Sara’s (2021) Malayalam | Sinhala Article

Sara’s (2021) Malayalam

Spoiler Alert!
File:Jude Anthany Joseph.jpg - Wikipedia
Jude Anthany Joseph

Ohm Shanthi Oshaana අධ්යක්ෂණය කළ Jude Anthany Joseph ගේ තුන්වන සිනමා නිර්මාණය මෙයයි. Sara ‘s යනු සැබවින්ම සරල චිත්රපටයක් වූවත්, එය තුලින් කාලීන සමාජ මාතෘකාවක් කතා බහට ලක්වනවා. Sara ‘s චිත්රපටය නරඹන අතරවාරයේ මට සිතට නැගුනු ප්රධාන කාරණයක් වූයේ, මෙය ශ්රී ලංකාවේ නිර්මාණය කලොත් ප්රේක්ෂකයා මොනයම් ආකාරයට වැළඳ ගනීවිද යන ප්රශ්නාර්ථයයි. මා මේතාක් දුටු මලයාලම් සිනමා රසිකයන්ගේ ප්රතිචාරයන්ට සලකා බලද්දී, ඔවුන් මෙහි ඉදිරිගාමී දැක්ම බොහෝ සෙයින් අගය කොට තිබෙනවා. මෙය ප්රධාන වශයෙන් දකුණු ආසියාතික ගැහැණිය සංකේත කර නිර්මාණය කළත්, මෙය සැබවින්ම පිරිමියාටද වලංගු වන කාරණයක්.

සාරා යනු අවුරුදු 25 ක පමණ යුවතියක්. ඇය සිහින දකින්නේ කෙදිනක හෝ චිත්රපට අධ්යක්ෂකවරියක් වීමටයි. සාරා යනු මුළුමනින්ම නවීන ලෝකයත් සමග හැඩගැසුණු යුවතියක්. එම නිසා ඇගේ දෙමාපියන් ඇතුළු බහුතරයක් දෙනා සමග සාරා තුල ඇත්තේ පරස්පර විරෝධී අදහස්. ඒ කෙසේ නමුත් සාරා යනු තම සිහින වෙනුවෙන් ඕනෑම අවධානමක් ගැනීමට ධෛර්යක් තිබෙන ගැහැණු ළමයෙක්. ඇය ජීවත් වන සමාජ පරිසරය අනුව ගැහැණියකගේ ජීවිතයේ සුවිශේෂී පැතිකඩක් ලෙස සලකන දෙයකට, සාරා තුල තිබෙන්නේ සම්පුර්ණ වෙනස් සහ ආන්දෝලනාත්මක අදහසක්‌. සාරා වෙනස් මතයක් දරණ එම පැතිකඩ වන්නේ මාතෘත්වයයි. ඇය ප්රේමයට සහ විවාහය යන සංකල්පයට විවෘත වූවත්, ඇය කිසි දිනක මාතෘත්වය ලැබීමට හීන දකින්නේ නැත. තම පාසල්වියේ පටන් සාරා තුල තිබුණු ප්රභල අදහසක් මෙය. සාරාගේ මෙම මතය බටහිර රටක අතිශය සාමාන්ය මතයක් ලෙස පිළිගත්තත්, ඇය ජීවත් වන සමාජය තුල ගැහැණියව බරපතල ලෙස විවේචනයට සහ අපහාසයටද පත් කළ හැකි කාරණයක්. සාරාගේ අදහස් වලට ගැළපෙන පෙම්වතෙක් ඇයට හමු වනවා. ඔහු නමින් ජීවත්. ජීවන්ද සාරා සේම පියෙක් වීමට අකමැති තරුණයෙක්. දෙදෙනාගේ අදහස් බොහෝ සෙයින් ගැළපෙන නිසා, ඔවුන් විවාහ වීමට තීරණය කරනවා. නමුත් පවුලෙන් සහ සමාජයෙන් එල්ල වන පීඩනයේ බරපතලම තත්වය උදා වන්නේ ඔවුන් විවාහ වීමත් සමගය. ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්රපටය නැරඹිය යුතුමයි.
Sara's Review: An ode to women, child-free by choice!Sara ‘s චිත්රපටය නරඹද්දී මීට දින කිහිපයකට පෙර ලංකාවේ එක් මාධ්යක පළවූ සටහනක් මතකයට ආවා. එහි සාරා වැනි සම්ප්රදායන් බිඳ හෙලූ කාන්තාවන්ව විවේචනය කර තිබුනා පමණක් නොව, මාතෘත්වය ප්රතික්ෂේප කරන කාන්තාවන් ගැහැණුකමටද නුසුදුසුයි යන අර්ථයෙන් එය ලියැවී තිබුනේ. තවත් පුදුමමයට කාරණයක් වූයේ මෙය ලියැවී තිබුනේ කාන්තාවක් අතින් වීමයි. දෙමාපියන් වීම කිසි සේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොව. එය අප නියැලෙන කුමන වෘතියටත් වඩා කැප කිරීමක් සහ අවධානයක්‌ අවශ්ය වන දෙයක්. සැබවින්ම මෙම කැපවීම කරන පුද්ගලයින් අප අගය කළ යුතුය. නමුත් සෑම පුද්ගලයෙකුම දෙමාපියන් වීමට අදහස් කරන්නේ නැත. ගැහැණියකට ලැබිය හැකි උතුම්ම පදවිය මව් පදවිය යනුවෙන් සාමාන්යකරණය කළත්, එය සෑම ගැහැණියකුගේ ආශාව සහ බලාපොරොත්තුව නොවන වග අප වටහා ගත යුතුය. එවැනි අදහස් ඇති ගැහැණියෙකු හෝ පුරුෂයෙකු දෙමාපියන් වීමට වඩා තම වෘතිය ස්ථාවරත්වයට හෝ සැමියා බිරිඳ යන බැඳීමට ඊට එහා ගිය වටිනාකමක් ලබා දෙනවා වන්නට පුළුවන්. එම නිසා එය කිසි සේත්ම ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය නොවේ.
අධ්යක්ෂක ජූඩ් ඇන්තනි ජෝසෆ් සහ තිර රචක අක්ශේ හරීෂ්, වර්තමානයේ සැබවින්ම කතාබහට ලක්විය යුතු මාතෘකාවක් ඉතා අපූරුවට සහ සරලව ඉදිරිපත් කර තිබෙනවා. සාරාගේ චරිතයට තම හැදුනු වැඩුණු පරිසරය තුල මෙවැනි ස්වාධීනත්වයක් බොහෝ ප්රමාණයකට අත්පත් කර ගැනීමට හැකි වූවත්, විවිද සමාජ පන්තීන් නියෝජනය කරන කාන්තාවන්ට එසේ නොවන වගත් මෙහි පෙන්නුම් කර තිබෙනවා. Anna Ben සුපුරුදු ලෙස ඇගේ චරිතයට සාදාරණයක් ඉෂ්ට කර තිබෙනවා. ජීවන්ගේ චරිතය රඟ දැක්වූ Sunny Wayne තුලින්ද හොඳ සහායක් ලැබෙනවා.
Sara ‘s චිත්රපටයේ මා තුල වඩාත්ම සිත් ගත් දෙබසකින් සටහන අවසන් කරන්නම් :
“Better be not a parent than be a bad parent “

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *