Sandeep Aur Pinky Faraar (2021) Hindi
Spoiler Alert!
ගිය වසරේ බොලිවුඩය කැළඹු සිදුවීමක් හමුවේ, හින්දි සිනමාවේ nepotism සම්බන්දව දැඩි විරෝධයක් ප්‍රේක්ෂකයින් අතර ව්‍යාප්ත වුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් සිනමාවේ ප්‍රභල සම්බන්දකම් තිබෙන නළු නිළියන්ව දැඩි ලෙස විවේචනයට ලක්වුනා. මෙය තවත් අන්තයකට ගමන් කලේ ප්‍රේක්ෂකයින් නිස්කාරනේ එම නළු නිළියන්ගේ චිත්‍රපටයන් තුල ගුණාත්මකභාවය පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව දැඩි ලෙස විවේචනය කිරීමයි. විශේෂයෙන්ම IMDB වැනි සිනමා වෙබ් අඩවි තුල review bombing සුලබව දක්නට ලැබුනා. පසුගිය වකවානුව තුල ඉන්දියාව තුල හටගත් දේශපාලනික අර්බුද හමුවේද, නළු නිළියන්ගේ ඇති විවිදාකාර මතයන් හමුවේ මෙම විරෝධයේ තවත් දිගුවක් ලෙස ක්‍රියාත්මක වුනා. නමුත් මින් සැබවින්ම සිදු වූයේ හොඳ නිර්මාණ නිස්කාරනේ ප්‍රේක්ෂකයා අතරින් ගිලිහී යාමයි. මෙම වසරේ තිරගත වූ Sandeep Aur Pinky Faraar චිත්‍රපටයටද අත්වූයේ ඊට සමාන ඉරණමක්. නමුත් මෙහි නිර්මාණකරුවන්ද මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා තුල උනන්දුවක් ඇති වන ආකාරයට ප්‍රචාරය කරේ නැත.
සංදීප් නොහොත් සැන්ඩි වාලියා යනු පරිවර්තන් නම් බැංකුවක ඉහල තනතුරක් දරණ නිලධාරීනියක්. ඇයත් එම බැංකුවේ ප්‍රධානියා වන පරීචේ සමග සම්බන්දයක් තිබෙනවා. ඔහු සමග රාත්‍රී බෝජනයක් ගැනීමට ඇය අවන්හලක සිටිනවා. එම අවන්හල වෙත සත්යේන්ද්‍ර නොහොත් පින්කි නම් පොලිස් නිලධාරියෙක් පැමිණෙනවා. ඔහු පැමිණ තිබෙන්නේ සංදීප්ගේ පෙම්වතාගේ පණිවිඩයකට අනුව ඇයව වෙනත් ස්ථානයකට රැගෙන යාමටයි. ගමනේදී පින්කි එම රථය ඉතා වේගයෙන් දාවනය කරන, සංදීප් ඔහුට පවසනවා ඇය ගැබ්බර වී ඇති බවට. එම නිසා ප්‍රවේශමෙන් එය දාවනය කරන ලෙස. ඔවුන් ඉදිරියේ ගමන් ගත් SUV රථයක් ඉදිරියේ සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් නතර කරනවා. නමුත් සිදු වන්නේ කිසි සේත්ම අදහාගත නොහැකි දෙයක්. එම පොලිස් නිලධාරීන් එම රථයේ ගමන් ගත් මගීන් පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මෙය දුටු පින්කි ඔහුගේ ප්‍රධානියා වන ත්‍යාගීව අමතනවා. සංදීප් ඇතුළුව පින්කිද ඔවුන්ට අදහාගත නොහැකි ආකාරයේ උගුලකට පැටලුණු බව නිරාවරණය වන්නේ මෙම දුරකථන ඇමතුමෙන්. ඊට ප්‍රධාන හේතුව වන්නේ සංදීප් සේවා කළ බැංකුවේ සිදුවී ප්‍රධාන වංචාවක්. ඉන් අනතුරුව ඔවුන් දෙපලටම සිදු වනවා පලා යාමට. එම පලා යාමෙන් ඔවුන් විශ්‍රාම වියේ පසුවන යුවලකගේ නිවස තුල නවාතැන් ලබා ගන්නවා. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.
Sandeep Aur Pinky Faraar ප්‍රධාන වශයෙන් අයත් වන්නේ chase thriller ගණයටයි. නමුත් මෙය අධ්‍යක්ෂණය කළ දිබාකර් බැනර්ජි සහ තිර රචනයට සම්බන්ද වූ වරුන් ග්‍රොවර්, ඉතා සංකීර්ණ සමාජ දේශපාලනික විග්‍රහයක්ද අධ්‍යනය කරනවා. දුෂණය සහ වංචාව අප ජීවත් වන සමාජයේ සුලබව දක්නට ලැබෙන අංගයක්. එම දූෂිත සමාජ ක්‍රමය තුල එම ක්‍රමවේදය පෝෂණය කරන්නන් පමණක් නොව, එයට කිසිදු සම්බන්දකමක් නැති පුද්ගලයින්ද එහි ඉත්තන් බවට පත් වීමට සිදු වනවා. සංදීප් නොහොත් සැන්ඩි යනු රූමත් ලලනාවක්ම නොව. ඇය ස්වාධීනයි සහ බුද්දිමත්. ඒ සමගම වෘතිමය වශයෙන් ඇතැම් දේවල් පිලිබඳ සාදාචාරත්ම ප්‍රශ්නාර්ථයක් එම චරිතයෙන් ඉස්මතු කරනවා. නමුත් මෙම මජර සමාජ ක්‍රමය එවැනි ගැහැණියකට ඉඩ දේවිද?. පින්කීද සංදීප්ට සමානව ප්‍රශ්නාර්ථ පසුබිමක් ඇති පොලිස් නිලධාරියෙක්. ඔහු විටෙක රළු ප්‍රචණ්ඩකාරී චරිතයක් ලෙස පෙනුණත්, ඔහුද මෙම සමාජ ක්‍රමය හමුවේ අසරණ වන තරුණයෙක්.
දිබාකර් බැනර්ජී සහ වරුන් ග්‍රොවර් එක්ව රචනා කළ මෙහි තිර රචනයේ තවත් ප්‍රභලව කතා කරන මාතෘකාවක් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි. සංදීප් නොහොත් සැන්ඩිගේ චරිතය තුල ඇතැම් අංගයන් ප්‍රශ්නාර්ථයක් වූවත්, ඇගේ ප්‍රභල පෞරුෂය එම බැංකුවේ සිටින අනිකුත් නිලධාරීන්ට අභියෝගයක් වනවා. ඇගේ එක් මතයක් නිසාවෙන් එහි සිටින පුරුෂයින් පෙළක් ඇයට විරුද්ද වන්නේ ඇයගේ ජීවිතය නැති කිරීමට වැනි දරුණු අන්තයකට ගොසින්. නමුත් සංදීප් යනු එවැනි බලපෑම් තුලින් කඩා නොවැටෙන චරිතයක්. සංදීප් සහ පින්කි පසුව නවාතැන් ගන්නා නිවසේ සිටින විශ්‍රාමික යුවල තුලින්ද, අපේ සමාජය තුල විවාහයේදී ගැහැණියට සිදුවන අවාසනාවන්ත ඉරණමක් දැක ගන්නට පුළුවන්. එතකොට පිරිමියාගේ පැතිකඩ?. පින්කි ඇතැම් සිදුවීම් තුලදී කලබල වූ විට, ඔහුගේ ප්‍රධානියා ඔහු දැඩි ලෙස සංවේදී යනුවෙන් හෑල්ලුවට ලක් කරනවා. පින්කිගේ චරිතය ආරම්භයේදී රළු ස්වාභයක් පෙන්නුම් කරත්, චිත්‍රපටය ගලා යාමේදී එය මුළුමනින්ම වෙනස් වනවා. මෙම පැතිකඩවල් චිත්‍රපටය තුල පෙන්නුම් කරන්නේ නිහඬ පසුබිම් තේමාවන් ලෙස. මාගේ මතය අනුව මෙය තිර රචනයේ විශිෂ්ට ජයග්‍රහණයක්.

චිත්‍රපටය තුල තවත් ඇගයිය යුතු කාරණයක් වන්නේ Anil Mehta ගේ අති විශිෂ්ට සිනමාකරණයයි. මෙම චිත්‍රපටය තුල ඇති අඳුරු සහ රළු වාතාවරණය මෙහ්තාගේ විශිෂ්ට කැමරාකරණය හමුවේ ඉස්මතු වුනා. ඇතැම් අවස්ථාවන් තුලදී අප චිත්‍රපටයේ සිටින නළු නිළියන්ට වඩා එහි සිටින අධ්‍යක්ෂකවරයාව විශ්වාස කළ යුතුයි. දිබාකර් බැනර්ජී යනු එවැනි අධ්‍යක්ෂකවරයෙක්. Sandeep Aur Pinky Faraar තුල ඔහු thriller ගණයට වෙනස්ම මුහුණුවරක් ගෙන දෙනවා. ඒ සමගම පරිනීති චොප්රා සහ අර්ජුන් කපූර්ගේ මෙතෙක් නොදැක තිබූ රංගන පරාසයන් ඉස්මතු කිරීමට ඔහු සමත් වුනා. අර්ජුන් කපූර්ගෙන් බොහෝ කලකට පසු හොඳ රංගනයක් දැක ගැනීමට හැකි වුනා. නීනා ගුප්තා, රගුබීර් යාදව් සහ ජේදිප් අහ්ලවත්ගෙන්ද ප්‍රභල සහායක් ලැබෙනවා. නමුත් චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනය ඉදිරිපත් කළේ පරිනීති චොප්රා. සංදීප් යන චරිතය තුල ඇති අනපේක්ෂිත ස්වභාවය, අධිෂ්ඨානශීලී බව සහ විටෙක එම චරිතයේ ඇති අසරණකම ඉතා අපූරුවට පරිනීති චොප්රාගේ රංගනයෙන් ඉස්මතු වුනා. චිත්‍රපටයේ ප්‍රධාන අඩුපාඩුවක් ලෙස දිස් වූයේ මෙහි ගලා යාමයි. මෙය ඉතා සෙමින් ගලා යන චිත්‍රපටයක්. එම නිසා දර්ශන කාලය පැය දෙකක් වූවත්, එම කාලයද ඉක්මවා යන හැඟීමක් මතු වනවා.
සැබවින්ම Sandeep Aur Pinky Faraar යනු මා සිතුවාටත් වඩා ඉහල මට්ටමක තිබුණු නිර්මාණයක්. එම නිසා මෙය නරඹාම විනිෂ්‍ය කරන්න.