී ඇත.. ඒ කාලයේ තමන් දායක වෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට මෙම නිලියන් කෙතරම් වෙහෙස වී ඇති බව කිව යුතු නොවේද?

එපමණක්ද සාවිත්‍රි භාව ප්‍රකාශනයෙන් ඉහළ රංගනයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිය නර්තන හැකියාව තෙලුගු, දමිල සිනමාවේ පෙන්වද්දී හින්දි සිනමාවේ වයිජයන්තිමාලා සිය නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැද තබාගනිමින් භාව ප්‍රකාශිත රංගනයක නියැලුනාය..

සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ දේව්දාස් නවකතාව ඇසුරින් සැකසුන වේදන්තම් රාඝවයියාහ් අධ්‍යක්ෂණය කල 1953 දේවදාසු චිත්‍රපටයේ පාරෝ වෙමින් සාවිත්‍රි සම්මානිතව සිය ලකුණ තෙලුගු සිනමාවේ මුද්‍රා තබද්දී, එම නවකතාවෙන්ම සැකසුන බිමල් රෝයි අධ්‍යක්ෂණය කල 1955 දේව්දාස් චිත්‍රපටයේ වයිජයන්තිමාලා චන්ද්‍රමුකී වෙමින් හින්දි සිනමාවේ සම්මානිත වුනාය..

ඒ වගේම පැවසිය යුතුයි, සමහර අවස්ථාවල සිනමා දෙකක ඔවුන් එකම කතාවක එකම චරිත රඟ පෑ අවස්තාවන්ද තිබේ.. 1958 අමර්දීප් හින්දි චිත්‍රපටයේ වයිජයන්තිමාලා රඟපෑ අරුනා චරිතය තෙලුගු සිනමාවේ 1956 අමර දීපම් චිත්‍රපටයේ රඟපා ඇත්තේ සාවිත්‍රි විසින්..

තමන්ට පුරුදු තෙලුගු, දමිල සිනමාවෙන් ඔබ්බට යමින් හින්දි, කන්නඩ, මලයාලම් සිනමාවන්ගේ සාවිත්‍රිද, තමන්ට හුරු හින්දි සිනමාව සමගින් වයිජයන්තිමාලාද දමිල, තෙලුගු, බෙන්ගලි සිනමාවලද වැඩ කලෝය..

සාවිත්‍රි ජනප්‍රිය දමිල සිනමා නලු ජෙමිනි ගනේෂන් හා ආලයෙන් බැඳී ඔහු විවාහ කරගත්තාය.. නමුත් අවසානයේ ඇයට ඉන් ඇතිවුනේ ප්‍රශ්න ගොඩකි.. දිලිප් කුමාර් සහ රාජ් කපූර් වැනි නලුවන් හා වයිජයන්තිමාලාගේ ආදර කතාවන් ගැන කට කතා පැතිරුනත් ඇය විවාහ වන්නේ 1968 දී වෛද්‍ය චමන්ලාල් බාලි සමඟයි..

50, 60 දෙදශකයන්හි ඉහළ ජනප්‍රියත්වයෙන් පසුව සාවිත්‍රි පිරිහුණු ජනප්‍රියත්වය සහ පෞද්ගලික ප්‍රශ්නත් සමඟ හැත්තෑව දශකයේ සහය චරිත වලටද දායක වුනාය.. නමුත් වයිජයන්තිමාලා 50, 60 දශකවල ජනප්‍රියත්වය එලෙසින්ම රසිකයන්ගේ මතකයේ තබමින් සිය සාර්ථකත්වයේ හිණිපෙත්තෙහිදී සිනමාව අත හැරියාය..

සාවිත්‍රි බීමත්කමට ඇබ්බැහිව අධි රුධිර පීඩනය සහ අධික දියවැඩියාව නිසා මාස දහනවයක කෝමා තත්වයකින් පසුව 1981 දෙසැම්බර් 26 වනදා ලොව හැර ගියාය..

වයිජයන්තිමාලා එදා ජනප්‍රියත්වය, අභිමානය තවමත් රඳවාගනිමින් අද අසූ අටවන වියේ පසු වෙමින් සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නීය..

සවිත්‍රිගේ දිවිය අලලා සැකසුන නාග් අශ්වින් අධ්‍යක්ෂණය කල 2018 මහානතී, නඩිගයියර් තිලගම් චිත්‍රපටවලින් කීර්ති සුරේශ්ගේ රුවෙන් සාවිත්‍රිව නව පරපුරේ රසිකයන් හඳුනාගත්තා නිසැකයි.. නොදනිමි වයිජයන්තිමාලා නමින් චිත්‍රපටයක් සැකසෙයිද කියා, නමුත් වයිජයන්තිමාලා ස්වයං චරිතාපදානය Bonding…… A Memoir හරහා අපට ඇගේ කතාව ඇගෙන්ම කියවිය හැකියි..

යලිත් සොයායමු අතීතය ❤

රජිත් මධුමාල් වීරසූරිය

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *