Sarpatta Parambarai (2021) Tamil | Sinhala Article

Sarpatta Parambarai (2021) Tamil

 

95% liked this film Google users

Spoiler Alert!

ඉන්දියානු සිනමාව තුල පසුගිය වසරවල් තුල, විශාල වශයෙන් ක්‍රීඩාවන් පාධක කර ගෙන චිත්‍රපට රැසක් නිර්මාණය වුනා. ඉන් උදාහරණ කිහිපයක් Dangal, Jersey, Soorma, Gold, Mukkabaaz, Saina, Irudhi Suttru සහ බොහෝ මෑතකදී නිකුත් වූ Toofan. මීට වසර ගාණකට පෙර නිර්මාණය වූ චිත්‍රපට සලකා බැලුවොත්, Lagaan සහ Chak De India යනු ප්‍රේක්ෂකයින් සහ සිනමා විචාරකයින් අතර විශාල ඇගයීම් වලට පාත්‍ර වූ නිර්මාණයන්. නමුත් පසුගිය කාල සීමාවන් තුල නිර්මාණය වූ බහුතරයක් ක්‍රීඩා චිත්‍රපට (සහ Sports Biopics) තුල දියාරු බවක් පෙන්නුම් කළා. එම බහුතරයක් නිර්මාණ තුල එම ක්‍රීඩාව හෝ ක්‍රීඩකයන්ගේ චරිත අධ්‍යනය කළේ බොහොම සාමාන්‍ය මට්ටමකින්. එහි ප්‍රභල අඩුපාඩුවක් ලෙස දිස් වූයේ එම චරිතයන්ගේ අභ්‍යන්තරයට ගමන් නොකිරීමයි. ඒ සමගම යම් සිදුවීම් සහ දර්ශන ගොඩ නගා තිබෙන ආකාරයට, මෙය කුමන දිශාවකට ගමන් කරන්නේද යන කාරණය මුල් අවදියේම ප්‍රේක්ෂකයින්ට විනිෂ්‍ය කළ හැක. ඇතැම් අවස්ථාවන් තුලදී පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙය විනිෂ්‍ය කළ හැක. ඉහත සඳහන් කළ දෝෂයන් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කළ නිර්මාණයක්‌ මෑතකදී නිකුත් වූ Toofan චිත්‍රපටය. නමුත් Sarpatta Parambarai යනු ඊට හාත්පසින්ම වෙනස් වූ පරිපුර්ණ නිර්මාණයක්‌.

චිත්‍රපටය පාධක වන්නේ 1970 දශකයේ චෙන්නායිහි පැවති බොක්සින්ග් සංස්කෘතිය සහ එයට පාධක වූ සමාජ දේශපාලනික වටපිටාවයි. Sarpatta සහ Idiyappa Parambarai යනු පන්ති/කුල බේදයෙන් වෙන්වූ කුල දෙකක්. මෙම කුලයන් දෙකම තමාගේ කුලයේ ගරුත්වය රැක ගැනීමට ඕනෑම අන්තයකට යාමට සුදානම්. එම කුලයේ ගෞරවය ඔස නැම්වීමට ඔවුන් සිදු කරන ප්‍රධාන කාර්යක් බොක්සිං. බොක්සිං යනු ඔවුන්ට දෙවෙනි ආගමක් හා සමාන ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාවේ Sarpatta නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් රංගන්. එපමණක් නොව Sarpatta කුලය නියෝජනය කරන බොක්සිං කණ්ඩායමේ ගුරුවරයා/පුහුණුකරු ලෙසද කටයුතු කරන්නේ ඔහුයි. කබිලාන් යනු එම Sarpatta කුලයට අයත් තරුණයෙක්. කබිලාන්ද බොක්සිං ක්‍රීඩා කිරීමට කැමැත්තක් දැක්වූවත්, ඔහුගේ මව එයට අවසර දෙන්නේ නැත. ඊට හේතුව ඔහුගේ පියාට එයට සම්බන්දවී අත්පත් වූ ඉරණමක් නිසා. යම් සිදුවීම් කිහිපයකින් පසුව කබිලාන්ට Sarpatta කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඔහු බොහෝ කලක් හීන දැකපු ආශාවක් ඉෂ්ට කර ගැනීමට අවස්ථාවක් උදා වනවා. කබිලාන් මෙම අවස්ථාව හමුවේ මූලික වශයෙන් ජයග්‍රහණයන් ලැබුවත්, එම ක්‍රීඩාව තුල සහ ඔවුන්ගේ කුලයන් අතර ඇති ජරාජීර්ණ දේශපාලනික ක්‍රමවේදයටද මුහුණ දීමට සිදු වනවා. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.

Pa. Ranjith

නැවතත් මා ක්‍රීඩාව සම්බන්ද බහුතරයක් ඉන්දීය චිත්‍රපට පිලිබඳ ඉදිරිපත් කළ අදහසට පැමිණියොත් : බහුතරයක් එම ගණයට අයත් චිත්‍රපට ඉදිරිපත් කරන්නේ එම ක්‍රීඩාව/ක්‍රීඩාවට සම්බන්ද පුද්ගලයා පිලිබඳ ඉතාම සාමාන්‍ය දැක්මක්. විශේෂයෙන් බහුතරයක් ජනයා දන්නා කරුණු හැර ඉන් ඔබ්බට ඔවුන් ගමන් කරන්නේ නැත. අනිත් කාරණය වන්නේ එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සුපිරි තරුවක් නම්, එම තරු ගුණය ඉස්මතු කිරීමට අනවශ්‍ය ලෙස එම චිත්‍රපටය ප්‍රබන්ද කරනවා. මෙය ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන්නේ අනවශ්‍ය ගීත ජවනිකා ඇතුලත් කිරීමෙන් සහ කෘතීම දෙබස් නළු නිළියන්ට ලබා දීමෙන්. විශේෂයෙන්ම පසුගිය කාලයේ නිකුත් වූ හින්දි චිත්‍රපට තුල මෙය සුපුරුදු ශෛලයක් වුනා. සැබවින්ම මෙය හරහා ගුණාත්මක සහ පරිපුර්ණ නිර්මාණයක් ඉදිරිපත් වෙන්නේ නැත. Sarpatta Parambarai තුලත් ඉහත සඳහන් කළ අංගයන් යම් මට්ටමකින් ඇතුලත් වූවත්, එය චිත්‍රපටයේ ගුණාත්මකභාවයට හානියක් සිදු කළේ නැත. Sarpatta හි ප්‍රධාන චරිතය කබිලාන් වූවත්, චිත්‍රපටය තුල අනවශ්‍ය ලෙස ඔහුව වීරයෙක් කරන්නේ නැත. කබිලාන්ගේ චරිතය ගොඩ නගන්නේ ඒක පුද්ගලික කෝණයකින් නොව. ඔහුගේ චරිතය ගොඩ නැගීමට රංගන්, කබිලාන්ගේ මව සහ මාරියම්මා ඇතුළු චරිත පෙළක් දායක වනවා. ඒ සමග කබිලාන් ජීවත් වන සමාජ දේශපාලනික වටාපිටාවත් මෙහි තිර රචනය හරහා ඉතා විශිෂ්ට ලෙස ගොඩ නගා තිබෙනවා. එම සමාජය තුල ඇති සංකීර්ණ දේශපාලනික මතවාදයන් කබිලාන්ට සේම ඔහු සමග සිටින අනිකුත් චරිතයන්ටද බලපාන ආකාරය ඉතා අපූරුවට පෙන්නුම් කර තිබෙනවා. මෙම ගණයට අයත් වන සිනමා නිර්මාණයක සැබවින්ම විය යුත්තේ මෙයයි. ඒ අනුව අධ්‍යක්ෂක සහ තිර රචකයා වූ Pa. Ranjith, ඔහුගේ කාර්ය උපරිමයෙන්ම ඉෂ්ට කර තිබෙනවා.

කබිලාන්ගේ චරිතයට පණ දුන් Arya මුල් දර්ශනයන් තුල ප්‍රභලව අවතීර්ණ නොවුනත්, චිත්‍රපටය ඉදිරියට යාමේදී ඉතා විශිෂ්ට ලෙස එම චරිතයට අවතීර්ණ වනවා. විශේෂයෙන්ම මෙය කාල සීමාවන් ද්විත්වයක් පෙන්නුම් කරන නිසා, ඊට අදාලව ඔහුගේ චරිතයේ සිදුවන වෙනස්කම් ප්‍රභලව ඉස්මතු කිරීමට සමත් වනවා. මරියම්මා වූ Dushara Vijayan, කබිලාන්ගේ මව වූ Anupama Kumar සහ Dancing Rose වූ Shabeer Kallarakkal විසින්ද කැපී පෙනුණු රංගනයන් ඉදිරිපත් කළා. නමුත් විශිෂ්ටම රංගනය ඉදිරිපත් වන්නේ රංගන්ගේ චරිතය රඟ දැක්වූ Pasupathy විසින්. ක්‍රීඩාවේ ආත්ම ගරුත්වය මෙන්ම තම කුලයේ ගරුත්වය පවත්වා ගැනීමට දැඩි අරගලයක නියැලෙන එම ගුරුවරයාගේ චරිතය, Pasupathy ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුවා.

Sarpatta Parambarai චිත්‍රපටයේ තාක්ෂණික අංශයන් වෙතද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මෙහි පසුතල නිර්මාණයන් වෙනුවෙන් සුවිශේෂී අවධානයක්‌ ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම 70 දශකයේ එම ජන ජීවිතය බොහොම යථාර්තවාදී ලෙස තිරයට ගොඩ නගා තිබෙනවා. මෙයට Murali. G ගේ සිනමාකරණය සේම Selva R. k ගේ සංස්කරණයද ප්‍රභල දායකත්වයක්‌ ලබා දී තිබෙනවා.

Initial releaseJuly 22, 2021
Produced byShanmugam Dhakshanraj
Download
Subtitle Download

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *