Sardar Udham (2021) Hindi | Sinhala Article

Sardar Udham (2021) Hindi by Ramitha Vimukthi

Spoile Alert!

කාලාන්තරයකින් පසුව බොලිවුඩය තුලින් නිර්මාණය වූ අගනා biopic චිත්‍රපටයක් ලෙස Sardar Udham හඳුන්වන්නට පුළුවන්. මෙයට පාධක වන්නේ ඉන්දියාව බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත්ව සිටි කාල පරිච්ඡේදයයි. Udham Singh යනු ඉන්දියානු නිදහස් රැල්ලේ සුවිශේෂී පුද්ගලයෙක් වූවත්, ප්‍රධාන වශයෙන් අධ්‍යනය නොකෙරුණු චරිතයක්. එම නිසා Shoojit Sircar සහ තිර රචකයින් වන Ritesh Shah / Shubhendu Bhattacharya cinematic liberties කිහිපයක්ම මෙය වෙනුවෙන් උපයෝගී කර ගන්නට ඇත. නිර්මාණාත්මක cinematic liberties යොදා ගත්තත්, බොලිවුඩයේ පසුගිය කාල වකවානුව තුල යොදාගත් සම්ප්‍රදායික Biopic ශානරය මෙයට යොදා ගන්නේ නැත. සැබවින්ම අප සහ ඉන්දීය ජනයා Udham Singh පිලිබඳ පොදුවේ දැන සිටින කාරණයන්ට වඩා අමතර යමක් ඉදිරිපත් කිරීමට මෙහි නිර්මාණකරුවන් සමත්වී තිබෙනවා. එම නිසා Udham Singh ගේ චරිතය තිරය තුල නරඹද්දී, එයට මානුෂීය වශයෙන් දැඩි සමීප හැඟීමක් ඇති වූවා. සැබවින්ම Bipoic ගණයේ චිත්‍රපටයකින් ඉටුවිය යුත්තේ මෙයයි.

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් රාජ්‍යයෙන් නිදහස් වීමට ඉන්දියාව තුලද විවිදාකාර වූ විප්ලවකාරී රැළි පෙළක්ම දියත් වූවා. ඉන් ප්‍රධාන අවධානයක්‌ දිනා ගත් ව්‍යාපාරයක් වූයේ Ghadar රැල්ලයි. මෙම ව්‍යාපාරය තුල ප්‍රමුඛ තැනක් උදාම් සිං වෙත හිමි වුනා. මෙම විප්ලවකාරී ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වූයේ විදෙස් රටවල් තුල සිටින ඉන්දියානු ජාතිකයන් තුලින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සහයෝගය ලබා ගැනීමයි. මේ අතරවාරයේ ඉන්දියානු විප්ලවයේ දැවැන්ත පුරෝගාමියෙකු වූ Bhagat Singh ගේ දේශපාලනික ව්‍යාපාරයන්ටද, උදාම් සිං තම සහයෝගය දක්වා තිබෙනවා. උදම් සිං ප්‍රභල විප්ලවවාදීයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ඉන්දියානු ජනතාවට විරුද්ධව බ්‍රිතාන්‍ය පාලකයන් සිදු කළ බරපතල අපරාධයක් හමුවේ. 1919 දී අප්‍රේල් මස 10 වැනිදා Satyapal සහ Saifuddin Kitchlew නම් ඉන්දීය විප්ලවකාරීන් දෙදෙනෙකු එවකට තිබූ Rowlatt නීතිය යටතේ අත්අඩංගුවට ගැනුනා. Rowlett නීතිය අතිශයින්ම ආන්දෝලනාත්මක වූයේ කිසිදු සාදාරණ හේතුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ අසීමාන්තික බලතලයක් ඇතුලත්ව තිබීමයි. මෙම නිසා Jallianwala හි පැවැත්වෙන බයිසාකි නම් හින්දු සික් උත්සවයක් නිමිති කොට, මෙම අසාදාරණයට විරුද්ධ වීමට එහි සාමකාමී විරෝධයක් දැක්වීමට විශාල පිරිසක් එක් රැස් විය. නමුත් Reginald Dyer නම් කර්නල්වරයෙකුගේ අණක් මත බ්‍රිතාන්‍ය භටයින් එම එක් රැස්වූ පිරිසට ඉතා කුරිරු අන්දමට වෙඩි තැබුවා. මෙම කුරිරු ප්‍රහාරය හමුවේ 379-1000 ක අතර පිරිසක් ඝාතනය වූවා. ඒ සමගම 1500 ක පමණ පිරිසක් බරපතල තුවාල ලැබුවා. එවකට පන්ජාබයේ ආණ්ඩුකාරවරයා වූ Micheal O’Dwyer මෙම දරුණු ඝාතනය සාදාරණය කළා. උදාම් සිං තුල විප්ලවකරුවෙක් වශයෙන් දැඩි ක්‍රෝධයක් උපදින්නේ මෙම කුරිරු ක්‍රියාවෙන්. මෙම දරුණු අපරාධය සාදාරණය කළ Micheal O’Dwyer නම් ආණ්ඩුකාරවරයාව වසර 21 කට පසුව එංගලන්තයේදී උදම් සිං ඝාතනය කරනු ලබන්නේ එයට පලිගැනීමක් වශයෙන්. මේ ඔහුගේ කතාවයි.

