Sathyajith Ray’s Pather Panchali 1955 by Hasanka Somarathne
පළමුව මාගේ පුද්ගලික මුහුණු පොත් ගිණුමේ මේ මොහොතේ ඉතා අසරණව සිටින සුවහසක් ආදරණීය ඉන්දියානු ජනතාව වෙත රියැක්ටුවකින්, කමෙන්ටුවකින් සිය ආදරය හිතෛෂීභාවය පළ කල ඔබ සැමට මාගේ මෙන්ම මාගේ ඉන්දීය මිතුරු මිතුරියන්ගේද හද පිරි ස්තූතිය පළමු කොට හිස නමා පුදකර සිටින්නෙමු.??❤️
සත්‍යජීත් රායි සහ මාවතේ ගීතය..
බටහිර බෙංගාලයේ ජනාකීර්ණ මාවතක උකස් භාණ්ඩ මධ්‍යස්ථානයකට ඇතුළු වී සිය බිරිඳගේ කණකර ආභරණ ඇපයට තබාගෙන දිය හැකි උපරිම මුදලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින අවුරුදු 30ක පමණ තරුණයෙකි. බැලූ බැල්මට උස අඩි 6යි අඟල් 5ක් පමණ දේහධාරී කඩවසම් පුද්ගලයෙකි. ලබා ගත් මුදල අත මිට මොලවාගෙන යන මේ තරුණයා පසු කාලීනව ඉන්දියානු සිනමාව ජාත්‍යන්තර රඟ මඩලේ හිනිපෙත්තටම එසවීමට සමත් යුග පුරුෂයෙකු වේ යැයි කිසිවකු නොසිතන්නට ඇත.
ඔහු නමින් සත්‍යජීත් රායි…..
වර්ෂ 1921 මැයි මස 02 දා කොල්කටාහි මධ්‍යම පාන්තික පවුලක උපත ලද මෙතුමාට සිය පියා අහිමි වන්නේ ඔහුට අවුරුදු 03ක් තරම් කුඩා කලදීය. බැලිගුන්ජි රජයේ පාසලින්ද, කොල්කටා ජනාධිපති විදුහලින්ද සිප් සතර හදාරා පසුව ශාන්ති නිකේතනයෙන්ද සිය අධ්‍යාපනය හැදෑරීය.
මොහු වෘත්තියෙන් චලන රූ අධ්‍යක්ෂකවරයෙක්, කතුවරයෙක්, සිත්තරෙක් මෙන්ම ග්‍රැපික් නිර්මාණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පිවිසීය.
සිනමා උන්මාදයේ උච්චතම අවස්ථාවක පසු වූ මොහු මාස 03ක කාලයක් තුළ ලොව විශිෂ්ඨ සිනමා නිර්මාණ 99ක් නරඹා ඇති බව කියවේ. මේ අතරින්ද ඔහු පුළුල් තිරයේ නැරඹූ “බයිසිකල් තීව්ස්” චිත්‍රපටය මෙතුමා තුළ බලවත් කම්පනයක් ඇති කර ඇති අතර කෙදිනක හෝ ලොව පිළිගන්නා අනර්ඝ සිනමාපටයක් තමා විසින් නිර්මාණය කරන බවට අදිටන් කරගෙන ඇත.
විභූතිභූෂණ බන්ධෝත්පාද්‍ය මහතා විසින් රචිත “පාතර් පංචාලි” (මාවතේ ගීතය) නම් ග්‍රන්ථය කියවන මොහොතේ මෙය සිනමාවට නැඟිය යුතු බවට සිතිවිල්ලක් පහල වී ඒ ඔස්සේ තැබූ පියවර සිය දිවියේ මහා සංධිස්ථානයක් වනු ඇති බවටත්, ඉන්දියානු සිනමාවේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවටත් ඔහු මොහොතකටවත් නොසිතන්නට ඇත.
“ද රිවර්” චිත්‍රපටය රූගත කිරීමට බෙංගාලයට පැමිණ සිටි ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජීන් රේනුආ මහතා හමුවී ඔහුට අවශ්‍ය දර්ශන තල සොයා දීමට ඇප කැප වූ සත්‍යජීත් රායි තෙම මෙම පාතර් පංචාලි කෘතිය සිනමා නිර්මාණයක් කිරීමට තමා තුළ පවතින අභිලාෂය හෙලි කල අවස්තාවේ ඊට සහය වීමට ජීන් මහතා කැමැත්ත පල කලේය.
*පාතර් පංචලී මතකයන්…*
දිළිඳු බාවයේ පත්ලේම අති දුෂ්කර ග්‍රාමීය ජීවිතයක් ගත කරන බ්‍රාහ්මණ පවුලක අපූර්ව හා දුර්ගා නම් කුඩා දරුවන් දෙදෙනකුගේ කටුක ජීවන අන්දරය පාදක කර ගත් සිනමා නිර්මාණයකි. මානව සංතානයේ ප්‍රබලතම හැඟීම් වන ආදරය, දයාව, කරුණාව, විරහව, කෝපය,ආත්මානුකම්පාව මොනවාට ස්පර්ශ කල සිනමා කෘතියක් බව නම් කිව මනාය.
නව කතාවත් සිනමා නිර්මාණයත් අතර සිදු කල වෙනස්කම්ද කීපයකි.
මෙම නවකතාවේ දරුණු උණ රෝගයකින් දුර්ගා මිය යන මොහොත පිළිබඳ විස්තරාත්මක සටහනක් නොමැති නමුත් චිත්‍රපටයේ එම අවස්ථාවට ධාරානිපාතපාත වර්ෂාවක් එකතු කර ඇත.
තවද මෙහි අපූර්වගේ පියාගේ චරිතයට පණ පෙවූ කනූ බැනර්ජි නව විලාසිතාවකට කොණ්ඩය කපා ආ මොහොතක ඊට අකමැති වූ අධ්‍යක්ෂකතුමා නැවත කොණ්ඩය වැවෙන තෙක් රූගත කිරීම් නවතා ඇත.
මෙහි මහළු කාන්තාව වන ඉන්දීර්ගේ චරිතයට පණ දුන් චුනිබාලා දේවී තරුණ කල ගණිකා සේවයේ යෙදී ඇති කාන්තාවක් වන අතර අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අයෙක් බව පැවසේ. රඟපෑම සඳහා ඉතා සුළු මුදලක් අය කර ඇති ඈ ප්‍රධාන වශයෙන් ඉල්ලා ඇත්තේ රඟපාන සෑම දිනකටම අබිං ප්‍රමාණයකි. එසේ අබිං නොලැබුන දින වල ඈ සිහිසුන් පවා වී ඇති බව කියවේ.
රූ ගත කිරීම් අවසන් වී සතියකින් පමණ ඇය මරණයට පත්ව ඇත.
තවත් අවස්ථාවක දුම්රිය නැරඹීම සඳහා අපූ සහ දුර්ගා තෘණ යායක් මැදින් දිවයන අයුරු රූගත කිරීමට පෙර දින ඉන් තෘණ විශාල ප්‍රමාණයක් ගව රංචුවක් ආහාරයට ගෙන තිබූ නිසා නැවත වැවෙන තෙක් රූගත කිරීම් කල් දමා ඇත.
පසුව ආර්ථික අපහසුතා නිසා අවුරුදු 02කට රූ ගත කිරීම් නවතා ඇති අතර සත්‍යජීත් මහතා පවසා ඇත්තේ එම කාලය තුළ අපූගෙ කටහඬ නොවෙනස් වීමත්, දුර්ගාගේ ශරීරය නොවැඩීමත්, ඉන්දිරා මරණයට පත් නොවීමත් ආශ්චර්යයක් බවයි.
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සහ මෙය ප්‍රදර්ශනය කිරීමට යොදා ගත් නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ ආරම්භයත් තීරණාත්මක කාල පරාසයක් වූ අතර නොකඩවා ඒ සඳහා දින 07ක් ගත කල බවත් කියැවේ.
මෙම චිත්‍රපටය සිනමා උළෙලවල් වර්ණවත් කිරීමට සමත් විය. නැරඹූ ප්‍රේක්ෂකයන් විශ්මයෙන් ඇළලී ගියහ. ඉන්දියානු සිනමාව පිළිබඳ නව කතිකාවතක් යුරෝපය සහ ඇමරිකාව පුරා පැතිර ගිය අතර අන්තර්ජාතික ප්‍රේක්ෂක ප්‍රජාවක් මේ වටා රොක් විය.
පාතර් පංචලි චිත්‍රපටය,
1. 1956 කෑන්ස් චිත්‍රපට උළෙලේ විශිෂ්ඨතම
විදේශ සිනමා නිර්මාණය සඳහා සම්මානය
2. 1956 හොඳම බෙංගාලි චිත්‍රපටය සඳහා ජාතික සම්මානය
3. 1958 හොඳම චිත්‍රපටය සඳහා BAFTA සම්මානය
4. 1969 හොඳම චිත්‍රපටය සඳහා බෝධිල් සම්මානය
5. 1967 හොඳම චිත්‍රපටය සඳහා කිතේමා සම්මානය
දිනා ගන්නා ලදී.
මෙතුමා විසිවන සියවසේ අද්වීතීයම සිනමා නිර්මාණකරු ලෙස විරුදාවලි ලැබීය.
මෙම චිත්‍රපයෙන් පසු ඒ හා සබැඳුන අනෙක් චිත්‍රපට ද්විත්වයම වන,
අපරාජිතෝ (1956)
අපූර් සන්සාර් (1959)
සත්‍යජීත් මහතා විසින්ම නිර්මාණය කලේය.
(මෙම පොත් තුනම සිංහලයට පරිවර්තනය කර ඇති අතර,ඒවා කියවිය යුතුම පොත් බව මාගේ පෞද්ගලික හැඟීමයි.)
මීට අමතරව මොහු විසින් තවත් චිත්‍රපට 35ක් පමණ නිර්මාණය කර ඇති අතර ඒවා අතරින්,
THE INNER EYE
චාරුලතා
දේවී
මහා නගර්
ජල්සාගර් ප්‍රධානය.
මෙතුමාගේ සියලුම චිත්‍රපට වල පාහේ තිබූ සුවිශේෂ ගුණාංග වනුයේ අප සමාජයෙන් ගිලිහී යන මානව ගුණ ධර්ම ප්‍රශස්ත මට්ටමකින් දැක්වීමත්, එකිනෙක පරයන කතා තේමාවන්ගෙන් යුක්ත වීමත් සහ කර්ණ රසායන සංගීතයත් බව මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.
ප්‍රවීන ප්‍රහසන නළු චාලි චැප්ලින් මහතාට පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත් පළමු ආසියාතික සිනමාවේදියා මොහුය.
මෙම දැවැන්ත මනුෂ්‍යයාගේ ආභාසය සරි කර ගනිමින් එම අඩි පාරේම පියවර නඟන හොලිවුඩ් තිරයේ ඉහලම සිනමා නිර්මාපකයන් වන මාර්ටින් ස්කොර්සීස්, ෆ්‍රැන්සීස් කොපොලා, ජෝර්ජ් ලූකස්, ක්‍රිස්ටෝපර් නෝලාන්, ජේම්ස් අයිවරි වැන්නවුන් පවසා ඇත්තේ තම සිනමා ගමනේ සෙවණ සලසන්නා වූ මහා වෘක්ෂය සත්‍යජීත් රායි මහතා බවයි.
1992 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ සිනමාකරුවෙකුට තම දිවියේ එක් වරක් පමණක් ලබා ගැනීමට හැකිවන ගෞරව සම්මානය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත විය.
ඒ මහතා 1992 අප්‍රේල් මස 23 දින හෘද රෝගයකින් අභාවප්‍රාප්ත වන මුත් ක්ෂේත්‍රය තුළ සිය නාමය අනාගතය දක්වාම රන් අකුරින් සිත්තම් කිරීමට ඔහු සමත් විය.
ස්තූතිය- ඉරිදා දිවයින සංග්‍රහය, විකිපීඩියා