මෙහි නිර්මාණකරුවන් උදාම් සිං එංගලන්තයේදී සිදු කරන Micheal O’ Dwyer ගේ ඝාතනය, චිත්‍රපටය මුල් භාගය තුලම පෙන්නුම් කරනවා. උදාම් සිංගේ සැබෑ ජීවිත කතාවේ අවසාන කොටස මුල් අවදියේ පෙන්නුම් කිරීමෙන්, මෙහි කතා රසයට සහ කුතුහලයට කිසි සේත්ම බාදාවක් වූයේ නැත. ඊට හේතුව එම අවස්ථාව වන තෙක්ම උදාම් සිං සැබවින්ම කව්රුන්ද යන කාරණය පෙන්නුම් නොකරන නිසා. මෙය පැය දෙකයි විනාඩි හතලිහක දීර්ග කාලයක දිව යන්නේ මෙම චරිතයේ අභ්‍යන්තරයට ගැඹුරින්ම ගමන් කළ නිසා. මෙම ඝාතනය සිදුවන දර්ශනයෙන් අනතුරුවයි සැබවින්ම උදාම් සිං කව්රුන්ද සහ ඔහුගේ සැබෑ අරමුණ යන කාරණය පෙන්නුම් කරන්නේ. මෙතැන් පටන් මීට වසර 21 ට පෙර උදාම් සිංගේ අතීතය, වර්තමානය දක්වා අතරමැද සිදුවූ සිද්දීන් සහ ඔහුගේ වර්තමානය පෙන්නුම් කරමින් මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යනවා. Flashback’s භාවිතය ඉතා සාර්ථකව කර තිබුනද, යම් තැන් වලදී කාල සීමාව වටහා ගැනීමේ ව්‍යාකූල බවක් තිබුනා.

මෙහි අධ්‍යක්ෂක සහ තිර රචකයින් උදාම් සිංගේ කතාව ඉදිරිපත් කරන්නේ, දැඩි දේශාභිමානි ස්වරයකින් නොව. එම නිසා මෙම චරිතය මානුෂීය වශයෙන් සමීප වනවා.බොලිවුඩයේ බොහෝ ඉතිහාස කතා සහ යුද්ධය පාධක කර ගත් චිත්‍රපට තුල අඩුපාඩුවක් ලෙස දනුණේ, අසාමාන්‍ය ලෙස දේශාභිමානය එයට ඇතුලත් කිරීම සහ අතිශයින්ම කෘතීම දෙබස් එහි චරිතයන් කතා කිරීමයි. ඒ සමගම බ්‍රිතාන්‍ය යටත් යුගය පාධක කර ගත් කතා තුල එහි ඉංග්‍රීසි ජාතිකයින්ගේ චරිත ලියැවී තිබෙන ආකාරය කිසි සේත්ම තාත්වික බවක් තිබුනේ නැත. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින් ඔවුන්ට නුපුරුදු හින්දි භාෂාවෙන් කතා කිරීම තුල විහිළුසහගත බවක් පෙන්නුම් කළා. Sardar Udham හි මෙම කිසිවක් අඩංගු වන්නේ නැත. මෙහි ඔබ දකින ඉංග්‍රීසි ජාතිකයින්ගේ චරිතද ඉතා හොඳින් ලියැවී තිබෙනවා. තවද අනවශ්‍ය ලෙස ගීත ඇතුලත් නොකිරීමද මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂී කාරණයක්.

මගේ මතය අනුව Sardar Udham යනු ඉන්දියානු සිනමාවේ ඉතා ඉහල මට්ටමකින් රූගත කළ චිත්‍රපටයක්. Avik Mukhopadhyay ගේ සිනමාකරණය ඉතාම විශිෂ්ට මට්ටමක තිබුනා. විශේෂයෙන්ම මෙම චිත්‍රපටය පුරාවට තිබෙන කුරිරු, ගුප්ත සහ ඇඳුරු ස්වරය ඉතා අපූරුවට මෙහි සිනමාකරණය හරහා හසුරවා තිබෙනවා. මෙහි කලා අධ්‍යක්ෂණයද මා ඉන්දියානු චිත්‍රපටයක දුටු විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණයක්. විශේෂයෙන්ම 1920-40 කාල සීමාවේ ඉන්දියාව සහ එංගලන්තය ඉතා තාත්වික ලෙස ප්‍රති නිර්මාණය කර තිබෙනවා. මෙහි උදාම් සිංගේ චරිතය රඟ දක්වන විකී කෝෂල් ඔහුගේ සිනමා දිවියේ විශිෂ්ටතම රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. උදාම් සිං ගේ චරිතය අත් විඳින කටුක බව, ක්‍රෝධය සහ අසාදාරණය හමුවේ යුක්තිය සොයා යන දැඩි අධිෂ්ඨානය ඉතා විශිෂ්ට ලෙස විකී කෝෂල්ගේ රංගනය හරහා ඉදිරිපත් වුනා.

ඒ අනුව ඉන්දියානු සිනමාවේ මා මෙතෙක් නරඹපු විශිෂ්ට ගණයේ Biopic චිත්‍රපටයක් ලෙස Sardar Udham හඳුන් වන්නට පුළුවන්. මග නොහැර නරඹන්න.

Shoojit Sircar
Initial releaseOctober 16, 2021
Screenplay byRitesh Shah; Shubhendu Bhattacharya

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *